Menu Close

පාකිස්තානයේ සුපිරි ක්‍රීඩකයාට ජිවිත කාලයටම ක්‍රිකට් තහනම් වෙන ලකුණු.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය සිකුරාදා (20) අනාවරණය කළ තරග පාවාදීමේ චෝදනා නිසා පාකිස්තාන පිතිකරු උමර් අක්මාල් හට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනම් වීමේ අවදානමක් මතුව තිබෙනවා.

පසුගිය පෙබරවාරි 20 වැනිදා පකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ආරම්භක දිනයේ දී 29 හැවිරිදි උමර් අක්මාල්ට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්දන ඒකකය විසින් තරග තහනමක් පැනවූවා. පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටියේ අක්මාල් දූෂණ මර්දන චර්යා ධර්ම පද්ධතිය ආකාර දෙකකින් උල්ලංඝනය කර ඇති බවයි.

“පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය උමර් අක්මාල්ට දූෂණ මර්දන පනතේ වගන්ති දෙකක් කඩ කිරීම නිසා චෝදනා එල්ල කර තිබෙනවා, ඒ තරග පාවාදීමේ යෝජනාවක් බලධාරීන්ට වාර්තා නොකිරීම නිසයි.” පකිස්තාන දූෂණ මර්දන පනත යටතේ තරග පාවාදීමේ යෝජනාවක් තමන්ට ලැබුණු වහාම කණ්ඩායමේ කළමනාකරු හෝ නිලධාරීන්ට දැනුම් දිය යුතුයි.

ඒ අනුව ක්‍රීඩකයෙකු මේ කරුණ උදෙසා වරදකරු වුවහොත් ඔහුට දඬුවම් වශයෙන් මාස හයක තරග තහනමක් හෝ ජීවිතාන්තය දක්වා තරග තහනමක් නියමවනු ඇත.

උමාර් අක්මාල් හට මෙම චෝදනාවලට පිළිතුරු ලබා දීම සඳහා දින 14ක් ලබා දී තිබෙනවා. උමර් අක්මාල් විනය කරුණු නිසා කිහිප වතාවක් දඬුවම් ලැබූ ක්‍රීඩකයෙක්.

2014 දී රථවාහන පාලකයෙක් සමඟ රණ්ඩුවක් ඇති කර ගැනීම නිසා ඔහු සිරගත වුණු අතර පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු වූ මිකී ආර්තර් සමඟ ඇති කරගත් රණ්ඩුවක් නිසා ඔහු 2017 දී මාස 3ක තරග තහනමකට ද ලක් වුණා. පසුගිය මාසයේ දී ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවෙකුට අපහාස කිරීම නිසා ඇති වූ ගැටලුවක් ඔහු සමාදානයට පත් කර ගත්තා.

Share with Friends

%d bloggers like this: