Menu Close

චිත්‍ර තරඟය [කෙටි කතාව]

අනේ අම්මේ එන්නකෝ… මේ බලන්න වහලෙන් වතුර වැටෙනවනේ” අක්කා ඇඳෙන් බිමට පනිමින් අම්මාට කන්නලව් කළා ය. “මේ හැම තැනින්ම වතුර බේරෙන්න අරන්”

අම්මා කර වූ පොල්තෙල් තම ඉරුණු සායෙන් ම පිහිදමමින් පැමිණියා ය.

“ඔන්න ඔය බේසමයි නෑඹිලිය යි අරන් ඉක්මනට මෙහාට වරෙන් පොඩ්ඩියේ” කුස්සියේ අම්මාට රෑ කෑම පිසීමට උදව් වෙමින් සිටි මට ඈ කියා සිටියා ය. සෙවිලි කල පොල් අතු වලින් නිවසේ වහලය සමන්විත වී තිබුනු අතර වැසි දාට එයින් තැනින් තැන වතුර බේරීම මොවුනට සුපුරුදු දෙයකි. නමුත් අද වෙනදාටත් වඩා වැසි ඇදහැලීම නිසා වැසි ජලය සාලයට ත් රූටන්නට විය. මම කියන පරක්කුවට නෑඹිලියයි කුඩා බේසමයි රැගන කාමරය වෙත දිවගෙන ගියෙමි.

කාමරයට පැමිණි පසු දුටු දෙයින් තිගැස්සුනු මගේ අතින් නෑඹිලියයි බේසමයි බිම වැටුනේ නොදැනුවත්ව මය.
“අයියෝ මගේ චිත්‍ර පොත”

මම බිය වූයේ කාමරයේ තිබූ වතුර කඳ දැක නොව, චිත්‍ර පොත මත තිබූ ජල බින්දු කිහිපය දුටු නිසයි. සිංහ ධේනුවක් තම පැටවුන්ව ආරක්ෂා කරගන්නා මෙන් මම චිත්‍ර පොත වෙත කඩා පැන දෑතින් ම බදාගෙන සායෙන් පිසදමන්නට වූයෙමි.

“මේ මක් වෙලාද? දීපන් කෙල්ලෙ ඔය නෑඹිලිය, පොල් අත්ත දිරලා ගිහින්” අම්මා කියා සිටියා ය.
“හෙට චිත්‍ර තරඟෙට ඇදපු චිත්‍ර තියෙන්නෙ මේකෙ. හොදම චිත්‍රය තියෙන කෙනාව කලාප තරගෙට යවනවලු” මම චිත්‍ර පොත දෑතින් බදාගෙන ම කියා සිටියෙමි.

“තරගෙ වගේද කෙල්ලෙ මේ වතුර කන්දරාව. ඕක පැත්තකින් තියලා වතුර අහක්කරන්න මට උදව් වෙයන්”
ඇය මෙසේ කීවත් ඇය තුල මාව චිත්‍ර තරගයට යැවීමට තිබුනේ දැඩි උනන්දුවකි. එසේ නොමැතිනම් ඇය හාල් පොත ජයවර්ධන මුදලාලි මහත්තයා ළඟ තබා චිත්‍ර පොතකුයි පැස්ටල් කූරු පෙට්ටියකුයි ණයට ගනියි ද?

මෙතෙක් පැත්තකට වී බලාසිටි අක්කා අම්මා වෙත හැරී “මෙහෙම තෙමීගෙන ඉන්න නන් අපි මොන එහෙකටද මුදලාලි මහත්තයට ගෙවල් කුලී ගෙවන්නේ.” යැයි කීවා ය.

“මම මීට කලින් කිව්වා බං මේ ගැන. එතකොට උන්දැ කියාපි ‘උඹලා එහෙනන් වෙන ගෙයක් හොයාගෙන පලයන්’ කියල. අපි කොහෙන් කියල ගෙවල් හොයන්නද?”

මීට කිසිවක් නොකියා අක්කා කරබාගෙන ම සිටියා ය. එදින රාත්‍රියෙන් වැඩිමනක් ගෙවී ගියේ කාමරයේ තිබුනු වැසි වතුර ඉවත් කිරීමේ කාර්යයටයි. පසුදින උදයේ මා හැර සියලු ම දෙනා නහය වසාගෙන නිවස තුල ඇවිදයන්නට වූයේ පෙර දින ඇදහැලුනු වැසි ජලය පල් වීම නිසයි. මට මෙම පල් වූ ජලය ප්‍රශ්නයක් නොවේ. පෙර දින සිටම මම චිත්‍ර තරඟය ගැන සිහින දකිමින් සිටියෙමි.

නංගී මෙදින පාසල වෙත ගියේ වෙනදාටත් වඩා උනන්දුවෙනි. පාසලේ විරාමය අවසන් වන තෙක් මා සිටියේ ඇඟිලි ගනිමිනි. මන්ද විරාමයෙන් පසු ඇත්තේ චිත්‍ර පාඩමයි. අද තමා හොදම චිත්‍ර තෝරගන්නා දවස. සතියකට උඩදි සුමුදු මිස් කීවේ කලාප තරඟෙට හොදම චිත්‍ර දෙක යවන බවයි.

‘හැමෝම චිත්‍ර ඇඳගෙන ඇවිල්ලා. ලස්සන ලස්සන පාට වලින්. ඒත් මාව තේරෙයි’ මම මටම කියා ගත්තෙමි.
සුමුදු මිස් සුපුරුදු සිනහව සමගින් පන්තිය තුලට පැමිණියා ය. මීට පෙර නොතිබුණු ආලෝකයක් පන්තිය තුලට ඇතුලු වූවාක් මෙන් හැගීමක් මා තුල ඇතිවන්නට විය.

“හොදයි ළමයි, හැමෝම ඇඳපු චිත්‍ර ටික එලියට ගන්න. වැඩිම ළකුණු ගන්න දෙන්නව කලාප තරඟෙට යවනවා.”

සැවොම තම පාසල් බෑගයෙන් චිත්‍ර පොත් එළියට ගන්නට විය. මම නම් මේ වන විටත් චිත්‍ර පොත මේසය මත තබාගෙට ලක ලැහැස්ති වී හමාරය. ඉස්සරහ පේළියේ සිට සුමුදු මිස් චිත්‍ර වලට ළකුණු දමාගෙන යයි. පනහා හැට හතලිස් පහ ආදී ගණන් මට ලාවට මෙන් පෙනේ. මෙය දුටු මගේ හද ගැස්ම එන්න එන්නම වැඩි විය. සුමුදු මිස් ටිකෙන් ටික මා අසලට පැමිණෙයි. ඇය මා අසලට පැමිණ;

“කෝ දෙන්න දරුවෝ ඔය පොත” යැයි කියා මා දෙසට ඇගේ දෑත් දික් කළා ය. මම පහළ බලාගත්වනම ඇය වෙත චිත්‍ර පොත පිළිගැන්වුයෙමි. මම ඈ දෙස හොරැහින් බලා නැවත මුහුණ පහළ හෙළුවෙමි. එසැනින් ඇය මගේ හිස අතගාමින් “ගොඩක් හොදයි” යැයි කියමින් පොත මගේ අතට දුන්නා ය. අසූවක්…! මිනිත්තුවක් පමණ මම මගේ චිත්‍රය දෙස බලා සිටියෙමි. මට මෙය අදහගන්නටත් නොහැකියි. ඇස් අසාගෙනම මම මෙම කාලය විදිමින් සිටියෙමි.

“කලාප තරගෙට හොදම චිත්‍ර ඇදපු නයනා සහ සුපුනිව කලාප තරගෙට යවනවා.” සුමුදු මිස් පන්තිය ඉදිරියේ කියා සිටියා ය.

සුපුනිත් චිත්‍ර අඳින්න හරි දක්ෂයි. ඇගේ චිත්‍රය අධික මිලැති වෛවර්ණ තීන්ත වලින් අලංකාර කොට තිබුණි. පන්තියේ අනෙක් අයට එවැනි තීන්ත මිලදී ගැනීම පවා හීනයක් විය. නමුත් ජයවර්ධන මුදලාලිගේ දියණිය වූ ඈ රිදී හැන්ද කටේ ගසා ඉපදුනු කෙනෙක් වීම නිසා මෙවන් දෑ ඇයට මහ දෙයක් නොවේ. චිත්‍ර පන්තිය අවසන් වූ පසු සැවොම සුපුරුදු පරිදි අනෙක් ගුරුතුමිය පැමිණෙන තුරු අනං මනං කතා කරමින් සිටියහ. නමුත් මට එසේ සිටිය නොහැකියි. මටනම් මෙය යුද්ධයක් දිනුවා හා සමානය. මෙය මහමෙරකි. මම නැවතත් චිත්‍ර පොත දිග හැර මගේ චිත්‍රය දෙස බලන්නට වූයෙමි. එසැනින් ම නැවතත් චිත්‍ර ගුරුතුමිය වූ සුමුදු මිස් පන්තිය වෙත පැමිණියා ය.

“ළමයි පොඩි නිවේදනයක් කරන්න තියෙනවා. කලාප තරඟයට යන්න වෙන්නෙ එක්කෙනාටයි” මෙය ඇසූ පන්තියේ අනෙක් ළමුන්ගේ මුහුනේ කිසිදු වෙනසක් සිදු වූයේ නැත. ඔවුහු මළානික ස්වරූපයෙන් ගුරුතුමිය දෙස බලාගත් ලෙසින්ම සිටියෝ ය. නමුන් මට හීන් දාඩිය දමන්නට විය.

“වැඩිම ළකුණු ගත්ත නයනට විතරයි චිත්‍ර තරගයට යන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. මට මේ දැන් කිව්වේ අපේ ඉස්කෝලෙන් එක්කෙනෙක්ට විතරයි තරගයට සහභාගි වෙන්න පුලුවන් කියලා.”

සුමුදු මිස් සුපුනි දෙස හැරී “ඔයාට ලබන වතාවේ චිත්‍ර තරගෙට යන්න පුලුවන්නේ දරුවෝ. ඒ නිසා පැරදුනා කියල හිතන්න එපා. ඔයාගෙ හැකියාව ගැන සතුටුවෙන්න”

සුමුදු මිස් මෙසේ කීවත් සුපුනිගේ මුහුණින් කිසිදු හැඟීමක් පළ නොවුනි. ඇය කියවීමට ඉතා අමාරු චරිතයක්. චිත්‍ර තරගයට මා තේරුනු බවක් මම මුලින් දැනගත් විටදී ඉමහත් සතුටක් ඇතිවූ නමුත් ඒත් සමගම සුපුනි ගැන දුකක් ද ඇති වුනෙමි. ඇයත් සමග මේ ගැන කතා කරන්න යාමට මගේ සිත දුන්නත් ගත එයට විරුද්ධ විය. මා කෙදිනකවත් ඈ සමග කතා කර නෑ. මීට පෙර මම ඇයත් සමග කතා කිරීමට උත්සහ කළත් ඇය මා මගහරින්නට විය. එමනිසා එදිනෙන් පසු ඇයත් සමග කතා කරන්නට මම නොගියෙමි.

පාසල අවසන් වූ පසු දිවගෙන නිවස වෙත ගියේ අම්මා හට මෙම සුභ ආරංචිය කීමේ නොනිත් ආශාව නිසයි.
“අම්මේ මම චිත්‍ර තරගෙට තේරුනා. ඉස්කෝලෙ නියෝජනය කරන්න මාව කලාප තරගෙට යවනවා කිව්වා.” නිවස වෙත දුවගෙන එමින් මම අම්මාට කිව්වෙමි.

“අනේ මගේ දක්ෂ කෙල්ල. උඹට දෙවියන්ගෙම පිහිට ආරක්සාව ලැබෙන්න ඕන” අම්මා මාව බදාගනිමින් කියා සිටියා ය. මෙයින් මට අම්මා ගැන ආදරයක් ද මම ගැන ආඩම්බරයක් ද දැනුනි. තරගය තිබෙන්නේ හෙට ය. තරගය දැන් තිබෙනවා මෙන් මම එයට සූදානම් වූයෙමි. හවස් වරුව පුරාම පරණ පත්තර කැබලි ගෙන අඟුරු කෑල්ලකින් චිත්‍ර ඇඳ තරගයට පුහුණු වූයෙමි. මේ අතර ඇඳිරි වැටෙනවාත් සමග කඩුල්ල අසලින් අම්මාට යමෙක් කතා කරන හඬක් ඇසුනි.

“කර්ලිනෝ..කර්ලිනෝ…විගහට ආවනන්… උඹට කියන්න කාරණාවක් තියෙනවා”

මෙය කන වැකුනු සැටියේම මම ඉස්තෝප්පුව වෙත ගියේ පැමිණ සිටින්නේ කවුරුන්දැයි දැකගැනීම පිණිසයි. ඒ වෙන කවුරුවත් නොවේ ජයවර්ධන මුදලාලි.

“කෙල්ලෙ උඹෙ අම්මට එන්න කියාපන්.”

මම කිසිවක් නොකියා ගේ තුලට රිංගුවෙමි.

“අම්මේ… අන්න ජයවර්ධන මුදලාලි මහත්තයා ඇවිත්. ඔයාට අඬගහනවා. ගිහින් බලන්න” මම කුස්සියට දිවගෙන විත් අම්මාට කිව්වෙමි.

“ඒ පාර මේ මනුස්සයා මොකාට එන්න හදනවද මන්දා… මං ගිය සතියේ කිව්වනේ ඉතුරු ගෙවල් කුලී වලට හරියන්න ලබන ඉරිදා වෙද්දි ලණු ඔතලා දෙන්නන් කියලා.” අම්මා මෙසේ කියමින් දොර අසලට යන්නට විය.

“මුදලාලි මහත්තයා මොකද මේ පැත්තේ…එන්න ඇතුලට” අම්මා බොරු සිනහවක් පාමින් මුදලාලි මහත්තයාට නිවස තුලට ඒමට ඇරයුම් කළාය. මුදලාලි මහත්තයා පැමිණ තිබෙන්නේ කුමක් සදහාද යැයි දැනගැනීමේ අටියෙන් මමත් පිටුපසටම වී සිටියෙමි.

“ඇතුලට එන්න ඕන නෑ. මෙහාට ආවනන්. කාරණයක් තියෙනවා කියන්න”

අම්මා කිසිවක් නොකියා කඩුල්ල අසළට ගියා ය.

“ඇයි මහත්තයා ඒ රෑ බෝවෙන වෙලාවේ?”

“ලබන සතියෙ මට මේ ගේ ඕනෙ”

“ඇයි මහත්තයා එකපාරටම එහෙම කියන්නේ… මම කිව්වන්නේ ගෙවල් කුලී වලට හිලව් වෙන්න ලණු කැරලි ගොතලා දෙන්නන් කියලා. වැඩිපුර හරි මම දෙන්නන්. එහෙම කියන්න එපා මහත්තයා. අපි කියලා කොහේ යන්නද?” අම්මා කලබලයෙන් කියාගෙන ගියා ය. වටේ පිටේ කිසිදු ශබ්දයක් නොමැති නිසා ඉස්තෝප්පුවේ සිටියත් මට මෙම සංවාදය හොදින් ඇසේ.

“එහෙම කියල හරියන්නෑ. මම උඹට වේලහනම කිව්වනේ මට මේ ගේ ඕනෙ කියලා. මගෙන් වෙන එකෙක් මේ ගේ  ඉල්ලුවා ලොකු ගානකට.” මුදලාලි මහත්තයා අම්මාගේ කියුම් ගණනකටවත් නොගෙන කියා සිටියේ ය.

“අනේ මහත්තයෝ එහෙම කරන්න එපා. අපිට පාරට බහින්නයි වෙන්නේ.”

“උඹේ කෙල්ල හෙට චිත්‍ර තරඟෙට තේරුණා කියලා ආරංචියි.” මුදලාලි මහත්තයා මෙසේ කියූ ගමන් අම්මා පුදුමයෙන් මෙන් බලා සිටියේ අනාගතය දත් සාස්තරකාරියක් මෙනි. මේ ඇසූ මම පුදුමයෙන් සිටියේ සාස්තරකාරිය කියනා දේ අසා සිටි අනාගතය නොදත් පුද්ගලයා මෙනි.

“අනේ මහත්තයෝ එහෙම කරන්න එපා. පොඩ්ඩි හෙන ආසාවෙන් හිටියේ මේ තරඟෙට.” අම්මා දෙඅත් වැඳගෙන කියා සිටියා ය. මුලදී ගේ ගැන කතා කළ ඔවුන් දැන් කතා කරන්නේ මගේ තරගය ගැනයි. මේ කිසිවක් තේරුම්ගැනීමට නොහැකිව මම තවත් උවමනාවෙන් කතාවට කන යොමා සිටියෙමි.

“තාම පොඩි කෙල්ලනේ මහත්තයෝ…ඒකිට දුක හිතෙයි…”

“මට ඒවට කාරි නෑ… මගේ කෙල්ල හෙට තරගෙට යනවා. උඹලා හෙට ඉස්කෝලෙ ආවොත් දවල් වෙද්දි බලෙන් හරි උඹලව මේ ගෙයින් දොට්ට දානවා…” මුදලාලි මහත්තයා මෙය කියා අම්මා කිසිවක් කීමට පෙර නියර දිගේ යන්නට විය. ඔහු නොපෙනී යන තෙක් බලාගෙන සිටි අම්මා උරහිසේ වූ රෙද්දෙන් මුහුණ පිසිමින් අඩියට දෙකට නිවස තුලට අවා ය.

“අම්මේ මුදලාලි මහත්තයා මොනවද කිව්වේ? චිත්‍ර තරඟේ ගැන මොනවද කිව්වේ?” මම අම්මාගේ අතේ එල්ලෙමින් ඇගෙන් අසා සිටියෙමි.

“උඹට ඒවා ඕනෙ නෑනෙ. උඹ හෙට ඉස්කෝලෙ යන්නෑ.” මා එල්ලී සිටි අත ගසා දමමින් අම්මා තරහෙන් මෙන් කියා සිටියා ය.

“ඒත් අම්මේ ඇයි එහෙම…” මා කියන්නට සිටි දෙය අවසන් කිරීමට හැකි වූයේ නැත.

“ආයෙ එහෙම ඔය චිත්‍ර තරඟෙ ගැන මේ ගෙදර කතා කරනවා නෙමේ.” අම්මා කේන්තියෙන් ගුගුරා කුස්සිය තුලට යන්නට විය.


%d bloggers like this: