Menu Close

ඇත්තමයි දන්සැල් පෝලිමේ ඉන්නවා වගේ හැඟීමක් ඒක !

man in black hoodie and black pants standing near white wall

මතකද, ඉස්කෝලේ කාලේ එසෙම්බ්ලි එකේදී ප්‍රිෆෙක්ට්ස්ලා නැහෙන්න හදනවා, අපිට අතේ දුරින් ඉන්න කියලා. ඒ කියන්නේ එක අතක් ඉස්සරහට තිබ්බම ඉස්සරහා ඉන්න එකාටත් අනෙත් අත පැත්තට විහිදුවම එහා පෝලිමේ ඉන්න එකාටත් අතක දුරින් අපිට හැමවෙලාවෙම පොසිෂන් වුණා. ඒ ලෙඩ බෝවෙයි කියලා නෙවෙයි. ඩිංග එහෙ මෙහෙ උන ගමන් කයිය පටන් ගන්න නිසා. ඒ සද්දේ එසෙම්බ්ලි එකේ මයික් එකෙන් කතා කරන මනුස්සයාව අභිබවන නිසා. මේ දේවල් හිතෙන වෙලාවේදී මං හරියටම ස්ථානගත වෙලා හිටියේ ‘පොල්තෙල් පෝලිමේ’ ඒ විදියටම අතක දෙකක දුරින්. ‘හනේ දෙයියනේ’ pose එකෙන් අත් දෙක බැඳගෙන ඒ අස්සට හිස් පොල්තෙල් බෝතලෙත් පටලගෙන. එකිනෙකට වෙනස් වුණු පෝසස් දෙකකින් මහාරාණිත් රාළහාමිත් තවත් පෝලිම් දෙකක ස්ථානගත වෙලයි මේ වෙනකොට හිටියේ. 


මේ මොහොත ඊයේ රෑ මහරාණියගෙ අති විශිෂ්ඨ සැලැස්මේ කොටසක්. ඒ පැලෑනට මටත් රාළහාමියටත් අකැමැත්තෙන් උනත් අවනත වෙන්නම සිද්ද වුණා, ඒ වගේම ‘ඔව් ඒක හොඳයි’, ‘එහෙම තමයි වෙන්න ඕනේ’, ‘ඔයා කියන දේ හරියටම හරි’ වගේ වචනත් නිතර නිතර භාවිතා කරන්න වුණා. රිද්මයට ඔළු ගෙඩිය ඉහළ පහල වනන එක වගකීමක් විදියටම පැවරිලා තිබුණා. ඇත්තටම ඒ අණට අපි පිටුපෑවා නම් කන්න බොන්න වෙන ගෙයක් හොයාගන්න වෙන නිසාත්, අවසානයේ කොරෝනා කෙසේවෙතත් බඩගින්නේ මැරෙන්න වෙයිද අඩේ කියන බය මටත් රාළහාමිටත් අඩු නැතිව දැනුණා. 


එක සැරේ මාසෙකට බඩු ගෙන මිනිස්සු අපි. ගිය ඇඳිරි නීතිය අයින් කරන වෙලේ ගෙදර අවශ්‍ය තරමට බඩු ටිකක් තිවුණා. හැබැයි තරඟෙට සහභාගී නොවුණොත් තත්වෙට හරි නෑනේ කියලා, ඒ ලිහිල් කිරීමේදීත් සොපින් මළු දෙකකට විතර බඩු ටිකක් ගේන්නට මහාරාණි උත්සහවන්ත වුණා. ඒ උනාට අද, ඒ කියන්නේ මාර්තු 30 වෙනිදා වෙනකොට අපිට අල බතල කන ලයින් එකක් වැටීගෙන ඔන්න මෙන්න තියෙද්දී පැය අටකට ඇඳිරි නීතිය අයින් වුණා. වෙනදා බඩු ගන්න අපේ හිතවත් කඩේ ෆුල් සුද්ධ වෙලා තිබුණ නිසා අහල පහල හැමෝටම විතරක් නෙවේ මුදලාලිටත් ගෙදරට බඩු ටිකක් ගන්න සතොසටම යන්න සිද්ධ වුණා. කමක් නෑ කමක් නෑ සැමනුයි පරිප්පුයි අඩු කරලනේ කියලා අපි හිත හදාගත්තා. තරඟය ආරම්භ වුණා ! 


හරියටම උදේ 5.30ට යුද්ධෙකට සුදානම් වෙනවා වගේ මහාරාණි අපිව ඇහැරවගෙන ඇහැරවගෙන ගියා. ‘මෙච්චර උදෙන්’ මට අහන්න පුළුවන් උනේම එච්චරයි. නැකතට රැකි රක්ෂා සඳහා පිටත් වෙනවා වගේ අපි හරියටම උදේ 6 ට නිවැසින් එළියට බැස්සේ පෙර රාත්‍රියේ කතිකා කරගත් පරිදිම පෝලිමේ මුලට සෙට් වී ඉක්මනින් බඩු ටික ගන්න ඕනේ කියන ලොකු මොටිවේෂන් එකකින්, හැබැයි ඒවා සුන් කරමින් අපි වගේම තවත් දක්ෂ සැලසුම්කරුවන් පනහකට හැටකට පසුව වෙන වෙන පෝලිම් තුනක අප තිදෙනාට මූණ ලුණුදෙහි කරගෙන ඉන්න විය. ඇත්තමයි දන්සැල් පෝලිමේ ඉන්නවා වගේ හැඟීමක් ඒක ! 


හැම මිනිහම මුව ආවරණය කරගෙන. අතේ දුරින් ගණුදෙනුව. වැඩි බජනේ නෑ, වැඩේ කරගත්තා ගෙදර ගියා. එක අතකින් ඒකට මම කැමතියි. කට ආවරණය උන ගමන් මිනිහෙකුට තව මිනිහෙකුගේ රිඇක්ෂන් එක හරියටම පෙනෙන්න දැනෙන්න ගන්න විදිය වෙනස් වෙනවා. හිනා වෙනවද, ඔරවනවද කියලා තේරීමක් නොතෙරීමක් වෙනවා. එතකොට ඒ ඒ මිනිස්සු හිතන පතන විදියට ඒ ඒ පුද්ගලයන්ව දකින විදියට දේවල් හිතාගන්නවා. සරලවම අනුන්ගේ මඟුල් ගැන ලත වෙන එක pause වෙනවා. තමන්ගේ මඟුල් ටික ගැන ෆෝකස් කරනවා. අන්න ඒ හීනි ආත්මාර්ථකාමී ගතියට මං කැමතියි. සමහර විට කොරෝනා කියන්නේ අපිට අලුතෙන් ඉගෙන ගන්න ආපු සිලබස් එකක් වෙන්නත් පුළුවන්. ඔව්, පෝලිමේ මට දෙපැත්තෙන් හිටියේ අඩු ආදායම්ලාභී වැඩි ආදායම්ලාභී පවුල් දෙකක සාමාජිකයන් දෙදෙනෙක් වෙන්නත් පුළුවන් !! 


#අනුවා 
%d bloggers like this: