Menu Close

හැඳි මිටේ දිග 15 – ටියුනීසියන් වකුගඩු බෝංචි හොද්ද 

DSC_1389අද මේ කියන්න යන්නේ ටියුනීසියන් අය, ‘වකුගඩු බෝංචි’ හොද්ද හදන ආකාරයයි. ‘වකුගඩු බෝංචි’ කියා මා ලීවේ, ඊට වෙන සිංහළ වචනයක් දන්නේ නැති නිසා. මේවට කියන්නේ ‘කිඩ්නි බීන්ස්’ කියා. ඒ කියන්නේ බෝංචි ඇටේ හැඩේ හරියට, කජු ගෙඩියක් හෙවත් කිඩ්නි එකක් වගේ නිසා. මේකට තෙම්පරාදු ඕනා නැහැ හේතුව, සාමාන්‍යයෙන් අපි ලංකාවේ භාවිතා නොකරන දෙයක් වන ‘තල’ දාන නිසා. තල වලින් ඒ තෙල් ගතිය එනවා.

හැබැයි ඕනාවට වඩා දැම්මොත් තිත්තක් එනවා. ඒ නිසා ප්‍රවේශමෙන් ඒවා දාන්න වෙනවා.

ක්‍රෙඩිට් එක යන්නේ අල්ලපු වැටේ ඉන්න ටියුනීසියන් මිත්‍රයාටයි. කොරෝනා නිසා, මීටරයක් දුර සිට මේක හදන ආකාරය අහ ගත්තා. හැබැයි ලංකාවේ අපි කඩල හදනවාට වඩා එතරම් ලොකු වෙනසක් මෙහි නැහැ. මේ කාලේ එළවළු හෙම අඩු නිසා වියළි ආහාර ටිකක් ගෙදර තියාගත්තාට පාඩු වන්නේ නැහැ. ඒවා තොග බඩු කඩ වලින් අඩුවට අරගෙන කලින් කලට අඩුව පුරවා ගත්තාම සාක්කුවට අපහසුවක් නැහැ.

මෙම බීන්ස් වර්ගය නැත්නම් මීට සමාන කඩල, කව්පි වැනි දේ මෙම ක්‍රමයෙන් පිස ගත හැක. අමාරු කාලේ මින් වේලක්, දෙකක් කාලා ලාබයට ජීවත් වෙන්න පුළුවන්.  

අවශ්‍ය ද්‍රව්‍ය :- කිඩ්නි බීන් ග්‍රෑම් 500 යයි, තල මේස හැඳි කපලා එකයි, කහ තේ හැඳි බාගයයි, මිරිස් කුඩු තේ හැඳි එක හමාරක්, කොළ මිරිස් කරල් 4 ක්, ලොකු ළුණු ගෙඩියක්, ලුනු, පොල් කිරි කෝප්පයක් හෝ මැගී කිරි කෝප්පයක්, ‘කරී ලීෆ්’ ඉති හතරක් පමණ, ටියුනීසියන් අය එයාලාට ආවේණික කරී ලීෆ් දානවා. අපට කරපිංචා ඒ සඳහා යොදාගන්න පුළුවන්. දැන් බලන්න, මෙතන තුන පහ දාලා නැහැ. මේ ආකාරයට හදන හොද්ද වේල් හතරකට පමණ සෑහෙනවා.

ක්‍රමය :- කිඩ්නි බීන්ස් ටික රාත්‍රියේ වතුරට දමා තියන්න. ඒ සඳහා පැය අටක් හොඳටම සෑහෙනවා. බීන්ස් මට්ටම ට වඩා තවත් තුනෙන් එකක් විතර ජළය එකතු කරන්න නැත්නම් පසුවදා උදේ වෙන විට ජළය පහළට බැහැලා සහ ඒ නිසා ඉහළ සහ පහළ බීන්ස් තෙත් වීමේ වෙනසක් ඇති වෙනවා. ඊට වඩා වෙලාවක් දාලා තිබ්බොත්, හොද්ද හදාගෙන යනවිට ඒ බීන්ස් දිය වෙන්න බලනවා. එතකොට ඉතින් සුප් එකක් වගේ තමා ඒක කන්න වෙන්නේ. දැන් ඒ බීන්ස් වල වතුර ඉවත් කරලා එක වතාවක් පමණ සෝදා ගන්න. හරියට සේදුවේ නැත්නම් පල් රහක් එනවා. හඩු ගඳක් එනවා. ඒ නිසා සේදීම වැදගත්.

කොහොමත් මේ කාලේ කොරෝනා නිසා පිරිසිදුව ඉන්න එක හොඳයි.

ඒ වුනාට ඔන්න ඔය කියන හඩු ගඳ, ‘ඊජිප්තියානු කඩල කරියේ’ තියෙනවා. කෙසේ වුනත් එය, මීටත් වැඩිය රසයි. සම්ප්‍රදායික සේ එය ඇත්තේ, දිග බෙල්ලක් ඇති මැටි බරණියක දාලා. දිග අන්ඩක් ඇති හැන්දකින් කඩල ගන්නේ. ඒ බරණිය යට කුඩා දර ලිපක් තියෙනවා. ඒ ලිපේ ගින්දර නැහැ, එහෙත් රත් වූ අඟුරු තියෙනවා. එහි පොඩි වෙනසක් තියෙන්නේ, මිරිස්, ලුනු, ළුණු හෙම වෙනම එළියේ තියෙන්නේ, තමන්ට අවශ්‍ය ප්‍රමාණය දාගන්නටයි.

නැවත අපේ හොද්දට; 

දැන් ඒ බීන්ස් ප්‍රේසර් කුකර් එකකට දාලා යාන්තම් ඒවා වැහෙන්න වතුර දමන්න. ඒකට ලුනු පොඩ්ඩක් දාන්න. මොකද සාමාන්‍ය භෞතික විද්‍යා නියමයන් අනුව ප්‍රේසර් කුකර් එක ඇතුලේ වාතය සම්පීඩනය වෙනවා. එවිට බීන්ස් සමඟ ඇති ලුනු සහිත ජළය, අර බීන්ස් ඇතුලට කාවැද්දෙනවා. ප්‍රේසර් කුකර් එකේ ඒවා රත් වෙන අතරේ ළුණු ගෙඩිය ලොකු කෑලි වලට ලියා ගන්න. ලොකු කෑලි අවශ්‍ය වන්නේ, ඒවා කන කොට යාන්තම් හැපෙන්නයි. එවිට රසය වැඩියි, වෙනසක් තියෙනවා.

ප්‍රේසර් කුකර් එකෙන් නික්මෙන වාෂ්ප ප්‍රමාණය ගැන කල්පනාවෙන් ඉන්න. යාන්තම් ඒ වාෂ්ප එළියට යාම අඩුවෙන කොට ලිප නිවන්න. හැබැයි ප්‍රේසර් කුකර් එකේ ලීඩ් එක දැන්ම අරින්න එපා. තවත් විනාඩි කීපයක් ඉන්න. දැන් ප්‍රේසර් කුකර් එක සෙමෙන් අරින්න. [අවවාදයයි :- ප්‍රේසර් කුකර් එකේ වැඩ කරන කොට ප්‍රවේශම් විය යුතුය.]  ප්‍රේසර් කුකර් නැහැ කියා කලබල වෙන්න එපා. අපේ ආච්චිලා කඩල, කව්පි, ලොකු පියළි පරිප්පු හැදුවේ ඕව තියාගෙන නොවේ. ඉහත බීන්ස් ජලයේ දමා තියන කාලය වැඩි කර බලන්න. ඒ ජලයට ලුණු එකතු කරන්න.

ඒ බීන්ස් සමඟ ඇති ජළය අහක දාන්න හොඳ නැත්තේ ඒවා ඉතාම පෝෂ්‍යදායි නිසා. ඕනාවට වඩා ඒ දියරය ඉතිරිව තිබ්බොත්, අවශ්‍ය තරමට දියරය ඉතිරි කර ඉතිරි දියරය ලුනු දමා ලුනු කැඳ වගේ බොන්න පුළුවන්. හරිම රසයි.

වෙන ඇතිලියකට බීන්ස් සහ ඒ ජළය දමා ඒ උඩට කහ තල සහ මිරිස් ඉස ඒවා කලවම් කරන්න. දැන් අවශ්‍ය තරමට ජළය යොදා රත් කරන්න.

බීන්ස් හොද්ද නටන විට කිරි එකතු කර හැඳි ගාමින් ළුණු සහ මිරිස් එකතු කරන්න. මේ වැඩේ සාර්ථක වන්නේ ඕනාවට වඩා බීන්ස් තැම්බිලා නැත්නම් සහ, ඒවා අඩුවෙන් තැම්බිලා යන අතර මැද අවස්ථාව ඔබ ගත්තොත් පමණයි. මේවා හැම එකක්ම මෙහෙම කියන්න බැහැ. කරලා බලන්න වෙනවා. පීනන්න කියලා දෙන්න බැරුවා වගේ.

අවසානයට කරපිංචා දමා විනාඩි කීපයක් හැඳි ගාන්න. මේ අය කරි ලීෆ් අපි වගේ කෑලි වලට කපන්නේ නැහැ.

හොද්ද සාමාන්‍ය කලිළ අවස්ථාවට [… දැන් කලිළ කියන්නේ මොකක්ද කියා අහන්න එපා. හතේ පන්තියේ විද්‍යා පාඩමේ ඒක කියා දීලා ඇති.] පැමිණි විට හැඳි ගෑම නවත්වා ලිපේ දැල්ල හැකිතාක් අඩු කරන්න. ඇතිළිය පියනකින් වහන්න. නැත්නම් උඩ ඇති බීන්ස් වේලෙනවා.  මෙහිදී යාන්තම් රශ්නයයි ඕනා වෙන්නේ. මේ වෙලාවේ හොද්දේ දියර ගතිය හොඳින් තියෙන්න ඕනා. මොකද, මේ බීන්ස් වලට හරියට දියර උරන නිසා, තව විනාඩි පහළොවකින් පමණ ඒ දියර ඊට උරා ගන්නා නිසා. ලිප නිවන්න.

හොද්ද එහෙමම තව විනාඩි දහයක් පහළොවක් පමණ එහෙමම තියන්න.

වැදගත් සටහනක් :- … මෙය රස වුවද, වාතාධික කෑමකි. ඕනාවට වඩා කෑවොත් කොරෝනා පවා ඒ වාතයට බයේ පැන දුවනවා ඇත… අත්දුටුය. සත්තය…

එච්චරයි… !     

%d bloggers like this: