Menu Close

සොබාදහමට අවනතව ජීවත් වෙන්න දැන්වත් ඉගෙනගත යුතුයි.

රටක් විදිහට අපි ඉන්නේ ව්‍යසනයක් ඉදිරියේ. ගෝලීය වසංගත තත්වයට ලෝකයම මුහුණදෙමින් ඒ සමග සටන් කරමින් ඉන්න මොහොතක්. ලංකාවේ අපිත් ඒ සමානවම දැඩි අර්බුධයක ඉන්න මොහොතක මේ මොහොතේ දැනෙන හැඟීම මොකක්ද කියල දැනගන්න අපි කතා කළා චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මහත්මියට.

මනුස්සයෙක් විදිහට දුකක් සහ අසරණකමක් දැනෙන මොහොතක්. ඒක මට විතරක් නොවෙයි මේ මොහොතේ සියලු ලෝකවාසීන්ට පොදු තත්වයක්. තමන් මෙතෙක් ගතකළ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා සියලු සැළසුම් අවුල් වෙලා එක තැනකට කොටුවෙලා ඉන්න සිද්දවෙලා තියෙන මොහොතක්. හැමෝම අසරණ වෙලයි ඉන්නෙ. ඉතින් මේ මොහොතේ අපි “පොදු සිතිවිල්ලකින්” යුතුව කටයුතු කළ යුතුයි කියලයි මගේ පෞද්ගලික අදහස. සමස්ථ ලෝකයම එකම ව්‍යසනයට මුහුණදෙන මොහොතක අපි හැමෝම එකතු වෙලා වගකීමෙන් යුතුව කටයුතු කරමින් මේ ව්‍යසනයෙන් ගැලවෙන්න උත්සාහ කළ යුතුයි. අපි එකිනෙකාගේ ගැටළු, වෘත්තීය ගැටළු ගැන ඊට පස්සේ සලකා බැලිය යුතුයි. සාමූහිකව වෛරසය පිටුදැකීම වෙනුවෙන් වැඩ කිරීමයි මූලිකවම සිදුවිය යුත්තේ.

පෞද්ගලිකව ගත්තොත් මම නිෂ්පාදනය කළ “සුනාමි චිත්‍රපටය තිරගත වෙන්න පටන් අරගෙන බොහොම ටික කාලයයි. ඒ චිත්‍රපටය ආදායම් ලබන්න පටන් ගත්තා විතරයි. සිනමාහල් වැහුනා. මේ වෙනකොට අති විශාල මුදලක් ඒකට යට කරලා ඉවරයි. ඉතින් පෞද්ගලිකව ඒ පාඩුව මට දැනෙනවා තමයි. ඒත් අපි සිහිනෙන් වත් අපේක්ෂා නොකළ විදිහට මිනිස්සු දහස් ගාණක් මැරෙනකොට, ලක්ෂ ගණන් මිනිසු අසරණ වෙනකොට, ඒ පාඩුව ගැන හිතන්න වෙලාවක් නෙමෙයි මට. ඒ නිසා මේ ව්‍යසනයෙන් ගැලවෙන්න අපි අපේ වගකීම නිවැරදිව ඉරු කරමු කියලයි මට හැමෝගෙන්ම ඉල්ලන්න තියෙන්නෙ.

අපි මේ මොහොතේ පොදුවේ හිතන්නම ඕනේ. පොදුවේ ජනසමාජය වෙනුවෙන් අපි අපේ කොටස නිවැරදිව ඉටු කරන්නම වෙනවා. එහෙම උනොත් විතරයි අපට මේ ව්‍යසනයෙන් ගොඩ ඒමක් තියෙන්නේ. ගෙදරට වෙලා හුදෙකලාවේ ඉන්න ගමන් ආපහු හැරිලා බලන්න. අපි මොනවද එකතු  කලේ,සැප කියල අපි හෙවුවේ මොනවද, මේ දේවල් ගැන ටිකක් ගැඹුරින් හිතා බලන්න. අපි සුනාමි චිත්‍රපටයෙනුත් කතා කළා වගේම මේ ලෝක ධර්මතාව තමයි සොබාදහම. ඒ තමයි අපේ ආගම. සොබාදහමේ නියාමයෙන් ගැලවෙන්න මොන ජගතෙකුටවත් බැහැ. මේ වෙලාවේ ඔබ හොඳ කෙනෙක්ද, නරක කෙනෙක්ද, සල්ලි තියෙන කෙනෙක්ද, දුප්පතෙක්ද, මොන රටකද, මොන ජාතියක්ද ඔය කිසි දෙයක් අදාළ නැහැ. ඔබ සොබාදහමට අවනත විය යුතු තවත් එක ජීවී කොටසක් විතරමයි. මේ පාඩම දැන්වත් ඉගෙන ගන්න කියන කාරුණික ආයාචනයත් කරන්නම ඕනේ. අපි මේ මහපොළව අපට විතරක්  අයිතියි කියල හිතාගෙන හැසිරුනා. පරිසරය විනාශ කරා. සොබාදහම අපට අවශ්‍ය විදිහට හසුරවන්න උත්සාහ කළා. අන්න දැන් සොබාදහම අපට මතක් කරලා දෙනවා “ඔය ඕනෑව කරත් මමයි මේක පාලනය කරන්නෙ, ඊට ඉහලින් යන්න බැහැ” කියල. ඕක තමයි මට දැනෙන හැඟීම.

2004 අවුරුද්දේ සුනාමි ව්‍යසනය ආවා. දුප්පත් පොහොසත්, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මේ හැමෝම දුප්පත් පොහොසත් හැමදෙනාම ඒ ව්‍යසනයේ ගොදුරු බවට පත්වුනා. නමුත් මිනිස්සු හැටියට අපි පාඩමක් ඉගෙන ගත්තේ නැහැ. මේ ව්‍යසනයෙනුත් සොබාදහමේ පාඩම මිනිස්සු ඉගෙන නොගත්තොත්, මිනිස්සුන්ට ආයෙ හැදෙන්න අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ.

ඒ නිසා අවසාන වශයෙන් සමස්ථ රටවැසියන්ටම කියන්න තියෙන්නෙ, අපි මේ තීරණාත්මක මොහොතේ අපේ කොටස ඉටු කරමු. අපි නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමු. රටක් වශයෙන් මේ වසංගතය තුරන් කරගැනීමට රජයට සහය වෙමු. ඒ වගේම මේ මොහොතේ දැඩි කැපකිරීමක් කරමින් රට වෙනුවෙන් සේවය කරන ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශය ඇතුළු සමස්ථ වෘත්තිකයින්ට මගේ ගෞරවය පිරිනමන්නත් ඕනෙ.

Share

%d bloggers like this: