Menu Close

කොරෝනා කොරපු; කොරන හරිය! -දෙවෙනි කොටස

අතින් අල්ලලා තියා යදමින් බැඳලාවත් නවත්තගන්නට බැරි කාලය විතරක් සුපුරුදු විදිහට ඔහේ ගලායයි. ලෝකයට , ලෝකයන්ට මොනවා වුණත් ඒක එහෙමය. කොරෝනා මේ තරම් අලකලංචියක් කරද්දී වුණත් කාලයට හදිසියක් නැත; වේගය වැඩි වීමකුත් නැත. ගලන්නේ පුරුදු වේගයෙන්මය.

මං එහෙම නොවේ. ඇතිවෙන තත්ත්වයට අනුව වෙනස් වෙමි. මිනිසා එහෙමය!

කොරෝනා කොරපු කොරන හරිය- 1 පෝස්ටුව ලියද්දී මං වහන්සේ හිතාගෙන හිටියේ මුහුණු පොතේ පළවූ posts විතරක් ඊට පාදක කරගන්නටය. එහෙම හිතිලා තියෙන්නේ සිදු වේගෙන යන දේවල් ගැන හරි-හමං තක්සේරුවක් මේ මොට්ටයාට වුණත් තිබිලා නැති නිසාය! අපේ බලධරයන්ට වගේ!!

ජනවාරි 27 ලංකාවෙන් පළමු (චීන) කොරෝනා රෝගියා ගැන වාර්තා වුණාම අප හිතුවේ ‘ඕකත් කජ්ජක්ද?’ කියලාය. දැන් … ‘කජ්ජ බිස-බිසා’ නෙවෙයි ‘වජු බිල්ලම කස-කසාවත්’ හිඳින්නට ඉස්පාසුවක් නොදී රෝගය පැතිරෙයි. පාරවල්, ගම්, නගර වසා දැමෙයි.
විද්වත් පුරෝකථන හරි බවක් පෙනී යයි. ඒත් තවමත් බොහොමයක් බලවතුන් කෙළින්නේ ඡන්ද කෙළිය!

මහරගම ශ්‍රී ලංකාවම දන්නා නගරයකි. රට-රටවල ඉන්නා ගොඩක් සිරි ලංකාවාසීහු මව්රටට ආවාම, මහරගමට; පමුණුවට ඇවිත් යති. ලාබෙට රෙදි ගන්නට! එහෙව් පසිඳු තැනකටත් තවමත් ‘කාර්ය සාධක බලකාය හා එක්ව එවනවාය කී සැපයුම්- ජංගම අලෙවි රථ’ එකක්වත් මාර්තු 30 වෙනිදා වෙන තුරුමත් ආවේ නැත. දැන් 31 මධ්‍යාහ්නයයි. අපේ යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව එහෙමය.

2020 මාර්තු 24 උදේ……….. නොමිලේ කොරෝනා!
කටින් බතල හිටවන්නට සමර්ථයන් වැඩිම රට හින්දා ඔය ප්‍රකාශ විශ්වාස නොකළත් මාර්තු 25 වෙනිදා පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිතුමාම ‘මගේ රට ඉතාලියක් වෙන්න දෙන්න බෑ… ඉදිරි සති දෙකද ඇඳිරි නීතිය පනවනවා. ඒ කාලය තුළ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය කෙසේ හෝ සපයනවා. සතොස හා සමූපකාරය සතු වියළි ආහාර සංචිතද බෙදා හරිනවා…’ යනුවෙන් කීවේ යැයි වාර්තාවී තිබෙනු දුටු විට මට හිතුණේ ‘වැඩේ හරි’ කියලාය.  
ඒ අස්සේ තවත් ජග වාසියකුත් කඩා වැටෙන්නට යයි!
‘ලබන අඟහරුවාදා (31) වනවිට සමෘද්ධිලාභී පවුල් විසිතුන් ලක්ෂයටම රුපියල් 5000/-ක මුදල ගෙවා අවසන් කරන බව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී ජනජීවිතය යථාපරිදි පවත්වාගෙන යාම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

“ලබන අඟහරුවාදා වෙනකොට අපේ සමෘද්ධි පවුල් විසිතුන් ලක්ෂයටම රුපියල් 5000 මුදල ගෙවලා ඉවර වෙනවා. ඊළඟට බදාදා ඉඳලා අපි බලාපොරොත්තු වෙනවා තවත් කණ්ඩායම් තුනකට මුදල් දෙන්න….”
මට මැවී පෙනෙයි…. ඇඳිරි නීතිය අස්සේ; බණ්ඩාරවෙල, වැලිමඩ, හපුතලේ, දියතලාව වැනි වසා දමා ඇති නගරවල පවා සමෘද්ධිලාභීන් සොයා ගෙයින් ගෙට යන කාර්ය සාධක බලකායේ නිලධාරීන්…… එවැනිම අය මේ පැතිවල පවා කරක් ගසනු ඇත. (මා සමෘද්ධිලාභියකු නොවේ. මට නැතත් එවැනි අහිංසකයන්ට හෝ ඉක්මනින් සහනයක් සැලසෙනවාට මා හරිම කැමතිය!)

මේ සල්ලි බෙදන්නේ ඡන්දය බලාගෙන නෙවෙයි නේද?

කොරෝනාවෙන් හරියටම මිදෙන්නට හැකි වෙන්නේ අවුරුදු එකහමාරකට පස්සෙලු. ඊට කලින් සමෘද්ධිලාභී පවුල්වලට විතරක් නොවේ, ගොඩක් පවුල්වලට අලුතෙන් දුවල-පුතාලා එකතු වෙන පාටය.

ඒ අනාගත දැක්ම අපේ විදග්ධ FB රසිකයන්ගේය. එයාලා දැන්මම අනාගත සිඟිත්තන්ට නම් යෝජනා කරති. ලස්සන නම්… අරුත්බර නම්! ස්වයංනිරෝධා, කර්ෆිව් මාස්ක්, පෙරුම්කායමී, නිරෝධායන, වුහාන්, ඇඳිරිනෙතික, ලොක්ඩවුන්….. මොන තරම් අපූරුද? ඒවාත් ගංවතුරෙන් පසු උපන් ‘දෙගොඩතලා ජලතරණි’ වගේ කාලීන නාමයන්ය.
2035 ප්‍රශ්නයක්… ඇඳිරි නීතිය හින්දා ගෙවල්වල ගෝරි වැඩිවෙලා….
එච්චරද? එකම කාලයක උපන් දින යෙදෙන පිරිසක් ගැනත්, ළමුන් ඒ ගැන විමසිලිමත් වෙන හැටිත් මේ ඥානවන්තයන්ට පෙනිලාය.
ඇඳිරි නීති වෙලාවේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ඉහළ ගිහින් තිබීමෙන් පෙනෙන්නේ මොකක්ද හැබෑටම? දැන් සාමාන්‍ය පොදු ජනතාවට තිබෙන විනෝදාත්මක දේවල් අඩුය. රූපවාහිනී… රේඩියෝ… නම් ඇත. මත්පැන් නැත. එතකොට ‘පොරසෝකේ’ වැඩි වෙනවාවත්ද?   
අමද්‍යපිකයෝ නම් බාර් වහලා තියෙන එක ගැන සතුටු වෙති. බොන්නෝ නොබොන මටත් ‘ඒ තහනම කොරෝනා මර්දනයට බාධාවක් බව’ කියා එවති.
පෙළක් අයට පෙනෙන්නේ එක පැත්තක් විතරය. තවත් පැත්තක් තිබේය යන වගක්වත් එයාලා නොදනිති. එහෙම වෙන්නේ ‘පාට කන්නාඩි’ දමාගෙන ඉන්න විටය.
ඒකෙන් ලොකු අඩුපාඩු සිදුවෙන්නට හැකි වෙයි. විශේෂයෙන්ම යාවත්කාලීන වෙන්නට… සිංහලෙන් කියනවා නම් update වෙන්නට බැරිව යයි. එලොව ගිය කළුහාමිගේ ස්වාමි පුරුෂයා විදිහට හොරෙකුට රඟන්නට හැකිවුණු කතාව අපි අසා ඇත්තෙමු. නැන්දම්මා මියගිය දූට කණකර රත්තරන් බඩුත්, මාමා අශ්වයාත් හොරාට දෙන්නේ ඒ කතාවේදීය. එහෙම වෙන්නේ අර වගේ දැනීම අප්ඩේට් නොවුණාමය.
හැම තැනටම එකම තියරිය කරන්නට; කරවන්නට යන්නේ- ප්‍රායෝගික නොවෙන දේවල් කියන්නේ; කරන්නට යන්නේ එහෙම ගොබ්බයන්ය.
සහසක් රෝගීන් වෙනුවෙන් ජීවිතය පරදුවට තියා උත්තම සේවාවක් යෙදෙන රෝහල් කාර්ය මණ්ඩලවල, අත්‍යවශ්‍ය සේවා සැපයුම් සේවාවල යෙදෙන අයටත් සාමාන්‍ය ජනතාවට විදිහටම සලකන්නට ගියොත්? මාතර වැලිගමදී එහෙම වුණු එක දකුණටත් අවනම්බුවක් නේද?

කවුද අහනවා රෝහලක වැඩ කරන වේලාවෙන් පස්සේ නර්ස් කෙනෙකුට නිල ඇඳුමෙන්ම රෝහලෙන් බැහැරට යත හැකිද කියලත්. නීති ප්‍රශ්නයක්! මං නම් නීති ගැන තකන්නේ ඒවා සමාජයේ යහපතට උපයෝගී වෙනවද කියන තැන ඉඳලයි. මතකයි නේද මං වැඩ්ඩා වගේ මංජුලගේ මේරි නම්වූ මරියාට පැටලුණු හැටි? 
මං හිතන්නේ විදේශිකයෙකුට අවසර නොලබා ලංකාවේ රැකියාවක නිරතවීම තහනම්ය. නමුත් ඇඳිරි නීති වෙලාවේ නගරයක කොටු වුණු සුද්දා මුට්ට කර ගහනවා… (ඉහළ ඡායාරූපයේ) සමහරවිට වැටුපක් නොගෙනම වෙන්නත් ඇති. අමාරු වෙලාවේ ප්‍රජා සේවාවක් විදිහට හිතලද කියලත් සැකයි…..
ජවිපෙ මන්ත්‍රීලා නම් තම වැටුප කොරෝනා මර්දනය සඳහා ගැනීමට අංගොඩ රෝහලට පරිත්‍යාග කර තිබේ!
අමාරු වෙලාවේ… ප්‍රජා සේවාවක් විදිහට….
ඒ ගැන ඉස්සෙල්ලම හිතලා තිබුණේ JVP කට්ටිය. තවමත් අනෙක් දේශපාලන පක්ෂවලින් ඒ හැටි දෙයක් කෙරිච්චි විදිහක් දැකගන්න මට වාසනාව ලැබුණේ නැත. කාර්ය සාධක බලකායත් පොහොට්ටුවේද මන්දා, බැසිල් මහත්තයා උඩින් තියෙන foto කෑල්ලේ මාධ්‍ය සාකච්ඡා තියන්නේ පොහොට්ටු පසුබිමක සිටගෙනය. මේවා මහ මැතිවරණ ඡන්ද ගුණ්ඩුද?
තලියේ කිඹුලන් දකිනවා නෙවෙයි. මේවා හොඳින් හිතා මතා කළ යුතු දේවල්ය. සමහර විට කිසිම උපදේශකයෙකුට හිතන්න වෙලාවක් නැතිව ඇති! නැතිනම් හිතන්නට මොළයක් නැතිවාවත්ද?
මහ ලොකු උපදේශකයන්ට මෙහෙම වෙන බව හිතිලා නැත්තේ ඇයි?
‘දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබේ. එබැවින් ඉදිරි කාලය තුළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලටම ගෙන ගොස් අළෙවි කරන ලෙස තොග වෙළෙඳ ආයතනවලට රජය උපදෙස් දී ඇත.

සතොස, කීල්ස්, ලාෆ්ස්, ආපිකෝ, ෆුඩ් සිටි, අරලිය, නිපුණ සහ සෙසු තොග වෙළෙඳ සමාගම් මේ කාර්යයට හවුල් කර ගැනේ.

අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අළෙවි කිරීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව ඉටුකරනු පිණිස බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර ඇත.’  

දෙවියන් නිරෝධායනය වෙලාය. ගුරු, කට්ටඩි, කපු, ආඬිගුරු සේරම එර්දිවෙලාය…. මුක පූට්ටු කරගෙනය…
මාර්තු 24 උදේ ඇඳිරි නීතිය ඉවත් කළ විගස මිනිසුන් අලෙවි සල් අසලට, සුපර් මාර්කට් වෙතට රොක්වෙන බව; පොදි ගැහෙන බව නොදැන හිටියා නම් හිටියේ කූල් කාමරවල රාජකාරි කරන අය පමණි. කොරෝනා වයිරසය එදාට හිටු කියලා බෙදා හැරෙන බව අපට නම් වැටහී තිබිණි.

දෙවියනුත් නිරෝධායනය වෙලා වගේ තියෙද්දී….
“හොඳ හිතින් කියන්නේ… නිමල් අයියේ, ගෙදරට වෙලා හිටහන්…. තමුසෙට කන්න දේවල් ටිකක් අපි කොහෙන් හරි හොයලා ගෙනත් දෙන්නං. අවුරුදු තුන හතරක් එක දිගට බෙහෙත් කරවලා, කට්ට කාලා රෙමිෂන් පීරියඩ් එකේ ඉන්න තමුසෙත් ඔය සෙනඟ අස්සේ තෙරපෙන්න ගිහින් ජර්ම් එකක් ආවොත්…. කොරෝනාවලට කලින් තමුසේ මැරෙයි.” දොස්තර අයස්මන්ත මහත්තයා තර්ජනය කළේය. නෙවිලුත්, ගවීනුත් සහාය වෙමින් අත්වැල් ඇල්ලුවෝය.
කොහොමත් මං ඉන්නේ ස්වයං නිරෝධායනයකය. කොරෝනාවලට වඩා මං බයවෙන්නේ මා රෝග වාහකයෙකු වුණොත් කියලාය. අනුනට අයහපතක් නොවෙන විදිහට මෙතෙක් කාලයක් හිටි විදිහටම, අන්තිම ටිකේදීත් හිටිය යුතුය.
තමන්ට රෝගය හැදී තිබියදීත් එය හංගාගෙන, සමාජයේ ගැවසෙමින් රෝග බීජ පතුරවන්නේ හිතේ වෛරයක් තිබෙන්නන් විය යුතුය. අපට සදාකාලික ජීවිතයක් උරුම නැතිනම්, වෙලාව ආවාම යා යුතු නම්, තව කල් ජීවත්වීමේ වාසනාව ලබන අයට එරෙහි වෙන්නේ ඇයි?
මේ මොහොතේ අප කළ යුත්තේ එකාවන්ව මේ ව්‍යසනය මර්දනය කිරීම ප්‍රමුඛස්ථානයේ ලා කටයුතු කිරීම නොවේද?
කොරෝනා වෛරසය ගොඩාරියක් බලවත්ය. ඇලුමිනියම් මතුපිටක නම් පැය 2-8ක්, අත්වැසුම් මත පැය 8ක්, යකඩ පෘෂ්ඨයක දින 2ක්, ලී මතුපිටක දින 4ක කාලයක් නොනැසී පවතින්නට මේ වෛරසයට හැකියාව තිබෙයි. එච්චරක් නොවේ, වීදුරු පෘෂ්ඨයක් උඩ දවස් 4කුත් – කඩදාසියක් මත්තේ දින 4-5ක් ගතවෙනතුරුත් සජීවීව පවතින්නට කොරෝනා වෛරසයට පුළුවන්ය.
ඒකාට- ඒ කිව්වේ වෛරසයට වැඩිම ආයු කාලයක්; දවස් 5ක් ජීවත් වෙන්නට හැකි අජීවී මතුපිට වන්නේ ප්ලාස්ටික් වර්ගය. දැන් හැමතැනම, වැඩියෙන්ම තියෙන්නේ ප්ලාස්ටික් නේද?
නිරෝධායනය කොතරම් බලවත් අවියක්ද කියා හිතෙන්නේ ඒ කාරණා සැලකිල්ලට ගනිද්දීය.
ඒ ගැන වගේම, දේශපාලඥයන් ගැනත් දැඩි සැලකිල්ල යොමුවී තියෙන විත්තියක් මුහුණු පොතෙන් පෙනෙයි. වැඩි දෙනෙකුට මේ තුන්දෙනා විතරක් නොවේ… උන්, මුන්, අරුන් සේරමලා එපාවී තියෙනවා වගෙය!
කොරෝනා ව්‍යාප්ත වෙන්නේ අපේ රටේ දේශපාලන පක්ෂ වගේ ඛණ්ඩනය වෙමිනි. වයිරසයේ පැතිරීම ගැන කියවෙන හොඳ ලිපියක් අජිත් ධර්මකීර්තිගේ (කොළඹගමයාගේ) බ්ලොග් එකෙන් කියෙව්වෙමි. භාෂා කිහිපයක්ම දන්නා අජිත්, එංගලන්තයේ ඉන්නා නිසා වඩා හොඳින් මේ විපත්තිය දකිමිනි, ලිපිය ලියා ඇත්තේ.
  
දැන් විදෙස් රටවල ‘දෑත් සෝදන්න. ගෙදරටමවී හිඳින්න’ කියන පණිවිඩය බොක්කටම වදින විදිහට ‘fucking’ එක්කමය කියන්නේ.

“නිමල්, දැන් මෙහෙ මඟුලක් වෙලාවට සහභාගී වෙන්නේ පස් දෙනයි. සාක්කියට දෙන්නයි, ජෝඩුවේ දෙන්නයි, රෙජිස්ට්‍රාරුයි.” ඕස්ට්‍රේලියාවේ සිට චන්ද්‍රා හේවගේ මහත්තයා කිව්වේය. ඩී.බී.කුරුප්පු මහතාගේ  ප්‍රාණසම මිත්‍රයෙකුවූ චන්ද්‍රා මේ බ්ලොගය කියවා ඒ ඔස්සේ මා හොයාගෙන ආවේ දුරකථනයෙනි. විඩෙන්-විඩේ ඔහු දුන් තොරතුරු තවම මගේ ගබඩාවේය. 

“මරණයකට නම් දහ දෙනයි”

“මෙහෙත් එහෙම තමයි චන්ද්‍රා මහත්තයෝ.”
“ඔහේ ලොක්කෝ එව්වා කොපි කළාට නිමල්, අවශ්‍යම දේවල් නම් කොපි කරන්නේ නැහැනේ…. තවමත් මෙහෙ ඉස්කෝල වහලා නැහැ… ඇඳිරි නීතිය දාලා නැහැ….” හේවගේ මහත්තයා කිව්වේය.
“අපේ උදවිය අල්ලා ගන්නෙම වැරදි කොනෙන් චන්ද්‍රා මහත්තයෝ.” මම කීවෙමි.
චීනුන් කොරෝනා මර්දනය කළ හැටි ගැන කතා කරන අපි ඔවුන්ගෙන් උගනිමුද? එවැනි දැඩි පිළිවෙත් පුරන්නට අප සූදානම්ද?
මේ ලියන මටත්, කියවන ඔබටත් වගකීමක් තිබේ; ජාතික යුතුකමක් තිබේ; මනුෂ්‍යත්වයේ නාමයෙන් කළ යුතු මෙහෙවරක් තිබේ.

අප සැලකිලිමත් විය යුත්තේ අප වෙනුවෙන් විතරක් නොවේ; සමස්ත මානව සංහතියම වෙනුවෙනි. කොරෝනා මර්දනය කරන මෙහෙවර රෝහල් කාර්ය මණ්ඩලවලට, පාලකයන්ට, හමුදාවට බාරදී අත සෝදාගත්තාට විතරක් මදිය. අපේ යුතුකමත් නොපිරිහෙළා ඉටු කරමු.
විවේකයක්, නිසි නින්දක් නොමැතිව- අන්තරායක මුව විටේ විඳගෙන සිරිලක පුරාම උත්තම සේවයකි මෙයාලා කරන්නේ. මේ උත්තමාචාරය ඔබ හැමටයි!
නොරට කෙරුණා වගේ මෙරටේදීත් ‘Do the Fxxxxxx…….’ හෝ ‘තොපේ අම්මට හැම නියං කාලෙටම…..’ කියලා කියනකල් ඉන්නට ඕනෑ නැහැ නේද?
මේ යන විදිහට නම්………….
අද බ්ලොගයේ තියෙන සේරම පින්තූර FB එකේ තිබුණේ. ටිකක් ජාලයෙන්. ඒ නිර්මාණශීලී හපනුන්ට, ඒවා ෂෙයාර් කරගෙන තිබුණු උදවියට වගේම ඒවා මට එවූ හැමදෙනාටම ගොඩාරියක් ස්තුතියි!!!
%d bloggers like this: