Menu Close

රෝග වැළැක්වීමට, තවත් දේ කිරීමට මනසේ ශක්තිය කොතරම් ප්‍රයෝජනවත් වේද ?

392584_6432_2ලෝකයේ අපට දකින්නට සහ, දැනෙන්නට ඇති දේවල් ප්‍රධාන කොටස් දෙකකට ලඝු කල හැක. ඒ නම් මනස [Mind] සහ ද්‍රව්‍ය [Materials] වේ. මනස විසින් ද්‍රව්‍ය වෙනස් කල හැකි බවද, ද්‍රව්‍ය නිසා මනස වෙනස් වන බවද, පැහැදිළි කිරීමට ආගමක් අවශ්‍ය නොවේ. එය සාමාන්‍ය කෙනෙක්ට වුවද හැඟෙන, දැනෙන අවබෝධාත්මක දෙයකි.

එක්තරා ලෝක ප්‍රසිද්ධ හෘද රෝග විශේෂඥයෙක් කියා තිබුණු දෙයක් මෙහිදී සිහි වේ. …”ඔපරේෂන් තියටර් එකට එනවිටම, රෝගියා ජීවත් වනේද , නැද්ද යන්න ගැන මට කිව හැක”… හඬාගෙන දුකින් මුහුණ එල්ලා ගෙන එන්නේ නම්, ඔහු හෝ ඇය බොහෝ විට ජීවත් කිරීමට අපහසුය. ජීවත් වීමත් මරණයත් අතර සටනක් නොවුවද, මටද මේ ගැන කුඩා අත්දැකීමක් ඇත. එනම් මනසෙන් කල හැකි දේ, ශරීරයෙන් කෙරෙන දේට වඩා වැඩි හෝ ශරීරයට මනස මගින් විශාල බලපෑමක් කල හැකි බවය.

මා මුලින්ම රැකියාවක් සේ කලේ ගුරු වෘතිය විය. පාඨශාලා නිවාසාන්තර තරඟයකදී, ඒ එක නිවාසයක ප්‍රධානියා මා වූයෙමි. තරුණ නිසාත්, සිසු සිසුවියන් මා හොඳින් පාලනය කල නිසාත් එය මට ලැබෙන්නට ඇත. තරඟ වල දිනුම පැරදුම විනිශ්චය සඳහා නිවාස හතරේම ප්‍රධානීන් ඒ ඒ තරඟ ඉසව් නිරීක්ෂණය කල යුතු විය. ගැහැණු දුර පැනීම තරඟය සඳහා සහභාගී වූ මගේ නිවාසයේ සිසුවිය පළමු තරඟ වලින් දෙවන තැන ගන්නා බව පෙනිණ. මා ඇයගෙන් එය විමසූ විට ඇය මෙසේ කීවාය.

… “එයා එක්ක මට දුර පනින්න බැහැ සර් ,…එයා අන්තර් පාඨශාලා තරඟ වලිනුත් දිනපු කෙනෙක්”…. මෙහිදී මා ඒ කියන දුර පැනීමේ වැඩි හැකියාව තිබුණු සිසුවිය, මගේ සිසුවියට වඩා කොතරම් දුරක් පැන තිබුණේදැයි බැලුවෙමි. එය අඟල් 6කටත් වඩා ඈත දුරකි. ඒ දුරට වඩා ඈතට පැනීම එතරම් පහසු නැත. එහෙත් මා සම්‍යක් ප්‍රයෝගයක් කලෙමි. මා, මගේ සිසුවියට මෙසේ කීවෙමි.

… “දුව, ඔයා එයා තරම් ඈතට පැනලා නැහැ තමා … ඒත් දුරේ වෙනස අඟල් භාගයනේ…? ඕක පැන්නොත්,… ඔයා දින්නොත්, අපි නිවාසන්තරේ පළමු තැනට එනවා….! …!!

මගේ සිසුවිය අධෛයමත් වී තිබුනේ මේ සත්‍ය දුර වෙනස දුටු ඇයගේ යෙහෙළියන් ඇයට මේ බව කී නිසාය. නමුත් ඇය, ඇයගේ හිතවතියන්ට වඩා මා විශ්වාස කල හෙයින්දෝ, ඇයගේ මුහුණ මා එම බොරුව කී විට බොහෝ ප්‍රබෝධමත් විය. “ගුරුවරු බොරු කියන්නේ නැහැ”.. යයි ඇය අධි විනිශ්චයක සිටින්නට ඇත. අවසාන අවස්ථාවේ ඇය දුවගෙන විත් දුර පැනීම කල විට, ප්‍රතිඵලය විශ්මයකි. ඇය ඒ අනෙක් නිවාසයේ පළපුරුදු ක්‍රීඩිකාව පනින ලද දුරට වඩා අඟලක දුරක් ඈතට පැන තිබුණාය.

අපට ජය අත්විය. නිවාසය දිනු විට දරුවන් මා පිට්ටනිය වටා ඔසවා ගෙන ගියහ. මේ ලිපිය බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ පැරණි සිසු සිසුවියන් බලන්නේ නම්, ඔවුන්ට මේ සිදුවීම මතකයේ තිබෙනවා ඇත.

මහා ඇලෙක්සැන්ඩර් රජු වරක් රාත්‍රියේ ඔහුගේ භට හමුදාව පරීක්ෂා කරන්න යන අතරේ මුර කිරීමට සිටි භටයෙක් නිදා ගෙන සිටියේය. එහෙත් අඩි ශබ්දයක් ඇසී බලන විට රජු එන බව දුටු ඔහු කලබලව තුවක්කුව ඔසවා ගත්තේය. රජු එතනින් ගිය පසු තුවක්කුව බොහෝ බර බව අවබෝධ කරගත් ඔහු, ඒ කුමක්දැයි බලන විට එය සාමාන්‍ය තුවක්කුවක් නොව කාල තුවක්කුවක් බව දැන එය බිම අත හැරියේය. තුවක්කුව බිම වැටුණු විට ඒ ශබ්දය ඇසුණු අනෙක් භටයන් කලබල වී එතනට පැමිණි විට, එම භටයා කීවේ කාල තුවක්කුව කරට ගත් බවය. නැවත එය කරන්න කී විට එය කිරීමට ඔහුට නොහැකි විය.

ඔබටද මේ ආකාරයේ අත්දැකීම් තියෙන්නට පුළුවන.

මේ සියළු සිදුවීම්, මනස විසින් අපේ ශරීරයට දෙන විධාන සහ එහි විශ්මය ජනක ප්‍රතිඵල වලට උදාහරණ වේ.

අද දින අප සියල්ලන්ටම පොදුවේ අත් විඳින්නට වන කොරෝනා වසංගතයට මේ අයුරෙන්ම පිළිතුරු දීමට නොහැකි වේද ? සාමාන්‍ය සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කරන අතරතුර සිතේ ශක්තිය වැඩි කර ගැනීමත්, සතුටෙන් කාලය ගත කිරීමත්, ඒ මාරාන්තික වෛරසයෙන් බේරීමට හේතු වෙන්නට බොහෝ ඉඩ ඇත. කවදා හෝ අප මිය යා යුතුය. මිය යනවා කියා දුකෙන් සිටීමට හේතුවක් තිබේද ? …“මරණය නියතය – ජීවිතය අනියතය”….යන්න අවබෝධ කර ගැනීමට ආගම් අවශ්‍ය නැත.  

… “මොන සතුටක්ද ? … “අතේ සතේ නැහැ” … කියා කෙනෙක් කියන්නට පුළුවන. නමුත් සතුට සහ ද්‍රව්‍යමය දේ තිබීම යන්න අතර කෙලින් සම්බන්දයක් නැත. සතුට පවත්නේ, ඇති වන්නේ අපගේම මනස තුලය. මේ ගැන කුඩා කතාවක් අසා ඇත්තෙමි.

රජෙක් අසනීප වූයේ, කල හැකි සියළු දේ කලද ඒ අසනීපයෙන් මිදීමට නොහැකි විය. අසනීපය රජුගේ සියොළඟ කැසීම විය. රජ වාසලේ මහ වෙදනා කීවේ, මෙය ‘කරුම ලෙඩක්’ බවත්, මින් මිදීමට ලෝකයේ සිටින සතුටුම පුද්ගලයාගේ කමිසය රජු හැඳිය යුතු බවත්ය. රජෙකුට මේ පුද්ගලයා සොයා යෑම අපහසු නැති බව සිතු රජතුමා දස දෙස තම සේනාව යැව්වේ, ‘ලොව සතුටෙන්ම සිටින පුද්ගලයා ‘ සෙවීමටය.

භටයන් මුලින්ම ගියේ ධනවත් කමේ උපරිමයේ සිටි නැව් හිමියෙක් වෙතටය. කමිස දහස් ගණනක් රජුට දිය හැකි වුවද, ඔහු මේ වෙලාවේ සතුටෙන් නොසිටින්නේ, ඔහුගේ නැව් බොහොමයක් මුහුදුබත් වූ නිසා බව නැව් හිමියා කියන ලදී. මේ ආකාරයට භටයන් වසර කීපයක් ඒ අවශ්‍ය මිනිසා සොයා යන විට, කෙනෙක් වහළයක් උඩ මෙසේ සින්දුවක් කියමින් සිටියේය. … “ලොව සතුටෙන්ම සිටින මිනිසා මමායි …!!  භටයන් ඔහු වෙත ගොස් රජුගේ කතාව කී විට ඔහු කීවේ මෙයය.

… “රජතුමාට උදව් කරන්න මා කැමතියි – එහෙත් මට කමිසයක් නැහැ”….

 

%d bloggers like this: