Menu Close

හැන්දෑව කවියට පෙරලන රසික

 අන්ධකාරයෙන් ආලෝකයට, ස්වප්නයෙන් යථාර්ථයට, අසත්‍යයෙන් සත්‍යයට. රැඩිකල්කම කියන්නේ මෙයින් කියවන දිශාවන් වෙත ගමන් කිරීමයි. එහෙම හිතන්න පුළුවන්. කැමති නම් ‘උඩු ගං බලා’ කියන එකත් එකතු කරන්න පුළුවන්. රැඩිකල් කියන්නේ ඇති බහුතරයක් දරන මතයට නැත්තම් ඇති බහුතරයකගේ ජීවිත භාවිතයට පටහැනි  කියල හිතන දේ කිරීමයි.

අරමුණ කුමක් වුවත් ප්‍රතිඵලය කුමක් වුවත් උඩු ගං බලා යෑම ‘රැඩිකල්’ කියල අර්ථකථනය වෙන්නේ එහෙමයි. රැඩිකල්කමත් උඩු ගං බලා යැමත් එකට තියලා අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය අපූරු අදහසක් දැක්වුවා. ඒ රසික ජයකොඩි ගේ ‘දවසක් දා හැන්දෑවක’ එළිදක්වපු අවස්ථාවේ. අනුරුද්ධ කෙටි දේශනයක් කෙරුව.

‘උඩු ගං බලා යන අය ගොඩාක් ඉන්නවා. ඒ පැත්තට ට්‍රැෆික් වැඩියි කියල මට හිතෙනවා. ඒ අතින් අනිත් පැත්තට යන එක මේ කාලේ රැඩිකල්කම කියලත් හිතෙනවා.’

අනුරුද්ධ රසිකගේ ලිපි ගැන ඒ වගේ අදහසක් තමයි සඳහන් කෙරුවේ. රසික රැඩිකල් කියනවා නෙවෙයි. ඒත් ගැඹුරු දාර්ශනික කරුණු බරසාර විදිහට කියන්න යන්නේ නැතුව සරල සාමාන්‍ය උදාහරණ හරහා සරල සාමාන්‍ය බසින් ඉදිරිපත් කරන එකත් එක්තරා ආකාරයකට රැඩිකල්කමක්. අනුරුද්ධගේ අදහස එයයි.

උඩු ගං බලා යෑම එකක්. ‘උඩු ගං බලා යනවෝ’ කියල ඇඩ් දාන එක තව එකක්. වැදගත් වෙන්නේ අරමුණ ද, ඇඩ් එකද? මේ වගේ ප්‍රශ්නත් අහන්න පුළුවන්.

දිශාව හරිම වැදගත. අරමුණ නැත්තම් ගමනාන්තයත් වැදගත්. හරි ගඟ තෝරාගැනීමත් වැදගත්. උතුර දකුණ පැටලුනොත් උඩු ගං යනවා කියල හිතාගෙන මූදටම ඇදිල යන්න පුළුවන්.

රැඩිකල් සෙට් එකම උඩු ගං බලා යනවා නම් අර අනුරුද්ධ කියන විදිහට ඒ පැත්තට ට්‍රැෆික් වැඩියි. යන්න අමාරු වෙන්නේ උඩු ගං බලා යන නිසාම නෙවෙයි. ට්‍රැෆික් නිසා. රැඩිකල් අය සහ රැඩිකල් කියල හිතාගෙන ඉන්න අය වෙන් කරලා හඳුනාගන්නත් අමාරු වෙනවා. ඒකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම බලනකොට ඇත්තටම උඩු ගං බලා යන්නේ කව්ද?  සැරසිලි සහිත නැත්තම් මෝස්‌තර රැඩිකල්කම බහුල නම් එය තුල රැඩිකල්කම්වල පැවැත්ම මොන වගේද? එහෙම වුනා කියල උඩු ගං බලා යෑම බැහැර කරන්නම අවශ්‍යද?

මේ එකකටවත් සරල උත්තර නැහැ. මෝස්‌තර නරක නැහැ. රැඩිකල්කම නරකත් නැහැ. උඩු ගං බලා යන එකේ වරදකුත් නැහැ. අවසානයේ වැදගත් වෙන්නේ අවිද්‍යාවෙන් විද්‍යාවට ගමන් කෙරුවද කියන එක. යථාර්තයක් හමු වුනා ද නැද්ද කියන එක. අන්ධකාරය තුල වුනත් ආලෝකයක් මතු කරගන්න පුළුවන් වුනාද කියන එක. මොන දිශාවක් තොරගත්තත්, මොන ඇඳුමින් සැරසුනත්, ඇඩ් දැම්මත් නැතත්, කාටවත් කීවත් නොකිව්වත් කුමන හෝ මොහොතක තමන්ට තමන් මුණ ගැසුනද නැද්ද කියන එක හරිම වැදගත් කියල හිතෙනවා. ඒ හමුවන කෙනාව අඳුනගන්න පුළුවන් වුනාද නැද්ද, තමන්ට හමුවූ තමන්ගේ හම සහ තමන් පොරවගත්ත හැම එකක්මද, වෙනස් ද කියන එක වැදගත්. එතනත් රැඩිකල්කම ප්‍රශ්න වෙනවා. එතනත් රැඩිකල් වෙන්න පුළුවන්. පට්ට විදිහට.

‘රැඩිකල්’ අයටත් රැඩිකල් නොවන අයටත් ඒ වගේ අවස්ථාවලට මුහුණ දෙන්න වෙනවා. එතකොට තමන් රැඩිකල්ද නැද්ද කියල හඳුනා ගන්න පුළුවන්.

රසිකගේ පොත එළිදක්වන උත්සවයේ අවසාන කතාව කෙරුවේ ෂෙනාල් ගුණසේකර. ෂෙනාල් දන්නා රසිකාව ෂෙනාල්ට පොතේ මුණගැසුනේ නැහැ කියල කිව්වා. එතකොට සැබෑ රසික කව්ද කියන ප්‍රශ්නේ මතුවෙනවා. රසිකලා කී දෙනෙක් ඉන්නවද කියලත් හිතන්න වෙනවා. සැබෑ රසික ඉන්නේ කොහෙද — දේශපාලන වේදිකාවේද, ෆේස්බුක් එකේද, රසිකගේ රචනාවලද, වෙන කොහේ හරි ද?

ඒ එක ප්‍රශ්නයක්වත් වැදගත් වෙන්නේ නැහැ. රසිකට වැදගත් වෙන්නේ රසික ඉන්න තැන රසික නිශ්චිතවම දැන ගැනීම පමණයි. රසික ඉන්නේ කොහෙද, කොහෙද නැත්තේ කියන එක අපට වැදගත් වෙන්නේ නැහැ. රසික අපට අප ඉන්න තැන තේරුම් ගන්න ප්‍රවේශයක් නිර්මාණය කරලා දීලා තියෙනවා නම්, ඒකෙ දෙයක් තියෙනවා.

රසිකටත් අපටත්, රැඩිකල් අයටත්, රැඩිකල් නොවන අයටත් යන්න තැන් තියෙනවා. ඉන්න තැන් තියෙනවා. ඇතැම් විට ට්‍රැෆික් වල හිරවෙනවා. ඇතැම් විට ට්‍රැෆික් නැතත් නවතින්න වෙනවා. පෙට්‍රල් ඉවර වුන නිසා. නැත්තම් ‘යන්නේ කොහෙද, මොනවටද?’ වගේ ප්‍රශ්න අපව නවත්තන නිසා.

ගමන් කරමින් හිටියත් අඟලක්වත් හෙල්ලුනේ නෑ වගේ දැනෙන අවස්ථා තියෙනවා. එක තැනම හිටියත් බොහෝ දුර ගියා වගේ දැනෙන අවස්ථා නැත්තෙමත් නැහැ. ඉතින් රසික ගැන මට දැනෙන දේ ලියල මේක අවසන් කරන්නම්: වැඩිය මහන්සි නොවී, කලබල නොවී, වැඩිය රස්තියාදු ගහන්නේ නැතුව රස්තියාදුවම කවියකට පෙරළලා ලියන උඩු ගං බලා යන්න කිසිම උවමනාවක් නොදක්වා සහ නොදක්වන නිසාම උඩු ගං බලා යන, ඇඩ් දාන්නේ නැති නිසාම බ්‍රෑන්ඩ් එකක් වෙමින් පවතින පට්ට රැඩිකල් පොරක්.  

 

ALSO READ: A dusk song for Rasika Jayakody


%d bloggers like this: