Menu Close

කොරෝනා කොරපු; කොරන හරිය! – පළමුවෙනි කොටස

සකල ශ්‍රී ලංකාවාසී ජනතාව වගේම මාත් ‘උක පුඩ දමාගෙන; දෑස් දල්වාගෙන බලා හිඳින්නේ හෙට උදාවන තුරුය. 2020 මාර්තු 24 වෙනිදා උදෑසන හය වෙන තුරුය! 

පසුගිය සිකුරාදා පස්වරු පැනවුණු ඇඳිරි නීතිය ඉවත් කෙරෙන්නේ හෙට උදේය!
“නිමල් අයියට මේ ටිකේ කන-බොන බඩු-මුට්ටු එහෙම කොහොමද දන්නෙ නැහැ- කියලා මං ඔය පැත්තේ යාළුවෙකුගෙන් ඇහුවා. ඌ කිව්වනේ, අපි කාට නැතත් මාස දෙකකට විතර උයපු කෑමම නිමල් අයියගෙ ෆ්‍රිජ් එකේ තියෙනවය කියලා. ඇත්තද නිමල් අයියේ ඒකා කිව්වේ?” හිතවත් සම්පත් රණසිංහ පෙරේදා මීගමුවේ ඉඳලා ඇහුවේය.

“කවුරු වුණත් කියලා තියෙන්නේ බාග බොරුවක්…. තියෙන ඒවා මාස හතරකට ඇති.” මම කීවෙමි!
අප එහෙම විරෝගෙන ඉන්නේ ‘Battle of ෆුඩ් සිටීස් – 2020’ පටන් ගන්න තුරුය. ඒ සඳහා ඇත්තේ දවස් ¼ ක සීමාසහිත කාලයකි.

2021 මාර්තු 24 එළි දැක්වෙන වාර්තාවකුත් අදම මට ලැබී තිබෙයි!

ඒවා කොහොම වෙතත් දැන් ඉතින් හෙට දහවල් 12 සිට 27 වෙනිදා වෙනතුරු curfew නිසා වියලි ආහාර ද්‍රව්‍ය ටිකක් හරි ගෙනවිත් තියාගැනීම ඇඟට ගුණය. ඒ යුද්ධය කොහොම වේදැයි බලා ගන්නට වෙන්නේ හෙටමය. ‘මාස තුනකට සේරම දේවල් ගබඩාවල තියෙනවා’ කිව්වත්, කවුද දන්නේ?
ඉතාලියේ ලොකු මහත්තයලා ප්‍රසිද්ධියේම තමන්ට සිදු වුණු වැරදීම පිළිගත්තාට, මේ සම්මජාතියේදී අපේ රටේ නම් එහෙම වෙන්නේ නැත. ඉතින් එවැනි පූර්වාදර්ශයක් අපේ උන්නැහේලා ගැන නැති නිසා එයාලා කවුරුන්වත් කියන දෙයක් අප විශ්වාස කරන්නෙත් නැත.

ඒ තියා ජේසුතුමාත් ආපහු ඇවිත්ය. ඩෙබීලාගේ ගෙදර දොරට තට්ටු කළාලු. 
“අසාපන්න, යුෂ්මතියගේ නිරෝගීකම මගේ අතේය කියලා ෆේස්බුක් එකට කියන එක නවත්තලා, අනිත් මිනිස්සු වගේ නිරෝධායනය වෙලා- නිතර අත් හෝදාගෙන හිඳපන්න!” කියලත් කිව්වාලු!
කොහෙද? අපේ ඔස්තාද්ලා, පකීර්ලා කොච්චර බහුශ්‍රුතයන්ද කියනවා නම්, එකෙක් තමුන් දාගෙන ඉන්න mask එකත් ගලවලා  හෙන්චයියෙකුට දෙනවා, නිරෝධායනේ වීම කොහොම වෙතත්.
තව එකෙක් ඌවෙ ගමක් පුරා පිරිත් පැන් බෙදනවා ‘කොරෝනා’ වෛරස් එකෙන් බේරෙන්න. ලවුඩ්ස්පීකරුත් දාගෙන, පිරිත් පැන් ඉහ-ඉහ කියාගෙන ගියාලු, ඒකෙන් කොරෝනා නැති වෙනවයි කියලා. 

පරෙස්සමෙන් රජෝ…. ට්‍රම්ප් උන්නැහෙ දැනගත්තොත් හෙම, තමුන්නාන්සේව එහාට උස්සයි! (නෑ, නෑ. මරන්න නෙවෙයි. එහෙ මස් හිඟයක් නැහැනේ. උපදේශක කෙනෙකු කරගන්න….)
අද බහුතරේ මෙහෙම හාදයන් නිසා වෙන්නැති ‘නඩත්තු කටයුත්තක් සඳහා පෘථිවිය වසා ඇත’ කියන්නේ. නඩත්තුව ඉවර වෙද්දී කී ලක්ෂයක් එලොව ගිහින් තියේවිද කියලයි බය. 

එපා කරපු එවුන් කරන වැරදිවලට හුඟ වෙලාවට වන්දි ගෙවන්න වෙන්නේ අහිංසකයන්ටනේ.

දැන් තත්ත්වේ කොච්චර සීරියස්ද කියනවා නම්, ‘කොරෝනාවලින් ලෝකය බේරාගන්න යන්නේ නැත්ද?’ කියලා අම්මා අහද්දිත්, Super Man ‘මම මේ ඒක තමයි කරන්නේ’ කියලා කියනවා, ජනමාධ්‍ය උපදෙස් පිළිපදිමින්…… ඇත්තනේ, මිනිහාත් ස්වයං නිරෝධායනේ වෙලා ගෙදර ඇතුළේ!
සුපර් මෑනුත් කෙරුමෙක්ද? අන්න ඒකට අපේ පොරවල්! කොරෝනා වෛරසය පැතිරීම නවත්තන්න ඇඳිරි නීතිය පනවනවා කිව්ව ගමන් පෝලිම් ගැහුණේ නැතැයි පෙට්‍රල් ෂෙඩ්ස් ළඟ. ඇඳිරි නීති රකින්නේ ගේ ඇතුළේ වාහන පදිමින් වෙන්ටැති.

පෙනෙනවා නේද? එහෙම ගහගෙන ඇඳිරි නීතිය වෙලාවේ හයියෙන් ගිහින් ඇම්බියුලන්ස් එකක හැප්පිලා තවත් තරුණ ජීවිතයක් විහින්ම මාරයාට ගොදුරකුත් වෙලා!

ඒ අස්සේ, අනේ තව කට්ටියකුත් සකල අමාරුවක වැටිලා. ඇඳිරි නීතිය අයින් කළාමත් බාර් අරින්න එපාලුණේ. එහෙම කළාම කොහොමද ඇල්කොහොල්වලින් අත් සෝදලා විෂබීජහරණය කරගන්නේ? ඒකයි ‘බෝසත් තරුණ බෞද්ධ සංගමයේ’ අයත් බාර් එකක් ළඟ පෝලිමට එකතු වුණේ!


පොඩි නැහැ කොරෝනා කොරපු හරිය. රටම දන්නා පොලෝසියේ ලොකු මහත්තයෙකුත් හිටු කියලා උපදෙස් දෙනවා වගෙයි ‘කොරෝනා මදින්න’.
අකුරු කොටද්දී මොට්ට මට වැරදිලා……. ‘මදින්න’ නෙවෙයි, ‘මඩින්න’. ඒ කියන්නේ මර්දනය කරන්න. සමහරක් නම් ඒක කියන්නේ උවමනා නැති ‘ධ’යන්නක් එක්කලා. මර්ධනය වචනේ වැරැදියි. 

වචනයක් විදියට නම් හරි ‘මර්දනය’. ක්‍රියාවක් විදිහට නම් ශ්‍රී ලංකාවේදී හුඟාක්ම වෙලාවට ඒක; මර්දනය කෙරෙන්නේත් නින්දනීය ආකාරයටයි!

ඒ ‘ක්‍රම සහ විධි’ අනුගමනය කරන්න වෙන්නේ නියපොත්තෙන් කඩන්න පුළුවන් පැලේ පොරොවෙන් කපන්න වෙන තරමට වැඩෙන කල් අප බලාගෙන ඉන්න නිසයි. මුල වරද්දාගන්න නිසයි.

ජාතියක් විදියටම අප හිතන්නේ ‘අපි තමා නිවැරදිම- සුපිරිම- සියල්ල දත්තෝ’ කියලා. අපේ වැරැද්ද පෙනෙන්න ගන්නේ ප්‍රශ්නය ඔඩු දිව්වාට පස්සේ.
කොරෝනා ගැන මුල ඉඳලාම අපේ ඇත්තන් හිතුවේ සැහැල්ලුවෙන්; කිව්වේ බොරු. අතේ රෝල් පත්තු වෙද්දී ටිකෙන්-ටික තමයි එයාලටත් තරු පෙනෙන්න ගත්තේ.
විද්‍යානුකූල දැනීමෙන් පල නෙලාගන්නවා වෙනුවට…

‘අනේ නිකං ඉඳපන් නිමල්… පණ්ඩිතයෙක් වගේ කොරෝනා ගැන කියන උඹම වුණත්,  දැන් මේ කෙටිල්ල අස්සේ ලැයිස්තුවක් ලියන්නේ? හෙට උදේට බඩු ගන්න යන්න හදන්නේ. නැත්තටම නැති හින්දද? 

සිරිසඟබෝ කාලේ බැමිණිටියා සාය කාලේ මිනිස්සු කරකොළ තම්බලා කාලත් ජීවිතේ ගැටගහ ගත්තේ. සුමානෙකටත් වැඩි කාලෙකට මදිද ඔය ගෙදර තියෙන බඩු?’ හිත අහනවා.
ඔව්නේ. මගේ ජාගර හිත වගේම තමයි. එක-එක්කෙනාගේ හිතේ තියෙන්නේ කොරෝනාවලටත් වැඩිය භයානක වෛරස්.

ඒවායේ විදිහ එක-එක තරමෙන් FB එකේ posts විදිහට එළියට එනවා. සමහරක් ඉතාම නිර්මාණශීලීයි; සිත්ගන්නාසුලුයි. ඒවා ගොඩක් මටත් දකින්න ලැබුණා. කොරෝනා වසංගතය ගැන නිමැවුණු ඒවා පිළිවෙලකට පෙළ ගැස්සුවොත්…. සේරම නෙවෙයි. මගේ හිතට වැදුණු ඒවා. ඒක නේන්නං මේ කෙරෙන්නේ!

ඇත්තම කියනවා නම් එයින් සමහරක ඇත්ත-නැත්ත ගැන මටත් තවම නිශ්චිත අදහසක් නැහැ. බොරුත් ඇති; අතිශයෝක්තියෙන් කියවිලත් ඇති. ඒත් ගින්නක් නැතිවම දුමක් නැඟෙන්නෙත් නැහැනේ. තීරණ ගැනීම ඔන්න ඔයාලටම බාරයි, හොඳේ.
අම්මෝ. පෙනෙන විදිහට නම් 24 වෙනිදා පාන්දර පෝලිම් ගැහෙයි වගේ, මදි නොකියන්නම. කඩ සාප්පුවල රාක්ක හිස් කරයි තව අයට හිතන්නවත් ඉඩ නොතියා.

ඒ ගැන අද-හෙටම ලියන්නම්කො, හෙට පාන්දර ගෙදරට බඩු පුරෝගෙන. ලෝකෙම බඩගින්නේ මැරුණත් මට මොකෝ, මං බේරෙනවා නං!

ඒත් දෙයියනේ…..
දැන් කොහෙද බං දෙයියෝ. නොපෙනෙන දෙයියෝ තියා හැම තැනම හිටිය අරුම-පුදුම සාස්තරකාරයන්- මන්තරකාරයන්- ගුප්ත විද්‍යා ශාස්ත්‍රඥයන්, ලෙඩ සුව කරන්නන් සේරමලාත් හැංගිලා. අද්‍යතන රහතන් වහන්සේලාත් මුඛවාඩම් බැඳගෙනයි ඉන්නේ, වැඩි පරෙස්සමට. අනේ සාදු!

පොඩ්ඩක් හොයලා බලන්නෝනි, ජනාධිපතිවරණ කාලේ අර කැළණි ගඟෙන් නයි පටෝපු මහත්තයා ගැන. බැයිද මහත්තයෝ නාග ලෝකෙන්වත් බෙහෙතක් ගෙන්නාගන්න?

ඔහොම බහුබූත හිතමින් ඉඳලා නින්ද ගියෙත් බාගෙට. නයි පෝලිමක්ම ආවේ නැතැයි Made in China බෙහෙත් කරඬු හිසේ තියාගෙන!
එහෙම නින්ද ගිය පොඩ්ඩට චීන්නු වැඩේ කාලානේ. කොරෝනා සනීපයි කියලා ගෙදර ගිය ඇත්තන්ගෙනුත් 14%කට ආයේ ලෙඩේ මතු වෙලාලු!

අනේ නිමලෝ. තව බඩු ඕනේ නෑ! අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගන්න යන්නේ නැතිව ගෙදරට වෙලා හිටු, ස්වයං නිරෝධායනේ වෙලා!

අද බ්ලොගයේ තියෙන සේරම පින්තූර FB එකේ තිබුණේ. ඒ නිර්මාණශීලී හපනුන්ට, ඒවා ෂෙයාර් කරගෙන තිබුණු උදවියට වගේම ඒවා මට එවූ හැමදෙනාටම ගොඩාරියක් ස්තුතියි!!!
%d bloggers like this: