Menu Close

අසිරිමත්වූ දේකි- සිව්වෙනි කොටස

වැඩියෙන් ලස්සන ගැහැනු සතාද, පිරිමි සතාද?

මානව වංශ කතාවේ දිගටම ලියවිලා තියෙන්නේ වඩා රූමත් ගැහැනියයි කියලා. ඒත්…..
දන්නා දවසේ ඉඳලා මානව ඉතිහාසයේ, අද වෙනකල්මත්, හැම ප්‍රජාවකමත් ‘ස්ත්‍රිය’ සැලකිලා තියෙන්නේ රූමත්කමෙන් පිරිමියාට වඩා ඉහළය කියලයි. ඒත් එහෙම සැලකෙන්නේ මිනිස් සත්ත්වයා පිළිබඳව විතරයි. 

මිහිපිට සිටිනා සියලුම සත්ත්වයන් අතරේ වඩාත් අලංකාරවත්; දර්ශනීය; සිත් ඇදගන්නා සිරුරුවලට හිමිකම් කියන්නේ පුරුෂ සත්ත්වයායි. අපා, දෙපා, සිවුපා, බහුපා – පෘෂ්ඨවංශී, අපෘෂ්ඨවංශී – උරග, විහඟ, කෘමි ඕනෑම සතුන් වර්ගයක් ගත්තත් ඇත්ත මේකයි.
පිරිමි සතා තමා හැඩකාරයා. ගැහැනු සතා පියකරු බවෙන් අඩුයි. ඒත් මිනිසුන් සම්බන්ධයෙන් විතරක්………
මනුසතා සම්බන්ධයෙන් තියෙන මේ වෙනස්කම ඇතිවුණේ කවදා සිටලද- කොහොමද කියන එක සොයා බලන්න වටිනා කාරණයක්. එහෙම පසුබිමකයි, දැන් අපි එවන් රූබර කාන්තා ස්ත්‍රී බීජ ගැන කියවන්න හදන්නේ. ඒ අසිරිමත්වූ දේකි පොතේ 18 වෙනි පිටුවේ ඉහළ කොටසේ පටන්………… ඔන්න එහෙනම්-
අපි දැන් කියවලා බලන්න යන්නේ ඒ පොතේ 18වෙනි පිටුවේ……….
ඊට කලින් මේ පෝස්ටු මාලාවේ පළමුවෙනි ලිපි 3 කියවන්න ඕනේ නම් මෙන්න පිවිසුම්:
(මෙහෙම යෙදුවේ හිතාදර පාඨක විජේබාහු මහත්තයාගේ යෝජනාවක් හින්දයි. ස්තුතියි විජේබාහු මහත්තයෝ.) 
“ස්ත්‍රී බීජ?
ස්ත්‍රී බීජ කියන්නේ පුරුෂයාගේ වගේම ස්ත්‍රියගේ ශරීරය තුළ නිපදවන බීජවලටයි. දරුවෙකු හට ගැනීමට ස්ත්‍රී බීජයක් සහ ශුක්‍රාණුවක් එක්වන්න ඕන. ස්ත්‍රී බීජවලට දී ඇති විද්‍යාත්මක නම ඩිම්බයි. මෙම ඩිම්බ නිෂ්පාදනය වන්නේ ඩිම්බ කෝෂවලයි.
ඔබ නැවත වරක් පහත රූප සටහන පරීක්ෂා කෙරුවොත් මුලින් කිව්ව පැලෝපීය නාල අසල ඇති අණ්ඩාකාරී අවයවයන් හඳුනාගන්න පුළුවන්. ඒවා තමයි ඩිම්බ කෝෂ.
ස්ත්‍රී ලිංගේන්ද්‍රිය පද්ධතියේ වඩාත්ම වැදගත් කොටස වෙන්නේ…..
පුරුෂයෙකුගේ වෘෂණ වගේම ස්ත්‍රියකටත් ඩිම්බ කෝෂ 2ක් තියෙනවා.
තරමක් විශාල සියඹලා ඇටයක් තරම් වූ හා එම හැඩය ඇති ඩිම්බ කෝෂ මඟින් මාසයකට වරක් පමණ, එක බැගින් ඩිම්බ නිෂ්පාදනය කර පිට කරනවා.”
(මතකයි නේද, කාන්තාවගේ ලෝබකම ගැන කියද්දී මේ කතාව කියවුණා.) 
 “….ඩිම්බයක් සාමාන්‍යයෙන් ඇසට පෙනෙන නොපෙනෙන තරම් වූ කුඩා වටකුරු සෛලයක්. මෙම කුඩා සෛලයක් පිටවීමෙන් පසු රසායනික හා භෞතික ආකර්ශනයක් නිසා පැලෝපීය නාලයක් තුළට ඇතුළු වී ගර්භාෂය කරා ගමන් කරනවා. 
මෙම ගමනට පැලෝපීය නාලයේ ක්‍රමාකුංචනය නොහොත් ක්‍රමානුකූලව කරන හැකිළීම උදව් වෙනවා. 
මේ ලෙසට ගමන් කරන ඩිම්බයකට පැලෝපීය නාල දිගේ ඉහළට ගමන් කරන ශුක්‍රාණුවක් හමුවෙන්න පුළුවන්.
ඩිම්බයකට ශුක්‍රාණුවක් හමුවෙනවය කියන්නේ…..
මෙසේ ගර්භාෂය තුළට යන ඩිම්බයට පැලෝපීය නාලය දිගේ එන ශුක්‍රාණුවක් හමු වූ විට?
මෙවැනි හමුවීමක ප්‍රතිඵලය නම් ජීවියෙකුගේ ඇති වීම ඇරඹීමයි. එනම් සංසේචනය සිදු වීමයි.
සංසේචනයෙදී සිදු වන්නේ ඩිම්බය හා ශුක්‍රාණුව එකතු වී එකක් බවට පත්වීමයි.
මෙම එක් වූ දෙයට කියන්නේ යුක්තාණුව කියලයි. මෙම යුක්තාණුව තමයි ඔබෙත් මගෙත් අන් සැම කෙනෙකුගේමත් ජීවිතයේ පටන් ගැනීම.”
ඔන්න චුට්ටකට පීලි පනිනවා හොඳේ. තීක්‍ෂණ ශ්‍රී විජේසිංහගේ ලියවිල්ලකින් ටිකක් උපුටා ගන්න. 
“ඈතින් මට ඈත තියෙන මුහුද පේනවා, මෑතින් මට මෑත තියෙන වෙරළ පේනවා.. සීමා මායිම් ලකුණු නොකෙරුව අහසේ වලාකුළු නිදහසේ පාවෙනවා.. ඒ අහස යට ඉඳගෙන රැල්ල වැල්ලට ගහන හැටිත්, වැල්ල මඟහැර රැල්ල යන හැටිත් මම බලාගෙන ඉන්නවා.. ගිණි බත් වුන ඉර මාව පුච්චගෙන ක්ෂිතිජය කරා ඇදෙන්නෙ සීතල වෙන්න බලාගෙන.. මේ වැල්ලවත්තේ, මම එදා කිව්ව තැන.. මම එහෙම කියල තියෙනවද..? මම දන්නෙ නෑ, මට මතක නෑ..
-තමන්ගේ සීමාව නොදැන මත් වෙන්න දඟලන මේනකගේ ඇස් අරක්කුවලින් යට වෙලා, දුම්වැටිවලින් පිරිමැදෙන පිරිපුන් කම්මුල් ධාරාණිපාතව මරණයට පත්වෙලා..
මට තව මේනක කෙනෙක්ව ඕනේ වුණේ මම ඒ පුරුෂ ලක්ෂණ සියල්ලටම ප්‍රේම කළ නිසා………
 -ඒත් මම..? කවදාවත් පවුල් ජීවිතයක් ගත කරන්න කැමති කෙනෙක් නොවන බව දැන දැනත්, මොකක් හෝ හේතුවක් නිසා තාමත් මම මේනකට ආදරය කරනවා.. ඒ ආදරය වෙන්න ඇති කියලා හිත හදාගන්නවා..

-ගණට වැඩුණු තද කළු රෝම, අත් පුරා සිසාරා ගිය ලා කොළ පාට නහර, ඒ හිනාව, හැසිරීම, එරවිල්ල, රැවීම, බැනීම, පිපිරීයාම කියන පුරුෂ ලක්ෂණ සියල්ලටම මම ප්‍රේම කරා.. මට තව මේනක කෙනෙක් ඕන වුණේ ඒකයි..

-මේනකගේ නිර්භීත පුරුෂ ශුක්‍රාණුවක් ඩිම්බයකට කිට්ටු කරලා කළලයක් මගේ ගාව වර්ධනය කරගන්න මට ඕන වුණේ ඒකයි.. ඇයි ගැහැනියෙක්ට තියෙන්න බැරිද තමන් දැඩි සේ ප්‍රේම කරන පිරිමියාගෙන් ගැබ් ගන්න ආශාවක්.. නොලැබෙන දේවල් ලැබෙන ක්‍රමයකින් ලබාගන්න ගෑණු හරි දක්ෂයි..  

කාන්තාවකගේ මේ සහජ ආශාව උදව් වෙනවා වෙන්නැති, කුසේ දරුවෙකු දරාගෙන…. සේරම අපහසුතා දරාගෙන ඉන්න…. එහෙම වෙන්නේ ශුක්‍රාණුවක් හා ඩිම්බයක් එකතු වෙලා; සංසේචනයක් සිදු වෙලා; යුක්තාණුවක් හැදුණාමයි……
ස්ත්‍රී-පුරුෂ බීජ දෙකක් එකතුවෙලා සංසේචනයක් සිදු වුණාම……….
“යුක්තාණුවක් සෑදුණාට පසුව?
යුක්තාණුවක් සෑදුණු වහාම එය කොටස්වලට වෙන් වීමට නොහොත් විභේදනය වීමට පටන් ගන්නවා. එනම් එම සෛලය දෙකට, හතරට, හා අටට යනුවෙන් බෙදීමට පටන් ගැනීමයි.”
ලෝකය පුරාම ජීවීන් හැම කෙනෙකුගේම වර්ධනයක්, බෝවීමක් සිදු වෙනවා නම් එතැන බෙදීමක් තියෙනවාමයි. සෛල විභේදනයක්! එහෙම නොවෙනවා නම් ලෝකය මෙච්චර සංකීර්ණ වෙන්නේ නැහැ …..
සත්තයි, මෙච්චර කාලෙකට මට නොපෙනුණු කාරණයක් දැන්; මේ දැන්; just now පසක් වෙන්න ගත්තා. 
දේශපාලන පක්ෂ, නොයෙකුත් සංවිධාන දෙකට හතරට අටට දාසයට….. හැට-හුටාමාරකට බෙදෙනවා දකිද්දී මට තිබුණේ පුදුම පිළිකුලක්; තරහක්. 

ඇයි මේ යක්කු මෙහෙම බෙදෙන්නේ?

දැනුයි තේරෙන්නේ. සොබා දහමෙන්ම මේ බෙදෙන පුරුද්ද අපට දීලා තියෙන්නේ…….
දැනුයි තේරෙන්නේ. ඒ බෙදෙන පුරුද්ද එන්න ඇත්තේ මව් කුසේ ඉඳලාමනේ; මවගේ ගර්භාෂයේ ඉඳලාමනේ. හැබැයි සොබාදහම එහෙම බෙදෙන්න සලස්සලා තියෙන්නේ හොඳ පැත්තට. මේ යස්ස පැටව් එහෙමද?

මෙයාලා බෙදෙන එක වෙනස්; හොඳක් වෙනවා නම් වෙන්නේ උන්ට විතරයි. අපට රටට නෙවෙයි. 

ඒත් උන්දලා ‘ළිඳමගේ නම්, මං ළිඳේ නම් කාටවත් ඇයි වේදනා’ කියාගෙන අභාවයට යන ජීවීන් කොට්ඨාශයක් වෙනවා. 

කොහොම හරි වේවා, අපිත් ඉතින් ආපහු යුක්තාණුවේ බෙදීම ළඟට යමු.

“මෙම බෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් දින කිහිපයකදී යුක්තාණුව සෛලවලින් යුතු බෝලයක් එහෙමත් නැත්නම් සෛල පොකුරක් බවට පත් වෙනවා. මෙයට කියන්නේ ‘මොරුලාව’ කියලයි.
ඒ සෛල පොකුරට කියන්නේ මොරුලාව කියලයි…………
ඒ සෛල පොකුරට මොකද වෙන්නේ?

දැන් මෙම සෛල පොකුර නොහොත් මොරුලාව සෙමෙන් සෙමෙන් පැලෝපීය නාලය දිගේ ගොස් ගර්භාෂයට ඇතුළත් වෙනවා. ඊට පසුව මෙම ජීවී සෛල පොකුර ගර්භාෂයේ තැන්පත් වී ක්‍රමයෙන් තව දුරටත් වැඩීමට පටන් ගන්නවා. 

මෙය තැන්පත් වෙන්නේ ගර්භාෂයේ ඇතුළත බිත්තියෙයි. අප ‘කළලය’යි කියන්නේ මේකටයි.
මෙසේ ක්‍රමයෙන් වැඩෙන කළලය, එනම් ඉතාමත් කුඩා දරුවා විශාල වෙනවිට ක්‍රමයෙන් ගර්භාෂයේ කුහරය තුළට නෙරා පසුව සම්පූර්ණයෙන්ම ගර්භාෂයේ කුහරය තුළ වැඩෙන්න පටන් ගන්නවා.
දැන් දරුවාත් ගර්භාෂයත් අතර ඇති සම්බන්ධය සිහින්ව දික් වී පෙකනිවැල බවට පත් වෙනවා. දරුවාගේ වැඩීමට අවශ්‍ය ආහාර හා වාතය (ඔක්සිජන්) ආදිය දරුවා වෙතට ගෙන යන්නේ මෙම පෙකනිවැල ගර්භාෂයට සම්බන්ධ වෙන කොටසටයි.
යුක්තාණුව බෙදෙමින් වැඩෙමින් කළලයක් විදියට……….
ගර්භාෂය පුවක් ගෙඩියක් තරම් කියලයි මා හිතා හිටියේ.
ඔව්! සාමාන්‍ය ගර්භාෂයේ තරම තමයි ඒ. නමුත් කළලය වැඩීම පටන් ගැනීමත් සමඟම ගර්භාෂයේ බිත්තියේ පේශීන්ද වැඩීමට පටන් ගන්නවා. ක්‍රම-ක්‍රමයෙන් දරුවා වැඩෙන විට ඒ තරමට ඉඩකඩ සලසමින් ගර්භාෂයද ප්‍රමාණයෙන් විශාල වීමට පටන් ගන්නවා.
ගර්භාෂය තුළ වැඩෙන මේ දරුවාට ආරක්ෂාව ලැබෙන්නේ කොහොමද?
දරුවා වැඩෙන්නේ ගර්භාෂය තුළයි. ගර්භාෂයේ බිත්තියෙනුත්, එයට පිටින් ඇති උදරයේ පේශිවලින් හා මවගේ සමෙනුත් ඔහු පිටත අනතුරුවලින් වැළකෙනවා. 

ඒ වගේම මා ඉහත කී පරිදි ගර්භාෂයේ ඇතුළත බිත්තියෙන් ගර්භාෂය තුළට දරුවා නෙරා එන විට ඒ සමඟම දරුවා වටා පටලවලින් යුතු කෝෂයක් වැනි දෙයක් වැඩෙන්න ගන්නවා. මෙය හරියට පොලිතීන් බෑගයක් වගෙයි. මෙම බෑගයත් දරුවාත් අතර, ඇමිනියොටික් දියර කියා දියරයක් එකතු වෙනවා. දරුවා දැන් සිටින්නේ මේ දියරයෙන් නෑවෙමිනුයි. ඉතින් මෙම දියරයෙන් වට වී සිටින නිසාත් දරුවාට ඇති අනතුරු බොහොම අඩුයි…..”

ඇයි අපි මුහුද ගාව ඉන්න මෙච්චර කැමති? (foto- T.W. රාජිත කොග්ගලදී ගත්තකි.)
ඇමිනියොටික් දියරයේ….. නෑවෙමින් ඉන්නවා කියනවට වඩා ගැළපෙන්නෙ ගිලිලා; කිමිදෙමින් ඉන්නවා කියන එකයි!
“කෙනෙක් දවසක් ඇහුවා ඇයි අපි මුහුද ගාව ඉන්න මේ තරම් ආස කියලා….
-තව කෙනෙක් උත්තර දුන්නා අපි ගර්භාෂයේ ගත කරන කාලයේ කනට හුරු හඬ මුහුදේ හඬට සමානයි කියලා.

-ඒ අපි ඉපදෙන්න වෙර දරන කාලය…. අම්මගේ පෙකණි වැලෙන් අතහැරීම පුරුදු වෙලා එළියට එන්න කලින්; තමන් මොන වගේ විලම්භීත පිටසක්වලයෙක් වෙයිද කියලා දැනගෙන හිටියද? අම්මලා, තාත්තලා, අසල්වාසීන් ඒ ගැන දැනගෙන හිටියත් බඩ ඇතුලේ ඉන්න අපි; “අපි” ගැන හාන්කවිසියක්  දන්නේ නෑ….
-මම නම් ඕන දෙයක් දන්නවා කියලා පොර ටෝක් දුන්නට අපි ගැහැනුද පිරිමිද, මොකක්ද වෙනස කියලා දැනගන්නත් යම්කිසි කාලයක් ගත වෙනවා…..”

ලස්සනට එහෙම කියලා තිබුණේ තීක්ෂණ ශ්‍රී විජේසිංහ. Sex Chat ලිපි මාලාවක අන්තිම පෝස්ටුවේ.
ගැබ්ගෙන ඉන්න කාලයේදී බර වැඩ කිරීම,  මහන්සි වීම හොඳයිද?
මවගේ ගර්භාෂයේ ඉන්නා දස මාසය තිස්සේ අප කොච්චර නම් දේවල් දැන ගන්නවාද? ඉගෙන ගන්නවාද? ගැබේ දරාගෙන ඉන්නා දරුවා ගැන දෙමවුපියන් කොයි තරම් සැලකිලිමත් වෙනවාද?
“දරුවෙකු ගැබ් ගෙන සිටින කාලය තුළ මවට වැඩපොළ කිරීම අගුණද?
ගැබ්ගත් පළමුවන මාස 3 ඇතුළත අධික ලෙස මහන්සි වීම, හදිසි ගැස්සීම් සහිතව දුර ගමන් යාම හා නිතර සංසර්ගයේ යෙදීම වැනි දේ හොඳ නෑ. සමහර අවස්ථාවලදී ගබ්සා ඇති වීමට එය හේතු වෙනවා.
නමුත් ඉතිරි කාලයේදී සාමාන්‍ය වැඩපොළ කිරීමෙන් මවට කිසි හානියක් සිදු වන්නේ නෑ.
ඇත්ත වශයෙන්ම ගැබ් කාලය තුළ ව්‍යායාම් කිරීම දරුවා බිහි කිරීමේදී උපකාරී වෙනවා. ඇවිදීම, නැමී වැඩපළ කිරීම වැනි දේ නිසා දරුවාගේ හිස ක්‍රම-ක්‍රමයෙන් දරුවා හම්බවෙන්න පහසු වෙන ලෙස පහත් වීමට පටන් ගන්නවා. ඒ වාගේම මවගේ පේශීන්ද ශක්තිමත් වී එමඟින් දරු ප්‍රසූතිය පහසු වෙනවා.
ගැබ් ගත්තාට පස්සේ ඍතුවීම ඇති වෙන්නේ නැහැ…….
ගැබ්ගත් විට ඒ බව දැනගන්නේ කොහොම ද?
ගැබ්ගත් පසු ඍතුවීම ඇති වන්නේ නෑ. මෙයට හේතුව ගර්භාෂයේ තැන්පත් වූ කළලය මඟින් පිට කරන හෝමෝනවල බලපෑමයි. මේ හෝමෝන ක්‍රියාකාරීත්වයෙන් සෑම අතින්ම ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන්වලට සමානයි.
ඇත්ත වශයෙන්ම මේ හෝමෝන නිෂ්පාදනය කරන්නේ කළලය සමඟම වැඩෙන වැදෑමහේ සෛලවලිනුයි.
පසුව ලැම පෙදෙස මහත් වීමට පටන් ගන්නවා. 
තනපුඩුව හා ඒ වටා ඇති සම තද පැහැයක් ගන්නවා. 
ටික කලකට පසුව තනපුඩු මිරිකන විට කිරි වැනි දියර වර්ගයක්ද එළියට යනවා. ඒ වගේම ක්‍රමයෙන් බඩේ පහත කොටසද මහත් වීමට පටන් ගන්නවා. 
ඒ ක්‍රමයෙන් විශාල වන ගර්භාෂය නිසයි. මේ වන විට නම් ගැබ්ගත් බව හොඳටම පැහැදිලියි.
ඍතුවීම නැවතුණු වහාම ගැබ්ගත් බව දැනගත හැකිද?
කාන්තාවකගේ මුත්‍ර පරීක්ෂාවකින් ඇය ගැබිණියක්ද කියලා හොයාගන්නට…….
බෑ. නමුත් ඍතුවීම නැවතී සති 6ක් පමණ ගිය පසු ඒ කාන්තාවගේ මුත්‍රා පරීක්ෂා කිරීමේදී ඇය ගැබ්ගත් බව දැනගන්න පුළුවන්.
ගර්භාෂ බිත්තියේ තැන්පත් වූ කළලය හෝමෝන විශේෂයක් නිෂ්පාදනය කරන බව ඔබට කලින් විස්තර කළා. මෙලෙස නිෂ්පාදනය වන හෝමෝන මුත්‍රාත් සමඟ ශරීරයෙන් පිට වෙනවා. 
මුත්‍රාවල මෙම හෝමෝනය ඇතිදැයි පරීක්ෂා කිරීමෙනුයි ගැබ්ගත් බව දැනගන්නේ. මෙම හෝමෝන සැලකිය යුතු ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ සති 5 ක් හෝ 6 ක් ගිය පසුයි.
ගැබ්ගත් කාලය තුළ සංසර්ගයේ යෙදීම හොඳද?
ඔබට මීට පෙර කීවා පළමු මාස තුන අගුණ වන්නේ ඇයි ද කියා.
ඇත්ත වශයෙන්ම පළමු මාස 3 තුළ සංසර්ගයේ යෙදීම අඩු කළ යුත්තේ ගබ්සා වීමට තුඩු දෙන මව්වරුන් පමණයි. එනම් සමහර මව්වරුන්ට පහසුවෙන් ගබ්සා සිදු වෙනවා. ඒ නිසා මීට ප්‍රථම ගබ්සාවීම් සිදු වී ඇති නම් ප්‍රවේසම් වීම හොඳයි. නමුත් ඉතිරි කාලය තුළ හැකි නම් සංසර්ගයේ යෙදුණාට කිසිම හානියක් සිදු වෙන්නේ නෑ.
යමෙකු මෑතදී සංසර්ගයෙහි යෙදී ඇති බව දරු ප්‍රසූතියේදී දැනගන්නට ඉඩක්……..
යමෙකු මෑතදී සංසර්ගයේ යෙදී ඇති බව දරු ප්‍රසූතියේදී දැනගන්න පුළුවන් ද? …..”
අමතක කරන්න එපා මේ කොටස් උපුටාගන්න ‘අසිරිමත්වූ දේකි’ පොත මුල් වරට පළ වුණේ අවුරුදු 40කටත් එහා පැත්තේ. 

ඒ දවස්වල අපේ රටේ අයගේ හිතේ ලිංගිකත්වය සම්බන්ධයෙන් කැකෑරෙන; සැක සහිත; අනුමාන කිරීම් ගොඩාරියක් තිබුණා. (ශුක්‍රාණු පිට කරන්න ගත්තාම පපුවේ වළක් හැදෙනවයි කියනවා වගේ.) ඒ වගේම අරුමැසි ලජ්ජාවකුත්.  
මට තවම මතකයි, අලුත විවාහ වුණු යුවල වෙනුවෙන් පැවැත්වුණු වැඩ සටහන් මාලාවකදීත් අර ප්‍රශ්නය ඇහුණා. යමෙකු මෑතදී සංසර්ගයේ යෙදී ඇති බව දරු ප්‍රසූතියේදී දැනගන්න පුළුවන් ද?
විවාහක අයට වුණත් හිතුමතේ; නිදහසේ- තමන්ට රිසි පරිදි රමණයේ යෙදෙන්න ඉඩක් ඉස්සර තිබුණේ නැහැ. එහෙම ඉඩක් ලැබුණත් ඒ බව වෙනින් කවුරුන්වත් දැනගන්නවාටත් එයාලා කැමති වුණේ නැහැ; අර ලැජ්ජාව නිසා. 

ඒකට ප්‍රධානම හේතුව වුණේ දැන් වගේ, විවාහ වුණු අය මහ ගෙදරින් පිටත්වී වෙනම පදිංචි නොවීම වෙන්නැති.
විවාහ වෙන්න ඔන්න-මෙන්න කියලා කියවන්නට දුන්නු ඒ පොතෙන් තමයිලු………
ඒ විතරක් නෙවෙයි, සමහර අය විවාහ වෙන තුරුම සසඟෙහි යෙදීම ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියෙත් නැහැ! සමහරුන් ඒ තොරතුරු දැනගත්තේ ‘අර පොත’ කියවලාලු!!!
සිරිබිරිස් උන්නැහේ හමුවෙනතුරුම මාත් ‘අර පොත’ ගැන හාන්කවිසියක් දැනගෙන හිටියේ නැහැ. දැන් අපි දෙන්නම ඒ හෝඩුවාව පස්සෙන් පන්නනවා…. දන්නා කියන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්නකෝ ‘අර පොත’ ගැන………….

%d bloggers like this: