Menu Close

ගෝලයෝ අට දෙනාගේ කතාව

හැටේ  දශකයේ මුල් අවුරුද්දක සිය පළමු රැකියාව ලෙස ගුරු පත්වීමක් ලබාපු  තරුණයාට හමුවන්නේ අන්ත අසරණ දුෂ්කර ගම් පියසක පාසැලකි. මේ පාසැලේ පන්ති තිබුනේ අටවැන්න වෙනතෙක් පමණි . වාර දෙකක් තුනක් ඉගැන්වීම් කළ විට  ගුරුවරයා එක් පොරොන්දුවක් සිය පන්තියේ දරුවන්ට ලබා දෙයි.

“මේ ගමේ ඉස්කෝලේ  කවරදාකවත් අටේ පන්තියෙන් ඉහලට කිසිම ළමයෙක්  පාස් වෙලා නෑ . ඒ හන්දා තමයි ඉහළ පන්ති දාන්න කවුරුවත් උනන්දු වෙලා නැත්තේ .මම උඹල සියලුම දෙනා අටේ පන්තිය පාස් කරවලා මේ ඉස්කෝලෙට සීනියර් පන්ති  දානවා”

 ළමයි  වෙනදාට වඩා උනන්දුවෙන්  ඉගෙන ගත්හ. ඒ අතර තරුණ ගුරුවරයා ඔවුන්ට නාට්‍ය කලාව, චිත්රපට, විශ්ව සාහිත්‍ය ඈ නොයෙක් විෂය භාහිර ක්‍රියාකාරකම් ගැන හෙළිදරව් කළේය. තමා විශ්ව  විද්‍යාලයේදී හැදෑරූ ජගත්  සාහිත්‍යය ගැනත් , ලෝක දේශපාලන තොරතුරුත්  ළමයින් සමග කතා බහ කළේය .  අනිත් සියලු පන්තිවල සිටි ළමයින්ට වඩා විශේෂ ගතිගුණ හා විෂය අවබෝධයක් සහිතව  මේ පන්තියේ සිටි කොල්ලන් හය දෙනා හා කෙල්ලන් දෙදෙනා ඉගෙන ගත්හ.
අවසාන වාර විභාගයෙන් පන්තියේ සියලු දෙනා ඉතා හොඳ ලකුණු ලබා ගත් නිසා ඉතා සතුටටත් උද්යෝගයටත් පත් තරුණ ගුරුවරයා ඉන්පසු සිය උපරිම ශක්තිය යෙදවූයේ පාසැලට  ජේෂ්ට පන්ති ලබා දී තම ගෝල පිරිසට ඉහළටම  ඉගැන්වීමටය. ඒ ඉලක්කයට යාමට  පන්තියේ සිටි පිරිමි දරුවන්ද මහත්  උනන්දුවෙන් සිටියෝය. එහෙත්  සාම්ප්‍රදායික ගම්මානවල ගෑනු ළමයින්ට ඉහළට ඉගැන්වීමට  මාපියන්ගෙන් අවසර නොලැබුණු නිසා කෙල්ලන් දෙදෙනා අටේ පන්තියෙන් පාසැල් ගමන හමාර කරන්නට තීන්දු වී තිබුණි.
හැමදේම සුබවාදීව අවසන් වේ යැයි සිතුවත් ඒ සටනේදී  තරුණ ගුරුවරයා හා සිසු පිරිස පරාජයට පත් වුහ.  ගුරුවරයාගේ ඊළඟ  උත්සාහය වන්නේ කිට්ටුවෙන්ම පිහිටි උසස්පෙළ පන්ති තිබෙන පාසලකට මේ දරුවන්ව  ඇතුලත් කිරීමයි . ඒත් එවන් පාසලක් තිබ්බේ අඩුම වශයෙන් හැතැම්ම දහයකටවත්  එපිටින්ය  . අනෙක් අතට ගමට හරිහමන් පාරක් තිබ්බේ නැති නිසා බස් ආවේත් නැත. .  අසරණ වූ ගුරුවරයා බලපොරෝතු  සුන් කරගෙන සිටින  ගෝල පිරිස අමතා කතා කළේය . පොඩි වේලාවක් නොවෙයි පැය තුනක  හතරක කතාවක් . ඔහු කීවේ කුමක්ද ?…..

ළමයිනේ ඉගෙන ගැනීම කියන්නේ මේ ලෝකේ මිනිහෙකුට ලබන්න පුළුවන් ලොකුම සම්පතක්. අපි වගේ දුප්පත් දුෂ්කර ගම්වල මිනිස්සු නුගත්කමින්, දුප්පත්කමින් , මෝහයෙන්,  වහල්කමින් පිරිලා ඉන්නේ අපට හරි  හමන් ඉගෙනුමක් නොලබිච්ච නිසා .  මමත් මේ වගේම දුප්පත් ගමක ඉපදිලා විශ්ව විද්යාලෙකට යන්න අහම්බෙන් වරම් ලබපු කෙනෙක්. අපේ ගම් හත අටෙන්ම ඒ වෙනකොට විශ්ව විද්‍යාලේ මොකක්ද කියල දැන ගෙන හිටපු කෙනෙක් නෑ.  අපේ පන්තිය උනන්දු කෙරෙව්වේ දුර පළාතකින් ආපු උපාධි රුවරයෙක්. ඔහු නිසා තමයි මම ලෝකේ දැක්කේ . විශ්ව විද්‍යාලෙට යන්න පුළුවන් වුනේ. මේ ගම ලස්සනයි. සනීපයි ඒත් අපි මොන තරම් දුක් කන්දරාවක් විඳිනවාද? මොන තරම් නම් හූරා කෑමකට ලක් වෙනවද? අපි දුක් මහන්සියෙන් වගා කරන දේට හම්බ වෙන්නේ මොන තරම් සොච්චමද ? ඒක වෙළෙන්දෝ ඇවිල්ල ගසා කන විදිහ උඹලට පේනවා නේද?  මේ ගමේ ඉඳන් අමාරු ලෙඩෙක් ඉස්පිතාලෙට ගෙනියන්නේ  ලීයක ගැට ගහපු රෙද්දක බුදි කරවලා නේද ? 

තාමත් සනීප කර ගන්න පුළුවන් ලෙඩ්ඩු අකාලේ මැරෙන්නේ සන්නිය හදුනා, යකා ගැහුවා නැත්නම් හුනියමක් පෑගිලා කියල හිතල නේද? කොකු පණු අමාරුව හැදිලා බඩ ඉදිමිච්ච ළමයි ඔහොම වෙලා තියෙන්නේ අපලෙට කියල බෙල්ලට තඩි යන්තරයක් දාලා අතේ නුලක් බැඳලා මන්ද පොශනේන් මැරී මැරී ජීවත් වෙනවා . ගමේ  කපුවෝයි, පුජකයෝයි  හොල්මන් අවතාරයි දෙයියෝයි  ගැන කියල  උඹලව කොච්චර රවට්ටනවද ?  අල්ලපු ගෙදර  හිතවතා නෑදැයා කොඩිවින අණවින කළා කියල උඹලම  එකිනෙකා කොච්චරනම්  කොටවනවද ? 

මෙන්න මේ හේතුව හින්දා තමයි මට උඹලට ඉහළට උගන්වන ඕනි උනේ . ඒත් දැන් අපි පළවෙනි උත්සාහය පරාජයි. අපි ප්‍රායෝගික නොවන ඉලක්ක වලට ගිහින් මේ වෙලාවේ නැත්තටම නැති වෙන්න ඕනි නෑ. මේ සමාජෙටම ආපහු බැහැලා ඔය ඉගෙනීම කරන්න පුළුවන්. අලුත් දේවල් හොයන්න පුළුවන් . ඇයි මෙහෙම වෙන්නේ කියල හිතන්න පුළුවන් . උඹලගේ දරුවොවත් මේ නාරාවලෙන් ගොඩ ගැන බලපල්ලා .උන්ට හොඳට උගන්නපල්ලා. 

උඹලගෙන් එකෙක් කිතුල් මදින්නෙක්  වෙන්න පුළුවන්, ගොවියෙක් කම්කරුවෙක් නැත්නම් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න පුළුවන් ඒත් ජීවිතේ සාර්ථක කර ගන්න මුලධර්ම උඹලට අනුගමනය කරනන් පුළුවන්. ටික ටික ඉතිරි කරලා  ගෙයක් දොරක් හදලා හොඳින් ඉන්න බැරි නෑ . විශේෂයෙන්ම සමාජේ ඔලුව උස්සලා නිවටයෝ වගේ නැතිව ජීවත් වෙන්න බලාපල්ලා . 
උඹලා මොන විදිහේ පුංචි රස්සාවක් කරත් ඒක සන්තෝෂෙන් අභිමානෙන් කරපල්ලා,  එතකොට උඹලගේ  දරුවන්ට හීනමානයක් දැනෙන  එකක් නෑ තමන්ගේ අප්පා කරන රස්සාව ගැන . මෙහෙ ජීවත් වෙන්න ලොකු සල්ලියක් ඕනි නෑ. ඒ නිසා ළමයින්ට උගන්වන්න අනිවාර්යයෙන්ම හොඳට වියදම් කරපල්ලා  .  ඇල දිගේ,  ඔය දිගේ ඇවිද්දත් ඕනි වත්තකට ගියත් බඩ පිරෙන්න කන්න දේවල් තියෙනවා. කොස් තියෙනවා. පලා තියෙනවා, බිම්මල් තියෙනවා.  එලියට විසිකරන පැපොල් ඇටේ, දොඩම් ඇටේ  නිකම්ම පැලවෙනවා .

නිතරම පොත පත කියවපල්ලා. පැත්තක් ගන්නේ නැතිව කරුණු විමසපල්ලා. ගමේ අනිත් උන්ටත් වැදගත් දේවල් කියල දීපල්ලා. හොඳ මිනිස්සු ආශ්‍රය කරපල්ලා. සතුටින් විනෝදෙන්  ඉඳපල්ලා . 

ඔන්න ඔහොම කියල ඔය ගුරුවරයා ගොලයින්ගෙන් වෙන් වෙලා ගියා .  මේ ගෝලයෝ පිරිසත් තමන්ට පුළු පුළුවන් හැටිය හොඳින්  ජීවත් වුනා. හැමෝටම හොඳ ගෙයක් දොරක් තිබා. ළමයින්ට හොඳට ඉගැන්වුවා. නිතර බලන්න ආවේ නැතත් අර ගුරුතුමා එක්ක තිබ්බ බැඳීම ආදරය දිගටම තිබ්බා.

***
මෙන්න මේ කතාව කවුරුවත් නොදැන ඉන්න තිබ්බා ගිය මාසේ  නිවාඩු දවසක හැන්දෑවේ ගමේ ගෙදර ඉස්තෝප්පුවේ ඉද්දි තාත්තගේ අතීත ගෝලයෝ ගැන මම හාරා අවිස්සුවේ නැත්නම් .  මට ආයෙමත් පාරක් පහුවෙලා හමු වූ තාත්තා කතාවත් සිල්වා සර්ගේ කතාවත්  මතක් වුනා .

තාත්තා ඒ කිව්වා වගේම කතාවක් මට තවත් පිරිසකට කියන්න තියෙනවා . ඒ කතාවත් මම ලියාගෙන යනවා

Image Source: Viet Vision Travel
 . 

%d bloggers like this: