Menu Close

කොටි දියණියකගේ පාපෝච්චාරණය (Tamil Tigress by Niromi de Soyza) – පරිවර්තනය සුනිලා විජේසිංහ

සටහන
නිරෝධායන කාලයේ උපරිම ප්‍රයෝජන ගනිමින් පොත් කිහිපයක්ම කියවා ඉවර කරන්න අවස්ථාව ලැබුණා. පොත් කියවන අය සමූහයේ පළ කල සටහන් කීපයක් බ්ලොග් එකේත් පළ කරන්න හිතුවා.මේ අදහස ලබාදුන් මනෝරම වීරසිංහට ස්තූතියි😊


——–


කොටි දියණියකගේ පාපෝච්චාරණය 
(Tamil Tigress by Niromi de Soyza) – 
පරිවර්තනය සුනිලා විජේසිංහ


පහුගිය දවස් කිහිපයක් එක දිගට ඊ-පොත් කියවීම නිසා විඩාපත් වුණ ඇස්වලට සහ ඔලුවට විවේකයක් දීමේ උවමනාව නිසා කාලෙකින් මුද්‍රිත පොතක් අතට ගත්තා.

සමස්තයක් හැටියට ගත්තොත් මේ පොත සම්බන්ධව මගේ මතය මෙය සමබර ලිවීමක් නොවන බවයි. කොටි සංවිධානය හැරගියා යැයි කියන නිරෝමි ද සොයිසා (සැබෑ නම නොවේ) බොහෝ තැන්වල කොටි සංවිධානය වක්‍රාකාරයෙන් සාධාරණීකරණය කරන අතර සංවිධානයේ බොහෝ ක්‍රියාවන් සුළු කොට තකමින් රජයේ හමුදාවන්වල ක්‍රියාවන් උලුප්පා දක්වන ගතියක් මුලු පොත පුරාම දැකිය හැකියි.

නමුත් සමස්තයක් වශයෙන් පරිවර්තනය ප්‍රශස්ත මට්ටමක තියෙනවා. 

දැනට දරු දෙදෙනා සහ සැමියා සමග ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජීවත් වන එහි විශාල විද්‍යාලයක ආචර්යවරියක් ලෙස සේවය කරනවා යැයි පැවසෙන නිරෝමි සහ ඇගේ පාසැල් හොඳම මිතුරිය අජන්ති ප්‍රථම කාන්තා කොටි සෙමළ මුලුවට ශිෂ්‍ය කොටි සංවිධානයෙන් එක්වූ මුල්ම සාමාජිකාවන් බවයි මෙහි සඳහන් වන්නේ.

අට හැවිරිදි වියේදී, යාපනයේ මුල්ගම්කරුවෙකු වූ පියාගේ මහගෙදර නවතා යාපනය කන්‍යාරාමයට ඇතුලත් කරන තුරු ඇය තම මව්පියන් සහ නැගණිය සමග ජීවත්ව ඇත්තේ නොටන්බ්‍රිජ්හී. තාත්තාගේ සහෝදර සහෝදරියන් සත්දෙනා මෙන් ඉහළටම ඉගෙනීමේ ආශාවෙන් යාල්පනම් ගිය චතුර ලෙස සිංහල කතා කල දැරියක කොටි සංවිධානයෙන් කළවර වූයේ කොහොමද?

ද්‍රවිඩ ජන සමාජය තුළ කුල ගෝත්‍ර බෙදීම සිංහල ජන සමාජයට සාපේක්‍ෂව අතිශය දරුණුයි, අදටත්. 
නිරෝමිට අනුව ඇගේ මවගේ පියාගේ පියා ද මවගේ මවගේ පියාගේ පියා ද ඉන්දියාවන් සංක්‍රමණය වූ ඉඩම් හිමි වෙළෙන්දන්. ඔවුන් ඉංග්‍රීසින්ගේ කාලයේදී ක්‍රිස්තියානි ආගම වැළඳගෙන සුදු කරපටි රැකියා ලබාගත් (ශ්‍රී ලංකා දුම්රිය සේවයේ) ලංසීන් මෙන් හැදුණු වැඩුණු පවුලක් වද්දී නිරෝමිගේ පිය පාර්ශවය අති සම්ප්‍රදායික යාල්පනම් වැසියන් වීම නිසා තම අන්තර් ජන සමාජය තුළින්ම එල්ලවූ පීඩනය සම්බන්ධයෙන් ඇය අවස්ථා ගණනාවක දී කතා කර තිබෙනවා.

“මගේ තාත්තාට අම්මා මුණගැසී ඇත්තේ ඔහු දකුණේ රාජකාරි කරන සමයේ දීය. එහෙත් දෙපාර්ශවයෙහිම දෙමව්පියෝ ඒ ප්‍රේම සම්බන්ධතාවයට විරෝධය දැක්වූහ. උතුරේ වසන පියාගේ මව්පියන් සැලකුවේ කඳුකරයේ හා මුහුදුබඩ වසන ද්‍රවිඩ ජනයා තමාට වඩා තත්වයෙන් පහත් බවකි” (පිටුව 27)

“තාත්තාගේ සහ අම්මාගේ විවාහය ගැන අප්පම්මා නිතර සිටියේ නොසතුටිනි. කුලවත්, වංශවත්, උගත්,ධනවත්, පැහැපත් හා චරිතවත් යාපනයේ ද්‍රවිඩ ළඳුන් ඕනෑතරම් තාත්තාගේ අත ගන්නට කැමැත්තෙන් සිටි බව ඈ නිතර පැවසුවාය.” (පිටුව 37)

” මම ක්‍රමයෙන් තාත්තාගේ පැත්තේ නෑදෑයන්ගේ ආභාෂය ලබමින් සිටියෙමි. ඒ අතර අම්මා දිගින් දිගටම ඔවුන්ගේ අප්‍රසාදය අත්විඳිමින් සිටියාය. විශේෂයෙන්ම විවාහ මංගල උත්සවවලදී සහ උපන්දින සාදවලදී අම්මා කොතෙකුත් නින්දා අපහාසවලට ලක් වූවාය” (පිටුව 39)

මේ හැරුණු විට වෙනත් පළාත්වල සිට යාපනයට පැමිණි ‘පොෂ්’ ද්‍රවිඩයන්ට යාපනයේ සාම්ප්‍රදායික ද්‍රවිඩයන් වෙතින් එල්ලවූ පීඩනය ගැන ඈ කතා කරනවා.

ඇය අසල්වැසි තරුණයෙකු වූ දීබාන්ගේ අබිරහස් මරණය ගැන කතා කරද්දී එකිනෙකට ප්‍රතිවිරුද්ධ බොහෝ කරුණු කියන ගතියක් පෙනෙනවා. ඇයට අනුව දීබාන් සංවිධානයේ ක්‍රියාකාරිකයකු නොවුණද(?) පණ්ඩිතාර් නම් කොටි සාමාජිකයා සහ ඔහුගේ සගයන් ඒ නිවසේ නිතර රැඳී හිටියා. ඔහුගේ මරණයට කිට්ටු ඇතුළු සංවිධානයේ සාමාජිකයන් පැමිණි බවත් කියනවා. ඈ වක්‍රාකාරයෙන් උත්සහ කරන්නේ දීබාන් මරා දැමුවේ රජයේ හමුදා විසින් බව පෙන්වීමටයැයි සිතෙන්නේ නිරායාසයෙන්. (පිටුව 53-56). එසේ වුවත් පසුපිටකදී (පිටුව 78) ඈ කියනවා “ඒ වනවිට මියගිය දීබාන්ගේ බාල සහෝදරයා මනෝ කොටි මාධ්‍ය ඒකකය හා සම්බන්ධකම් පැවැත්වීය. මගේ කවි පළකොට දෙනු ලැබුවේ ඔහු විසිනි. මා ඒවායේ සඳහන් කළේ මගේ පළමු නම පමණක් බැවින් අම්මා ඒ ගැන කිසිත් දැන සිටියේ නැත. ඒ කොටි සංවිධානය පිළිබඳ මගේ ආත්ම විශ්වාසය ගොඩනැඟෙමින් තිබූ අවධියයි”
එසේම සංවිධානයට එක්වූ පසු නීර්වේලී ප්‍රදේශයේ ගත කළ කාලය ගැන ඈ කියන්නේ දීබාන් දිවි නසා ගත්තේ එම ප්‍රදේශයේ දී බව. 

TELO සංවිධානයේ කිර්යාලයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඉන්පසු TELO සහ PLOTE සංවිධාන තහනම් කර ඇති බව කොටි නිවේදනය කළවිට ඇය මෙහෙම කියනවා ” අනෙකුත් පක්ෂ මෙන් නොව කොටි සංවිධානය තුළ සිගරට් සහ මත්පැන් තහනම්ය. ප්‍රේම සම්බන්ධතා පවත්වා ගෙන යා නොහැකිය. කොටි සාමාජිකයන් තම සංවිධානයේ බලය වඩා තහවුරුව ඇති ප්‍රදේශවලට ආසන්න මායිම් ගම්මානවල සිංහලයන් මෙන්ම ද්‍රවිඩ මිනිසුන් ද මරා දමන බව මට අසන්නට ලැබුණි. එවැනි ආරංචි මම හාස්‍යජනක ලෙස හෙළා දුටුවෙමි”

සමහර අවස්ථාවලදී ශිෂ්‍යාවන් ලෙස සංවිධානයට බැඳීම ප්‍රතික්ෂේප වූ බව ඈ පුන පුනා කියනවා. ළමා සොල්දාදුවන් බඳවා ගත්, තම වර්ගයාම වෙනත් සංවිධාන පවත්වාගෙන යාම නිසාත් යුධ වාසි වෙනුවෙනුත් ඝාතනය කළ සංවිධානයක් එසේ කරාවිද (?) 

” එක් දහස් නවසිය අසූ හතේ අප්‍රියෙල් මාසය වනවිට රටේ භීෂණය රජයමින් තිබුණි. ශ්‍රී ලංකා යුධ හමුදාවන් අතින් යාපනය අර්ධද්වීපයේ වයඹ පෙදෙසට වන්නට ද්‍රවිඩ ජනතාව ඝාතනය වෙද්දී ද්‍රවිඩ කොටි හමුදාව ඔවුන්ගෙන් පිළිගත්තේ අනුරාධපුර ආසන්නයේ මායිම් ගම්මානවල සිංහල වැසියන් ක්‍රෑර ලෙස සමූලඝාතනය කරමිනි” (පිටුව 95)
ඇයගේ යෙදීම බලන්න. රජයේ හමුදා ද්‍රවිඩ ජනතාව ඝාතනය කළා (?) එම නිසා කොටි පළිගත්තා (?) අනෙක් අතට 1987 -1989 රට පුරා පැතිරුණු භීෂණය (?) (කොටි පමණක් නොවේ, ජවිපෙ ද භීෂණය පැතිරුවා, නමුත් ඇය උලුප්පා දක්වන්නේ රට පුරා සිවිල් යුදධ භීෂණයක් පැවති බව ද? 

” පසුවදා උදෑසනින්ම ශිෂ්‍ය සංවිධාන කාර්යාලයට ගොස් මුරලි මුණගැසී යුධ පුහුණුව සඳහා නම ඇතුළත් කළ යුතු යැයි මම තීරණය කළෙමි. ‘මගේ තීරණය වෙනුවෙන් දොස් පැවරිය යුත්තේ රජයටයි. මන්ද, යාපනයට එරෙහි මේ භිෂණය තුළින් ඔවුන් තව තවත් කොටි යුද භටයන් බිහි කරන බැවිනි’ මගේ කල්පනාවන් එසේ විය. 

විරෝධතා මධ්‍යයේ සංවිධානයට එකතු වන ඇයව බඳවා ගැනීමට යාපන දේශපාලන අංශ නායක (පසුව ඉන්දීය හමුදාවන්ට එරෙහිව උපවාසයකදී මියගිය) දිලීපන් සහ මුරලි විරුද්ධ වන බව ඇය පුලපුලා කියනවා. නමුත් මට හැඟෙන ආකාරයට නම් ඒ වනවිට කොටි සංවිධානයට එක් වී සිටින තරුණියන් වඩමාරච්චි ප්‍රමුඛ ප්‍රදේශවල දිළිඳු පහත්යැයි සම්මත කුල සහ සමාජ තත්වයන්ගෙන් පැවතීමත් නිරෝමිගේ ඉහළ මධ්‍යම පාන්තික කුලවත් පසුබිමත් නිසා ඔවුන් තුළ හටගත් චකිතයක් නිසා ඒ විරෝධය පළ වූ බවයි. මෙවැනි ප්‍රකාශන සහ සිදුවීම් විස්තර කරද්දී ඒ සැකය ඇති වෙනවා
“අඩු කුලේ නූගත්තු අවි ආයුධ අතට ගත්තම මෙහෙම තමයි වෙන්නෙ” (පිටුව 88)

ප්‍රභාකරන් නිරෝමිව පෞද්ගලිකවම හඳුනා ගෙන සිටි බව කියන ඈ අවස්ථා ගණනාවකදී ඔහු ඔවුන් හා පැවසූ දේ ගැනත් කතා කරනවා. 
“ප්‍රභාකරන් විදෙස්‌ගත වන ද්‍රවිඩ ජාතිකයන් නිර්දය ලෙස විවේචනයට ලක් කළේය. ඔවුන් දේශ ද්‍රෝහීන් ලෙස හැඳින්වූයේය.’ අපි දුක් විඳලා අපේ ද්‍රවිඩ මාතෘභූමිය ලබාගත්තම එයාලා ආපහු ඒවි. එතකොට මං එයාලව මායිම් ගම්මානවල පදිංචි කරවනවා, සිංහල අයගෙන් පීඩා විඳින්නත් එක්ක. ඒක තමයි සටන අතහැරලා ගියාට එයාලට දෙන දඬුවම’ 
ඒ මොහොතේ අප එක්ව සිනාසුණේ මේ විදෙස්‌ගත ජාතිද්‍රෝහීන් අපේ සටනට එහි සිට උරදෙන බව නොදැනය. අපගේ නිල ඇඳුම්, අවිආයුධ යනාදිය සඳහා ආධාර ලැබුණේ ඔවුන් වෙතිනි. (පිටුව 179)

ප්‍රභාකරන් කලුකොටි ඒකකයට කාන්තා සෙබළියන් ඇතුල් කරගන්නට සැලසුම් කරන බව පැවසූ අවස්ථාව බලන්න. 
“මම මිලර් සම්බන්ධ සිද්ධිය සිතින් මවාගන්නට උත්සාහ ගතිමි. බොත්තමකට අත තැබීමෙන් අනතුරුව බොහෝ ජීවිත විනාශ කරමින් ඔහුගේ නව යව්වන සිරුර කුඩා කැබලිවලට කැඩී විසිරී යන්නට ඇත. මගේ කොඳුඇට පෙළ වෙවුලා ගියේය. එක මිනිස් බෝම්බයකින් විශාල හමුදා භටයන් සංඛ්‍යාවක් විනාශ කළ හැකි වීම කුඩා වැයකිරීමකින් විශාල ප්‍රතිඵලයක් අත්කරගැනීමක් වැන්න. එයින් සාමාන්‍ය ජනතාව විනාශ වන්නට ද ඉඩක් නැත(?). මිලර් සිදුකොට ඇත්තේ මහත් නිර්භීත ක්‍රියාවකි” (පිටුව 181)

නිරෝමිගේ කතාව ඉතා දුෂ්කර ජීවිතයක් ගතකළ සාමාන්‍ය සෙබළ සෙබළියන්ගේ අත්දැකීම්. නමුත්  LTTE කාන්තා දේශපාලන අංශ ප්‍රධානීයාව සිටි තමිලිනීගේ කාතාව සමග නිරෝමිගේ කතාව නිතැතින්ම සංසන්දනය වෙනවා. තමිලිනීගේ කතාව සාපේක්ෂව සංයමයෙන්, සිදුවූ හානිය ගැන පරිණත අවබෝධයකින් සහ සාධාරණව ගැටලුව දෙස බලමින් ලියැවුණක් බව දැනෙනවා. නමුත් නිරෝමිගේ කතාව ගැන මට තියෙන්නේ මිශ්‍ර හැගීමක් සහ කිව නොහැකි අපැහැදීමක් ගොඩ නැගෙනවා ඇයගේ දෘෂ්ටි කෝණය ගැන. 

අනෙක් අතට ඇගේ සමහර අදහස් ඉතා මුග්ධව පැවති බව මුල් කොටස් කියවද්දි හිතෙනවා. ද්‍රවිඩ ජනතාවට සිංහලයා විසින් සිදු වූ වෙනස්කමකට වඩා ද්‍රවිඩ සමාජය තුළින්ම එල්ලවූ පීඩනය ඇයගේ තීරණයට බලපා ඇති බවක් තමයි මට නම් දැනෙන්නේ. අනෙක් ප්‍රධානම දේ තමයි ඇය කොටි සංවිධානයේ ඇතැමුන්ගේ ක්‍රියා කලාපයන් ගැන කලකිරීමෙන් කතා කලාට ද්‍රවිඩ ඊළම ගැන විවේචනයක් හෝ මධ්‍යස්ථභාවයක් නොදැක්වීම. 

මේ කතාවේ මට වඩාත්ම සංවේදී වූ තැනින් මම මේ සටහන අවසන් කරනවා:
” සංකේතාත්මක අවි බාරදීම හමාර විය. අපි සෙමෙන් දීබා සොයා පිය නැගුවෙමු. තැන තැන එක්රොක් වූ සාමාන්‍ය මිනිසුන් එක පොකුරට සෙමෙන් දිවයන අප දෙස බලා සිටියේ විමතියෙනි. එක්තරා නිර්භීත මිනිසෙක් කෑගසා අපහට යමක් පැවසුවේය. 
‘පිරිමි ළමයින් නම් දැන් ආයුධ බාරදුන්නා. අනේ දරුවනේ, දැන් ඔයාලා මොකද කරන්නේ? දුවන්ඩ, ආපහු ඔයාලගේ ජීවිතේ හොයාගෙන දුවන්ඩ’ (පිටුව 191)

%d bloggers like this: