Menu Close

  ව්‍යසන අවස්ථාවක අපට නිවැරදිව හැසිරිය හැකි වේද?

IMG-20200330-WA0018සුඛෝපභෝගී ටයිටැනික් නෞකාව මුහුදුබත් වීම ගැන නොදන්නා කෙනෙක් නැත. … “කිසි දිනෙක ගිල්විය නොහැක”… යන විරුදාවලිය ලැබූ ඒ නෞකාව, මිනිසුන් දහස් ගණනක් සමඟ මුහුදු පත්ලට කිඳා බැස්සේය. එහෙත් එහි සිටි වාදක මඬුල්ල කෙසේ මිය ගියේද කියා වැඩි දෙනෙක් නොදන්නවා විය හැක.

ලංකාවේ, … “නැව ගිලුනත්, බෑන් චූන්”… කියා කියමනකි. මේ කතාව ආවේ ටයිටැනික් නෞකාවේ එම වාදක මඬුල්ල ඒ නැව ගිලෙන අවස්ථාවේ කල කී දෙයිනි. ඔවුන් භීතියෙන් යුතුව නැව පුරා එහෙ මෙහෙ පැන දිව්වේ නැත. මියයන බව පැහැදිළි සේ ඔවුන් විසින් දකින ලදී.  බිඳුණු නැව් පතුල මහ මුහුද මැද්දේ නැවතත් යථා තත්වයට පත් කරන්නට ජගතෙක් නෞකාවේ නොමැති බව ඔවුන් වටහා ගත්හ. ඒ අනුව ඔවුන්ට නෞකාවේ කරන්නට තිබී රාජකාරිය ඔවුන් විසින් හරියටම සිදු කරන ලදී.

Nearer, my God, to thee,…Nearer to thee!… E’en though it be a cross…That raiseth me….

ඔවුන් එය ගායනය කලේ උමතුවෙන් නොවේ. කණ්ඩායමේ ප්‍රධානියා වූ ‘හාර්ට්ලේ’ ඇතුළු වාදකයන් එසේ කලේ, නැවේ භීතියෙන් මුසපත්ව, අයාලේ දුවන මගීන්ට ජීවිතාරක්‍ෂක බෝට්ටු වලට නැගීමට අවශ්‍ය චිත්ත ඒකාග්‍රතාවය සහ මානසික ශක්තිය ලබා දීමට විය. 

එය ගිලී ගියේ, වසර 108කට පෙර, 1912 අප්‍රියෙල් 15 වනදා විය. ලංකාවේ අප සිංහළ හා දෙමළ අවුරුදු උළෙල පැවැත්වෙන ඒ අප්‍රියෙල් මස මැද වකවානුවට තවත් දින කීපයකින් පැමිණෙන්නෙමු. එය කොරෝනා ව්‍යසනයේ භයානකම අවදිය වන්නට පුළුවන. මේ දැවැන්ත ලෝක ව්‍යාප්ත ව්‍යසනයෙන් සමහරවිට අපටද දිවි ගලවා ගැනීමට නොහැකි වන්නට ඉඩ ඇත. එහෙත් අප අපගේ රාජකාරිය නිවැරදිව කල යුතු වන්නෙමු. සමහරවිට අප ඒ රාජකාරිය හරි ආකාරයෙන් කළහොත්, යම් ජන ප්‍රතිශතයක් ලොව ඉතිරි වන්නට බොහෝ ඉඩකඩ ඇත. 

72 හැවිරිදි, ‘ෆ්රියර් දොන් ගුසෙෆ් බෙරාඩෙල්ලි පියතුමා’ ඉතාලියේ කුඩා ගම්මානයක් වන කැස්නිගෝහි දේවස්ථානයේ පූජකවරයා විය. ඔහු මිය ගියේ ඉතාලියේ දරුණුතම ප්‍රදේශයක් වන බර්ගමෝ රෝහලේදීය. රෝහල පවසන පරිදි, ඔහු විසින් ශ්වසන යන්ත්‍රයක් භාවිතා කිරීම ප්‍රතික්ෂේප කළ අතර, ඒ වෙනුවට ඔහු එය නොදන්නා තරුණ රෝගියෙකුට ලබා දුන්නේය. පෞද්ගලික ජීවිත අභිලාෂයෙන් තොරව ඒ උදාර කාර්ය කල නිසා පියතුමාට මරණ බියක් බොහෝ විට ඇති නොවන්නට ඇත.

මේ තීරණාත්මක අවස්ථාවේ ඉවසීම, එකිනෙකා කෙරේ ඇති අන්‍යොන්‍ය ආදර ගෞරවය සහ පරාර්ථකාමයෙන් යුතුවීම මෙන්ම මෝඩකමෙන්, ආත්මාර්ථයෙන්, ක්‍රෝධ බවෙන් සහ කුහක කමෙන් වැළකීම ඉතා වැදගත් වේ. කෑම අහේනිය වැනි හේතුන් නිසා  මිනිසුන් එකිනෙකා සමඟ ආරවුල් ඇති කර ගැනීම සාමාන්‍ය දෙයක් වනු ඇත. එය සියලු ජාති කුල ගෝත්‍ර දේශ සීමා පසු කර ඇතිවන තත්වයකි. ලංකාවේද කලබල වල ආරම්භ එය විය හැක. බඩගින්න සියළු ගිණි වලට වඩා ප්‍රබලය. …සබ්බේ සත්ථා ආහාරට්ඨිතිකා” හෙවත්,  “සියළු සත්වයන් ආහාරයෙන් යැපෙති”… යන්න බුදු වදනයි.

තියෙන දෙයක් බෙදා හදාගෙන කෑමට පුරුදු පහුණු වුනේ නැත්නම්, ඇති නැති භේදය උපරිමයකට ගොස් නීතිය අප සමාජයෙන් සහ රටෙන් පලා යනු ඇත. ටයිටැනික් නෞකාව මුහුදේ ගිළී ගියාක් මෙන් අපද ව්‍යසනයට පත්වනු ඇත.   

එහිදී ඒ කුළල් කන ආකාරයේ තත්වයකට නොපැමිණ, මනුෂ්‍යත්වයේ නාමයෙන්, කැප වෙමින් සාමාජයට සේවය කරමින් මිය යෑම කල හැකි නම්, එය මනුෂ්‍යත්වයේ උපරිම ඵලය වනු ඇත. මෙය කීමට පහසුය. එහෙත් කිරීමට නොහැකි තරම් ඉතාමත් අපහසුය.

නමුත් එය කළහොත්, ටයිටැනික් නෞකාවේ සංගීත කණ්ඩායම සහ ගුසෙෆ් පියතුමා සේ, අපද මනුෂත්වයේ අග්‍ර ඵලය ලැබුවා වනු ඇත. .

  

%d bloggers like this: