Menu Close

විජය රජු හා ලංකාව ජනාවාස වීම ගැන අප්‍රකට ජනකතා

පුරාවෘත්තවලට අනුව ලංකාවේ මුල් ම රජු ලෙසින් සැලකෙන්නේ විජය රජු ය. එයින් ලංකාව ජනාවාස වීම ගැන ද ජනකතා තිබේ. නමුත් මීට පෙර අවධිවල දී ලංකාව ජනාවාස වී, පාලකයන් ද විසූ බව සැබෑ ය. නමුත් මෙම ලිපියෙන් මම උත්සාහ කරන්නේ එය ප්‍රශ්න කිරීමට නොවේ. විජය රජතුමා සහ ලංකාව ජනාවාස වීම හා බැඳුණු අප්‍රකට ජනකතා හා පුරාවෘත්ත කිහිපයක් ගෙනහැර පෑම මෙහි අරමුණ යි. පළමුව අප සැවොම අසා ඇති පුරාවෘත්තයකින් ආරම්භ කරමු.
බෙංගාලයේ වඟු රජුගේ හා ඔරිස්සාවේ කලිඟු කුමරියකගේ දියණිය ගුජරාට දේශයේ ලාල නොහොත් ලාට රට සිංහයෙකු සමග පලා ගියා ය. ඔවුන්ගේ පුත්‍රයා වූ සිංහබාහු කුමාරයා තම මව හා සහෝදරිය සමග සිංහයාව අතහැර මනුෂ්‍ය වාසයකට ගියේ ය. මෙයින් සිංහයා කෝප ගත් අතර අවසානයේ දී සිංහයාව මරන ලද්දේ ඔහුගේ ම පුත්‍රයා වූ සිංහබාහු විසිනි. ඉන්පසු සිංහබාහු කුමාරයා ලාට රට රජකම් කළේ ය. ඔහුට සිටි විජය නම් පුත්‍රයා තම යහළුවන් සමග රටේ නීති කඩකරමින් හැසිරුණු නිසා ඔවුන්ගේ හිස අඩක් මුඩු කර රටින් පිටුවහල් කරන ලදී. ඔවුන් පළමුව ඉන්දියාවේ සුප්පාරක තොටුපලට පැමිණ ඉන්පසු තම්බපණ්ණියට ආවේ ය. විජයාවතරණය සිදු වූයේ බුද්ධ පරිනිර්වාණය වූ දිනයේ දී ය. (මහාවංශය, බෝධිවංශය, රාජරත්නාකාරය, හා සියබස් මල්දම යන කෘතිවලට අනුව විජයාවතරණය බුද්ධ පරිනිර්වාණය වූ දින බව පැවසුවත් රාජාවලියට අනුව එය සිදු වී ඇත්තේ බුදුන් පිරිනිවන් පෑ දිනෙන් සත් දිනකට පසුව යි).
විජය හා කුවේණි (stuffcapital.com)
කුවේණිගේ ළමැඳ පියයුරු තුනක් තිබූ බවත්, ඉන් මැද පියයුර මැකුණු විට ස්වාමියෙකු ලැබෙන බව ඉසිවරුන් විසින් පැවසූ අතර කුවේණියට විජය හමු වූ විට මැද පියයුර මැකී ගියේ ය. (රාජාවලියේ හා කුවේණි අස්නේ මෙය සඳහන් වේ). ඉන්පසු ඔහු කුවේණි නම් යක්ෂණිය ව විවාහ කරගෙන ඇය ලවා අනෙක් යක්ෂ ගෝත්‍රිකයන් ව අල්ලා ගත්තේ ය. පසුව විජය රජු තමාට සුදුසු බිසවක් ඉන්දියාවේ මධුරා පුරයෙන් ගෙන්වා කුවේණියව හා ඒ වන විට විජය රජුගෙන් ඇයට ලැබුණු දරු දෙදෙනාව ද රජ මාළිගයෙන් පන්නා දමන ලදී. කුවේණියව යක්ෂ ගෝත්‍රිකයන් විසින් මරා දැමුණු අතර ඇගේ දරු දෙදෙනාගෙන් වැදි පරපුර ඇති විය. මෙය දැනට විජය රජු සම්බන්ධ ප්‍රකට පුරාවෘත්තයකි.
අප දීපවංශය ගත් විට කුවේණිය පිළිබඳ කතාව එහි සඳහන් නොවේ. ලංකාව ජනාවාස වීම සම්බන්ධ ඉන්දියානු ජනකතාවක මෙම සිංහයා හා කුමරිය සම්බන්ධ කතාව වෙනත් ආකාරයකට දැක්වේ. සිංහයා රටේ කැළඹිලි ඇති කරමින් තම පවුල සෙවූ නිසා රටේ පාලකයෝ සිංහයාව මරන අයෙකුට තෑග්ගක් නියම කරයි. ඒ අනුව සිංහබාහු ඔහුව මරනු ලැබූ නමුත් ඔහුට ත්‍යාගය ලැබෙනු වෙනුවට සිදුකරන්නේ රටින් පිටුවහල් කිරීම යි. ඔහු මැණික් හා රත්‍රන්වලින් ගහන දිවයිනකට යන අතර එම දිවයිනට වස්තුව සොයා එනවුන් මරා ඔවුන්ගේ අඹුවන් තබාගෙන වාසය කරයි. පසුව තරමක් ජනගහනය වැඩි වේගෙන යන විට රජෙක් තෝරාගෙන එම දිවයිනට සිංහලයැ යි නම තබන ලදී.
අජන්තා ලෙන්වල ඇති විජය රජුගේ සිතුවමක්. (wikipedia.org)
දිවයිනට සිංහල යන නම ලැබීම සම්බන්ධව තවත් ජනකතාවක් තිබේ. එක්තරා දිවයිනක වාසය කරන ලද යක්ෂණියන් සමුදුරේ යාත්‍රා කරන නාවිකයන් වසඟයට ගෙන ඔවුන්ව දිවයිනට ගෙන්වා ගනියි. ඉන්දියාවේ සිංහ නම් රජෙකුගේ පුත්‍රයෙක් වූ සිංහල නම් කුමාරයෙක් පන්සියයක් සමග මෙම දිවයිනට පැමිණ යක්ෂණියන්ව විවාහ කර ගත්තේ ය. කලක් ගත වන විට ඔවුන්ට මෙම යක්ෂණියන්ගේ නියම ස්වරූපය දැකගන්නට හැකි වූයෙන් ඔවුන් දිවයිනෙන් පලා ගියෝ ය. නමුත් යක්ෂණියන් නැවත සමුද්‍රයට ගොස් ඔවුන්ව නැවත වසඟ කර ආපසු දිවයිනට රැගෙන ආ නමුත් සිංහල නම්ලත් කුමාරයා ආපසු නොගොස් තම මව් රටට ම ගියේ ය. සිංහල රජුගේ බිරිඳ වූ යක්ෂණියන්ගේ රැජින ඔහු පසුපස ගොස් ඔහුගේ රාජ්‍යයට ගියා ය. එසේ ගිය නමුත් පිය රජු ඇයව නොපිළිගෙන රාජ්‍යයෙන් පන්නා දැමී ය. මෙම යක්ෂ රැජින තම හිතාදර යක්ෂණියන් සමග විත් එම රාජ්‍යයේ රජ වාසලේ සියල්ල ම මරා දමන ලදී. ඉන්පසු සිංහල කුමරා රටේ රජකම ලබාගත්තේ ය. ඔහු පසුව යක්ෂණියන්ව දමනය කර තම පිරිස සමග පෙර කී දිවයින ආක්‍රමණය කර එහි වෙනම ම රාජ්‍යයක් පිහිටු වීය. මෙම රාජ්‍යයේ නම සිංහල ය.
මෙයට ඉතා සමාන කතාන්දරයක් අපට පන්සිය පනස් ජාතක කතා පොතෙන් ලැබේ. ඒ වලාහක ජාතකය ඇසුරෙනුයි. එහි සඳහන් ආකාරයට සිරිවත්ථු පුරයේ සිටි යක්ෂණියන් සමුද්‍රයේ අනතුරට පත් නාවිකයන්ට උපකාර කර දිවයිනට රැගෙන යයි. මොවුන් කැලණියේ සිට නාගදීපය තෙක් සමුද්‍රයේ සැරිසරන ලදී. දිනක් පන්සියයක් වෙළෙන්දන්ගේ සමන්විත නැව් කණ්ඩායමක් අනතුරට ලක් වීමෙන් මෙම යක්ෂණියන් ඔවුන්ට උපකාර කර දිවයිනට රැගෙන යයි. නමුත් තමන් සිටින්නේ යක්ෂණියන් සමග බව දැනගත් ඔවුන් පියාඹන අශ්වයෙක් ලවා දිවයිනෙන් පැන යයි. නමුත් දිවි ගලවා ගත හැකි වන්නේ 250 දෙනෙකුට පමණි. අන් සියලු දෙනාව ම යක්ෂණියන් කා දමන අතර මෙම කතාවේ බෝධිසත්වයන් වන්නේ නැව් කණ්ඩායමේ නායකයා ය.
අජන්තා ලෙන්වල ඇති විජයාවතරණය දැක්වෙන සිතුවමක්. (wikipedia.org)
මෙයින් අපට පෙනී යන්නේ විජය රජු සම්බන්ධ කතාන්දරය සෑදී ඇත්තේ මෙම ජනකතා කාලයත් සමග එකට මිශ්‍ර වීමෙන් බව යි. අවසාන වශයෙන් කීමට ඇත්තේ මේවා සත්‍ය ඉතිහාස කතා ගණයට අයත් නොවන අතර මේවා ජනකතා හා පුරාවෘත්ත පමණක් බව යි.


මූලාශ්‍රයයන්:
  • මහාවංශය
  • රාජාවලිය – ඒ. වී. සුරවීර සංස්කරණය
  • ශ්‍රී ලංකාවේ ඉතිහාසය 1 කොටස – අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව
  • සංක්ෂිප්ත ලංකා ඉතිහාසය – කොඩ්රිංටන්
  • කුවේණි අස්න
  • පන්සිය පනස් ජාතක කතා පොත
[මෙය වසර දෙකකට පෙර Roar වෙබ් අඩවියට ලියූ ලිපියකි. මෙම වෙබ් අඩවියට මවිසින් ලියූ තවත් ලිපි කියවන්න පිවිසෙන්න මෙතනින් ]
%d bloggers like this: