Menu Close

මරණයේ හඬ [කෙටි කතාව]

අත අරිනවා එයාව” පාරෙන් එපිට පිට්ටනියේ සිටි ගොළු ළමයාට කරදර කරමින් සිටි ලොකු ළමුන් දෙදෙනා එළවමින් මම කියා සිටියෙමි. ඔහු කාගේ කවුරුදැයි කියන්න මම කිසිත් නොදනිමි. නමුත් ඔහු මගේ වයසේ අයෙක් විය යුතු යැයි සිතුවේ ඔහුගේ ශරීර ප්‍රමාණයෙන්. ගම අතහැර නගරයට පැමිණි දා පටන් ඔහු පිට්ටනියේ සිට අපේ නිවස දෙස බලා අතේ ඇඟිලි වලින් මොනවදෝ කරනවා අනන්තවත් දැක ඇත්තෙමි.

දිනපතා මම ඉස්තෝප්පුවට පැමිණෙන විට ඔහු සිටින්නේ පිට්ටනියේ හෝ ඔහුගේ නිවසේ ඉදිරිපිට ය. කොහේ සිටියත් සිටින්නේ කිසිවක් නොකර ඔහේ ඉඳගෙන ය. නමුත් මා දුටු විට සුපුරුදු ආකාරයට ඇඟිලි වලින් සෙල්ලම් කරන්නට පටන් ගනියි. බොහෝ අවස්ථාවල දී මෙය අත්දැක තිබුනත් ඔහු ඒ ඇඟිලි වලින් සිදුකරන සෙල්ලම තේරුම්ගැනීමට මට නොහැකි විය.

දැන් ගෙවෙන්නේ ඉතා ග්‍රීස්ම කාලයක්. කොළ පැහැයෙන් වූ කොළ අතු දක්නට ලැබෙන්නේ කලාතුරකින්. මේ හමනා සුළගෙනුත් දැනෙන්නේ රස්නයක්. මේ නිසා මගේ මව මට නිතර කොමඩු ආදී කෑම ආහාරයට හුරු කළා ය. දිනපතා මෙය කෑමට ඇබ්බැහි වූ මම පුරුද්දක් ලෙස නිවසේ ඉදිරියට වී පාර දෙස බලාගෙන කොමඩු කෑමට හුරු වී සිටියෙමි. මෙසේ සිටිනා සෑම විටකම පාරෙන් එපිට නිවසේ සිටි ගොළු ළමයා තම අතින් සෙල්ලම් කරනවා මම දිටිමි.

එදිනත් කොමඩු කෑම සදහා මම ඉස්තෝප්පුවට වී සිටියෙමි. ගොළු ළමයත් වෙනදා මෙන් පිට්ටනියේ වැට අසලට වී ඇඟිලි සමග සෙල්ලම් කරමින් සිටියේ ය. පෙර දිනයක දී ඔහුට කරදර කළ ළමුන් දෙදෙනා මෙදිනත් පිට්ටනියේ පසෙකින් ඔහු වෙත එනවා මම දුටිමි. ඔහුට දුවන්න යැයි කීමට අවස්ථාවක් මට ලැබුනේ නැත.

“අහකට වෙනවා මෝඩයා…” යැයි කියමින් ඔවුන් දෙදෙනා ගොළු ළමයාව බිමට තල්ලු කළෝ ය.
ඔවුහු එයින් නතර වූයේ නැත. එකෙක් ළමයාව තණකොට පිට්ටනිය දිගේ ඇදගෙන ගිය අතර අනෙකා ඔහුගේ පිටුපසට තම කකුළෙන් වැරෙන් පහර දුන්නේ ය. මෙය තවත් බලා සිටීමට නොහැකි වූ මම කොමඩු කැබැල්ල බිම දමා නිවස තුලට දිව්වේ පහුගිය නිවාඩු මාසයේ දී උණබට වලින් සෑදූ දුන්න රැගන ඒමට යි. ඊතලත් උණ බටවලින් සාදා තිබුණු අතර ඒවා තියුණු කිරීමට ඒවායේ අගට ටොනික් මූඩි සවි කර තිබුණි.

මම මේවා රැගෙන පිට්ටනිය වෙත දිව්වෙමි. ගොළු ළමයා බිම පෙරළී තම අත් දෙකෙන් මුහුණ වසාගෙන සිටියේ ය. අනෙක් ළමයි දෙදෙනා දිගින් දිගටම පහර දෙමින් සිටියෝ ය. ගොළු ළමයා මොනවදෝ කීමට උත්සහ කළත් කිසිවක් කටින් පිටවූයේ නැත.  නමුත් ගතවූයේ සුළු මොහොතකි. සතෙක් මරණයට පෙර අවසන් හුස්ම පිටකරන ශබ්දය මෙන් හීන් කෙඳිරිල්ලක් මට ඇසුනි. මට මෙය මාගේ අවසන් හුස්ම වනතෙක් මතකයේ රැඳේ.

මම පිට්ටනියේ දොරටුව අසලට වී උණබට දුන්නත් අතැතිව රෞද්‍ර පෙනුමක් අයාගෙන තඩිබාන ළමුන් දෙදෙනා දෙස බලාගෙන උන්නෙමි. ඔවුනුත් මා දෙස බලා;

“මෙන්න ඉන්නවා තව කෙනෙක් සෙල්ලන් බඩුත් උස්සගෙන…” කියා හයියෙන් සිනාසුනෝ ය.
“ආයෙත් මේ ළමයට ගැහැව්වොත් බලාගෙනයි…” යැයි මම ඔවුන්ට කියා අවසන් වූයේත් නැත. එකෙක් බිම වැටී සිටි ළමයාට කකුළෙන් තවත් පහරක් ගැසුවේ ය.

මගේ කේන්තිය ඉහවහා ගියේ ය. උණ බට දුන්න අතට ගත් මම එයට ඊතලයක් ද දමා ඔවුන් වෙත එල්ල කළෙමි. මෙය දුටු ඔවුන් ගොළු ළමයාට පහර දීම නවතා අඩියක් දෙකක් මා දෙසට පිය නගන්නට විය. මගේ අත වෙව්ලන්නට පටන් ගත්තත් කෙසේ හෝ දුන්න ඔවුන් වෙත එල්ල කර තබාගැනීමට සමත් වුනෙමි. ඔවුන් මට උසුළු විසුළු කරන්නට වූයෙන් මම මගේ පළමු හී පහර මුදා හැරියෙමි. එය ඔවුන් අසලට වැටුනත් කිසිවෙකුට වැදුනේ නැත. දෙවැනි හීය ද විද්දෙමි. එයටත් අත්වූයේ කලින් ඉරණම ය. ඉන්පසු මට උසුළු විසුළු කරමින් සිටි ළමුන් දෙදෙනා ගොළු ළමයාට නැත වරක් පයින් ගසා සිනහ වෙමින් දිව යන්නට විය.

මම ගොළු ළමයා වෙත ගොස් ඔහුවත් රැගෙන ඔහුගේ නිවසට ගියෙමි. ඔහුගේ වැඩිමහල් සොහොයුරිය එහි සිටි අතර මම සිදුවූ සියල්ල ඇයට පැහැදිලි කර දුන්නෙමි. බොහෝ දිනක් මගේ සිතට වද දුන් පැනයක් ඇයගෙන් ඇසීමට සිත් විය.

“මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා මෙයා මං දිහා බලාගෙන ඇඟිලි වලින් සෙල්ලම් කරනවා. ඒ සෙල්ලම මොකක්ද?” මම මාගේ කුතුහලය සිඳ ගැනීමට ඇසුවෙමි.

“ඒ සෙල්ලමක් නෙමේ. එයා ඒ කතා කරනවා. ඔයාට ආදරෙයි කියලයි කියන්නේ. පොඩි කාලේ ඉඳන්ම ඇහෙන්නෙත් නෑ කතා කරන්නත් බැහැ”

මා මෙය විශ්වාස කළේ නැත. කාට හෝ අත්වලින් කතා කළ හැකිද? මම නිවස වෙත ගියෙමි.

දැන් වසරක් දෙකක් පමණ ගෙවී අවසානය. නිවැසියන් මාව දුර බැහැර පාසලකට යවන්නට සියල්ල සූදානම් කළ අතර මට නවාතැන් ගැනීමට සිදුවන්නේ බෝඩිමක ය. මුලදී පටන් මම මෙම යෝජනාවට අකමැති වූ අතර අවසානයේ දී මගේ කැමැත්තට කිසිදු බලයක් හිමි නොවුනි.

බෝඩිම වෙත යන දවස අදය. යාමට කිසිදු කැමැත්තක් නොවූ නිසා වාහනය නිවස ඉදිරියට පැමිණ තිබියදී නිවසින් පැන පාර දෙසට දිව්වෙමි. මෙය දුටු මගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනාද මා පසුපස එළවන්නට විය. මා පිට්ටනිය වෙත ගියේ ඔවුන්ගෙන් බේරී පැනගැනීමට වුවත් එයින් සිදුවූයේ මම එකතැන කොටු වීමයි. මාගේ සහෝදරයන් පැමිණ මාව ඔවුන්ගේ ග්‍රහණයට නතු කර ගත්තේ මා හට හෙළවීමට නොහැකි වන ආකාරයට යි. එකෙනෙහිම මම කකුළ පැටලී බිම වැටුණි. බිම වැටුනු විගස අප අසලට කවුරුන් හෝ ගල් කැට විසිකරනවා දුටුවෙමි.

ඒ වෙන කවුරුත් නොව මාගේ අසල්වැසි ගොළු ළමයා ය. මාගේ සහෝදරයෝ මාව උසුලාගෙන බෝඩිමට යන වාහනය වෙත යන විට ගොළු ළමයාත් අප පසුපස ඇවිදින් වැට අසල නතර විය. වාහනය ඉදිරියට ඇදෙත්ම ඔහු තවත් ගල් කැටයක් ගෙන වාහනය දෙසට විසි කළේ ය. එදිනයි මට වැටහුනේ ඔහුගේ හස්ත සංඥාව සැබෑවක් බව. ඔහු සිතන්නට ඇති මගෙන් පිටවූයේ සතෙක් මියයාමට පෙර නගන හඬක් කියා.


%d bloggers like this: