Menu Close

නිරෝධායනය ගැන හෛඩගරියානු කියැවීමක්

91862301_211059426892009_8218271546955792384_n

 

නිවැස්වලට ම වී සිටීම ‘අනිවාර්යතාවයක්’ බවට පත් වී ඇති මොහොතක අප අත්දකිමින් සිටින්නේ මින් කවරදාකවත් නොලැබූ – බොහෝ විට – අපහසු අත්දැකීමකි. ඉදිරි දින කිහිපයේ සිදුවන්නේ කුමක්ද යන්න සිතා ගැනීමට නො හැකි කාංසාවක සමස්ථ ලෝකය ම ඇඳවැටී සිටියි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ මෙරට සෞඛ්‍ය අංශවල පුරෝකතනවලට අනුව ඉදිරි මාසය පවතින්නේ දැඩි අවදානමකය. තවද ජාත්‍යන්තර වශයෙන් නොයෙක් විශ්වවිද්‍යාල විසින් සිදු කළ පරීක්ෂණවල සංඛ්‍යා දත්තවලට අනුව එය අතිශය භයානක තත්ත්වයකි. මෙවැනි පසුබිමක ශිෂ්ටාචාරයේ ඓතිහාසිකත්වය අගුලු ලා හෝ එම ඓතිහාසිකත්වයේ රිද්මය සිතාගත නොහැකි සෙලවීමකට ලක් ව ඇත. අපගේ ජීවිතවල මූලධාර්මික අනිවාර්යතා පිළිබඳ අපට යළි මතක් කර දෙමින් එම අනිවාර්යතා අතර අපගේ ජීවිතයේ ආශාවේ ලක්ෂ්‍යය කුමක්ද යන්න අර්ථකථනය කිරීමේ අර්බුදයක් වෙත අප ගමන් කරමින් සිටයි.

හෛඩගරියානු දර්ශනය තුළින් මෙම සුවිශේෂී මොහොත අර්ථකථනය කිරීම – හෛඩගර් කියවා ඇති අයෙකුට – සමහරවිට පහසු යැයි හැගුනත් එහි සැලකිය යුතු සංකීර්ණ මානයන් කිහිපයක් හඳුනාගත හැකි ය. මන්ද හෛඩගරියානු දර්ශනයේ එන මරණය, රැකබලාගැනීම (care), කාලිකත්වය (Temporality), කාංසාව, සමග-පැවැත්ම (Being-with) සහ ව්‍යාජ – අව්‍යාජ වෙන් කිරීම මෙම මොහොත සමග සම්බන්ධ කිරීමේදී විවිධ සංකීර්ණතා හඳුනාගත හැකි ය. කෙසේ වෙතත් එම සංකල්ප, මෙරට සාමාන්‍ය දෛනික ජීවිතයේ සිට වර්තමානයේ අප අත්දකිමින් සිටිනා හුදකලාව දක්වා වින්‍යාසගත වී ඇති ආකාරය වෙත දිශානත කිරීමට උත්සහ ගනිමු. තවත් ආකාරයකට කියන්නේ නම් හෛඩගර් මෙකල කොවිඩ්-19 වසංගතය සමග අභිමුඛ වන්නේ නම් ඔහු කුමක් සිතනු ඇතිද යන සංකීර්ණ ක්‍රියාවලියට අලගු තැබීමට ගන්නා උත්සාහයක් ලෙස මෙය හැඳින්විය හැකි ය.

හෛඩගරියානු දර්ශනයේදී දෛනික ජීවිතය සංකල්පගත කිරීමට හා අර්ථකථනය කිරීමට වැඩි බරක් තමයි. සමස්ථයක් ලෙස හෛඩගර්ට අනුව අපගේ දෛනික ජීවිතය සංවිධානය වන මූලික චරිත ලක්ෂණ ලෙස අවිනිශ්චිතතාවය (Ambiguity), බොලඳ කතාව (Idle Talk), ඇඳ වැටීම (Falling) සහ කුතුහලය (Curiosity) හැඳින්විය හැකි ය. හෛඩගර් යනු ඉතා ම හිතුවක්කාර ලෙස දාර්ශනික ඉතිහාසයේ තාක්ෂණික වචන ඔහුගේ ප්‍රවාදවලට අනුව සැලකියයුතු වෙනස්කම්වලට ලක්කළ දාර්ශනිකයෙක් වීමත් – මෙවැනි කෙටි ලිපියක ඔහුගේ මෙම තාක්ෂණික වචන වෙත වැඩි බරක් තබන්නේ නැතිව; මෙම සංකල්ප එකිනෙකින් වෙන් කර තේරුම් ගන්නවාට වඩා පොදු සමස්ථයක් ලෙස තේරුම් ගැනීමට හෛඩරියානු දර්ශනයේ ම එන ව්‍යාජ – අව්‍යාජ බෙදීම පැහැදිලි කර ගැනීම වඩා වැදගත් වනු ඇතැයි හගිමි.

හෛඩගර්ට අනුව අව්‍යාජ ජීවිතයක් යනු තම විභවාත්මක හැකියාව හඳුනාගෙන, එය වියහැකිභාවයක් බවට පත් කර ගැනීමට, එය ම අධිෂ්ටානශීලීව පූර්වාපේක්ෂා කරමින්, එය වෙනුවෙන් ම තමුන්ගේ අතීතය තමුන්ට අවශ්‍ය පරිදි සංස්කරණය කරගනිමින්, තම වර්තමානය ගොඩ නගනා ජීවිතයකි. උදාහරණයක් ලෙස මම වෛද්‍යවරයෙක් වීමට අපේක්ෂා කරන්නේ නම් වර්තමානය තුළ මාගේ තෝරාගැනීම් විය යුත්තේ මෙරට වෛද්‍යපීඨයකට හෝ එතෙර වෛද්‍ය පීඨයකට හෝ එවැනි අධ්‍යයන ආයතනයට ගොස් අධ්‍යාපනය හදාරා ඊට අදාල පියවර සම්පූර්ණ කරගැනීමයි. එවිට මට ඇත්තේ ඉතා ම සීමිත තෝරාගැනීම් ප්‍රමාණයකි. එනම් මට මුහුණු පොතෙහි දින ගණන් ලත වීමට, ක්‍රීඩාවක් හෝ කලා කටයුත්තක් වෙත වැඩි කාලයක් යෙදවීමට අවසාන අර්ථයෙන් පූර්ණ කාලීන රැකියාවක් කළ නො හැකි වේ. එම නිසා ම සමාජය විසින් උත්කර්ෂයට නංවන වෙනත් ආකාරයේ බොළඳ හැසිරීම් සහ කුතුහලයෙන් පිරුණු වෙනත් ප්‍රවේශ වෙත යාම වලකියි. එමෙන්ම මාගේ වර්තමානය නිශ්චිත ලෙස ම එක ම තෝරාගැනීමක් වෙනුවෙන් සංවිධානය වී මාගේ ජීවිතයේ අවිනිශ්චතතාවයක් ඇති නො කරයි. මාගේ අනාගතයට අනුව මාගේ තෝරාගැනීම් සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ගැටලුවක් මට ඇති නොවේ. මෙවැනි ජීවිතයක් අව්‍යාජ ජීවිතයකි. නමුත් එලෙස අනාගතය පූර්වාපේක්ෂා නො කරන, ඒ ඒ කාලයට පැමිණෙන විවිධ ප්‍රවනතා මත යැපෙමින් එම ප්‍රවනතා අත්හදා බැලීමේ කුතුහලයක් සහිතව වර්තමානය පිළිබඳ අවිනිශ්චිතතාවයක් හා එම නිසා ම ඔවුන්ට උරුම වූ නිස්සකලංක ජීවිතයක් ගෙවමින් සිටින ජීවිත, ව්‍යාජ ජීවිත ලෙස හෛඩගර් හඳුන්වා දෙයි. ඔවුන් තමුන්ගේ තෝරාගැනීම් පිළිබඳ අරමුණක් නොමැති ව වෙනත් සමාජ බලපෑම් හෝ සමස්ත සමාජ කථිකාව විසින් යෝජනා කරනා තෝරාගැනීම් මත යැපමෙින් සිටියි. මෙවැනි ජීවිත පිළිබඳ පශ්චාත් නූතන සංවාදය තුළද කතාබහට ලක් කෙරෙයි. එමගින් හෛඩගරියානු සංවාදය වෙනස් වන්නේ හෛඩගර් එය දුර්වලතාවයක් හෝ නුහුගුණයක් ලෙස  නො ගෙන එය දෛනික ජීවිතයේ අප සාමාන්‍යයෙන් පවතින ආකාරයක් ලෙස හඳුනාගැනීමෙනි.

නමුත් මෙම හෛඩගරියානු වෙන් කිරීම අප නතර වී සිටිනා මෙම සුවිශේෂී ලක්ෂ්‍යයේදී තේරුම් ගන්නේ කෙසේද? දැන් අපට සිදු වී තිබෙන්නේ වෙනත් කිසිඳු තෝරාගැනීමක් නොමැති, ස්භාවිකත්වයක් ලෙස මෙම දෙන ලද තත්ත්වය නිවසෙහි හුදකලා වී භාර ගැනීමටයි. එවිට පෙර සඳහන් කළ ආකාරයේ අව්‍යාජ ජීවිතයක් වෙත තමුන්ගේ වර්තමානය සකස් කරමින් සිටි පුද්ගලයෙකු මෙම නිරෝධායන සීමාකම් මත තමුන්ගේ ජීවිතය සැලසුම් කරන්නේ කෙසේද? උදාහරණයක් ලෙස ක්‍රීඩකයෙක්, දේශපාලඥයෙක්, විකල්ප අවකාශ තුළ කටයුතු කරන නාට්‍යකරුවෙක්, තවත් ආකාරයකට කියන්නේ නම් නිවාස අඩස්සියක සීමාකම් තුළ තමුන්ගේ අව්‍යාජ අපේකෂාව වෙනුවෙන් පෙනී සිටිය නො හැකි පැවැත්මක් මේ මොහොතේ කළ යුත්තේ කුමක්ද? එම ප්‍රශ්නයේදීත් යළි හෛඩගර් අපට යා යුතු මාර්ගය පෙන්වා දෙයි. එනම් අව්‍යාජ පැවැත්මක පොළොව නිර්මාණය කරන මරණය පිළිබඳ සංවාදය වෙතට යෑමට ඔහු අපට යෝජනා කරයි.

ඊට ප්‍රථම: මෙහිදී ව්‍යාජ – අව්‍යාජ දෙපාර්ශවයේ ම ජීවිත හිටිඅඩියේ කණ්ඩනයකට ලක් වී තිබේ. අපගේ දෛනික ජීවිතය, අප මෙතෙක් භාවිතා කරමින් සිටි ආකාරය වෙනස් කර, එයින් අප ඉවත් කර, ජීවිතය අප ඉදිරියෙහි තබා නිරීක්ෂණය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරයි. තවත් ආකාරයකට කියන්නේ නම් ‘අපගේ ජීවිතවල අනිවාර්යතා මොනවාද’, ‘අත්‍යවශ්‍ය භාණ්ඩ යනු මොනවාද’ ‘අප මෙතෙක් එක්රැස් කළ දෑ එක්රැස් කළේ කුමන පරමාර්ථ ඇතිවද’ යන ගැටලු පිළිබඳ සිතා බලයි. මේ මොහොතේ තෝරාගැනීම් සිදු කිරීමේදී සමාජයේ පිටුවහලක් නොමැති ව තමුන්ගේ ම අව්‍යාජ තෝරාගැනීම් වෙත යාමට සිදු වෙයි. මේ ආකාරයක සියලු දෙනාට අපගේ ජීවිතවල අර්ථ විරහිත බව අභිමුඛ වීම නැවැත්විය නො හැකි ය. මෙම තත්ත්වය තවදුරටත් සංකීර්ණ වන්නේ ජීවත් වීම සඳහා අවශ්‍ය අවම කොන්දේසිවත් සපුරාගත නොහැකි ජීවිතවලය. මෙහිදී ඇති වන්නේ කාංසාවකි. එනම් කාංසාව යනු තමුන්ගේ වියහැකිභාවයන් සීමා වීම, අහිමි වී යාම පිළිබඳ බිය යි. මෙතෙක් පැවති තත්ත්වය වූයේ අපට ඕනෑම වේලාවක නිවසින් බැහැර අන්‍යයන් ඇසුරු කිරීම, සාංචාරය කිරීම, ක්‍රීඩා කිරීම ආදී විවිධ වියහැකිභාවයන් දැන් අපට අහිමි වී තිබේ. එම වියහැකිභාවයන් ක්‍රමයෙන් සීමා වීම තුළ අපට ඇති වන්නේ කාංසාවයි. මෙම කාංසාව තුළ ගිලීමේදී අපගේ සිතීම ඌනනය වන්නේ මරණය නම් වියහැකිභාවය වෙතටයි. නාටකීය ලෙස කියන්නේ නම් අපගේ වියනොහැකිභාවයේ වියහැකිභාවය කියා හෛඩගර් සඳහන් කරන්නේ මෙය යි. මාගේ පැවැත්ම අවසන් විය හැකි බව මා අවබෝධ කරගැනීම මෙහිදී සිදු වේ. අප පෙර සඳහන් කළ අව්‍යාජ පැවැත්මකට – ඔහුගේ වියහැකිභාවයන් පිළිබඳ ඔහුට ඇති සාංදෘෂ්ටික අවබෝධය හේතුවෙන් – මේ සඳහා පහසුවෙන් ඇතුළු විය හැකි ය. යළිත් මෙම ව්‍යාජ – අව්‍යාජ බෙදීම තුළ දෛනික ජීවිතයේදී ව්‍යාජ පැවැත්මක් ලෙස හෛඩගර් නම් කරනා මිනිසුන්ට, මරණය යනු පසුවට කල් තබා ඇති, කතාබහ කිරීමට අකමැති, කවදා හෝ මිය යන බව දන්නා නිසා ඒ පිළිබඳ නොසිතිය යුතු, සංකල්පයකි. නමුත් මේ සියලු දෙනාට මේ සුවිශේෂී මොහොත විසින් ආරාධනා කරන්නේ මෙම සුවිශේෂී වියහැකිභාවය පිළිබඳ ගැඹුරින් සිතා බලනා ලෙසයි. මන්ද මෙම තත්ත්වය තවදුරටත් සංකීර්ණ වන විට අපට ඉතිරි වන මනෝභාවය වන්නේ කාංසාව පමණක් වන බැවිනි.

එසේ නම් දැන් එළඹී ඇත්තේ වෙනස් ම කාලයකි. මීට පෙර තමුන්ගේ ජීවිතය පූර්වාපේක්ෂා කළ පරිදි වර්තමානය සංවිධානය කිරීමට අවශ්‍ය සාධක සපුරා ගත නො හැකි සීමාකම් පවතින කාලයකි. මෙම කාලයේ අපට හමුවන්නේ, මෙම කාලය විසින් ම අපට යෝජනා කරන්නේ දෙන ලද – මෙම සුවිශේෂී – කොන්දේසිවලට අනුව වියහැකිභාවයේ ලක්ෂ්‍යයක් සොයාගන්නා ලෙස යි. තවත් ආකාරයකට කියන්නේ නම් කොවිඩ්-19 වෛරසය තවත් මාස කිහිපයකින් ඉවත් ව යනු ඇතැයි අනුමාන කළ හැකි ය. නමුත් ඉන්පසු උදාවන ලෝකය කුමක්ද යන්න අපට නිර්ණය කිරීම අපහසුය. එවැනි තත්ත්වයකදී ආහාර අර්බුධ, මානසික ආතතිය, ආර්ථික ගැටලු ආදී අප මීට පෙර අත් නොවිදි ආකාරයේ සංකීර්ණතා රැසකට මුහුණ දීමට සිදුවන බව පූර්වකල්පනය කිරීම එතරම් අපහසු නැත. එසේ නම් මෙම සුවිශේෂී මොහොතේ අප අපගේ ජීවිතය අර්ථකථනය කරන්නේ කෙසේද?

අපගේ සංවාදයේ කේන්ද්‍රය වෙතට පිවිසෙන්නේ නම්, මෙම ලක්ෂ්‍යයේදී වඩා වියැහැකි දෙය වන්නේ මරණය යි. හෛඩගර්ට අනුව මිනිසා (ඩාසයින්) යනු ම මරණය වෙත වූ පැවැත්මකි. එය අපගේ අතිපුද්ගල වියහැකිභාවය යි. මෙහිදී මෙම සුවිශේෂී වියහැකිභාවය යනු අද හවසට පොල් රොටි සෑදීමට, හෙට දිනයේ පොත් රාක්කය පිළිවෙලකට සැකසීමට,  රාත්‍රියට චිත්‍රපටියක් නැරඹීමට ඇති වියහැකිභාවයන්ගෙන් වෙනස් වන්නේ ඒ සඳහා අනෙකුන්ගේ හෝ වෙනත් කිසිදු ආකාරයක මැදිහත්වීමක් අවශ්‍ය නොවීමයි. මන්ද එමගින් කියා සිටින්නේ මාගේ ලෝකය-තුළ-පැවැත්ම (ආසන්න වශයෙන් සරලව – මා මේ ලෝකය තුළ අනෙකුන් සමගින් ගනුදෙනු කරමින් වාසය කිරීම) තව දුරටත් නොපැවතීමේ හැකියාවයි. එය මාගේ සම්බන්ධතා සියල්ලගෙන් නිරපේක්ෂ වන්නකි. තවත් ආකාරයකට එය පසුකර යා නොහැකි වියහැකිභාවයකි. ඒ වගේම අප සෑම විට ම ඒ වන විටත් මරණය සමග අත්‍යන්ත ගනුදෙනුවක සිටියි. තවත් ආකාරයකට කියන්නේ නම් මිනිසා සිටින්නේ මරණය මත සිට ගෙන ය. එම නිසා ම ඔහුගේ සියලු තෝරාගැනීම් මරණයට සාපේක්ෂව සිදු වේ. මා කිසි විටෙකත් තවත් අවුරුදු 150 කින් පමණ ප්‍රංශයේ සංචාරය කිරීමට සැලසුම් කරන්නේ නැත. තවත් අවුරුදු 50කින් පමණ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇතුළු වීමට සැලසුම් කරන්නේ නැත. මාගේ සියලුම තෝරාගැනීම් සිදු වන්නේ මා මරණය පූර්වකල්පනය කරන ආකාරයට යි. ඉහත සඳහන් කළ ආකාරයටත් –  මෙය වඩා බැරෑරුම් ව සිතා බලා තමුන්ගේ වර්තමානය සකස් කරගන්නා පැවැත්මවල් හෛඩගර් අව්‍යාජ පැවැත්මවල් ලෙස නම් කරයි. එසේ නම් මෙම සුවිශේෂී මොහොත විසින් අපගේ වියහැකිභාවයන් බොහොමයක් වාරණය කොට සීමිත වියහැකිභාවයන් ප්‍රමාණයකට අපව ඌනනය කර ඇති අතර එහිදී මරණය යනු අපගේ වඩා සුවිශේෂී වියහැකිභාවය ලෙස අපට අභිමුඛ වී තිබේ. හෛඩගර්ට අනුව පැවැත්මේ ගැඹුරුම මානය වන්නේ මෙයයි. මෙමගින් සියලු දෙනා වෙත සමානයන් ලෙස මරණය මෙනෙහි කොට මරණය පිළිබඳ වඩා ගැඹුරින් සිතා බැලීමට අවශ්‍ය පසුබිම සකස් වී ඇත. එනම් කොවිඩ් – 19 තුළ සමානාත්මතාවයේ අඩංගුවක් තිබෙනා බව අපට පෙනී යයි. මෙයින් අදහස් කරන්නේ කොවිඩ් – 19 හේතුවෙන් අප මරණය පිළිබඳව ම සිතමින් එය ම සිහිකරමින් අපගේ දෛනික ජීවිතය ගෙවා දැමිය යුතු බව නොව මරණය පූර්වකල්පනය කරමින් අපගේ මෙම සීමිත වියහැකිභාවයන් සංවිධානය කර ගත යුතු බවයි. එය කළ හැක්කේ මරණය වෙත වූ පැවැත්මක් ලෙස එය පූර්වකල්පනය කිරීමෙන් බවයි.

නමුත් හෛඩගර් කිසිවිටෙකත් ඕනෑම සුවිශේෂී මොහොතක මෙවැනි සමානාත්මතාවයක් පිළිබඳ සැලකිල්ලක් දැක්වූ බවක් ඔහුගේ දේශපාලන පෙනී සිටීම් තුළ අපට හමුවන්නේ නැත. අප කවුරුත් දන්නා පරිදි හෛඩගර් ජාතිවාදී ලෙස හිට්ලර් වෙනුවෙන් පෙනී සිටිමින් හිට්ලර්ගේ පාලනය විසින් තනතුරු ලබාගත් ජර්මානුවෙකි. ෆ්‍රී බර්ග් විශ්වවිද්‍යාලයේ රෙක්ටර්වරයා ලෙස හිට්ලර්ගේ ආණ්ඩුවෙන් හෛඩගර් ව පත් කළ මොහොතේ ඔහු කළ ධුර කතාව, ෆීලිප්-ලකු ලබාත් විසින් විසංයෝජනයට ලක් කරයි.  – එම ලිපි කිහිපය මෙතැනින්– එහිදී හෛඩගර්ගේ දාර්ශනික ව්‍යාපෘතියේ කේන්ද්‍රීය අරමුණ වන්නේ ජර්මානු ගැමියාගේ අව්‍යාජත්වය මතු කිරීම බවත්, ග්‍රීකයන්ගෙන් අවසන් වුණු චින්තන සම්ප්‍රදායේ අව්‍යාජ හිමිකරුවන් ලෙස ජර්මානුවන් අන් ජාතීන්ට වඩා උසස් ව පැවතිය යුතු බවත්  සඳහන් කරයි. නමුත්  මේ සුවිශේෂී මොහොතේ හෛඩගර් නොසිතූ හා අරමුණු නො කෙරූ ලෙස හෛඩගරියානු දර්ශනය විසින් යෝජනා කරන්නේ සමස්ථ ලෝකවාසීන්ම අව්‍යාජ මොහොතක් වෙතට සේන්දු කරවන විභවයක් සහිත කොවිඩ් -19 වෛරසය විසින් සමානාත්මතාවයේ මොහොතක් අපට නිර්මාණය කර ඇති බවයි.  මරණය වෙත වූ පැවැත්මක් ලෙස දැන් අපට අපගේ දෛනික ජීවිතය වඩා අව්‍යාජ ලෙස සංවිධානය කිරීමට අවකාශ සැලසී ඇත. එනම් විශාල තෝරාගැනීම් සහ විශාල වියහැකිභාවයන් විසින් අපව අතරමං කරන්නේ නැත. මෙම සමානාත්මතාවයේ ලක්ෂ්‍යය හඳුනා ගැනීම අද දවසේ මිනිසාට උරුම වී තිබෙනා වරප්‍රසාදිත තත්ත්වයක් ලෙස අර්ථකථනය කිරීම වඩා සාධාරණය නොවන්නේද? ඒ සඳහා මිනිසා තමුන්ගේ විභවාත්මක හැකියාවට අනුව යමින් මෙම සුවිශේෂී තත්ත්වය අර්ථකථනය කරනා ආකාරය පිළිබඳ අපි බලා සිටිමු.

රංග මනුප්‍රිය

%d bloggers like this: