Menu Close

චීනය කොරෝනා රෝගය පාලනය කල ආකාරය සහ ඉන් අපට ගත හැකි පාඩම්.

ලංකාවේ රාජ්‍ය බුද්ධි අංශය ගැන ශ්‍රී ලාංකික අපගේ ඇත්තේ විශාල ගෞරවයකි. නිහඬ සේවයක් කරමින් කරන ඔවුන්ගේ කැපවීමට අප ණය ගැතිය. ලංකාවේ පසුගිය කාලයේ තිබී වාර්ගික අරගලයේදී ඔවුන්ගේ සේවය නොතිබුනා නම්, යුද්ධයෙන් ජය ගැනීම සිහිනයක් පමණක් වන්නට ඉඩ තිබිණ. කෙසේ වුවද, අද අපගේ බුද්ධි අංශ ක්‍රම වලට ලෝකයේ පැතිර යන මාරාන්තික කොරෝනා රෝගය පසුපස හඹා යෑමට කොතරම් ශක්තියක් තිබේදැයි යන්න ගැන ගැටළුවකි.

බුද්ධි අංශයට හඹා යෑමට සිදුව ඇත්තේ, නැනෝ මීටර් කීපයක් කුඩා සතුරෙක් පසුපසය. නොපෙනෙන සතුරෙක් සෙවීමේ භාරධුර කාර්යය ඉදිරියේ කොතරම් කාර්යක්ෂම සේ කැප වුවද සාමාන්‍ය සහ සම්ප්‍රදානුකූල ක්‍රම අසරණ වේ. මේ අතර චීනය කුමක් කරන්නේදැයි සොයා බලමු. ඉන් පෙර ඔබට යමක් කියමි.

මා කුඩා එකෙක්ව සිටි කාලයේ උරහිස උඩින් දමන ලද දිග පොල්ලක් දෙපස රෙදි පොට්ටනි බැඳ ගත් චීන්නුන් ගම්මාන වල සැරි සැරුහ. චීන්නුන් රෙදි විකුණා අහවර වූ විට අප ඔවුන්ගේ එම කදේ දෙපස නැග යෑම කළෙමු. එහෙත් ඒ අප හා මිතුරු වූ චීන්නු සමඟ පමණි. ඔවුන්ට ගම්මාන වල කඩ වලින් වැඩි ගණනට බඩු විකුණුහ. දැවැන්ත බරක් ගෙන යෑමට ශක්තිය තිබුණු ඔවුන්ට , … “කොන්ඩේ බැඳපු චීන්නු”…යයි නමක්ද පට බැඳුණි. මේ කතාව ගායක ඩෙස්මන්ඩ් සිල්වා ගේ ගීතයකද ඇත

අදත් ඉන්නේ එසේ රැවටිය හැකි කොන්ඩේ බැඳපු චීන්නුන්ද ?   

චීනය අද [2020 මාර්තු 27] දින වනවිට කොරෝනා රෝගය පාලනය කිරීමට සමාජ දුරස්ථ භාවය පමණක් භාවිතා කලේ නැත. ඒ සඳහා ඔවුන් හුදෙක් සාමාන්‍ය බුද්ධි අංශ නිළධාරීන් ගේ විචක්‍ෂණ බුද්ධියෙන් සහ ඉතා දැඩි නීති රීති පද්ධතියකින් පමණක්ම භාවිතා නොකළ බවත් තේරුම් ගත යුතුය.

මෙයට ඔවුන් භාවිතා කල විශේෂ ක්‍රමයක් වූයේ ‘කෘතීම දැනුම’ [AI – Artificial intelligence, Machine learning ] යන්නය. මේ සඳහා එකිනෙකට සම්බන්ද වූ පරිඝනක පද්ධති ජාලයක් ඔවුන් හාවිතා කරන්නේය. එය අති විශාලය. ඒ හරහා ලැබෙන දත්තයන් විශ්ලේෂණය කිරීම මිනිස් ඇසකින් හෝ අතකින් කල නොහැකි බව පැහැදිළිය. මේ ගැන කුඩා උදාහරණයකින් විස්තර කල විට, කිසියම් ධාවන මාර්ගයක නියමිත වේගයට වඩා වේගයෙන් යන වාහනයක් අත් අඩංගුවට ගන්නා පොළිස් නිලධාරියෙක්ගේ අතේ ඇති වේග නිරීක්ෂණ උපකරණයක් ගැන සිතමු.

මේ උපකරණ වලට පාදක වන්නේ, වේගය මනින රේඩාර් තාක්‍ෂණය වන අතර, වාහන කීපයක ප්‍රතිබිම්භ අතරේ දකින වේගවත් වාහනය වෙනත් පැහැයකින් දැක්වේ. මේ ක්‍රමය එක පසකට ගමන් කරන වාහන ඇති ධාවන මාර්ගයකට යෝග්‍යය. දැන් මේ වාහන දෙපැත්තටම ගමන් කරන ධාවන මාර්ගයකට යෝග්‍ය නොමැති බව පැහැදිළිය. මෙය නිදහසේ චලනය වන තවත් වස්තූන් ප්‍රමාණයක් ගත් විට තවත් අසීරුය. උදාහරණයක් සේ වැස්සකට පෙර අහසේ පියාසර කරන වැහි ලිහිණියන්ගේ චලිතය හෝ නගරයක අහඹු සේ ඇවිදින මිනිසුන් කොටසක් ගනිමු.

එහි වේගවත්ව පියාසර කරන ලිහිණියන් හෝ නොයෙක් අතට ඇවිදින මිනිසුන් දුටුවද, ඉහත ක්‍රමයෙන් ඔවුන් එකෙනෙහි ලේබල් කර හඳුනා ගත නොහැක.

ඒ ආකාරයේ තත්වයන් නිරීක්ෂණය සඳහා අධි වේගී පරිඝනක අනිවාර්ය වේ. අධි වේගී පරිඝනක සඳහා වීඩියෝ කැමරා වැනි සංවේදක අවශ්‍ය වේ. සමහර කැමරා අධෝ රක්ත කිරණ මගින් පුද්ගලයෙක්ගේ ශරීර උෂ්ණත්වය නිර්ණය කරන ආකාරයේ ඒවා විය යුතුවේ. එනම් පුද්ගලයා හඳුනා ගැනීම මෙන්ම පුද්ගලයා සමඟ ගමන් කරන අනෙක් පුද්ගලයෙක් හඳුනා ගැනීම මෙන්ම, ඒ පුද්ගලයාගේ සිරුරේ උෂ්ණත්වයද හඳුනා ගැනීම සිදු කරන මේ සංවේදක, එම දත්තයන් පරිඝනක ජාලයට ඇතුලත් කෙරේ.

එපමණක් නොව යමක් මිළදී ගැනීමේදී ඉලෙක්ට්‍රොනික කාර්ඩ් සහ මොබයිල් ඇප් භාවිතා කරන විට, ඒ දත්තද පරිඝනක ජාලයට ඇතුල් වේ. WeChat වැනි එම මොබයිල් ඇප් තමාගේ බැංකු ඩෙබිට් කාර්ඩ් පතට සම්බන්දීකරණය කර ඇත.

පරිඝනක ජාලයෙන් ඉන් පසු ඒ පුද්ගලයාගේ චලනයන් විශ්ලේෂණය කෙරේ. උදාහරණයක් සේ වුහාන් වල සිටි පුද්ගලයෙක් ඊට කිලෝ මීටර් 500ක් ඈත ඇති බෙයිජිං නගරයට පැමිණෙන්නේ නම්, ඔහු පැමිණි මාර්ගය, යමක් මිළදී ගත් ස්ථානය වැනි බොහෝ තොරතුරු මෙම කෘතීම දැනුම හරහා දත්ත ගබඩාවට ඇතුළත් වේ. ඒ අනුව එකී පුද්ගලයන් කොළ, තැඹිලි, රතු සේ වර්ගීකරණය වන අතර, ස්වයං නිරෝධායනය විය යුතු නම් එය පණිවිඩයකින් ඔහුට හෝ ඇයට දැනුම් දේ.

මේ සමඟ දමා ඇති වීඩියෝවෙන්, චීනයේ බුද්ධි අංශ ක්‍රියා කරන ආකාරය ගැන යම් අදහසක් ගැනීමට හැකි වනු ඇත.  වීඩියෝව අප් – ලෝර්ඩ් කිරීමට බොහෝ ඉඩකඩ යන හෙයින් පහත ඒ වීඩියෝව ඇති මුහුණු පොත් ලින්ක් එක දමමි. 

වුහාන් හී ඉගෙන ගත් සහ සේවය කල එංගලන්තයේ සිට පැමිණියවුන් නැවත ආරක්ෂාව තකා චීනයට යෑම ආරම්භ කර ඇත. මාරාන්තික වෛරසයක් තිබෙන තැනකට නැවත පැමිණීමට ඔවුන්ට මොළේ අමාරුවක් තිබිය යුතුය. එසේ නැතහොත් සාධාරණ වූ යම් හේතුවක් තිබිය යුතුය.

ලෝකයේ පළවන වතාවට රෝගීයෙක් සාර්ථකව හඳුනා ගැනීමට මේ තරම් පෘතුල සේ විහිදුණු පරිඝනක ජාලයක් ඇතිව තිබේ. චීනය ඒ අභියෝගය ජය ගෙන තිබේ. සමහරවිට තවත් ටික දිනකින් චීනය ලෝකයේ ඇති ආරක්‍ෂිතම රට වෙන්නටද පුළුවන.   

එවැනි පහසුකම් නැති ලංකාවේ අපට මේ මාරාන්තික රෝගයෙන් වැලකීමට ඇති හොඳම ක්‍රමය වන්නේ සමාජ දුරස්ථභාවය වේ.

https://www.facebook.com/lalith.karunaratna/posts/10159415255691729?comment_id=10159415455566729&notif_id=1585303383545841&notif_t=feed_comment

%d bloggers like this: