Menu Close

මේ ව්‍යසන අවස්ථාවේ නොසැලී සිටින්නට බුදු දහමෙන් අපට ලැබෙන සංයමය.

Helping the sickදින කීපයකට පෙර සධ්භාවයෙන් යුතුව රෝගියෙක් ගේ අතේ පිරිත් නූලක් ගැට ගැසූ ස්වාමින් වහන්සේ කෙනෙක්ටද රෝගය බෝ වූයේය යයි ආරංචි විය. එතන ඇත්තේ ආගමකි. දර්ශනය අවමය. සමහරවිට ඒ ස්වාමින් වහන්සේ රෝගියාට මීටර් දෙකක් ඈතින් සිට රතන සූත්‍රයේ අරුත කියා දුන්නා නම්, ඒ රෝගියා ප්‍රායෝගික මිනිසෙක් වුනා නම්, රෝගයෙන් මිදෙන්නට වඩා වැඩි මානසික ශක්තියක් ලබන්නට ඉඩ තිබිණ. ලෝකය, රටේ සහ වර්තමාන තත්වය ගැන අවබෝධය වැදගත් වේ.  

එසේ හෙයින්, “මෙවැනි ව්‍යසනයක් හමුවේ ආගමකින් ඇති පලක් නැත” සේ තර්ක කරන අය බොහෝ සිටී. එහි සත්‍යයක් නැත්තේද නොවේ. එහෙත් ආගමකට සාපේක්ෂව සහ ජීවිතය දෙස යථා කාරී සහ තථා කාරීව බලන්නට උගන්වන දර්ශනයකට ඒ තර්කය අදාළ නැත. බුදු දහමේ ප්‍රධාන ඉගැන්වීමක් වන්නේ, 1. අනිත්‍ය , 2. දුක්ඛ, 3. අනාත්ම යන කොටස් තුන ගැන මිසෙක, භීතියෙන් කිසියම් දෙවියෙක් සරණ යාම සහ ඒ දේව නීති අන්ධව අනුගමනය කිරීම නොවේ.

අනිත්‍ය යනු සෑම දේම වෙනස් වීමයි. අද ඇති කොරෝනා වසංගතයද තවත් කලකින් වෙනස් වී යනවා ඇත. දුක්ඛ යන්න පෙන්වා දුන්නද,  බුදු දහම දුක පෙන්වා දෙන ආගමක් යන්නම නොවේ. එය සතුට හෝ දුක නොපෙන්වයි. යතාර්ථයම පෙන්වන්නේය. .. “සෑම දෙයකම දුක ගැබ්ව ඇත්තේය”.. යන්න එහි පෙන්වා දේ. දුක ඇතිවීමට ඉන්ධන වන්නේ, ‘ආශාව’ හෝ ‘භීතිය’ බවද එය, ‘තන්හා ජායතී ශෝකෝ’ සහ ‘තන්හා ජායතී භයං’ සේ පාලි භාෂාවෙන්ද එය ග්‍රන්ථාරූඩ විය. 

කිසියම් දෙයකට ආශාවක් ඇත්තේ නම්, එය අපෙන් ගිලිහී යනවාට ශෝක කරන්නෙමු. ආශාවක් තිබේ නම් එය ගිලිහී යනවාට බිය වන්නෙමු. මේ නිසා අප ‘කොරෝනා රෝගය’ ගැන බිය වන්නෙමු.

‘අනාත්ම’ යනු අපට ඕනා ආකාරයට ලෝකය වෙනස් කිරීමේ හැකියාවක් නැතිවීමය. වයසට යෑම, මිය යාම වැනි දේ පමණක් නොව ඉතා කුඩා දෙයක් පවා අපට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීම හෝ පවත්වා ගැනීම එතරම් පහසු නැත. ඉතා සරළ සත්‍යයක් වන මෙය තේරුම් ගැනීමට, කෙනෙක් බෞද්ධයෙක් වන්නටම අනවශ්‍යය. බුදු දහමේ වෙනස එය වේ. බුදුන් වහන්සේ බණ දේශනා කල කිසි කෙනෙක් මුලින් බෞද්ධයන් නොවේ. ලේබලය අදාළ නැත. අවබෝධය අදාළය. 

ඉහත 2 වන කොටස වන, ‘දුක්ඛ’ යන කොටස නැති කිරීමට නම් කල යුත්තේ ආශාවන්ගෙන් නික්ම යෑම වේ. මෙය බුදු දහමේ පෙන්වා දී ඇති නොයෙක් සූත්‍ර වල පෙන්වා ඇත. අන් අය කෙරේ මෛත්‍රිය දැක්වීමද ආශාවන් ප්‍රහීන කිරීමේ එක ක්‍රමයකි. කරණීය මෙත්ත සූත්‍රය මගින් පෙන්වා දෙන කරුණු මෙහිදී ඉතා වැදගත් වේ. සියළුම ආකාරයේ සතුන්ට මෛත්‍රිය කිරීමට පෙන්වන එහි අවසානයට ඇති වදන වන්නේ, …“නහි ජාතු ගබ්බ සෙයීයං පුනරේතීති”… යන්නය. ‘කිසි කළෙක මවුකුස පිළිසිඳ නොපැමිණ පරිනිර්වාණයට පැමිණෙන්නේය’ යන්නය.

අප වැනි පුහුදුන් පුද්ගලයන්ට ආශාව සම්පූර්ණයෙන් නැති කරන්නට නොහැකි බව සැබෑවැකි. නැවත මව්කුසක පිළිසිඳ ගැන්මට ආශාව අවම තැනැත්තා නිවනට ලං වුන කෙනෙකි. මෛත්රිය ඇති කර ගැනීම එහි මූලික සාධකයකි. මෛත්රිය යනු ආදරය නොවේ. ආදරය කරන්නේ යමක් ලබා ගැනීමට වුවද, මෛත්‍රිය යනු ආශාවෙන් ප්‍රහීනය. එසේ හෙයින් නන්දා මාලිනී මහත්මිය, ‘ප්‍රේමය හෙවත් මෛත්‍රිය ගැන මෙසේ කීවාය. … “ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය මෙන් අචින්ත්‍යයි…! …පාරිශුද්ධයි සුරම්‍යයි …!!

මෙසේ ආශාව තරමක් දුරට හෝ අඩු කරන්නටවත් බුදු දහමෙන් අපට පිටුවහලක් ලැබේ. පැවැත්මට උර දෙන සිද්ධාන්තයන් මගින් දුක හෝ භීතිය නැතිවන්නේ නැත. 

නොයෙක් පන්සල් වල මේ කාලයේ රතන සූත්‍රය සජ්ජායනය කරනවා ඇසේ. හුදෙක් සූත්‍රය සජ්ජායනය කිරීමෙන් එතරම් ප්‍රයෝජනයක් තිබෙන්නට නොපුළුවන. එහෙත් එක පදයක හෝ අර්ථය දැන එය ආවර්ජනා කිරීමෙන් ලෝක ස්වභාවය යම් පමණකින් හෝ තේරුම් ගැනීමට හැකිවනවා ඇත. ඕනෑම ගැටළුවක් විසඳීමට අවශ්‍ය මුල් පියවර වන්නේ ඒ ගැටළුව හරියාකාරව තේරුම් ගැනීමය. අඩුම ගානේ රතන සූත්‍රයේ නිධාන කතාවේ එන, ‘පළවන පදය’ වත් කුමක්දැයි අවබෝධ කරගෙන එය විවේචනය කල යුතුය.

එය, … “කෝටිසත සහස්සෙන -චක්කවාලේසු දේවතා”… සේ ආරම්භ වේ. ලෝකය විශ්වයේ මධ්‍යය සේ ගනිමින් කරන උපකල්පනයකට වඩා, … “කෝටි ගණන් අපමණ සක්වළ වෙනත් සත්ව සමූහයා සිටී”… යන්න එහි තේරුම වේ.

බුදු දහමේ සිද්ධාන්තයන් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා විහිද ඇත. ඒ හැර, උත්සාහයක් නොමැතිව ලබා ගන්නට උත්සාහ කරන ප්‍රාර්ථනාවලට බුදු දහමේ තැනක් නැත.  බුදුන් වහන්සේගේ කාලයේ වුවද, සමහර අවස්ථාවන් හිදී කෙනෙක්ගේ ජීවිතය රැක දීමට බුදුන් වහන්සේ අවවාද දී නැත. එයට හොඳ උදාහරණයක් වන්නේ, ‘මඝ මානවකයා’ වේ. බුදුන් වහන්සේගේ නුවණින්, ඔහු ස්වල්ප වෙලාවකින් මිය යන බව දුටුවද, ඔහු බේරා ගැනීමට බුදුන් වහන්සේ ක්‍රියා කලේ නැත. ඔහුගේ භවගාමී ජීවිතය බේරා ගැන්ම පමණක් සිදු කළහ.

එහෙත් මීට වෙනස් ආකාරයක් දීර්ඝායු කුමාරයාගේ කතාවේ පෙනී යයි. ඊට හේතුව කුමක්දැයි විමසිය යුතුය.

එනම් කෙනෙක්ට දීර්ඝායු තිබේ නම්, ජීවත් වන්නට වාසනාවක් තිබේ නම්, ඒ පුද්ගලයාගේ ආයු වැඩි කිරීමට ක්‍රියා කළා වැන්න.  දීර්ඝායු නැත්තේ නම් කුමක් කල හැකිද? පහනේ තෙල් නැත්නම්,… පහන හොඳට තිබුනද,… පහන් වැටිය හොඳින් තිබුනද… පලක් නැත. එය නිවී යනු ඇත. කොරෝනා රෝගයෙන් මිය ගිය දස දහස් ගණනක රෝගීන් එසේ නිවී ගිය පහන් මෙන් විය. 

කෙනෙක්ගේ හෝ සමාජයක ආයුෂ වැඩි කර ජීවත් කරවන්නට බුදුන් වහන්සේ සැම විටම උත්සාහ නොකළ බව බුදු සිරිතේ පෙනී යන්නේය. බුදුන් වහන්සේගේ උපන් ශාක්‍ය ගෝත්‍රයේ නෑදෑයන් විඩුඩභ කුමාරයා අතින් සමූලඝාතනය වීම වැළැක්වීමට දෙවරක් උත්සාහ කල බුදුන් වහන්සේ, තෙවන වරක් එය උත්සාහ නොකළේ මෙන්ම, ඒ සමූල ඝාතනයෙන් පසු ඇති වූ ගංවතුර මගින් විඩුඩභ කුමාරයා ඇතුළු පිරිස මිය යෑමෙන් බේරා ගැනීමට උත්සාහ නොකළේද, මේ නිසා වන්නට ඇත.   

බුදුන් දවස තිබී එක්තරා ශ්‍රාස්ත්‍රයක් වූ ජ්‍යෝතිෂය මගින්ද, මිනිසාගේ පැවැත්ම සඳහා මේ හා සමාන සිද්ධාන්ත පෙන්වා දේ. එනම් මාරක තත්ව ඇති වීම දෙකොටසකි. ‘නියත මාරක’ සහ ‘අනියත මාරක’ යන්නය. නියත මාරක තිබෙන්නේ නම් ඊට කල හැකි දෙයක් නැත. එහෙත් අනියත මාරක ඇත්තේ නම්, ඒවා මඟ හරවා ගැනීමට පුද පූජා විධි ප්‍රයෝජනවත් වේ. මේ පුද පූජා විධි බුදු දහමේ දක්වා ඇති ක්‍රමය අපූරුය.

කෙනෙක්ට කිසියම් අසනීපයක් ඇත්නම්, එවැනිම වූ අසනීපයක් ඇති කෙනෙක්ට උපකාරී වීම පූජා විදියකි. … “රෝගීන්ට උපස්ථාන කරන කෙනෙක් වේද, එය මට කරන සැළකීමකි ”… යයි බුදුන් වහන්සේ වදාරා ඇත. සේලයින් බෝතලය අතින් අල්ලාගෙන රෝගීන් සුවපත් කරන්නට වෙහෙසුණු ඉරානයේ මියගිය දොස්තරවරිය සහ ඉතාලියේ මියගිය දොස්තරවරු 17ක් දෙනා මිනිස් වර්ගයා වෙනුවෙන් ඒ කාර්යය කළහ.     

කොරෝනා වසංගතය නිසා මිනිසුන්ගේ මිය යෑම මෙන්ම, ඒ වසංගතය පැතිර යෑමට ආගමෙන් කුමක් සිදු වුනේදැයි අසන අයට බුදු දහමෙන් ලැබෙන්නේ හොඳ පිළිතුරකි.

එනම් මේ ලෝකයේ ඇති දේවල් වලින් 0.0001% ක්වත් අපට වෙනස් කල නොහැකි බවත්, මුළු ලෝකයේම ඇති සියලු දේ දෙසම බැලීමට නම් අපගේ ආකල්පය, 100%කින් වෙනස් කල හැකි බවත්ය. … “ලෝකය යනු කුමක්දැයි? … ඇසූ ප්‍රශ්නයට බුදුන් වහන්සේ දුන් පිළිතුර ඊට උදාහරණයකි. … “ලෝකය පවත්නේ මේ බඹයක් පමණ වූ සිරුරේ යයි මා අනුදැන වදාරමි” … යන්න උන් වහන්සේගේ පිළිතුර විය.

එය සත්‍යයකි. ඔබ ලෝකය දෙස බලන්නේ මා බලන අයුරෙන් නොවේ. ආකල්ප වෙනස් අයුරෙන් අප ඒ දෙස බලමු. රහතන් වහන්සේ කෙනෙක් එතුමන්ගේ ආකල්ප 100% කින් වෙනස් කර ලෝකය දෙස බලනු ඇත. මට ලෝකය පෙනෙන්නේ ඔබට පෙනෙන අයුරෙන් නොවේ. එය එසේ නම් අපට ඇත්තේ විවිධාකාර ලෝකයන් වේ. 
රතන සූත්‍රය හෝ කරණීය මෙත්ත සූත්‍රය ඇත්තේ ජීවිතය නැතිවේ යයි භීතියෙන් සජ්ජායනය කරමින් ජීවිතය සඳහා යදින්නට නොවේ.

ඒ ජීවිත ස්වභාවය නිවැරදිව තේරුම් ගැනීම සඳහාය. 

ජීවිතය අවබෝධ කර ගැන්මට පටු ආකල්ප වෙනස් කල යුතුය.
   

%d bloggers like this: