Menu Close

අවසානයක් නොවේ – පස්වන කොටස…

පළවෙනි කොටස
දෙවෙනි කොටස
තුන් වෙනි කොටස
හතර වෙනි කොටස

අවරට හැරුනු හිරු ගේ රැස් මළාණික ලෙසින් කන්ද උඩරට පුරා වැතිරී, නුවර කසාවන් එලියකින් පිරවීය. නිසල වූ පරිසරය…. ගහ කොළක සෙලවීමක්වත් ඇති නොකළ නිශ්චල තෙත්බර වාතස්කන්ධය…. නගරය සිවුකොණ සිට, තවත් හෝරා කීපයකින් හාත්පස වසා ගැනීමට බලා සිටි මීදුම…. සියල්ල නිසල විවේකී ආලස්‍යයක ගැළී පැවතිණ.

(අන්තර්ජාලයෙනි)

සිංහලේ මහරජ්ජුරුවන් යමක් පිළිබඳ විනිශ්චයක් ලබාදීමට ප්‍රිය කළේ දවසේ හවස් වරුවයි. දිවා භෝජනය වළඳා, මඳක් සැතපී විවේකීව සිට, ගැටළුවක් හෝ ප්‍රශ්නකාරී සිදුවීමක් ගැන නැවුම් මනසකින් බැලිය හැකි බව එතුමෝ විශ්වාස කළෝ ය.

විචක්ෂණශීලී පරිපාලකයෙකු වූ රාසිං දෙවියෝ සිය රාජසභාව වෙත එක් අවසන් බැල්මක් හෙළමින්, එහි සිටි සියලු දෙනා ගේ සිත් තුළ පැවති ආකල්පය මැන ගත්තේ ය. මහාධිකාරම, තුප්පහියා හෙවත් භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කළ පරංගි රැඳවියා, හමුදාව නියෝජනය කළ ගලගොඩ නිළමේ, කටුපුල්ලේ මහ නිළමේ, ලේකම් මඩුවේ නිළමේ සහ රාජකීය වෛද්‍යවරයා වූ ධනසේකර වෙද මුදලි යන අයට අමතරව එහි වූයේ ස්කැන්ඩිනේවියානු නාවුකයන් දෙදෙනා සහ ඔවුන් භාරව පැමිණි රටේ මහත්තයා ය.

නිළමක්කාරයෝ සියලු දෙනා තූෂ්ණිම්භූතව සිටියේ, පෙරදින සිදුවූ අභාග්‍ය සම්පන්න සිදුවීම හේතුවෙනි. ප්‍රංශ රජය වෙනුවෙන් රාසිං දෙවියන් සමඟ පෙරදිග රාජ්‍ය සම්බන්ධව සාකච්ඡා කිරිමට පැමිණි තානාපතිවරයා වූ ද ලාහේ, රජතුමා විසින් පිළිගැනුණේ දින දෙකකට පෙර ය. එහෙත් සාකච්ඡා සම්පූර්ණ කිරීමට ඔහුට හැකිවූයේ නැත. ලක්දිව අනාගතය සමහරවිට එකහෙළාම වෙනස් වීමට ඉඩ සැළසූ සිදුවීම වූයේ එදින සවස ය. උදෑසන පානයට ලැබුණු තෙලිදිය කැටය, එහි වූ මිහිරි රසය හේතුවෙන් සවස් වන තුරු තබාගන්නා ලෙස තානාපතිවරයා සිය සහායකයා ට පැවරීය. රාත්‍රී ආහාරය සමඟ පානය කළ පෝට්වයින් කුසලානයට වත්කරගන්නා විට ඒ තෙලිදිය පැසී තිබෙනු ඇතැයි ඔහු සිතුවේ නැත.

පරංගි තානාපතිවරයා බීමත්ව යකා නටන බව සැළවීමෙන් බිඳුනේ රජතුමාගේ සිතේ සැනසිල්ල පමණක් නොවේ. සිය ඇතුල්නුවර සාමය සහ පාලනය කඩ කරන ලද විදේශිකයා කෙරෙහි ඔහු ගේ කෝපය, දමා ගසනු ලැබූ කිණිස්සක් මෙන් එල්ල විය.

ද ලාහේ බහිරව කන්දට ගෙනගොස් හිස ගසා දැමීම පසුදින අලුයම කන්ද උඩරට සිදු වූ පළමු රාජකාරිය විය.

ඒ සිදුවීමෙන් හටගත් ආන්දෝළනය පසුබිම් ව, රාසිං දෙවියන්ගේ උදහස මේ වැරහැලි ඇඳගත් විදේශිකයන් දෙදෙනා කෙරෙහිද එල්ලවනු ඇත් දැ යි හටගත් කුකුස, රාජසභා මණ්ඩපය පුරා පැතිරි ගල්ගැසුණු ස්වභාවයට හේතු විය.

“සිංහලේ පරිපාලනය, සමාජ සංස්ථාවේ සැකැස්ම, සාරධර්ම සහ සංස්කෘතිය ගැන නොදන්නා කමින්, එහෙමත් නැත්නම් නොතැකීමෙන් ඉතාම අභාග්‍යසම්පන්න සිදුවීමක් ඇතිවෙලා වැඩි දවසක් නෑ….” රජතුමා හඬ අවදි කළේ ය. “….තොපත් ඒ තානාපතිවරයාගේ පිරිසේම කොටසක්….

“තොප දෙදෙනා දිහා බැලුවාම පේනවා, තොප කියූ පරිදි ම අවාසනාවන්ත විදිහට කැළේ අතරමංවී දින කිපයක් ගත කර ඇති බව. කොයි හැටි වුණත් තොප ගැන තීන්දුවක් අප දෙන තුරු තොපට මේ රටෙන් පිටතට යාමට අවසර නෑ. ඒ වනතෙක් තොප දෙදෙනාට අප භාර කාරයන් නම් කරනවා.”

පරංගි රැඳවියා හට එය සිරකරුවන් දෙදෙනාට තේරුම් කර දීමට අවස්ථාව සළසා රජතුමා සුළු මොහොතකට නිහඬ විය.

භාෂා පරිවර්තනය අවසන් වූ පසු රාජසිංහ රජතුමා අද්මිරාල් ෆර්නැන්ඩස්කි දෙස සිය දබරැඟිල්ල දිගු කළේ ය.  “අද්මිරාල් පුරනන්ද….” රජතුමාට පෘතුගීසි භාෂාවත්, එහි වරනැඟීමුත් නුහුරු නොවූව ද, යුරෝපීය වදන් සියබසට හුරුකර උච්ඡාරණය කිරීම සිය පෞරුෂය විදේශිකයන් වෙත පැටවීමේ මාර්ගයක් ලෙස සැළකී ය. “තොපගේ යාළුවා අප බාර දෙනවා තොප මෙතනට ගෙනෙන තුරු සියලු වගකීම් ඉටුකළ දිසානායක රටේ මහත්තයා ට.”

රටේ මහතා දණින් වැටී සිය රාජකාරිය බාර ගත්තේය.

“අද්මිරාල් පුරනන්ද, තොප කීප දවසක් යනතුරු මේ අවට ම රඳවා ගැනීම අපගේ අපේක්ෂාවයි. තොපගේ ජාතිය අධ්‍යයනය කිරීමට වටිනා, ඉතා ම කැපී පෙණෙන ලක්ෂණවලින් යුක්ත මනුෂ්‍ය කොට්ඨාශයක්…”

රජතුමා ගලගොඩ නිළමේ දෙස බැලී ය, මහාධිකාරම දෙස ද බැලී ය, අවසානයේ….

“ධනසේකර වෙද මුදළි, අප දැනට මේ නැව්පතියා ගේ භාරය තොපට පවරනවා.” යි වදාළේ ය.

පරංගි රැඳවියා ගේ භාෂණ පරිවර්තනය අවසානයේ, අද්මිරාල් දණගසා, දෑත් දෙපසට විහිදුවා, හිස නමා රජතුමා හට ආචාර කළේ ය.

“ඔබතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලීමට එකම එක ඉල්ලීමක් තිබෙනවා.”

“ගැත්තා දේවයන් වහන්සේගෙන් ඉතා බැගෑපත්ව එක ම එක ඉල්ලීමක් කරනවා” පරිවර්තකයා ඊට වැඩිදුරටත් බැහැපත්බව එක් කළේ ය.

“කියනු!” රජතුමාගේ කුතුහලාත්මක මන්දස්මිතිය එතුමාගේ කට කොණින් යාන්තමින් දැක්විණ.

අද්මිරාල් ටිරෙල් වෙත අත දිගු කළේ ය. “අප දෙදෙනා වෙන් වීමට නියමිත නිසා, අද රාත්‍රිය පමණක් හෝ අප දෙදෙනාට එක කුටියක ගත කිරීමට ඔබතුමා අවසර දෙනු ඇතැයි මා අපේක්ෂා කරනවා.”

“කොන්සෙජීදෝ.” කියමින් රජතුමා නැගී සිටියේ පරංගි රැඳවියා කට අරින්නටත් පෙර ය.

—————–

මසක් ගත වන විට ෂර්මයිල් ෆර්නැන්ඩස්කි හට ධනසේකර වළව්ව ඉතා හුරු පුරුදු තැනක් වී තිබිණ. ඔහු රැඳවුණේ වළව්වට යාබදව තැනුණු මෙහෙකරු කුටි පෙළෙහි වුව ද, වෙද මුදලි තුමාගේ පවුලේ උදවිය ඔහු ට කුළීන රැඳවියෙකුට මෙන් සැළකූ හ. මුදලිවරයා රාජකාරිය සමඟ කාර්ය බහුල වූ නමුත්, සෑම විටකම පාහේ වළව්ව පරිශ්‍රය ප්‍රතිකාර ගන්නා ජනයාගෙන් නොසිස් විය. එහි ආ ගිය හැම සමාජ ස්තරයකට ම අයත් ගිළනුන්ට ප්‍රතිකාර කෙරුණේ වෙද මුදලිගේ තරුණ දුවගේත්, පුතාගේත් මඟ පෙන්වීම යටතේ ය. ආයුර්වේදය මෙන්ම පුරාණ හෙළ වෙදකමත්, ශාන්ති කර්මත් ආදී වශයෙන් එවක දිවයිනේ පැවති සියලුම ක්‍රමවේදයන් එහි දී අනුගමනය කෙරුණි.

දෙමසක් ගත වෙද්දී ධනසේකර මුදලිතුමා මාර්ගයෙන් කරන ලද ඉල්ලීම අනුව, ස්කැන්ඩිනේවියානු රැඳවියා හට ගමෙහි ඇවිද සිංහල සමාජයට අනුගත වීමේ අවසරය ලැබුණි. නොබෝ දිනකින් ම, සුදුවන් කපු රෙද්දකින් ඉණෙන් පහළ පමණක් වසාගත්, සුදුමැළි සමකින් යුතු සිරකරුවා නිගම ස්ථානයෙහි, වෑ කන්දෙහි, වෙල්යායෙහි, දැකගත හැකි විය. ඔහුගේ කැඩුණු සිංහල හා දෙමළ වචන මිශ්‍ර භාෂාව, රන්වන් කෙහෙරැල්ල සහ වැවුණු කෙටි රන්වන් රැවුළ, ලාරත්පැහැගත් ඇස්, පිටිනුවර වැසියන්ට එදිනෙදා හමුවන සාමාන්‍ය දෙයක් බවට පත් විය. රටේ සමාජයේ විවිධ උපචාර ගැන ඔහු ඇසූ ප්‍රශ්න වැඩිහිටියන්ගේ මුවෙහි සිනහ ඉපිදවීය. උඩරට සමාජයේ අංග සහ අභිචාර ගැන ඔහුගෙන් දැකගත හැකි කුඩා දරුවෙකුගේ වැනි කුතුහලයක් සහ නොතේරුම්කමකි. 

එහෙත් ධනසේකර වළව්වේ සාමකාමී නිසල බව බිඳ වැටුණු සිදුවීමක් වූයේ මේ අතර ය….

%d bloggers like this: