Menu Close

හෙඩිමට ‘නවක වධය‘ නොකැඳවීමට…

(2020 ‍මාර්තු 15 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

අද සටහන අරඹන්නට පෙර 2016 වර්ෂයේ මා ලියූ දීර්ඝ බ්ලොග් සටහනකින් මුල් ඡේද දෙකක් ඔබ වෙත තබන්නට ඉඩ දෙන්න.

“නවක වධය ගැන කතා බහ යළි ඇවිලී ඇත. විශ්වවිද්‍යාලවල පාඨමාලා බොහොමයක් ඇරඹෙන්නේ වසරේ මුල් කාර්තුවේ නිසා මේ ඇවිලෙන සමය බව තතු දන්නෝ දනිති. මෙවර (මේ වන තෙක්) කරළියේ කතා අතරට පැමිණ ඇත්තේ කලින් වසරවල තරම් බිහිසුණු කතන්දර නොවේ. කැළණියේ නවක සිසුවියක් තමන්ට නිදහසේ සිය අධ්‍යාපනික කටයුතු කරගන්නට ඉඩ නොදුන් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමකට එරෙහිව පොලිසියට පැමිණිලි කර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන, ඇප ලබා නොදී බන්ධනාගාර ගතකර ඇති බව එක් කතාවකි. දෙවැන්න අද (මැයි 12) පුවත්පත්වල පළවී තිබුණු අතර එය ඊට වඩා ශෝචනීය වූවකි. ඒ පුවත අනුව පේරාදෙණියේ සිසුවියක් ලිපියක් ලියා තබා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතැර යළි ගම්බ්ම් බලා ගොස් ඇත.
මේ අතර, පසුගිය කාලයක් පුරාම නැගී ආ සමාජ මාධ්‍ය ජාලය පුරා ද නවක වධය ගැන බොහෝ දේ ලියැවෙන්නට පටන් ගෙන ඇත. කිසිදු අදහසක් නැතිව කැමරා තිබූ පළියට දුවයන ටෙලිවිෂන්කාරයෝද ඇප නොදුන් අයගේ අම්මලා, අක්කලා හඬා වැළපෙන අයුරු ද, කොහේ හෝ නවක වධ සිදුවීමක් එළිදරව් වූ විගස දේවාරූඩ වේගයෙන් ආවේශ වී ශිෂ්‍ය මර්දනය, ආණ්ඩුවේ කුමන්ත්‍ර‍ණඇතුළු වසර ගණනක් පිළුණු වී ඇති වචන කිසිදු  ඇහිල්ලක් බැලිල්ලකින් තොරව අතාරින අන්තරයේ නන්නත්තාර කතාන්දරද සිය කැමරාවල පුරවාගෙන විත් සාලයට අතාරින්නට පටන් ගෙන ඇත. පත්තරවල කදුළු කතාද, තවත් බොහෝ පෙරහැර විස්තරද ඉදිරියේදී අපට හමුවනු ඇත.“

දැන් මට අද සටහන ඉහත පළමු ඡේදයේ මුල් වාක්‍ය දෙක යොදමින් අරඹන්නට යළිත් අවසර දෙන්න.
“නවක වධය ගැන කතා බහ යළි ඇවිලී ඇත. විශ්වවිද්‍යාලවල පාඨමාලා බොහොමයක් ඇරඹෙන්නේ වසරේ මුල් කාර්තුවේ නිසා මේ ඇවිලෙන සමය බව තතු දන්නෝ දනිති. ….

මගේ ලේඛණය යළිත් මේ 2020 වර්ෂයේ දී, 2016 දී මෙන්ම, පෙර පරිදිම ආරම්භ කිරීමට මට දැන් බාධාවක් නැත. මා කළ යුත්තේ එහි තෙවැනි වාක්‍යයට ‘අසන්නට ලැබී ඇති පුවත බිහිසුණු මෙන්ම හද රිදවන‘ එකක් බව ලියා පසිඳු හිරුෂාන්ගේ නම ඇතුළත් කිරීම ය. අනතුරුව ඉන් පසු ඇති වාක්‍යවල රටාව හා අන්තර්ගතය අදාලත්වය අනුව සංස්කරණය කිරීම ය. මාතෘකාව නොඑසේනම් හෙඩිම තුළ යෙදෙන ‘නවක වධය‘ යන්න සිදුවීමට අනුව සැකසීම ය. කෙසේ වෙතත්, මට හෙඩිමේ ඇති නවක වධය යන්න ඉවත් කිරීමටත්, අන්තර්ගතයේ මූලික පෙළ ගැස්වීම වෙනස් කිරීමටවත් ඉඩක් නැත.

මේ නම් දැවැන්ත ඛේදවාචකයකි!

2016 වර්ෂයේ මා ලියූ බ්ලොග් සටහනේ මාතෘකාව වූයේ “නවක වධය: එය මහා සංස්කෘතියේම පිළිබිඹුවක් මිස උප සංස්කෘතියක් නොවේ!“ යන්නයි. අප දශක ගණනක් අසමතුන්වම ඡන්දයෙන් ඔසවා තබා පාර්ලිමේන්තු යවනු හා සමානවම, දශක ගණනක් අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී ක්ෂේත්‍රවලටවත් ජාතික ප්‍රතිපත්ති සකසා ගැනීමට අසමත් වී ඇතුවා හා සමානවම, තවත් බොහෝ ජාතික වශයෙන් වැදගත් ක්ෂේත්‍රවල දී මූලික ප්‍රවිශ්ටයන් හෝ ගැනීමට අසමත් වී ඇතුවා හා සමානවම, ‘නවක වධය‘ නමැති තිරස්චීන ක්‍රියාදාමය මුලිනුපුටා දැමීමේ කටයුත්තේ දී ද අසාර්ථකව ඇත.

ඒ කවර හේතු නිසා ද?  

පළමුව, සෙසු බොහෝ කරුණු පිළිබඳ මෙන්ම අප සමාජයේ මේ පිළිබඳව ද අනවරත සංවාදයක් ද, ප්‍රායෝගික හා ක්‍රියාකාරී මැදිහත්වීමක් ද නැතිවීම හේතුවෙනි. ලිපිය ආරම්භයේ මා සඳහන් කළ පරිදි නවක වධය අපගේ මාතෘකා අතර ඉහළට එන්නේ විශ්වවිද්‍යාල හා සෙසු උසස් අධ්‍යාපන ආයතනවල පළමු වසරට සිසුන් එක් වන වසරාරම්භ කාල සමයන්වල දී ය. පසිඳු හිරුෂාන්ගේ නම ඔහු හා බැඳුණු සිද්ධිය යටපත් වී යත්ම ඉදිරියේ දී මැකී යන්නට නියමිත පරිදිම නවක වධය සම්බන්ධ මේ දිනවල පවතින උණුසුම ද මාධ්‍යය වෙතින් ද, සමාජය වෙතින් ද කෙමෙන් මැකී යන්නට නියමිත ය. කෙසේ වෙතත්, රූපා රත්නසීලී සිට වරප්‍රකාශ් හරහා නැගෙන නවක වධය හෝ ආශ්‍රිත සිදුවීම් හේතුවෙන් දිවි අහිමි වූවන්/දිවි නසාගත්තවුන්ගේ ලේඛණය ද, ඊට වඩා දිගු, ආබාධිත වූවන්ගේ ලේඛණය ද, ගිනිය නොහැකි තැනක ඇති, විශ්වවිද්‍යාල හැර ගියවුන්ගේ ලේඛණය ද, කෙළවර නොවන තැනක ඉදිරියටත් පවතිනු ඇත. පාලකස්ථාන ද, කථිකාව පසෙක තබා, ‘නවක වධ පනත‘ ලෙස නාමකරණය වී ඇති සම්පාදිත නීති පද්ධතියේ ඇතැම් ඡේද ක්‍රියාත්මක කරමින් හෝ නොකරමින් තත්වය ‘පාලනය කර තබනු‘ ඇත.

දෙවනුව, නවක වධය අර්ථගැන්වීම හා/හෝ හඳුනාගැනීම පිළිබඳ සමාජය හමුවේ විසිරුණු, ප්‍රතිවිරුද්ධ එළඹුම් ගණනාවක් පැවතීමේ බිහිසුණු මෙන්ම ඛේදනීය තත්වය හේතුවෙනි. එහිලා මා යළි 2016 මගේ බ්ලොග් ලිපියේම උපුටනයක් යළි ගෙන එමි.

කෙසේ වෙතත් අප බොහෝ දෙනෙක් නවක වධය ගැන දරණ භයානකම ආකල්ප මුණ ගැසෙන්නේ ඒ පිළිබද ස්වකීය පුද්ගල අතීතය මත රැඳි පමණක් තීරණ ගැනීමට යාමෙනි. එක් එක් විශ්වවිද්‍යාලවල, ඒ ඒ පීඨවල මුණගැහෙන නවක වධ වෙනස් ස්වරූප ගන්නා බව පෙනෙන අතරම කාලයාගේ ඇවෑමෙන් ඒවායේ තත්වය වෙනස් වන බවද නිරීක්ෂණය කරන්නෙකුට පෙනී යනු ඇත. නවක වධයේ දේශපාලනික පසුබිම නිර්මාණය වූයේ ජවිපෙට සම්බන්ධ දේශපාලනය පදනම්ව නිසා සහ වත්මනෙහි ඒ නිර්මාණය වන්නේ පෙසප හා සම්බන්ධ දේශපාලනය පදනම්ව වීම හේතුවෙන් ඒ පක්ෂ හා සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා සෘජු සබඳතා නොදක්වන විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් හමුවේ ඒ බොහෝ විට අඩු වීමක් හඳුනාගත හැකි ය. එහෙත් නවක වධය පූර්ණ වශයෙන්ම දේශපාලනික ව්‍යාපාරයක් හා බැඳී නොපවතින්නක් වන හෙයින්ම අන්තරය හා සම්බන්ධ නොවන ශිෂ්‍ය දේශපාලනයක් පැවති පමණින් ඒ පාලනය වේයැයි සිතීම විහිළුවකි. හුදු තිබූ දේ යළි සිදු කිරීමේ උවමනාව, ‘උප-සංස්කෘතියනැසී යා නොදිය යුතුය යන සිතුවිල්ල, පරපීඩක කාමුකත්වය හෝ වෙනයම් කවරාකාරයක හෝ මනෝ ව්‍යාධි, ‘රැග් එකක් වත් කාල නැත්තං කැම්පස් ඉඳල වැඩක් නෑආදී ගුරුවර/ටියුෂන් ගුරුවර/ වැඩිහිටි/ ලොකු ලොක්කන්ගේ කතා ඇතුළු තවත් බොහෝ කාරණා නවක වධය ඉදිරියට ගෙන යාමට පසුබිම සපයයි.“

ඉදින්, අප මෙම පසුබිම් සියල්ල ඔස්සේ යමින්, විවෘතව හා මැදහත්ව මේ ඛේදවාචකය විමසන්නට සූදානම් ද? පිළිතුරු සොයන්නට සූදානම් ද?

නවක වධය ද අධ්‍යාපන පද්ධතිය බිඳ වැටී පැවතීම හා එය ඉන් ගොඩට ගැනීමට අසීරුව පැවතීම හා සමාන, දුෂ්ට චක්‍රයක් මත දිවෙන්නකි. අධ්‍යාපන පද්ධතියේ දුෂ්ට චක්‍රය පිළිබඳ සාකච්ඡාව දෙවනුවට තබමින්, නවක වධය හමුවේ වන දුෂ්ට චක්‍රය පිළිබඳ මාගේ අර්ථ නිරූපණය පහදන්නට මට ඉඩ දෙන්න.

නවක වධයට ලක්වන, එය අත් විඳින කණ්ඩායම් හමුවේ ඒ පිළිබඳ වඩා ප්‍රබල සාකච්ඡාවක් ඇති කිරීමට විශ්වවිද්‍යාල ආයතන පද්ධති කිසිදු සමයක සමත් වී නැත. ඉහළ පාලකස්ථානවල පටන්ම විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවල පවා හමුවන, සිත යටින් නවක වධය පැවතිය යුතුය යන්න විශ්වාස කරන හා/හෝ ඊට අනුබල දෙවන පිරිස ද සුළු අංකයක් නොවේ. ශිෂ්‍ය සංගම් ද සෘජුව ඒ පවත්වාගෙන යන හෝ පවත්වාගෙන යාමට අනුබල දෙන ස්ථානයක පැවතීම හේතුවෙන් සංවාදය පවතින්නේ අවම අගයක ය. ටියුෂන් සංස්කෘතිය විසින් ආක්‍රමණය කොට ඇති, තරග මානසිකත්වයන් විසින් විචාරශීලීත්වය මොට කොට ඇති නවක ශිෂ්‍ය ප්‍රජාව වෙතින්ම ද මේ පිළිබඳව ස්ව-කථිකාවක් බිහිවීමේ අවස්ථා විරල ය.  එනිසාම නවක වධය පවතී. ඒ පිළිබඳ වන සංවාදය නොපවතී.

චක්‍රය ඇරඹෙන්නේ මෙම වේදනාව ‘උප-සංස්කෘතික‘ යමක් හෝ ‘සාමාන්‍ය විශ්වවිද්‍යාල තත්වයක්‘ ලෙස පිළිගනිමින් හෝ වටහාගනිමින් ඉහළට යන බහුතර ‘නිද්‍රාශීලී‘ ශිෂ්‍ය ප්‍රජාව, පළමුව ඉහළ වසරවලදී ද, දෙවනුව විශ්වවිද්‍යාලයෙන් පිටව සමාජය තුළ දී ද මේ පිළිබඳ නිහඬ ප්‍රතිපත්තියකට හෝ එකඟ ප්‍රවේශයකට එළඹීමත් සමග ය. විශ්වවිද්‍යාලය තුළ දී එක්කෝ ඔවුහු පසුපසින් එන්නන් වධයට භාජනය කරති. නැතිනම් නිහඬ වෙති. සමාජයට පය තැබූ පසු පූර්ණ ලෙසම ‘තමන්ගේ වැඩක් බලාගෙන‘ නිහඬ වෙති! ඉඳහිට තමන්ගේ අතීතය සමරණ මොහොතක මෙහි වූ ‘ත්‍රිල් කෑලි‘ සොයා ඊළඟ පරපුරට ද, රැග් එකක් වත් කාල නැත්තං කැම්පස් ඉඳල වැඩක් නෑආදී සිය ගුරුවර/ටියුෂන් ගුරුවර/ වැඩිහිටි භූමිකාවල සිට පවසමින් චක්‍රය සම්පූර්ණ කර දෙති.
නවක වධය මේ කුඩා තීරුවට ලඝු කොට ලිවිය හැකි ඛේදවාචකයක් නොවේ. එය, විශ්වවිද්‍යාල පළමු වසර තුළ ශිෂ්‍ය ප්‍රජාවේ උද්යෝගය දැඩිව බිඳ දමන්නට පසුබිම තැනීම හේතුවෙන් ජාතික වශයෙන් රටේ ඉදිරි ගමන බිඳ දමන්නට සෘජුව හේතු සපයන, ඇඟ කිලි පොළන සුළු ඛේදවාචකයකි. පසිඳු හිරුෂාන්ගේ සිදුවීම අවසන් අංකයේ තබමින් අප යුහුසුළුව මැදිහත් විය යුත්තේ පුවත්පත් හෙඩිමට නවක වධයනොකැඳවීමට ය.

-ප්‍රියන්ත ෆොන්සේකා –   

%d bloggers like this: