Menu Close

කොරෝනා පාලනය

කොරෝනා පැතිරීම ගැන මෙතෙක් ලිවූ ලිපි කිහිපයකින්ම උත්සාහ කළේ වසංගතවේදයේදී යොදා ගැනෙන සම්මත ආකෘති හා අදාළ මූලික කරුණු කිහිපයක් පැහැදිලි කරන්නයි. ඒ හැර, කොරෝනා දේශපාලනය ගැන හෝ කොරෝනා අභියෝගය හමුවේ ලංකාව විසින් ගන්නා ක්‍රියාමාර්ග ගැන මා කතා කළේ නැහැ. විස්තර කළ යුතු තාක්ෂණික කරුණු තවත් රැසක් තිබෙනවා. එහෙත්, කියවන බොහෝ දෙනෙකුට වැදගත් වන්නේ ලංකාවට කුමක් වෙයිද කියන එක නිසා ඒ ගැනත් ටිකක් කතා කරමු. එහෙත්, මෙය මා දකින පරිදි පවතින තත්ත්වය පිළිබඳ විග්‍රහයක් මිස කාවවත් විවේචනය කිරීමක් හෝ කාටවත් කඩේ යාමක් නෙමෙයි.

පළමුවෙන්ම කියන්න තියෙන්නේ ලෝකයේ කිසිදු රටක් කොරෝනා පරාජය කර නැහැ. යමෙක් එහෙම හිතනවානම් එය මුලාවක්. නමුත්, විවිධ රටවල් විවිධ මට්ටම් වලින් රෝගය පාලනය කරගෙන ඉන්නවා.

මූලික ප්‍රජනන අංකය ගැනත්, එය ඇස්තමේන්තු කිරීමේ අපහසුව ගැනත් මම පැහැදිලි කළානේ. මේ පිළිබඳ අවිනිශ්චිතතා කොපමණ තිබුණත් එක දෙයක් සක් සුදක් සේ පැහැදිලියි. ඒ මේ අගය 1.0 ට වඩා වැඩියි කියන එකයි. ඒ කියන්නේ රෝගය පැතිරීම මොනයම් ක්‍රමයකින් හෝ පාලනය නොකළොත්, රටක බහුතරයට රෝගය හැදෙන තුරු පැතිරීම නවතින්නේ නැහැ. සම්මත ආකෘති අනුව රෝගය පැතිරීම නවතින්නේ විශාල පිරිසකට රෝගය වැළඳී, එයින් යම් පිරිසක් මිය ගොස් ඉතිරි පිරිසට ස්වභාවික ප්‍රතිශක්තිය ලැබුණු පසුවයි. නමුත්, කිසිම රටක් තවමත් ඒ තත්ත්වය කිට්ටුවත් ගිහින් නැහැ. ඒ නිසා, කොපමණ පිරිසක් මැරෙයිද, කොපමණ පිරිසකට ස්වභාවික ප්‍රතිශක්තිය ලැබෙයිද, එහෙම ස්වභාවික ප්‍රතිශක්තිය ලැබුනොත් එය කොපමණ කලක් තියෙයිද වගේ කරුණු ගැන අපට තවම කිසිම දෙයක් සහසුද්දෙන්ම කියන්න බැහැ.

රෝගය වැඩිපුරම ව්‍යාප්ත වී තිබෙන රටවල් වන ඉතාලියේ හා ස්පාඤ්ඤයේ ජනගහණයෙන් ආසන්න වශයෙන් දහසකට දෙදෙනෙකු පමණ මේ වෙද්දී කෝවිඩ්-19 ආසාදිතයින් සේ හඳුනාගෙන තිබෙනවා. නමුත්, එම රටවල පවා තවමත් දහසකින් 998 දෙනෙකු එසේ හඳුනා නොගත් අයයි. යම් හෙයකින් නොදැනම වෛරසය ආසාදනය වී අවසන්ව නැත්නම් මේ අයට කොයි වෙලාවක හෝ වෛරසය වැළඳිය හැකියි. අනිවාර්යයෙන්ම මේ අයගෙන් යම් කොටසකට මේ වන විට නොදැනම වෛරසය වැළඳී තිබිය හැකි වුවත් ඒ ප්‍රමාණය කොපමණද කියා අප දන්නේ නැහැ. කිසිම අදහසකුත් නැහැ.

මේ තත්ත්වය ලංකාවට හෝ වෙනත් රටකට කියා වෙනස් වන දෙයක් නෙමෙයි. ලංකාවට අදාළ මූලික ප්‍රජනන අංකය 2.2 නොවිය හැකියි. එහෙත් එය 1.5 වුනත් 4 වුනත් රෝගය පැතිරෙන වේගය වෙනස් වනවා මිස රෝගය පැතිරීම නවතින්නේ නැහැ. මෙය මතක තබා ගත යුතු පළමු වැදගත් කරුණයි.

දෙවන වැදගත් කරුණ වන්නේ විවිධ ක්‍රියාමාර්ග හරහා රෝගය පැතිරීම පාලනය කළ හැකි බවයි. ඒ කියන්නේ අපට අපේ උත්සාහයෙන් මූලික ප්‍රජනන අංකය අඩු කර ගත හැකියි. එය 1.0 මට්ටමෙන් පහළට ගත්තොත් රෝගය පැතිරීම ක්‍රමයෙන් අඩු වී අන්තිමේදී නවතිනවා. පාලිත තත්ත්වයන් යටතේදී එය 1.0 මට්ටමෙන් පහළට ගෙන මාසයක් දෙකක් එලෙසම පවත්වා ගත හැකි බව චීනය විසින් ඔප්පු කර පෙන්වා තිබෙනවා.

ඒ වගේම, ඉතාලිය හා ස්පාඤ්ඤය වැනි රටවල්ද ඇතුළුව ලෝකයේ හැම රටක්ම වගේ මූලික ප්‍රජනන අංකය යම් තරමකින් අඩු කරගෙන තිබෙනවා. එහෙත්, 1.0 මට්ටමෙන් පහළට නොගත්තොත් රෝගය පැතිරීමේ වේගය මිස රෝගය පැතිරීම අඩු වන්නේ නැහැ. හැම බටහිර රටකම වගේ තවමත් රෝගය පැතිරෙන්නේ ඒ නිසයි. දැනට පවතින තත්ත්වයන් අනුව ස්වභාවික ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වීමෙන් මිස බටහිර රටවල රෝගය පැතිරීමේ වේගය මිස රෝගය පැතිරීම නවතින්න ඉඩක් නැහැ.

එක ඇනෝ කෙනෙක් අසා තිබුණා හදිසියේ කෝවිඩ් හැදී ඉකොනොමැට්ටා මළොත් දැනගන්නේ කොහොමද කියා. එහෙම වුනොත්, මටනම් දැනගන්න වෙන්නේ නැහැ. මම මැරිලානේ!

ඉදිරි නරක කාලය ඇතුළත අපි කවුරු වුනත් මැරෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. මේ වන විට අපේ පැත්තේ දන්නා කියන අයටත් රෝගය වැළඳෙමින් තිබෙනවා. ගෙදරටම වී හිටියත්, කොයි තරම් පරිස්සම් වුනත් කොයි වෙලාවක හෝ අපිත් වෛරසයේ ගොදුරක් වෙන්න පුළුවන්. එහෙම වුනොත් ඇමරිකාවේ හිටියා කියා ලොකු වාසියක් නැහැ. ප්‍රතිඵලය බොහෝ දුරට තීරණය වෙන්නේ ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය මතයි. ඒක මේ හදිස්සියේ ලොකුවට වැඩි කරගන්න පුළුවන් කියා මම හිතන්නේ නැහැ. ඒ නිසා, මම මේ ගැන එතරම් වද වෙන්නේ නැහැ. මම වැඩිපුර වද වෙන්නේ මගේ පාලනයට නතු දේවල් ගැනයි.

ඕක තමයි තත්ත්වය. හැබැයි එහෙමයි කියා මම ඇමරිකාව හෝ ඇමරිකන් ආණ්ඩුව විවේචනය කරන්නේ නැහැ. මේ හා අදාළව ආණ්ඩුවට ඔයිට වඩා කරන්න ලොකු දෙයක් නැහැ. කොරෝනා හැදී ඉකොනොමැට්ටා මැරුණත් මෙය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් යටතේ ඉකොනොමැට්ටාගේ යාළුවෝ, නෑදෑයෝ හැඟීම්වර වෙලා ඇමරිකාව විවේචනය කළ හැකි වුනත් එසේ වූ පමණින් මේ කරුණ වෙනස් වෙන්නේ නැහැ.

එක දෙයක් හැර ලංකාවේ ආණ්ඩුව විසින් කළ හැම දෙයක්ම අඩු වැඩි වශයෙන් ඇමරිකාවේ ආණ්ඩුව විසිනුත් කළා. ලංකාවට කළ නොහැකි ඇමරිකාව වැනි රටකට කළ හැකි තවත් දේවලුත් කළා. ලංකාව කරන දේවල් වලින් ඇමරිකාව විසින් නොකළේ සබඳතා හඹායාම (contact tracing) පමණයි. එය ඇමරිකාවට හෝ වෙනත් බටහිර රටකට කළ නොහැකි දෙයක්. එවැනි දෙයක් කරන්න ගියොත් මේ රටවල මූලික පදනමම බිඳ වැටෙනවා.

ලංකාව වගේම චීනය හා දකුණු කොරියාවත් රෝගය පාලනය සඳහා මේ සබඳතා හඹායාම කියන උපක්‍රමය සාර්ථකව භාවිතා කළා. මේ කටයුත්තේදී ලංකාවට විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් තිබීම වාසියක් වුනා. මේ වෙලාවේ වාසියක් වූ පමණින් මා විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් පවත්වා ගැනීම වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. එහෙත්, යම් තත්ත්වයන් යටතේ එවැන්නක වාසියක් තිබෙන බව කියන්නට මැලි වන්නේත් නැහැ.

මේ වන විට ලංකාවෙන් හමු වී තිබෙන්නේ කොරෝනා රෝගීන් 146 දෙනෙකු පමණයි. ඔවුන්ගෙන් විශාල පිරිසක් වෙනත් රටකදී රෝගය බෝ කරගත් අය හෝ නිරෝධායනය වෙමින් සිටියදී හඳුනාගත් අයයි. මා විස්තර කළ මූලික ප්‍රජනන අංකය යොදා ගත හැක්කේ රෝගය ප්‍රජා සම්ප්‍රේෂණ අවදියට පැමිණි විට පමණයි. ඒ නිසා, මෙතෙක් ලංකාවේ වාර්තා වී තිබෙන ආනයකික ආසාදිතයින්ගේ දත්ත මත ලොකු නිගමන වලට එන්න බැහැ. කොහොම වුනත් එක දෙයක් පැහැදිලියි. ලංකාව තවමත් මූලික ප්‍රජනන අංකය 1.0 ට පහළින් හෝ ආසන්නව පවත්වා යනවා. එසේ නැත්නම් මේ වන විට රෝගය මීට වඩා වේගයෙන් ව්‍යාප්ත විය යුතුයි.

බටහිර රටක දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් ලංකාව අනුගමනය කරන ක්‍රමයේ අඩු වශයෙන් ප්‍රධාන ප්‍රශ්න තුනක් තිබෙනවා. පළමු ප්‍රශ්නය මිනිස්සුන්ට වන පීඩාවක් වලක්වන්න ආණ්ඩුව විසින් ඔවුන්ට වෙනත් විශාල පීඩාවක් කිරීමයි. නමුත්, එය ලංකාවේ මිනිස්සුන්ගේ කැමැත්තනම් එවැනි පීඩාවක් තිබෙන බව කියන්න බැහැ. ඇමරිකාවේදී හේතුවක් නැතිව පොලීසියෙන් වාහනයක් නවතා හැඳුනුම්පත පරීක්ෂා කළොත් එය ලොකු අවුලක්. නමුත්, ලංකාවේ ජීවත් වන කෙනෙකුට එය සාමාන්‍ය දෙයක්. ඇඳිරි නීතිය විශාල පීඩාවක් වුවත් ලාංකිකයින්ට නුපුරුදු දෙයක් නෙමෙයි. අපේ වයසේ අයටනම් 88/89 කාලයේ අවුරුදු දෙක තුනක් එක දිගටම ඇඳිරි නීතිය යටතේ ජීවත් වී පුරුද්දක් තිබෙනවා. උතුරු නැගෙනහිර අයටනම් දශක ගණනක්. මේ හේතු නිසා ලොකු සහෝදරයා ගෙදරටම හොම්බ දමන එක මේ වෙලාවේ ලංකාවේ වැඩි දෙනෙකුට වෛරස් තර්ජනයට සාපේක්ෂව හිතට වද දෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා ලංකාව හා අදාළව මා මේ කරුණ බැහැර කරනවා.

දෙවන ප්‍රශ්නය සම්පත් සීමාවන් පිළිබඳ ප්‍රශ්නයක්. දැනට ලංකාවේ ඉන්නේ කෝවිඩ්-19 රෝගීන් 150කට අඩු ප්‍රමාණයක්. එහෙත්, මා දන්නා තරමට අඩු වශයෙන් විසි දහසක පමණ පිරිසක් රාජ්‍ය යාන්ත්‍රනය විසින් නිරන්තරව නිරීක්ෂණය කෙරෙමින් පවතිනවා. රටේ විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙන නිසා මෙය කළ හැකියි. ලංකාවේ විශාල රාජ්‍ය යාන්ත්‍රණය ඉතා අකාර්යක්ෂමයි. නමුත්, මේ වෙලාවේ වෙන්නේ එසේ අකාර්යක්ෂමව තිබුණු සම්පත් ප්‍රයෝජනයට ගැනීමක්. ආණ්ඩුව විසින් කොරෝනා මර්දනය කරන්න අලුතින් රාජ්‍ය සේවකයින් හෝ හමුදා සෙබළුන් බඳවාගෙන නැහැ. ඒ නිසා දැනට සිටින රාජ්‍ය සේවකයින් මේ ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනීම උචිත දෙයක්. ඇමරිකාවේ රජය සතුව මෙවැනි ප්‍රයෝජනයට නොගැනෙන මානව සම්පත් නැහැ.

එහෙත් යම් හෙයකින් රෝගීන් ප්‍රමාණය 1500 දක්වා වැඩි වුනොත් මේ වැඩේ මේ ආකාරයෙන්ම කරගෙන යන්න බැරි වෙනවා. එවිට යටට ඔබා ගෙන සිටින රබර් බෝලයක් උඩ එනවා වගේ දැනට 1.0 මට්ටමේ හෝ පහළින් තිබෙන R0 අගයද ඉහළ යනවා. රෝගීන් ගණන 150 සිට 1500 දක්වා ඉහළ යන එක් අහඹු සිදු වීමක් නිසා එක සතියක් ඇතුළත විය හැකි දෙයක්. කොයි තරම් හොඳින් තත්ත්වය කළමනාකරණය කළත් එවැන්නක් වීමේ අවදානමක් තිබෙනවා. එසේ නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම කිසිවෙකු විසින් තමන්ගේ නොසැළකිල්ල නිසා රටේ විශාල පිරිසක් අවදානමක නොහෙළනු ඇතැයි අපේක්ෂා කරමු.

තෙවන ප්‍රශ්නය වන්නේ මේ වැඩේ මේ විදිහට කොයි තරම් කාලයක් කරන්නද කියන එකයි. සතියක්? මාසයක්? අවුරුද්දක්?

බටහිර රටවල්, විශේෂයෙන්ම ඇමරිකාව හා බ්‍රිතාන්‍යය, ඕනෑවට වඩා දැඩි පාලනයකට නොයන්නේ මේ නිසා. ලංකාව කවදා හෝ ඇඳිරි නීතිය ඉවත් කළ යුතුයි. කවදා හෝ ගුවන් තොටුපොළ ඇරිය යුතුයි. එසේ කළ විට වහාම රෝගය වේගයෙන් පැතිරිය හැකියි. කොහොම වුනත් මේ හේතුව නිසාම ලංකාව කරන වැඩේ තේරුමක් නැහැ කියා කියන්න බැහැ.

තරමක් දේශපාලනික කරුණකට ආවොත් ලංකාව ස්වයංපෝෂිත කිරීමේ සිහිනයක සිටින අය ඉන්නවා. මා මෙය මේ ලිපියෙන්  වැඩිපුර විශ්ලේෂණය කරන්න අදහසක් නැහැ, එසේ නොකර කියන්න තිබෙන දේ කියනවානම්, ලංකාව වගේ කුඩා රටකට එය කළ නොහැකියි. මා මෙයින් කියන්නේ රටේ හැදිය හැකි හැම දෙයක්ම පිටින් එන තුරු බලා සිටිය යුතු බව නෙමෙයි. පැහැදිලිවම එය නොකළ යුතු දෙයක්. මා කියන්නේ ලංකාවට දොරගුළු වසාගෙන විශාල කාලයක් සිටිය නොහැකි බවයි. එවැන්නක් කළ හැක්කේ චීනය, ඉන්දියාව, රුසියාව, ඇමරිකාව හා සමස්ත යුරෝපීය සංගමය වැනි විශාල ජනගහණයක් හා භූමියක් ඇති දේශපාලන ඒකකයකට පමණයි. ලංකාව වැනි රටකට දොරවල් වහගෙන ඉන්න පුළුවන්. එහෙත් එසේ සිටිද්දී රටේ ජීවන තත්ත්වය අනිවාර්යයයෙන්ම දැන් තිබෙන තත්ත්වයෙන් ගොඩක් පහළට වැටෙනවා.

එහෙමනම් මේ කරන වැඩේ තේරුමක් තිබෙනවාද? මෙතැනදී අපට මා කලින් විස්තර කර තිබෙන ප්‍රතිපරිසිද්ධික තත්ත්වය කුමක්ද කියා හිතන්න වෙනවා. මේ අවස්ථාව ලෝකයේ හැම රටක්ම දොරගුළු වහගෙන ඉන්න අවස්ථාවක්. ඒ නිසා, ලංකාව විවෘතව තබා ගැනීමේ වාසි මේ වෙද්දී කොහොමටත් නැති වෙලයි තියෙන්නේ. ඒ තත්ත්වය මාස ගණනකට වෙනස් වෙන්න ඉඩක් නැහැ.

පශ්චාත්-කෝවිඩ් ලෝකය දැන් තිබෙන ලෝකයම වෙන එකක් නැහැ. ගොඩක් දේවල් වෙනස් වී තිබෙයි. ලංකාව වගේ පර්යන්තයේ තිබෙන රටකට ඒ වෙනස්කම් සිදු වන ආකාරය දිහා බලා ඉන්නවා ඇර වෙනස්කම් වලට ලොකුවට දායක වෙන්න අමාරුයි. කරන්න පුළුවන්කම තියෙන්නේ සිදුවන වෙනස්කම් දෙස බලා උචිත ලෙස හැඩ ගැහෙන එකයි. ඒ වැඩේට කාලය අවශ්‍යයි. මොන දේ කළත් යම් අවස්ථාවක ලංකාවේත් කොරෝනා පැතිරෙන්න පුළුවන්. නමුත්, ඒ දවස කල් දමාගත් තරමට ලංකාවට තත්ත්වයට මුහුණ දෙන එක වඩා පහසු වෙයි.

%d bloggers like this: