Menu Close

ලිංගික පාපය


සුදින්න නම් වූ කලන්දපුත් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ තමාව සාසනයේ පැවදිකරගන්නා ලෙස අයද සිටි අතර එහිදී උන් වහන්සේ දන්වා සිටියේ මාපියන්ගෙන් අනුමැතිය ලබා පැමිණෙන ලෙසය. සුදින්න කලන්දගම තම මව්පියන් වෙත ගොස් තමාට පැවිදිවීමට අවසර දෙන ලෙස ඉල්ලාසිටි අතර වත්පොහොසත් එම දෙමාපියන් තම එකම දරුවා වන ඔහු හට පැවිදිවීමට අවසර නොදුන් අතර සුදින්න ආහාර අනුභවය ප්‍රතික්ෂේප කරමින් පැවිදිවීමටම ඉල්ලා සිටිය. පැවිදි ජීවිතය එපාවී ඔහු නැවත ගිහිජීවිතයට පැමිණේවියැයි බලාපොරොත්තුව පිට දෙමාපියන් අවසානයේ කැමැත්ත පළකරනලදී
සුදින්න සාසනේ පැවිද උපසම්පදා ලබා පිණ්ඩපාතියෙන් අරණෙහි වසයි. මේ කාලයේ දුර්භික්ෂාවක් ඇතිවිය. සෙතට්ඨිකානම් සස්‍යරෝගය විය.පිණ්ඩපාතය හිගවිය. එම නිසා ආයුෂ්මත් සුදින්න තම කලන්දසිටු ග්‍රාමය ආශ්‍රයේ වාසයට ගියේය. ගමේ පිඬුසිගා වැඩියේය. මෙය දුටු ආයුෂ්මත් සුදින්නගේ පියා පැමිණ ආයුෂ්මත් සුදින්නව ගෙදර එක්ව ගොස් දානය පිළිගැනිවීය. සිය ධනය සැපසම්පත් භුක්ති විදිමින් ගිහිගෙයි වාසය කරන ලෙස ඇවිටිලි කළේය. ගිහිකල මව හා බිරිද ද ඇවිටිලි කළේය. ආයුෂ්මත් සුදින්න කැමති නොවීය. අවසානයේ මව මෙසේ පැවසීය,
“පුත සුදින්න, මේ කුලය ආඪ්‍යය, මහාභෝග මහද්ධන වස්තූපකරණ ඇත්තක. එහෙයින් කුලවංශය ආරක්‍ෂා කර ගැණීමට බීජයක් (පුතෙකු) දෙව.
“මෑනියනි, මෙය මට කරන්නට හැකි ය”යි සුදින්න කී ය. “පුත සුදින්න, මෙ කල කොහි වෙසෙහි දැ?”යි මවු ඇසුවා ය. “මෑනියනි, මහවනයෙහියැ”යි සුදින්නභික්‍ෂු තෙමේ කී ය.
…ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ මවු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹුව බණවා “එසේ වී නමි ලේළිය, යම් දවසක ඍතුමතී වෙහි ද, තිට මල්වර වේ ද, එකල්හි මට දන්වව” යි කිවු ය.
නොබෝ දවසකින් අඹු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ මවුට “ආර්‍ය්‍යාවෙනි, උතුනියක් වෙමි. මට ඔසප් ලෙය උපනැ”යි මෙය කීවා ය. “එසේ වී නම් ලේළිය, යම් අලඞ්කාරයකින් සැරසුනී පුත් වූ සුදින්නහට ප්‍රියමනාප වූ ද, ඒ අලඞ්කාරයෙන් සැරසෙව”යි ඕ කිවු ය.
මවු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹුව කැඳවාගෙණ මහවනයෙහි ආයුෂ්මත් සුදින්න වෙත එළඹියා ය.
”පුත සුදින්න, බීජයක් (පුතකු) දෙව කීය.”
ආයුෂ්මත් සුදින්න “මෑනියනි, මෙය නම් මට කරන්නට හැකි”යි

හෙතෙම ගිහි කල අඹුවගේ අත අල්ලා ගෙණ මහවනයට බැස ගෙණ, සිකපද නො පැණවූ කල්හි….ගිහිකල අඹුව සමග තෙවරක් මෙවුන්දම් සෙවී ය. ඕ එයින් ගබ් ගත්තී ය. අඹු තොමෝ පුතකු වැදුවා ය. එකල්හි ආයුෂ්මත් වූ සුදින්නගේ යහළුවෝ ඒ දරුහට ‘බීජක’ ද අඹුවට ‘බීජකමාතෘ’ ද ආයුෂ්මත් සුදින්න හට ‘බීජකපිතෘ’ නම් කළාහු ය.
’’….ඒකාන්තයෙන් මට ලාභයෝ නො වෙත්. මා විසින් ඒකාන්තයෙන් නපුරු ලැබීමක් ය. යහපත් ලැබීමක් නො වේ”යි ඒ කුකුසෙන් ඒ විපිළිසරින් ආයුෂ්මත් සුදින්න කෘශ වූයේ රළු වූයේ දුර්වර්‍ණ වූයේ විපිළිසර වූයේ පසුතැවිලිව සිතිවිල්ලට වැටුනේ විය.
….. මෙය සැලවූ භික්‍ෂුහු ආයුෂ්මත් සුදින්නහට නොයෙක් ගර්‍හා කොට භාග්‍යවතුන් වහන්සේට ඒ කරුණ සැළ කළාහු ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා.
“සුදින්න, තෝ පොරණ අඹුව සමග මෙවුන්දම් සේවනය කෙළෙහි ය යනු සැබෑ දැ”යි ආයුෂ්මත් සුදින්නගෙන් පිළිවිසි සේක. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය”යි සුදින්න භික්‍ෂු කී ය.
භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූසේක:
“හිස් පුරුෂය, ශ්‍රමණයන්ට අයත් නුවූ අකැප වූ නො කට යුත්තෙක. කෙසේ නම්, තෝ මෙසේ මැනැවින් දෙසූ ධර්‍මවිනයෙහි පිරිසිදු බඹසර හැසිරෙන්නට නො හැකි වූයෙහි ද?

…. “හිස් පුරුෂය, තා විසින් දරුණු විෂ ඇති ආශීවිෂයක්හුගේ මුඛයෙහි අඞ්ගජාතය බහා ලන ලද්දේ නම් මැනැවි. මාගමකගේ අඞ්ගජාතයෙහි සිය අඞ්ගජාතය බහාලන ලද්දේ නො මැනැවි. හිස් පුරුෂය, තා විසින් කෘෂ්ණසර්‍පයක්හුගේ මුඛයෙහි අඞ්ගජාතය බහාලන ලද්දේ නම් මැනැවි. මාගමකගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහා ලන ලද්දේ නො මැනැවි. හිස් පුරුෂය, තා විසින් ඇවිළගත්, හාත්පසින් ඇවිළගත්, ගිනිදැල් සහිත වූ ගිනිඅඟුරුවළෙක අඞ්ගජාතය බහාලන ලද්දේ නම් මැනැවි. මාගමකගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ නො මැනැවි. ඒ කවර හෙයින? යත්: හිස් පුරුෂය, එය හේතු කොට ගෙණ මරණයට හෝ පැමිණෙන්නේ ය. නැත හොත් මරණය වැනි දුකකට පැමිණෙන්නේ ය. ඒ හේතුවෙන් කා බුන් මරණින් මතු සැපයෙන් පහ වූ නරකගතියෙන් යුක්ත වූ විවශ ව පතිත වන්නා වූ නිරයට නො පැමිණෙන්නේ ය. මේ හේතුවෙන්, හිස් පුරුෂය, කා බුන් මරණින් මතු අපාය නම් වූ දුග්ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙන්නේ ය.
“හිස් පුරුෂය, ඒ මෙබඳු වූ සාවද්‍යකර්‍මයෙහි තෝ නීචජනයන්ගේ ස්වභාවයක් වූ, ගම්වැස්සන්ගේ ස්වභාවයක් වූ, ලාමකපුරුෂයන්ගේ ස්වභාවයක් වූ, රාගාදි කෙලෙසුන්ගෙන් දූෂිත වූ, දියකිස අවසන් කොට ඇති, රහසේ කට යුතු වූ, දෙදෙනෙකුන් දෙදෙනෙකුන් විසින් සමවැද්දැ යුතු වූ මෛථුන ධර්‍මයට සමවන්නෙහි ය.
……ප්‍රසාදය එළවන සංවරයාගේ ද, කෙලෙස් රැස් නො කිරීමෙහි ද, විර්‍ය්‍යාරම්භයෙහි ද, ගුණ වදාරා, භික්‍ෂූන්ට එතැනට සුදුසු වූ එයට අනුලොම් වූ දැහැමි කථාවක් කොට භික්‍ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, එසේ වී නම් සඞ්ඝයාගේ හිත සුව පිණිස, සඞ්ඝයාගේ පහසු බව පිණිස, දුශ්ශීල පුද්ගලයන්ට නිග්‍රහය පිණිස, ප්‍රියශීල භික්‍ෂූන්ගේ ඵාසුවිහරණය පිණිස, මෙලොව දී පැමිණියැ හැකි දුක් දුරු කිරීම පිණිස, පරලොව දී පැමිණෙන දුක් නැසීම පිණිස, නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස, පහන් වූවන්ගේ වැඩියක් පැහැදීම පිණිස, සද්ධර්‍මයාගේ චිරස්ථිතිය පිණිස, විනයානුග්‍රහය පිණිස ය යන මේ දස හිතවිශේෂයන්ගේ නිෂ්පත්තිය පිණිස භික්‍ෂූන්ට සිකපදයක් පණවන්නෙමි. මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මෙවුන්දම් සෙව්නේ නම්, කෙලෙස් සතුරන් විසින් පරදවන ලද්දේ සංඝයා හා එකකර්‍මාදිසංවාස නැති වන බැවින් (අසංවාස සහවාස නැත්තෙක්) වේ..
%d bloggers like this: