Menu Close

මාර්තු විසි එක් වෙනි අඟහරුවාදා – 2020

මට දැනෙන්නේ මම ගොඩක් තනිවෙලා. මොනවා තිබුණත් මොන දේවල් කෙරුවත්, කොයි විදිහට දරා ගත්තත්, දැන් මේ මොහොතේ මට තනිකමක් දැනෙනවා. බයක් දැනෙනවා. ඒක පිට කරන විදිහ මම දන්නෑ. මට ඒක හොයා ගන්න තරම්වත් මාව වෙහෙසන්න අමාරුයි. වචන ගලපන්න අමාරුයි. මේක අවසානය නෙවෙයි කියලා දන්නවා. මේ පටන් ගැන්ම උනත් නුනත් මේ විදිහට දරා ගන්න අමාරුයි. ඕනෑම පුංචි දේකට හිනා වෙන මම, මිනිස්සු අතර ගැවසෙනවට වඩා හුදකලා වෙන්න කැමති. ඒත් ඒක මේ විදිහට දරා ගන්න අමාරුයි. හුදකලාව කියන දේ මීට වඩා ලස්සන වෙන්න ඕන. හුඟක් ඇතින් ඇහෙන මිනිස්සුන්ගේ හිනා හඬවල් වලින් මම මගේ හුදකලාවේ බීර කොප්පේ පුරවගන්න කැමති. මම ප්රර්ථනා කරනවා මිනිස්සුන්ට හිනා වෙන්න අමතක වෙන්න එපා කියලා. මිනිස්සු අතරේ මේ අඩි ගණනේන් හැදෙන දුරට මම කැමති නෑ. ඇත්තෙන්ම ඔබෙන් වෙන්ව සියක් ගව්වක් දුරින් ඉන්න මම කැමති තරමටම, ඔබ තවත් කෙනෙකුට හුස්මක තරම් දුරකින් ලං වෙලා ඉන්නවට මම කැමති. ඔබේ තොල් තවත් කෙනෙකුගේ කොෆි කෝප්පයක ගැටෙනවට මම කැමති. මට දරා ගන්න අමාරුම ඇත්තේ මේ මොහොතේ ඔබ තනිව හිඳිමයි. 
 

මම දකිනවා මිනිස්සු එකිනෙකාට දොස් පවර ගන්නවා. මම දකිනවා මිනිස්සු වෛරය මුදා හරිනවා. හෙට වන විට අසල්වැසියාට ප්රේම කරන ලොවක් අප සතුව පවතිදැයි මම කියන්න දන්නේ නෑ. ඒත් හෙට උදෑසන මම කැමති මගේ අසල්වැසියාගේ හඬ මට වෙනදා වගේම ඇහෙනවා නම්, මම ඒ හඬට කොයි තරම් අකමැති උනත්. අපි දොස් පවරන්නේ කාටද? ඔබ – මම මෙන්ම හෙට කියන දවස ගැන අවිනිශ්චිත හැඟිමකින් පෙලෙන තවත් එක් මිනිසෙකුට වෙන්න ඇති. 
 
සමහර වෙලාවට මට හිතෙනවා එළියට බහින්න, කෑ ගහලා මම බය නෑ කියන්න. උදේ පහ වෙද්දී බයිසිකලේට නගින්න. තරු දිහා බලාගෙන, සීතල උර උරා පිඹිමින් දුම් වළාවන් හදන්න. බයිසිකලයේ යන එන විදිහ උගන්වන්නට ස්ටේශන් එකේ පෙළ ගැහිලා ඉන්න මිනිසුන්ට රවමින් කෝච්චියට නඟින්න. ඊටත් පස්සේ තවත් බොහෝ සිදුවීම් තියෙනවා. හැමදාම නියමිත වෙලාවක් නැතත් සුපුරුදු විදිහට සිද්ධ වෙන. තව දවස් කිහිපයකින් මේ හැමදේම ඒ සුපුරුදු විදිහට ආයෙමත් සිද්ධ වේවී. ඒ අතර මට මුන ගැහෙන පුරුදු මුණ එකක් හෝ මුණ නොගැසී නොයන එකක් නැහැයි කියලා මම හිතනවා. ප්රර්ථනා කරනවා. මේක මොන තරම් පීඩාවක්ද? ඒ හැම දවසකටම ඒ සුපුරුදු බව නිසාම ආදරේ කරපු මට මේක හරිම පිඩාවක්. මම දන්නෑ ඉන් මා ගැලවිය යුතුද? ඒ කොහොමද කියන්න?
සමහර විට හිතෙනවා ජීවිතේ මහ අමුතු පාඩම් කියලා දෙනවා කියලා. ඒ පාඩම් අපි අපේ කර ගන්න විදිහෙන් අපේම පැවැත්ම තිරණය කරාවී. ඒ පාඩම කියලා දෙන්නේ අත්භුත දෙයක් නෙවෙයි. මේ සොබාදහමයි. අපි එයට ආදරේ තරමට එය අපට ආදරේ කරාවි යන්න මම හැමදාම විශ්වාස කරනවා. 
 
මේ වචන ලියවෙන්නේ කිසිම පිළිවෙලකට නෙවෙයි, වෙනදාට මම ඔබට ලියන විදිහටත් නෙවෙයි, මට දැනෙනවා මේ වෙලාවේ මම මම නෙවෙයි කියන්න. මම ටිකෙන් ටික මට නැති වෙමින් යනවා කියන්න. ඒත් ඒ ඇතුළේ මට දැනෙනවා මගේ හුදකලාව ඒ තරම් ලස්සන වෙන්නේ මේ ලෝකේ හුදකලා නොවන, හුදකලා වෙන්න අකමැති මිනිසුන් නිසා කියලා. මම කොයි තරම් ඒ මිනිසුන්ගේ සිනාවන්, සතුටු පිරුණු මොහොතවල්, සතුටු කඳුළු හොරකම් කරගෙන තියෙනවද? ඔවුන් මොන වට්ටෝරුවකට අනුව ජිවත් වෙනවද කියන්න මම දන්නෑ. ඒ වට්ටෝරුවෙන් ඇබින්දක් නැතිව මට මේ තරම් පිඩනයක් දැනෙන්නට වෙලා තියෙනවා. ඔවුන් ඒ වට්ටෝරුව මේ මොහොතේ මොන තරම් අමාරුවකින් නඩත්තු කරන්න ඇතිද? මගේ හුදකලාවන් ලස්සන කරපු ඒ හැම ජීවියෙකුටම මම ආදරේ කරනවා. ඔවුන් සතුටින් හුස්ම ගත යුතුයි. ඔවුන් සතුටින් සිනා සිය යුතුයි. මොකද ඒ ජිවින්ගේ සතුටු මොහොතවල් වලින් හුස්ම ගෙන ජිවත් විය යුතුයි. මේ මොහොතේ ඔබ හුදකලා විය යුතුයි. මේ තනිකම ඉවසිය යුතුයි. මේ පීඩාව දරා ගත යුතුයි. ඔබ නිසා ජිවත් වන මා ජිවත් කරවීමට ඔබ ට සිදු වනු ඇත. ඉතිං ඔබ මේ අමාරුම මොහොතේත් සිනා සිය යුතුයි. 
 
බොහෝ විටක හුදකලාව ප්රිය කරන මට මේ වකවානුව දරා ගැනීමට නොහැකිනම්, ඔබ, අනෙක් මිනිසුන් බොහෝ වේදනා විදිනවා ඇති. වෛද්යවරුන්, හෙදියන්, අනෙකුත් සේවකයින් මරණ වරෙන්තුවත් ලියාගෙන රෝහල් වලට ඇතුල් වෙනවා ඇති. එය මම නොදැක්කට මට වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව වෙනුවෙන්වත් ඔවුන්ට ස්තුතී කියන්න පුළුවන් විදිහක් මම දන්නෑ. හැමදේම දරා ගන්නා ඔවුන්ගේ ආදරණියයන් වෙනුවෙන් ඇමතීමට වචනයක් මා සතුව නෑ. මට පුළුවන් දෙවියන්ගෙන් ඉල්ලන්න අනේ ඔවුන්ව ආරක්ෂා කරන්න. ඒත් මේ මොහොතේත් මම දෙවියන්නව විශ්වාස කරන්නෑ. නෑ මගේ ඉස්සරහා දෙවියන් ඉන්නවා ඔවුන් මේ වෙලාවේ කිසිම දේව කනලව්වකටවත් යටත් නොවී දේව ක්රියාවන්ට දායක වෙලා ඉන්නවා. මම ඔවුන් ඇමතිය යුතුයි. එහෙත් මා වෙනුවෙන් එය සිදු කරන ඕනෑම කටහඬක් වෙනුවෙන් ඒ පිටුපසින් සිට ගැනීමට මම කැමති. මොකද මගේ හඬ ඔබේ තරමට ගැඹුරින් නැගෙන එකක් නොවන නිසා. එහෙත් මේ වචන වල ගැඹුරක් නැතත් ඔබට දැනෙවි සිතනවා. ස්තුතී, සිය දහස් වාරයක් ස්තුතී. අනෙක වාරයක් ස්තුතී. ඉන් එහාට තව වචනයක් කිව හැකි නම් මා එය මෙසේ අවසන් කිරීමට කැමති, ඔබට ස්තුතී

%d bloggers like this: