Menu Close

ලස්සෙට පස්සේ…

ඊයේ දැන ගන්නට ලැබුණු පුවතකින් කියැවුණු පරිදි අප ජීවත් වන නගරයේ ගුරු ජෝඩුවක් අතර ඇති වුනු පවුල් ආරවුලක් කෙළවර වී තිබෙන්නේ මරණ දෙකකින්. මේ දවස් වල පාසැල් වසා ඇති නිසා මේ ජෝඩුව පසුගිය දවස් ටිකේම තමන්ගේ මහල් නිවාසයේයි කාලය ගෙවා තිබෙන්නේ. පාසැල් වසා ඇතත් පාසැල් නිවාඩු නැහැනේ.

ඇත්තටම පාසැල් අත්‍යවශ්‍ය සේවාවක්. ගුරුවරු ගෙවල් වල සිට අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කළ යුතුයි. මෙය ආතතිය විශාල ලෙස ඉහළ නංවන්නක්. විශේෂයෙන්ම තමන්ගේ දරුවනුත් ගෙදර සිට අධ්‍යයන කටයුතු කරන නිසා ඔවුන් ගැනත් බලමින් රැකියාව කිරීම පහසු නැහැ.

ඇතැම් මාධ්‍ය වලට අනුව මීට පෙර කිසිදු කලහකාරී හැසිරීමක් පෙන්වා නැති මේ ගුරු ජෝඩුව මෙවැනි තත්ත්වයකට පත් වී තිබෙන්නේ කොරෝනා තර්ජනය හමුවේ ගෙදර ඉන්න වීම නිසා ඇති වුනු ආතතිය නිසයි. මාධ්‍ය වලින් හදපු කතාවක් වෙන්න පුළුවන්. ඇත්ත වෙන්නත් පුළුවන්. ඇත්තනම් මේ මරණ දෙකත් කොරෝනා මරණ. එහෙත්, මරණ සහතික වල එසේ ලියැවෙන එකක් නැහැ.

කොරෝනා නිසා හෝ කොරෝනා හමුවේ ගන්නා ක්‍රියාමාර්ග නිසා සිදු වන වක්‍ර මරණ කොරෝනා මරණ වල සංඛ්‍යාලේඛණ වලට එකතු වෙන්නේ නැහැ. අනුරාධපුර බන්ධනාගාරයේ මරණයත් එවැනි මරණයක්. කලබල ඇති වුනේ කුඩු නැති නිසා විය හැකි වුවත් කුඩු නැති වෙන්න ඇත්තේත් කෝවිඩ් නිසානේ. ඊයේ (මාර්තු 27) දිනය අවසන් වන විට  ඇමරිකාවේ කොරෝනා මරණ 1,696 ක් වාර්තා වී තිබෙනවා. එයින් 401 දෙනෙකු මිය ගොස් තිබෙන්නේ ඊයේ දිනයේදී.

සංඛ්‍යාලේඛණ අනුව ඇමරිකාවේ දිනකට 7,708 දෙනෙකු මිය යනවා. කොරෝනා වැළඳී මිය ගිය අයගෙන් යම් පිරිසක් වෙනත් හේතු මත අදාළ කාලය තුළ කොහොමටත් මිය යාමේ ඉඩක්ද තිබුණා. නමුත්, කොරෝනා මරණ ගණන් කිරීමේදී එය සැලකිල්ලට ගැනෙන්නේත් නැහැ. මෙහි තිබෙන්නේ මා පෙර ලිපියක විස්තර කළ ප්‍රතිපරිසිද්ධික තත්ත්වය නිරීක්ෂණය කළ නොහැකි වීම පිළිබඳ ගැටලුවයි. කොරෝනා වල හානිත් කොරෝනා වලට එරෙහිව ආණ්ඩු විසින් කළ කී දේවල් වල හානිත් සංසන්දනය කරන්න කාලයක් ගත වෙයි.

කලින් ලිපියෙන් මම මූලික ප්‍රජනන අංකය කියන එක ගැන පැහැදිලි කළානේ. කිසියම් රෝගයක් ව්‍යාප්ත විය හැකි ආකාරය ගැන තීරණය කරන්න මේ අංකය වැදගත්. කෝවිඩ්-19 හා අදාළව එම ලිපියේදී මා 2.2 කියන අංකය යොදා ගත්තා. හැබැයි එසේ කළේ මේ මූලික ප්‍රජනන අංකය කියන්නේ කුමක්ද කියන එක පැහැදිලි කරන්න පමණයි. හැම දෙයක්ම එක ලිපියකින් විස්තර කරන්න බැහැනේ. ඒ නිසා, පහසුවට එහෙම කළත් මේ අංකය 2.2 බව අපට හරියටම කියන්න බැහැ.

මා කලින් ලිපියේම විස්තර කළ පරිදි එකම රෝගය වුවත් ලෝකයේ හැම ප්‍රදේශයකම, හැම අවස්ථාවකදීම එකම වේගයෙන් ව්‍යාප්ත වෙන්නේ නැහැ. ජනගහණයේ සිටින ආසාදිතයින් හෝ සුව වූ අයගේ ප්‍රමාණය ඉහළ යද්දී මූලික ප්‍රජනන අංකය නොවෙනස්ව තිබුණත් ඵලදායී ප්‍රජනන අංකය පහත වැටී රෝග ව්‍යාප්තිය පාලනය වීම ගැන මා පෙර ලිපියේ විස්තර කළා. මා දැන් කියන්නේ ඒ ගැන නෙමෙයි. රෝග ව්‍යාප්තිය හමුවේ ආණ්ඩු විසින් හා පෞද්ගලිකව ඒකීය පුද්ගලයින් විසින් දක්වන ප්‍රතිචාර හේතුවෙන් මූලික ප්‍රජනන අංකයමත් වෙනස් වෙනවා.

මූලික ප්‍රජනන අංකය ඇස්තමේන්තු කරන අගයක්. එම අගය ඇස්තමේන්තු කරන්න යොදා ගන්නා දත්ත අනුව වගේම ඇස්තමේන්තු කරන ක්‍රමවේදය අනුවත් වෙනස් වෙනවා. දකුණු කොරියාවේ 6,284 දෙනෙකුගේ දත්ත අනුව මේ අගය 1.5ක් බව විමර්ශනයට ලක්වී අවසන් එක් පර්යේෂණ ලිපියක ඇස්තමේන්තු කර තිබෙනවා.  ඩයමන්ඩ් ප්‍රින්සස් නැවේ මගීන්ගේ දත්ත අනුව සිදු කර ඇති තවත් ඇස්තමේන්තුවකට අනුව මේ අගය 11 පමණ මට්ටමකට ගොස් තිබෙනවා. සිංගප්පූරු ඇස්තමේන්තුවකට අනුව මේ අගය 0.7යි. මේ වගේ විවිධ ඇස්තමේන්තු රාශියක් තිබෙනවා. ඒ ඇස්තමේන්තු පදනම් වන්නේ රෝගය මුලින් පැතිරුණු චීනය, කොරියාව වැනි රටවල දත්ත මතයි. මා දන්නා තරමින් ඇමරිකන් දත්ත යොදාගනිමින් පුළුල් අධ්‍යයනයක් තවමත් කෙරී නැහැ.

ඇමරිකාවේ හා යුරෝපයේ මේ අගය ආසියානු රටවලින් වෙනස් වෙන්න හේතු රාශියක් තිබෙනවා. ඒ වගේම ඇමරිකාවේ විවිධ ප්‍රදේශ වල එම අගය විශාල ලෙස වෙනස් වෙන්න පුළුවන්. ආසියානු රටවල ඇස්තමේන්තු ගත්තත්, 0.7 හා 11 කියන්නේ අහසට පොළොව වගේ වෙනසක්.

කෝවිඩ්-19 වැළඳුණු බොහෝ දෙනෙක්ට බරපතල රෝග ලක්ෂණ නොඑන බව පැහැදිලි කරුණක්. රෝග පරීක්ෂාවකට එන්නේ කිසියම් රෝග ලක්ෂණයක් පෙන්වන අය පමණයි. රෝග පරීක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය රටින් රටට වෙනස්. ඒ නිසා, අපට දකින්නට ලැබෙන රෝගීන් ප්‍රමාණ සැබෑ ගණන් වලට වඩා ගොඩක් අඩුයි. හැබැයි කොපමණ අඩුද කියන එක අප හරියමට දන්නේ නැහැ. පරීක්ෂා කර හඳුනාගත් එක් රෝගියෙකුට හඳුනා නොගත් රෝගීන් දෙදෙනෙකු ඉන්නත්, දෙසිය දෙනෙකු ඉන්නත් පුළුවන්. රෝගීන් විශාල පිරිසක් හඳුනාගෙන නැති නිසා පෙනෙන්නට තිබෙන මරණ අනුපාතය සැබෑ අනුපාතය නෙමෙයි. එය ඊට වඩා ගොඩක් අඩු එකක්. නමුත් කොපමණ අඩු එකක්ද කියා අප දන්නේ නැහැ.

උදාහරණයක් ලෙස නිවු යෝර්ක් ප්‍රාන්තයේ ජනගහණය 19,453,000ක්. එයින් ඊයේ වන විට කෝවිඩ්-19 පරීක්ෂාව කර තිබෙන 145,753 දෙනකුගෙන් 44,635කට රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙය 30.6%ක ප්‍රතිශතයක්. නමුත්, 99%කට වඩා වැඩි පිරිසක් කිසිදු පරීක්ෂාවක් කරගෙන නැහැ. ඔවුන්ගෙන් 3%කට වෛරසය අසාදනය වී තිබේනම් එම ගණන 579,000ක්. ඒ කියන්නේ නිවු යෝර්ක් ප්‍රාන්තයේ සිටින කෝවිඩ්-19 රෝගීන්ගෙන් 80%ක්ම හඳුනා ගෙන නැහැ. ඇත්තටම මේ අයට රෝගීන් කියා කියන එකත් වැරදියි. ඒ අය සෞඛ්‍ය සම්පන්නව සිටින අයයි. සමහර විට පොඩි හෙම්බිරිස්සාවක් හැදිලා සනීප වෙන්න ඇති. ඒ ඉහත කී ගණන 3% නම්. මේ ප්‍රමාණය මීට වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන්. අපට කියන්න පුළුවන් වන්නේ 30%කට වඩා වැඩි වෙන්න විදිහක් නැහැ කියන එක පමණයි.

මේ වගේ අවිනිශ්චිතතා රාශියක් තිබෙන නිසා අලුත් තොරතුරු ලැබෙද්දී කලින් සිතා සිටි දේවල් වෙනස් වෙන එක සාමාන්‍ය තත්ත්වයක්. ඒ නිසා, ආණ්ඩු විසින් හෝ ඒකීය පුද්ගලයින් විසින් පවතින තත්ත්වයට ප්‍රතිචාර දක්වන විට සැලසුමක් ඇතිව කටයුතු කළ යුතුවාක් මෙන්ම වෙනස් වන තත්ත්වයන් හමුවේ ඒ සැලසුම් වෙනස් කිරීමත් කරන්න වෙනවා.

%d bloggers like this: