Menu Close

  කොරෝනා ව්‍යසන තත්වය ජ්‍යෝතිෂයෙන් විග්‍රහ කල හැකිද ?

සාමාන්‍යයෙන් මා ලිපියක් ලියන්නේ ඉතාම කැමැත්තෙනි. සතුටෙනි. මක්නිසාදයත්, යමෙක් ඉන් ප්‍රයෝජනයක් හෝ සතුටක් ලබනවා නම් එය මටද සතුටකි. නමුත් මේ ලිපිය ලියන්නේ නම් කැමැත්තකින් නොවේ. කීප වතාවක් ලිවීම ආරම්භ කර අතහැර දැම්මෙමි. එයට හේතු දෙකක් ඇත. පළ වැන්න නම් දෙයක් සිදු වූ විට එයට ගැලපීමට කරුණු ගොනු කරනවා යන අපවාදයෙන් මිදීමය. කෙනෙක් එසේ මට චෝදනා කරනු ඇත. දෙවැනි දේ නම් එය මුලින් ලිව්වද, ඒ ඉරණම වෙනස් කිරීමට මා ජගතෙක් නොවීමය. ඔබට එය විස්තර කරමි.

කෙනෙක්ගේ හඳහන බලා නිවැරදිව යමක් කීම දක්ෂ ජ්‍යෝතිෂවේදියෙක්ට අපහසු දෙයක් නොවේ. එහෙත් මුළු ලෝකයකට බලපාන දෙයක් පැවසිය හැක්කේ සෘෂි කෙනෙක් මෙන් පංච අභිඥාලාභී කෙනෙක්ට හෝ අති දක්ෂයෙක්ට පමණි. ඒ ආකාරයේ ජ්‍යෝතිෂ කියැවීම් වලට ඉංග්‍රීසියෙන් Mundane Astrology කියා කියනු ලැබේ.

මේ ගැන උනන්දුවක් නොමැති කෙනෙක් හෝ, වැඩකට නැති විකාරයක් යයි විශ්වාස කරන්නෙක් මෙය මෙතනින් එහාට නොබලන්නේ නම් මැනවි. එවිට අනවශ්‍ය වාද විවාද නොමැතිව කාලය අනිවාරතේ අපතේ නොයනු ඇත.

වෘත්තීය වශයෙන් ජ්‍යෝතිෂය නොකරන හෙයින් මේ කියන දේවල් හරි ගියද, වැරදුනද ඉන් මට කාරියක් නැත. එනම් මට ඉන් වන ලාභයක් හෝ පාඩුවක් නැත. මේ ලිපියෙන් මා පෙන්වන්න හදන්නේ, කෙසේ නම් ජ්‍යෝතිෂ විග්‍රහාත්මක ව මෙම ව්‍යසනයෙන් මිදීමට හැකි අල්ප වූ හෝ ක්‍රමයක් තිබීම ගැනය. ලංකාවේ ප්‍රථම කොරෝනා රෝගියා අද දින මිය යාමත් සිත සසළ වීමට හේතුවකි. එහෙත් ජීවිතය තිබෙන තුරු බලාපොරොත්තු අත නොහළ යුතුය.    

සූර්ය ග්‍රහණයක් සිදුවීම ලොවට අපල ගෙන දෙන්නේය යන්න සෘෂි නියමය යි. පුදුමයකට මෙන් ජ්‍යෝතිෂයේ මූලික න්‍යායක් වන සූර්ය ග්‍රහණ ප්‍රතිඵල, තවත් ජ්‍යෝතිෂවේදියෙක් කියා තිබෙනවා නොදුටුවෙමි. කෙනෙක්, ලෝකයේ පහළ වූ විශිෂ්ට අනාවැකි කරුවෙක් වූ නොස්ත්රදාමුස් මේ ගැන කියා තිබෙන බව මුලින් කියා ඇති බව කීවද, එය සාධනය කිරීමට ඔහුට නොහැකි විය.  ඒ අනුව 2019 වසරේ දෙසැම්බර් මාසයේ 26 වනදා උදේ 08:10 ට වූ සූර්ය ග්‍රහණය ලංකාවට පෙනින. මා ඒ ගැන තාරකා විද්‍යාත්මක සහ සමාජයීය තොරතුරු ගැන පමණක් ලියා ලියු ලිපියේ ලින්ක් එක පහත ඇත.

බලන කෙනෙක්ගේ පහසුව තකා පහත චේද වලට ඉලක්කම් යොදා ඇත. 2 සිට පහළට ඇති දේ කෙනෙක්ට තේරෙන්නේ නොමැති නම් අවසාන චේදය බලන්න. එහි මේ සඳහා කල හැකි පූජා විදිය ජ්‍යෝතිෂවේදී ආකාරයෙන් ලියා ඇත.

1. වාසනාවට හෝ අවාසනාවට මා මේ ග්‍රහණය ලොවට ශුභදායි නොවන බව එදින හිතවතෙක්ට සහ පව්ලේ අයට කීවෙමි. ඊට හේතු තිබිණ. එය පහත විස්තර කරමි. නමුත් මා එදින ග්‍රහ චාරය සෝදිසි කලෙමි. මේ කාලයේම ජ්‍යෝතිෂය පට්ට පල් බින්නයක් සේ කියන හේතු සහ, ව්‍යාජ අනාවැකි කියන්නන් වැහි වැස සිටි නිසා, නිශ්ශබ්දතාවය වඩා වැදගත් බව හැඟුණි. හැරත්, මා මේ විෂයේ දක්ෂයෙක් නොවේ.

2. ග්‍රහණයක සුභ අශුභ කිව යුත්තේ ඒ ඒ ග්‍රහයන් එම අවස්ථාවේ පතිත වී ඇති නැකත් හෙවත් නක්‍ෂත්‍ර මෙන්ම රාශි අනුව වේ. මේ කතාවට පමණක් වැදගත් වන සරළ කාරනා කීපයක් ජ්‍යෝතිෂය ගැන, සහ හුදෙක් මේ කතාව කෙනෙක්ට තේරුම් ගැනීමට,  එතරම් නොදත් කෙනෙකුට මෙසේ සරළව සහ අවම විස්තර ඇතිව කියන්නට කැමැත්තෙමි. ග්‍රහයන් 9 දෙනෙක් අතරින් ගුරු යනු බොහෝ ශුභ ගෙන දෙන ග්‍රහයෙකි. ලග්නයෙන් ශරීරය පෙන්වයි. එක එක රාශිය විවිධ ග්‍රහයන්ට වෙන්කර ඇත. උදාහරණයක් සේ, මකර කුම්භ රාශි ශනිටද , මේෂ රාශිය කුජටද අයත් වේ. කෙනෙක් උපන් රාශියෙන් 1, 2, සේ 12ක් රාශි ඇත. ඒ එක එක රාශියකට ඒ සඳහා අදාළ ගති ගුණ ඇත. උදාහරණයක් සේ 1න් ශරීරය, 5න් දරුවන්, 6න් රෝග සහ රෝගීන්, 8න් අවාසනාව සහ 9න් වාසනාව පෙන්වයි. 

3. සඳු ගෙන් ජීවය පෙන්වයි. හින්දු ජ්‍යෝතිෂය අනුව රවී ගෙන් ‘ආත්මය’ පෙන්වයි. මෙහි ආත්මය යනු, ‘ජීවයේ ශක්තිය’ සේ රළු අර්ථ කථනයක් දිය හැක.  කේතු ගෙන් පෙන්වන්නේ රෝගියෙකි. ග්‍රහ මණ්ඩලයේ ‘හකුලුවන්නා’ සේ කියයි. නමුත් චායා ග්‍රහයෙකි. එනම් කේතු සමඟ සම්බන්ද වන අනෙක් බලවත් ග්‍රහයෙක්ගේ ගති ගුණ කේතු ලබයි. තවද ග්‍රහයන්ද මිනිසුන් සේ එකිනෙකා හා සතුරු මිතුරු ගති ඇත්තේය. උදාහරණයක් සේ රවී හෙවත් හිරු ගුරු සමඟ මිත්‍ර වේ. ගුරු මකරයේ නීච වේ. රාශියකට අංශක 30 කි. 

4. දමා ඇති සටහන බලන්න. එහි රවී, සඳු, බුධ, ගුරු ග්‍රහයන් හතර දෙනෙක් අසාමාන්‍ය සේ Mool හෙවත් සිංහළෙන් ‘මුල’ නැකතේ පතිත වී ඇත. එනම් ජීවය [සඳු] , ආත්මය [රවී] රෝගියෙක් වූ කේතුගේ නැකතක සිටී. මේ අවස්ථාවේ නැගෙනහිර ක්ෂිතිජයේ පායමින් පැවතුනේ මකර රාශිය වේ. එනම් ඒ අවස්ථාවේ ලග්නය මකරය වේ. මකරය ශරීරය පෙන්වයි. නමුත් මුළු ලෝකයම ගත් විට, ලෝකයේ කේන්ද්‍රය, ලග්නය හෙවත් ලෝකායතන කේන්ද්‍රය වන්නේ මේෂ රාශියයි. දැන් එම මේෂ රාශියේ සිට ග්‍රහයන් ගැනගත් විට කුමක් වේද?

5. මේෂ රාශිය අධිපති කුජ බව කියා ඇත. ඒ මොහොතේ කුජ පතිත වී ඇත්තේ අවාසනාව, සැඟවීම පෙන්වන 8 වන රාශියේ වේ. එසේම රෝගී තත්වයන් සහ රෝගීන් ගැන කියන මේෂ රාශියේ 6 වැන්න අධිපති එනම් කන්‍යා රාශිය අධිපති බුධද, රෝගී කේතුගේ නැකතක සිටී. ලෝකායතන කේන්ද්‍රය මේෂ නිසා, මේශයේ සිට පස් වැන්න දරුවන් පෙන්වයි. [2 නැවත බලන්න] නමුත් වාසනාව පෙන්වන 9 වැන්නේ ඒ අශුභ ඵල මකමින් ගුරු බලවත්ව සිටින්නේ ඔහුගේම රාශියක් වන ධනු රාශියේ වේ. එය එසේ නම් කුජ ගේ අපල නැතිවිය යුතුය.

6. එහෙත් කොපමණ කලකටද? මේ ග්‍රහ සටහන එම වෙලාවේ අහසේ ගන්නා ලද ජායා රූපය වේ. ඒ චායා රූපය ගත්තා කියා ග්‍රහයන්ගේ ගමන නවත්වන්නට නොහැක. ගුරු ග්‍රහයා සූර්ය ග්‍රහණය වන වේලාවේ බලවත් වුවද, අද දින [2020 මාර්තු 28- අද ප්‍රථම රෝගියා මිය ගියේය. ] තත්වය කුමක්ද? ඕනෑම රාශියක අග සිටින ග්‍රහයා බලවත් වන අතර, මුල සහ අග සිටින විට එම ග්‍රහයා දුබල වේ. අද දින ගුරු ග්‍රහයා, ඔහුටම අයත් ධනු රාශියේ අංශක 29 කළා 40, එනම් ධනුවේ අග්‍රයේ සිටී. [3 බලන්න]  ඔහුගේ රාශියේ වුවද ගුරු දුබල වන්නේ ඉහත කී හේතුව නිසාය. මෙය තව දුරටත් සියුම් කලවිට කුමක් වන්නේද ?

7.  ගුරු අද මාර්තු 28 දින ඉන්නේ, ඔහුට මිතුරු රවිට හිමි උත්‍රසල නැකතේ වේ. එහෙත් රාශි අග්‍රයේ සිටීම ඒ මිතුරුකමට වඩා බලවත් වූ බවක් පෙනේ. තවද මේ අවස්ථාවේ රවි මීන රාශියේ දුබලව ගමන් කරයි. රවී ඌශ්න ග්‍රහයෙක් නිසා සීතල මීන රාශිය තුල ගමන් කරන විට රවීගේ බලය දුබලය. 2020 මාර්තු 31 දින ගුරු මකර රාශියට පැමිණේ. මකරය ගුරුට නීච රාශියකි. එවිට ගුරු තමාගේ රාශියෙන් ඉවත් වූ නිසා, තවත් දුබල වීම වැළැක්විය නොහැක.  [3 නැවත බලන්න.] එහෙත් 31 දින ගුරු තවමත් සිටින්නේ රවිට හිමි උත්‍රසල නැකතේ වේ. තව තවත් රෝගීන් වැඩි වනු ඇතිවාක් මෙන්ම මිය යන අයද වැඩිවේ. මෙය මේෂ රාශිය ලග්නය සේ ගත් විට, එනම් ලෝකායතන කේන්ද්‍රය ගත් විට ඇතිවන තත්වය වේ.

8. දැන් අපි ලංකාව ලග්නය සේ ඉහත ග්‍රහචාරය ගෙන මාර්තු 31 දින කුමක් වේදැයි බලමු. ලංකාවේ ලග්නය සේ පිළිගන්නේ කුම්භ රාශිය වේ. පෙනෙන ආකාරයට එය හොඳ වේ. මක්නිසාදයත්, ශනිට හිමි කුම්භ රාශියේ බුධ ඇති හෙයිණි. එහෙත් එය සියුව බලන විට එසේ නොවන්නේ, බුධ පතිත වී ඇත්තේ කුම්භය ඇතුලේ ඇති ගුරුට හිමි පුවපුටුප නැකතේ හෙයිණි. ගුරු ඒ වෙලාවේ ඉතා දුබල වන්නේ, ගුරු ඔහුට නීච රාශිය වන මකරයේ ගමන් කරන හෙයිණි. [7 බලන්න.] , [කෙනෙක් එසේ නොවන්නේය යයි තර්ක කල හැක්කේ කුජ ගුරු සිටින රාශියේ සිටින නිසා නීච භංග වීම වන හෙයින් යයි ලෙසිනි. යුරේනස් ගේ පිහිටීමද සැළකිය යුතුය.]

9. එය එසේ නොවන බව පෙනී යයි. නීච භංගය සඳහා එකම නැකතේ සිටීම වැදගත් වුවද, ගුරු මෙන්ම කුජද සිටින්නේ බල රහිත රවිගේ නැකතක වේ. තවද මේ වෙලාවේ කුම්භයේ යන බුධ කුම්භයට 8 අධිපති වේ. කෙමෙන් කෙමෙන් එකිනෙකාගෙන් ඈත් වන ගුරු සහ කුජ නිසාද, මේ නීච භංග බලය කෙමෙන් අඩුවී යන්නේය.     

9. සූර්ය ග්‍රහ දිනයේ පායා එමින් පැවතුනේ මකර රාශිය වීමත්, මකරයේ 6 හෙවත් රෝග අධිපති බුධ ඒ අවස්ථාවේ 12 වන රාශිය වන ධනුවේ සිටි නිසා රෝගී තත්වයක් සැඟවී තිබුනා වෙන්නට හැක. එහෙත් එම බුධ කුම්භයට පැමිණීමත් මගින් පෙන්වන්නේ ලංකාවේ කේන්ද්‍රය වන කුම්භය අනුවත් රෝග වැඩි වීමය. එනම් අප්‍රියෙල් 3 දින වන විට ලංකාවේ තවත් මරණයක් ආරංචි වී තියෙන්නට ඉඩකඩ ඇත. අප්‍රියෙල් 8 සහ 15 අතර කාලය ඉතා අගුණය. මක්නිසාදයත්, කුම්භයේ 8 අධිපති බුධ මීනයේ මේ කාලයේ නීචව යන හෙයිනි. 

මෙහිදී මෙම තත්වය සමනය වන්නේ රවි ගේ බලය වර්ධනය වුනොත් පමණි. එනම් රවී තම උච්ච රාශිය වන මේෂ රාශියට අප්‍රියෙල් මස මැද, එනම් අළුත් අවුරුද්ද ලබන විට පැමිණේ. එවිට රවිට හිමි සියළු නැකත් වලට [කැති, උත්‍රපල්, උත්‍රසල නැකත්]  ශක්තියක් ලැබීම ආරම්භ වනු ඇත.

මෙහිදී පෙනෙන විශේෂ කාරණයක් නම්, ජ්‍යෝතිෂය අනුව ගුරුගේ නීචය මේ තත්වයට බෙහෙවින් බලපාන බවය. ගුරුගෙන් නියෝජනය වන්නේ, පූජක පක්‍ෂය වේ. කාලීන වශයෙන් ගුරු නීචය මගින් පෙන්වන්නේ එම පූජනීය ගුරුවරුන්, භික්ෂූන්හට ඇතිවී තිබෙන ආපදාවකි. එනම් ගුරුගේ බලය වැඩි කල යුතුය. තනි තනිව මේ ව්‍යසනයෙන් මිදීමට හැකි එක් ප්‍රතිපත්තිමය පූජා විදියක් වන්නේ, අවශ්‍යතා ඇති එවැනි අපහසුකමෙන්, දුබලකමෙන් පීඩා විඳින පූජක පක්ෂයේ අයට සැළකීමෙන් සහ, යතාර්ථවාදී දර්ශණ ඇති ආගම් පිළිපැදීමෙනි.  .     
https://www.facebook.com/lalith.karunaratna/posts/10159090049151729   

 

%d bloggers like this: