Menu Close

තිස්ස නාගොඩවිතාන

අසූව දශකයේ මුල් කාලයේ සතියකට වරක් රූපවාහිණියෙන් සිංහල චිත්‍රපටියක් පෙන්නුවා. ඒ වන විට රූපවාහිණිය ලංකාව පුරා ව්‍යාප්ත වෙන්න පටන් අරන් තිබුණා පමණයි. අපේ ගෙදර රූපවාහිණියක් තිබුණේ නැහැ. මේ මැජික් පෙට්ටියෙන් පෙන්නන බයිස්කෝප් බලන්න අපි ගියේ ගමට මුලින්ම රූපවාහිණියක් ගෙනා අසල්වැසි නිවසකටයි. ඒ ගෙදර එළිපත්තේ සිට මිදුල දක්වා නරඹන්නන්ගෙන් පිරී තිබුණා.
සිංහල චිත්‍රපට දර්ශන වල කොනක වරින් වර දර්ශනය වන “ති.නා.” අකුරු දැක නිතර දැක ඒ ගැන කුතුහලයක් ඇති වුනේ ඔය දවස් වලමයි. “ති.නා.” කවුද කියා විස්තර කරන්න වචන නාස්ති කරන එකේ තේරුමක් නැහැ. තිස්ස නාගොඩවිතානගේ සිංහල චිත්‍රපට සංරක්ෂණය කිරීමේ භූමිකාව ගැන කියවන අය අතර නොදන්නා කෙනෙක් නැතුව ඇති.
ලෝකයේ දස අතින්ම කොවිඩ්-19 මරණ වාර්තා වන මේ වෙලාවේ මරණය ගොඩක් ලාබ වී තිබුණත් තිස්ස නාගොඩවිතානගේ මරණය ගැන දැනගන්නට ලැබුණු විට කෙටි හෝ සටහනක් තැබිය යුතුයි කියා හිතුනා. ඔහු ගැන වඩා හොඳින් දන්න අය වැඩි විස්තර ලියයි. මට අනුවනම් ඔහු සුවිශේෂී වන්නේ වෙනත් අය අත නොගසන දෙයකට අත ගැසූ නිසයි. ඒ වැඩෙන් ඔහුට මුදල් ලැබෙන්න නැතිව ඇති. ඒ වුනත් ඔහු ව්‍යවසායකයෙක්. විශාල උපයෝගීතාවයක් ජනනය කළ හැකි නිකේතන වෙළඳපොළක් (Niche කියන වචනයට මේ පරිවර්තනය ගැලපෙනවද මන්දා) හඳුනාගත් දක්ෂ ව්‍යවසායකයෙක්.
තිස්ස නාගොඩවිතාන හැත්තෑව දශකයේ මුල් යුගයේදී බොහෝ දෙනෙක් දැන සිට තිබෙන්නේ ගායකයෙකු ලෙසයි. ඔහුට නිවන් සුව!
%d bloggers like this: