Menu Close

ෆුඩ්සිටි වන්දනාව ……

මට ගන්න තිබුණේ ලුණු පැකට් එකයි, අබ, කුරුඳු, විම්, පැණි බීම බෝතලයක්, බිස්කට් ජාතියක්, පාන් තිබුණොත්. හතට විතර පිටත් වුණා. පිටිපස්සේ ටයර් එකේ හුලං අඩු නිසා ඒ උවමනාවත් තිබුණා. පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහ ගත්තේ 19වෙනිදා. වැඩට යන්න් වෙන්නේ පුද්ගලික ප්‍රවාහනයෙන් නිසා. අනික කෙලි පැටික්කි ගමේ ඇරළලා ඇවිත් සතියකට වැඩියි. එයාලගේ ඉස්කෝලෙන් Study Pack එකක් හදලා. ඒක දෙන්නත් තියෙනවා. මොනවා වුණත් ඒ ඉස්කෝල(ජාත්‍යන්තර පාසල්) දරුවෝ ගැන හිතනවා. ගෙදර තනි වෙලා ඉන්න මට පුංචි දෙයක් තිබුණත් ඇති බඩ පුරවාගන්න. ඉන්න තැන කියන්න ආස නැති වුණත් කියන්න වෙන්නේ මේ විස්තරයට ඒක අදාල වෙන නිසා.

ෆෝන් එකේ ලොකේෂන් ඔන් කරගෙන ඉන්නේ, මම ආගිය තැන් ගැන තොරතුරු ගූගල් මැප් එකේ යාවත්කාලීන කරන නිසා. ඒකේ මම 7 වෙනි මට්ටමේ ගයිඩ් කෙනෙක්(බය වෙන්න එපා. ටුවර් ගයිඩ් නෙවෙයි). හත් වෙනි මට්ටමට එන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඇත්තටම තමන්ට කිසිම ලාභයක් නැතිව අනුන් වෙනුවෙන් ඩේටා වැය කිරිල්ලක්. නමුත් මේකෙන් රටේ සංචාරක ව්‍යපාරෙට යම් ලාභයක් වෙනවා. නමුත් මේ කාර්‍යයේදී අවංක අදහස් දැක්වීම අත්‍යවශ්‍යයි. ඔබ ගූගල් සිතියම් ඔස්සේ යම් ස්ථානයක තොරතුරු ලබා ගත්තේද? ඒ මා වැනි අය එක් කළ තොරතුරු වල සාරාංශයකි.

මගේ මුල්ම ඉලක්කය වුණේ ටයර් කඩයක් වෙත යාම. ඒ එන ගමන් ළඟම ග්‍රොසරි දෙක, ෆාමසිය දෙස බලාගෙන ගියා. ඒවායෙත් සැලකිය යුතු සෙනගක් සිටියා. ටයර් කඩ දෙකම එක් දර්ශණයකින් වසා ඇති මුත් බේස්ලයින් පාර ඔස්සේ කිරුළපන දෙසට ගමන් ගත්තේ එඩ්මන්ටන් කීල්ස්හී සෙනග ඇත්දැයි බැලීමටයි. එහි පෝලිම බේස්ලයින් පාර දිගේ බොරැල්ල දෙසට ගොස් පළමු එඩ්මන්ටන් පාරෙන් ඇතුළු වී තිබුණා. පාර දෙපසම වාහන නවත්වා තිබුණා. මෙහි නැවතීම තේරුමක් නැති බව වැටහී, පාර්ක් වීදියේ ඇති කාගීල්ස් වෙත යාමේ අදහසින්, කිරුළපන පොලීසිය ඉදිරිපසින් දකුණට හැරවූවා. අහෝ ! කීල්ස් පෝලිමේ කෙළවර යලිත් හයිලෙවල් පාරටම පැමිණ තිබුණා. නමුත් මීටරයක පරතරය සහ මුඛ ආවරණ සියළු දෙනා ආරක්ෂා කරගෙන තිබුණා. කිරුළ පාර දෙපසත් වාහන නවතා තිබුණා.
මීළඟ නැවතුම වුණේ පාර්ක් වීදියේ කාගීල්ස් ෆුඩ් සිටිය. එතැන රථ ගාල පිරී තිබුණා, මගේ සිහියට ආවේ ජාවත්ත පාරේ ෆුඩ්සිටිය. මා ඉසිපතන පාර දක්වා ගමන් ගත්තා, නමුත් ෆයිෆ් පාරෙන් යන්න තිබුණ බව පැහැදිලි වුණේ ඉසිපතන විද්‍යාලය අසලදීයි. ඉසිපතන පාරෙහි පාර්ක් පාර කෙළවරඇති පුංචි තේ කඩයේද 30කට නොඅඩු සෙනගක් සිටියා. ජාවත්ත පාර ෆුඩ්සිටියේ පෝළිමේ කෙළවර කැප්පෙටිපොළ පාරේ කොතැනක හෝ තිබෙන්නට ඇත. මේ පෝලිම් වල බොහෝ විදේශිකයින්ද සිටියා. මා කෙලින්ම ගොස් බෞද්ධාලෝක මාවතට හරවා, යලිත් ටොරින්ටන් මාවත ඔස්සේ පැමිණ චිත්‍රා පටුමග හරහා නැවතත් පාක් වීදියේ ෆුඩ් සිටිය පැත්තට ආවා. නමුත් එහි පෝලිම. මම ඇන්ඩර්සන් ෆ්ලැට් ඔස්සේ ගොස් ආසිරි රෝහල ඉදිරිපසින් දකුණු පසට හැරෙව්වේ තල්ගහ්වත්ත පාරේ තොග කඩයේ සෙනග සිටීදැයි බලන්නත් එක්ක. එතැන මහා වාහන තදබදයක්. ඒ දෙසවත් නොබලාම යලිත් බේස්ලයින් පාරෙන් බොරැල්ල දෙසට ගමන් ගත්තා. නාරාහෙන්පිට ආර්තික මධ්‍යස්ථානයට සෙනග කිරිමණ්ඩල පාර උතුරා යන තරම්, බේස්ලයින් පාරේ වාහන ගාල්කර තිබුණා. මිනිස්සු මොනවද මේ තරම් රැස් කරන්නේ. පරිප්පු කන්න ආණ්ඩු මාරු කරපු රටක්නේ.
වේගය මරු කැඳවයි කියන කියමන මේ දවස්වල දේව නීතියක් විදියට අනුගමනය කරමින් තමයි ගමන් යන්නේ. මොකද වර්ණ සංඥා නැතිව හතරමං හන්දිවල යනවා කියන්නේ අවදානමක්. මිනිත්තු කිහිපයකින් බොරැල්ල කනත්ත පහුකරමින් වම්පැත්තට හැරෙව්වා, ඒ ලාෆ්ස් එක ගැන බලාපොරොත්තුවෙන්, නමුත් ඒ පෝලිමේ කෙලවර විජේරාම පාර දක්වා තිබුණා. මගේ අන්තිම බලාපොරොත්තුව ඉබ්බන්වල ආර්පිකෝ එක. එතැනදීත් මට පාර වැරදුනා. මම කුරුඳුවත්ත පොලීසිය ගාවින් තියෙන පාරෙන් ගිහිං පිත්ත්ල හන්ඳියට වැටුණා. එතැනින් දකුණට හරවා යාම් වෙනුවට මම කෙළින්ම ගියා. කලම්බු සිටි සෙන්ටර් එකටත් ඒ වගේම පෝලිමක්. මම පොඩ්ඩක් ඉදිරියට ගිහිං නවලෝක රෝහල ගාවින් හරවගෙන ආපහු ඇවිත් කලම්බු සිටි සෙන්ටර් ගාවින් වමට තියෙන මුත්තයියා පාරෙන් ආවා. ඇවිත් ස්ටෙපල්ස් කාගිල්ස් එක දිහා නිකමට බැලුවා. සෙනග…මීටරය…. හරිම ලස්සනයි. ඉදිරියෙන් තියෙන කීල්ස් එකෙත් පෝලිම. ආයෙත් වමට හැරවුණේ. ආයෙත් ඉදිරියට ගිහිං මැලේ වීදියෙන් ගිහිං හරවන් ආවා. ඉබ්බන්වල හන්දියේ තියෙන සෙන්සාල් එක ඇරලා. පාන් ගෙඩියක්වත් ගන්න හිතාගෙන ගියා. අයියෝ… සුද්දියෝ දෙන්නෙක් ගෝදම්බා රොටි කනවා නිකං. ගන්න දෙයක් නෑ. ගන්න දෙයක් නෑ කියන්නේ එක ගෝදම්බා රොටියක් පිඟානක තනිවෙලා. කප් කේක් වගයයක් තිබුණා. ඒ ඇරෙන්න තනිකර හිස්. මේ ලඟක් වෙනකං දේශපාළන රැස්වීම් විස්තර කරන්න “එකම හිස් ගොඩක්” කිවුවේ ඇයි කියලා මම කල්පනා කළා. හිස් කියන විශේෂණ පදය මොකටද පිරුණු දෙයක් විස්තර කරන්න භාවිතා කරන්නේ ? එතැන හිස් කිවුවේ ඔළුගෙඩි වලට. මෙතැන හිස් කිවුවේ මොනවත් නෑ කියන අදහසින්. ඉතිං ඔය හිස්ගොඩ කියන අතිශෝක්තිය අපේ තාත්තා කියපු හැම වතාවෙම මම හිණා වුණා.
ආර්පිකෝ එකේ පෝලිම එන්නේ හයිලෙවල් පාර පැත්තෙන් තියෙන දොරටුවෙන්. පාර්ක් වීදිය දිගේ (මේ අර කළින් කියපු පාර්ක් වීදිය නොවෙයි) මේකේ කෙලවර ආයෙත් හයිලෙවල් පාරේ වික්ටෝරියා උද්‍යානය ඉදිරිපසින් අවසන් වෙන්නේ පෝළිමේ කෙළවර අඩුම වශයෙන් ඔසුසල අසලටවත් ඇති. මීටරයේ පරතරය තියාගෙන හරිම සංවරව යන අතරේ 50-50ක් ස්වදේශික/විදේශික අනුපාතයට ඉන්නවා. ඇත්තටම මේ වයිරසයට අපේ සමාජය ශිෂ්ඨ කරන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද තමන් නොදකින පෝලිමක මුවවිත වෙත දහවල් 12:00 කඩයිමට පෙර ළඟා විය හැකිද/නොහැකිද නොදැන ඔවුන් ඉවසිල්ලෙන් බලා සිටිනවා. බොහෝදෙනා තමන්ගේ ජංගමය වෙත මුහුණ හොවාගෙන සිටින මොහොතක අපේක්ෂාභංගත්වය, කළකිරීම, නිරුත්තර ගැඨළු සමූහයක් හිසමත දරාගෙන සුදු යුවලක් තවමත් ඉදිකර අවසන් නැති පදික වේදිකා පඩියක වාඩි වී ගිමන් හරිනවා. සමහරවිට ඔවුන් සිටින්නේ බඩගින්නෙන් වන්න පුළුවන්. එවැනි විටෙක සිටගෙන් සිටීමටත් ශක්තිය වැය කරන්න පුළුවන් කමක් නෑ. ඔවුන් සතුව මුව ආවරණද නැහැ. දොරටුව අසලින් පොලීසිය ඔවුන් ආපසු හරවා යවයිද ? ආලෝක සංඥා හරිත වර්ණ ගතවන්නට තවත් ත්ත්පර කිහිපයක් තිබේ. ඩෙවරක් නොසිතාම මා දුරකථනයේ කැමරාව ඔන්කර ඡායාරූපයක් ලබාගතිමි. ගෙදර පැමිණි විගස එය රංජිත් කුමාර සමරකෝන් පත්තර මිතුරාට යැවුයේ එය මුහුණුපොතින් වල ඔබ්බට යායුතු බැවිනි.
මගේ මීළඟ ඉලක්කය මට පහසුම වුවත් සාමාන්‍යයෙන් සෙනග පිරීසිටී යැයි මා විශ්වාස කරන බීආර්සී ක්‍රීඩාංගනය ඉදිරිපස ඇති කීල්ස්, සෙන්සාල්, ලාෆ්ස් තුණෙන් එකකට ගොඩවැදීමයි. තිම්බිරිගස්යාය හන්ඳියේදී මට දකුණු දෙසින් ආ රියක් වමට හැරවූයේ මා ඉස්සර කරන ගමන්‍මය. හෝන් එක උඩ නැගීම හැර මට කළ හැකි ංහෙයක් නොවිනි. පොලීසිය හෝ වර්ණ සංඥා නැති විටෙක සතුන් මෙන් හැසිරෙන බොහෝදෙනා හරියට රාජකාරි නොකරන බවට පොලීසියට චෝදනා නගයි. මේ ස්ථාන තුණ බලාපොරොත්තු වූවාටත් වඩා ජනාකීර්ණය. දැන් විලාසිතා නිවස ඉදිරිපස පිරවුම්හලේ කාගීල්ස් එක්ස්ප්‍රස් ගැන භාග බලාපොරොත්තුවකින් ගමන් ගතිමි. එහි කෙලවර අසල කුෂ්මි ෆුඩ් දක්වා මීටරයේ පරතරය විටෙක ආරක්ෂා කරගනිමින්ද , විටෙක එය අඩියක් හෝ භාගයක් කරගනිමින්ද නිසලව තිබේ.
මා ඉදිරියට ගමන් ගත්තේ කිසිදු අරමුණකින් තොරවය. දැන් කුමක් කරන්නද? දසනායක මගේ මතකයට ආවේ මේ මොහොතේය. මා කළුබෝවිල සිටි කාළයේ අසල්වැසියෙකු වූ ඔහු ග්‍රොසරියක් කළ අතර, දැන් ඔහු ජීවත් වන්නේ පැපිලියාන විහාර පටුමගේය. කලුබෝවිල හරහාම එහි යායුතුය. පිළියන්දල පාරට පාමංකඩින් පිවිසි විට දැඩි වාහන තදබදයක් දකින්න ලැබුණි. ඒ කුෂ්මි ෆුඩ් ආයතනයට යාබද තොග කඩයේද ෆුඩ්සිටි පරදන පෝලිමක් ඇත. පොලීසිය එහිද පෝලිම් පාළනය කරයි. ද සිල්වා මාවතෙන් මා ගමන් ගත්තේ ලොන්ඩරිගතකල මාගේ ඇඳුම් ලබා ගථැකිවේදෝයි දෙගිඩියාවෙන්. නමුත් එය වසා ඇත. ප්‍රතිබිම්බාරාම පාරට පිවිසි මොහොතේ සිට තදියම් ත්‍රී වීල් කරුවෙක් හෝන් ගසන්නට පටන් ගත්තේ මහා හදිඩි ගමනක් යන්නා සේය. මෙවැනි පටු මාවත් වල ඔවුන්ට වේගයෙන් ගමන්කළ හැකිමුත් කාර් හෝ වෙනත් වාහන දෙකක් මාරු විය යුත්තේ සීරුවෙනි. මේ පාරේ තිබෙන සාමාන්‍ය ග්‍රොසරි දෙක ළඟද අසාමාන්‍ය වාහන තදබදයකි. එක් ග්‍රොසරියක් තිබෙන්නේ හරියටම තුන්මන් හන්දියකය. රොබට් පාරෙන් හරවන වාහන වලට ඉඩ ලබා නොදුන්නොත් හිරවීම නතර කල නොහැක. නමුත් ඒ ආසන්නයේ නවතා ඇති වාහන තදබදය තීව්‍ර කරයි. මා උවමනාවෙන්ම වාහනය නවතා ඉදිරියෙන් පැමිණෙන සියළු වාහන වලට ඉඩ ලබා දුන්නෙමි. මේ වනවිට පිටුපසින් සිටි සියළු දෙනාගේ රතුකටු පැන ඇතිබව තහවුරු වූයේ තරගයට මෙන් හෝන් ගසන්නට වූ බැවිණි. එලියේ සිටි අයද “ඉඩ තියෙනවා යන්න” යනුවෙන් හඬනගන්නට පටන් ගති. මා සිටින්නේ වාහනයේ බවද, එලියේ සිටින අයට පෙනෙන දේ මට නොපෙනෙන බවද ඔවුන් නොදනී. ප්‍රශ්නයට ප්‍රධාන හේතුව පටු මාවතේ ඔවුන් නවතා ඇති යතුරුපැදි බව ඔවුන්ට නොවැටහෙන්නේ මන්දැයි නොදනිමි. “ප්‍රශ්නය තමන්ගේ නොවන තෙක් උත්තරය දාර්ශනිකයි” කියන්නේ එනිසාය.

ඉඩක් ලැබුණු පළවෙනි අවස්ථාවේදීම තුන්සක් රියකරුට වාහනය පැත්තකට කර ඉඩ ලබා දුන්නා. කරගම්පිටිය කීල්ස් සහ ලාෆ්ස් හී තත්වයන් අළුතෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ආයෙත් ඇන්ඩර්සන් පාර අසල විශාලමාර්ග තදබදයක්. ඉන් පස්සේ තරමක අපහසුවෙන් විහාර ලේන් එකට හරවා ගත්තා. ඒ අතරමගදිත් බීඑම්ඩබ්ලිව් වාහනයකට මා පසුකර යාමට අවශ්‍ය වුණා. නමුත් මෙවැනි පටු මාර්ඝ වල ඉඩ නෑ. ඉදිරියෙන් පැමිණෙන වාහන සමග දෙපසට ගමන් කල යුත්තේද ප්‍රවේසමෙන්. දසනායකගේ කඩය වටාද සැහෙන් පිරිසක් සිටියා. මා තරමක් ඉදිරියට ගොස් ආපසු හැරී ආවා. මිනිස්සු කඩිගුල ඇවිස්සුනා වගේ. හරිම නොසන්සුන්. පාරේ ගමන් කරන්නේ අවසිහියෙන් වගේ. මම බොහොම පරිස්සමට පැපිලියාන හන්දියට ඇවිත් වම් පැත්තට හරවා ගත්තේ ආපහු ගෙදර එන්න හිතාගෙන.

පැපිලියාන හන්දියෙන් පල්ලමට බහින තැන තියෙන කාගිස් එකේ තත්වය එසේමයි. පෝලිම දිගයි – මීටරය තිබෙයි. මම කන්ද නැගලා ඉදිරියට ගියා. ආයේ වුඩ්ලන්ඩ් වලට හැරෙන තැන පහු කරලා පොඩ්ඩක් පල්ලමට ආවම තියෙන කීල්ස් එක දිහා බැලුවේ නිකමට. මුළු පාරක් එක පුරා පෝලිම, මදිවට පාරට ඇවිත් එතැනම තියෙන කාර් සර්විස් එක අස්සටත් ගිහිං. මම තවත් ඉදිරියට ගියා. ඒමේ කන්ද නගින තැන තියෙනවා පුහුල්වැල්ල සුපර් මාර්කට් එක. එතැනත් තත්වය එසේමයි. පොඩ්ඩක් ඉදිරියට ගියාම කොහුවල හන්දියේ ලාෆ්ස් එක පෝලිම දිගයි – මීටරය තිබෙයි. නිකමට වත් කොහුවල හන්දියේ කාගීල්ස්, ආර්පිකෝ දිහා බැලුවේවත් නෑ. එහෙම ඉදිරියට ආවම තියෙන කීල්ස්, කාගීල්ස් දිහාවත් නොබලා බලපොකුණ පාරෙන් ඉදිරියට ගියා. හයිලෙවල් පාරට හරවලා කාගීල්ස් එක දිහා නිකමට බැලුවා. පෝලිම දිගයි – මීටරය තිබෙයි. බේස්ලයින් පාරෙන් හරවලා එඩ්මන්ටන් කීල්ස් එක දිහා බැලුවා. තත්වය එසේමයි. නිෂ්පල ගමනක් අවසන් කරන්න හිතං මම වාහනයේ වේගය වැඩි කළා.
ආපහු ගෙදර එනකොට දැක්කා විජය කුමාරතුංග මාවතේ හැරුන ගමන් තියෙන ග්‍රොසරිය ඇරලා. මොනවා ? මම හැමදාම ඉඳිආප්ප ගන්න අක්කගේ කඩේ ගාව නවත්වලා දුවගෙන ගියා. බැලුවම අලුතෙන් ආරම්භ කරපු බියුටි කඩයක්. ගියා ඇතුලට. මම තුන් ජාතියක් ඇහුවා හෑන්ඩ් සනිටයිසර්, වීම් වගේ ජාතියක්, සබන්. මිනිහා වීම් වලට අපූරු විසඳුමක් දුන්නා. ඒ මිස්ටර් ක්ලීන් කියන ස්ප්‍රේ එක. පාවිච්චි කරන්නේ ලිප උඩට වැටෙන තෙල්, ඉඳුල්, කහ, ආදිය පිරිසිදු කරන්න. හැබෑට ඒක හරි යනවනේ. මම ගත්තා එකක් බැරිම තැන. හෑන්ඩ් සනිටයිස්ර් නෑ. සබන් කෑල්ලක් ගත්තා. ගියා ගෙදර.
ඒ යත්දී දැක්කා ගෙදරට ලඟම වහලා තිබුණු මම නිතර යන ග්‍රොසරිය ඇරලා. ගෙදර ගිහිං බඩගින්න නිවාගෙන ආවා. එතැනත් පෝලිම මීටර් නෑ. අඩි භාගයක් වත් නෑ. මොනවා කරන්නද, මේ මිනිසුන්ට ඕවා පහදන්න යන්න බෑ. හැබැයි වැඩේ තියෙන්නේ එකකට එකක් ඇලිලා තියෙන ගොරස්රි කඩ දෙකේම පෝලිම් වල අග එකට. එහෙට යන්න බැරිනම් මෙහෙට එනවා. එහෙම එහා මෙහා යන මිනිහෙක් පෝලිමේ අග ඉඳන්ම පොල්තෙල් බෝතලයක් ගත්තා. අනික් පැත්තෙන් ගෙවුවා. මගේ වෙලාව ආවා හැබැයි, මට පිටිපස්සේ ඉන්න මිනිහා මට කලින් වැඩ පටන් අරං ඕඩර් කරනවා. මට කලින් හිටිය මුස්ලිම් මනුස්සයා රතු හාල් කිලෝ පහයි, සුදු හාල් කිලෝ පහයි. ඇන්කර් කිලෝ එකේ එකයි, හාරසීයේ එකයි, මිරිස්කුඩු(කෑලි) 500 පැකට් දෙකයි ගත්තා පුදුමයක් නෑ. හැබැයි සීනි කිලෝ පහක් ගත්තේ මොකටද කියළා තවමත් මට ගැටළුවක්. මම කඩේ එවුන්ටත් දොස් කියළා වීම් එකයි, අබටිකයි, කුරුඳු පුංචි පැකට් එකයි, ලුණු පැකට් එකයි අරගෙන ආව. ගෙදර ආවම තමයි තෙල් (සන්ෆලවර්) ඉවරයි කියළා මතක් වුණේ.

%d bloggers like this: