Menu Close

පූසි ද හදිස්සියේ කතා කලාය

පූස් දුව 

මම නිහඬව කොම්පියුටරය දෙස නෙත යොමාගෙන සිටියෙමි.  නිවසේ සිට වැඩ කරන්නට පටන් ගෙන දැන් දින තුන හතරකි. එක අතකට මෙය හොඳ අපේ  බොසාටමය. ඔෆිසියේදී මෙන් නොව මං දැන් ටිකක් වැඩිපුර වෙන්න වැඩ කරමි.  කෑම බීම මේසය ළඟටම  ලැබේ. දූලා දෙන්නාගේ පාසල් වහලාය.  දෙන්නාම මොබයිල් වල මුහුණ රුවාන ඉන්නවාට මම කිසිත් කියන්නේ නැති බව දනිති.  හැමෝම සතුටිනි.

හදිසියෙම කවුදෝ කතා කරන හඬක් ඇසුණේය. මම වට පිට බැලීමි. දුවල දෙන්නාද අහලක නැත.  උදේට ස්කයිප් එකේ උගන්වා අවසන් කරන බිරින්දෑ නිවී හැනහිල්ලේ රූපවාහිනිය නරඹන්නීය.

“මේ , මේ මම කතා කළේ ඩැඩි ” නැවතත් කොඳුරන හඬක්  ඇසේ.

දුවල දෙන්නා ගාඩ්න් එකේ දැයි බැලීමි නැත . අහලක වත් නැත.

“ඩැඩි මේ බිම බිම, මං කිකී ඔයාගේ පූස් දුව “

“මොකාක්” කලබල වූ මම වේගයෙන් පැමිණි කොරෝනා වයිරසයක්  වැදුනාක් මෙන් පුටුවෙන්  ඇද වැටුනෙමි. ඇදවුනු කට වමතින් හරි ගස්සා ගත් මම  බිම වැතිරී සිටි කිකී, අපේ පූසා දෙස බැලීමි.

“මට හරි සතුටුයි. ” පූසි කීවාය.

මම මෝෆින් වැනි කිසිදු  දෙයක් නොගන්නා  නිසා බිරිඳ අන්තිමට හදා දුන් තේ කෝප්පයේ මොනවහරි බෙහතක් දැම්මා දැයි පුසුඹ අල්ලා බැලීමි. කිරි මිශ්‍ර තේ සුවඳ  පමණය.

“ඔයා මොකද බය වෙලා වගේ ඩැඩි, අද මට මමී චීස් කෑලිත් දුන්නා .ඔයා උදේ දුන්න හැම් කෑලි වලට පස්සේ. පූස් කෑම කාලම එපා වෙලා හිටියේ. හරි සතුටුයි.” පූසි කියාගෙන ගියාය.

කතා කරන්නේ පූසි දැයි හරියටම නිශ්චිත කර ගැනීමට වැරෙන් හිසට ටොක්කක් ඇණ ගතිමි. හදිසියේම මට මතක් වුනේ උදේ කෑම ගනිද්දී  පූසිට හැම් කෑලි ටිකක් විසික් කළ බවය. කොරෝනා වසංගතයට කල් තබා ගන්නට ගෙනා ඒවා යේ දින ඉකුත් වෙන්නේ අද නිසා ඒවා ඉවර කල යුතුය. එනිසා කිකී සමග බෙදා ගතිමි.

“කොහොමද බොල මමී , ඩැඩි වුනේ.උඹේ අම්මයි තාත්තායි අල්ලපු ගෙදර නේ හිටියේ”

පූසි පුංචි කාලේ අපි බාර ගත්තේ අල්ලපු ගෙදර ලොකු පූසි හදිසියේ බිහි කළ පැටව් රොත්තෙනි.

“එහෙම කතා කරන්න එපා ඩැඩි, දැන් ඔයයි ඉනෙස් මමීයි  නේ මාව හදා ගත්තේ. හදා  ගත්ත දෙමාපියෝ තමයි මගේ අම්මයි තාත්තයි. මට සතුටු මොකද දන්නවද ? ඔයාල ඔක්කොමල  දැන් ඉන්නේ ගෙදර, මමී මාව හුරතල් කරනවත් වැඩියි. ඔයා මට  පූස් කෑම වෙනුවට වෙන කෑමත් දෙනවා. අඹ දුන්න ඊයෙ . පෙරේදා ගස්ලබු දුන්න. අද හැම්. “

ඇත්තටම මේ පිස්සු පූසි මම අඹ කෑල්ලක් කනවා ඇස් ලොකු කර බලා සිටි නිසා මම පොඩි අඹ කෑලි කිහිපයක් දුනිමි. ඇය ඒවා කෑවාය. පෙරේදා ගස්ලබු කෑවාය.
පූසන් පලතුරු කන බවක් මා දැන න සිටියේ නැත.

“පූසන් කොරෝනා වයිරසේ ගැන දැනගෙන ඇති. විටමින් සී තියෙන ඒවා කන්න කියල පූස් සෞඛ්‍ය සංවිධානෙන් කියන්න ඇති. ”  පොඩි දුව බැරෑරුම් ලෙස කීවාය.

“දැන් බලන්න මගේ අක්කිලා දෙන්නම ගෙදර. වෙනද වගේ මාව කාමරෙන් එලවන්නෙත් නෑ. හෙට අනිද්දට පූස් කෑමත් දෙන්න පටන් ගනී “
පූසි හෙන ජොලියෙන් කීවාය.

“ඒකනම් මේ කපේට වෙන්නේ නැහැ. එයාලගේ මමී  තමයි වදෙන් පොරෙන් කෑම ටික බෙදල දෙන්නේ. නැත්නම් අර ක්‍රිස්ප් පැකට් නුයි පැණි රැළි යි කකා ඉඳී දවස පුරාම. අනික ඔහේගේ අක්කිලා උනේ කොහොමද?”

“මේ මේ මගෙත් මමී තමයි. ඔයා ඩැඩි නම් එයාලා අක්කිලා තමයි. හුහ්  ” පූසි උරණවූ ලෙසින් කීවාය.

“හරි හරි ඒක අමතක වුනා. මේ කොරෝනා කෙහෙල් මලක් නිසා වෙච්ච දෙයක් අම්මපා හැබෑට, වැඩට යන්න  නෑ. පූසියෝ කතා කරනවා. හෙලිකොට්ටරෙන් පිරිත් පැන් ඉහිනවා. කුරුසේ වටේ ගෙනියනවා. පල්ලි වලින් සෙරෙප්පු දාල දුවනව. කවදා කෙළවරක් වෙයිද? ” මම නුරුස්නා ලෙසින් කීවෙමි.

“එහෙම කියන්න එපා. කොරෝනා නිසා තමා ඔයාලා ගෙදර ඉන්නේ. මට හොඳ කෑම ලැබෙන්නේ. ඔක්කොමලා මාව හුරතල් කරන්නේ. මම කොරෝනට ආදරෙයි.” පූසි කීවේ හෙන සැහැල්ලුවෙනි.

“ආ මෙන්න නිව්ස් එකක්. ” හදිසියේ ස්කයි නිව්ස් එකෙන් පුවතක් දුටුවෙමි.

“මොකද්ද මොකද්ද ” පූසි උඩ පැන්නාය.

“ගෙදර ඇත්තියෙක් ගෙන් එයාගේ පෙට් පූස් ට කොරෝනා බෝවෙලා.”

“බුදාම්මෝ ” කෑ ගැසූ පූසි ඇරී තිබුන දොරින් පැන දිව්වාය .

හොඳින් පුටුවේ ඇලවී නිදා සිටි මා  උඩගොස් ඇහැරුණේ මයික්‍රොසොෆ්ට් ප්‍රොජෙක්ට් ටීම් හරහා එන බොසාගේ කෝල් එකෙනි.
හොඳ වෙලාවට නින්ද ගිහින් තිබුණේ හෙඩ්ෆෝන් එක කනේ රුවාගෙනය.

    -කොළඹ ගමයා

%d bloggers like this: