Menu Close

ශ්‍රී ලංකා not Vs England – දොළොස්වෙනි කොටස

ලොකා, ඔයාට තමයි උසාවියට ඉදිරිපත් වෙන්න තියෙන්නේ, අයිතිකාරයා විදිහට……..

“ඔයා ඉක්මනට ලැහැස්ති වෙන්නකො, ලොකා. පරක්කු වුණොත් තව මඟුලක්. ඔයාගේ නමටනේ කඩේ තියෙන්නේ. අයිතිකාරයා විදියට, ඔයාට තමයි උසාවියට ඉදිරිපත් වෙන්න තියෙන්නේ. මේ තියෙන්නේ සිතාසිය……..!” අනිල් දික් කළේ කඩදාසියකි. 

මගේ සිරසට ආලවකයාම ආරූඪ වුණේ එතකොටය. 
“අද උදේද මේක තමුසෙට ගෙනත් දුන්නේ?” 
අන්නා පෑවේ හිස් බැල්මකි. “ඊයේ හැන්දෑවෙයි ලොකාට මේක ගෙනත් දෙන්න හිටියේ. කොහෙද…. කුමාර මල්ලිලාගේ නංගිගෙ කොටහළු මඟුල් ගෙදර යන්න වුණානෙ. එහෙ කෑම මේසේ ඉඳුල් කරන්න එන්න කියලා තිබුණේ පොඩි මාමාටයි මටයි! නොගිහින් බැරි නිසා ගියා…. එනකොට රෑ වුණා……” 
කුමාර කිව්වේ බොරලැස්ගමුවේ අපේ කඩය අයිනේම කීර වෙළෙඳාම් කළ පිරිසය. එයාලා හිටියේ වේරහැර හරියේ තිබුණු වත්තකය.
තමුසෙලා දෙන්නද බොරලැස්ගමුවේ කොටහළු වෙන කෙල්ලොන්ව නාවන්නේ?
“දැන් තමුසෙලා දෙන්නටද බොරලැස්ගමුවේ කෙල්ලෝ කොටහළු වුණාම නාවන්නයි, ඉසදිය මංගල්ලවලට පිරුවට එළන්නයි වෙලා තියෙන්නෙත්? ඇයි යකෝ, බඩවියත හම්බ වෙන කෙරුවාව නෙවෙයිද වැඩියෙන් වැදගත්? රෙද්දෙ කොටහළු….” 
කේන්තිය හින්දාම වගපල කිව්වා වුණත් මම ඉක්මනින්ම ලැහැස්ති වීමි. 
සූදානම් වෙන අතරෙත් මගේ හිතේ වැඩ කළේ අනිල්ගේත්, පොඩි මාමාගේත් නොසැලකිල්ලය. විශේෂයෙන් අනිල්. 
ඒ වෙද්දී අපේ ගෙදරින් බිහිව සිටි උගතා අනිල්ය. එහෙව් කෙනෙකුටත් මේ තරම් සැහැල්ලුවෙන් වගකීම් පැහැර හැරිය හැකිද? උගත්කම වැඩිවෙන තරමට බුද්ධිමත්කමත් වර්ධනය වියයුතු නේද? අපේ රටට හෙණ ගැහිලා තියෙන්නේ බලයත්, නිලයත්, ධනයත් ළඟා කරගන්නා උදවියට ‘වග කිවයුතු භාවය’ අමතක වෙන නිසා නේද? 
එතෙක් මා උසාවියකට ගොඩ වැදී තිබුණේ නැත. කොටින්ම ගංගොඩවිල උසාවිය තියෙන්නේ කොහිද කියලාවත් මට නිනව් නොවිණි. 
“ගම්සභා හන්දියෙමයි…. රත්මලානේ ඉඳලා 117 බස් ඇවිත් නුගේගොඩට යන්නේ ඒ පාරේ…. සුභද්‍රාරාම පිරිවෙනට යන පාරේ….” අපේ අනිලා ඒවා නම් හොයා බලලා තිබුණේය. උසාවිය තිබුණේ පැරණි ගෙදරකය. අප එතනට යනවිටත් ඊස්-මීස් නැතිව සෙනඟය.
කූඩුවට නැග්ගට පස්සේ මම කියනවා නිවැරදිකාරයයි කියලා……
“ලොකා… ඉස්සෙල්ලාම ලෝයර් කෙනෙක් අල්ලා ගන්න වෙනවා…. කූඩුවට නැග්ගට පස්සේ මොනව කියන්න ඕනිද කියලවත් අපි දන්නේ නැහැනේ….” 
“මොනවා දැනගන්නද? මං කියනවා මම නිවැරදිකාරයයි කියලා. මම වැරද්දක් කරලා නැහැනේ….”
“අයියෝ ලොකා…. ඔය පණ්ඩිතකම් උසාවිවලට හරි යන්නේ නැහැල්ලු. වෙන එකක් තියා ලෝයර් කෙනෙක්ව අල්ලාගන්නේ නැතිව නඩුවට පෙනී ඉන්න මිනිස්සුන් එක්ක නඩුකාරයොත් තරහයිලු. 
-උන්ගේ සනුහරේ එවුන්ට ගණනක් හම්බ වෙන විදිහටලු වැඩ කෙරෙන්න ඕනි. අදට විතරක්වත්…..” 
මිනිසුන් එහෙමය! මොළේ තියෙන ඇත්තන් එහෙමය. 
ඔවුහු හැකි හැම ඉඩ ප්‍රස්තාවකින්ම පල නෙළා ගනිති. අන්නාටත් ඒවාට මොළේ තියෙයි. බලාගෙන යද්දී මිනිහාත් ගොනා වෙලා තියෙන්නේ මා සම්බන්ධයෙන් විතරය.
වරෙක කුඩා ගැටයෙකු ටවර් හෝල් භූමියේ තිබී සත පහක් ………..
හෙන්ද්‍රික් සෙනෙවිරත්න ශූර ව්‍යාපාරික ඥානයක් තිබුණු; චුට්ටං ඉඩකින් පවා වැඩක් ගන්නට පුරුදුවී හිටි පැරණි ප්‍රභූවරයෙකි. 
චාල්ස් ඩයස්ගේ මාමණ්ඩිය මේ සෙනෙවිරත්න මහත්මාය. බවුස්ටඩ් සමාගමේ බස් රථ ධාවනය ඇරඹුණු නිසා, මරදානේ මෙරිඤ්ඤගේ වත්තේ පිහිටි අශ්ව ගාල වසා දමන්නට සිදුවූ විට එහිම ‘ටවර් රඟහල’ ගොඩ නැංවූ සෙනෙවිරත්න මහතාගේ දුර දක්නා තන්වැසි නුවණේ මහිමය ගැන මේ කියන්නට යන කතාවටත් වඩා උදාහරණ අවැසිද? 
ඒ පුවත ‘සරසවිය’ පුවත්පතට ලියා තිබුණේ අරුණ ගුණරත්න විසිනි. 
‘වරෙක කුඩා කොලු ගැටයෙකු ටවර් හෝල් භූමියේ තිබී සත පහක් අහුලා ගෙන යනු දුටු ඔහු දරුවා කැඳවූයේය.
ඇයි ළමයෝ නාට්‍ය නරඹන්නේ නැත්ද?
නෑ. මුදලාලි සල්ලි නෑ.” කොලුවා උත්තර දුන්නේය. 
ඇයි දැන් සල්ලි වගයක් ඇහිලුවා නේ.”
එතැන තියෙන්නේ සත පහයි.”
අතින් සල්ලි දීලා නාට්‍ය පෙන්වන්නේ?
කොලුවා ඇත්තම කීවේය. ප්‍රවේශ පත්‍රයට එය මදිය. සෙනෙවිරත්න මුදලාලි සත පහක් සාක්කුවෙන් ගෙන කොලුවා අත තැබුවේය. පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය කොලුවා වහා දුව ගියේ ප්‍රවේශ පත්‍රයක් ගන්නටය.
මුදලාලි ඒ මොකක්ද කළේ. අතින් සල්ලි දීලා නාට්‍ය පෙන්නන්නේ?”
කළමනාකරුවෙකු එය දැක පැවසුවේය.
අතින් සල්ලි දුන්නාට, මම සත පහක් හම්බ කළා කියලා පෙනුණේ නැද්ද?”
සෙනෙවිරත්න මුදලාලි ඇසුවේ ඇඟට පතට නොදැනීය. 
ඇත්ත නම් කොලුවා අසුලා ගත් සත පහ ද මුදලාලි අතින් දුන් සත පහ සමඟ එක්ව ශාලාවේ ආදායමට එක් වීමය.’
හෙන්ද්‍රික් සෙනෙවිරත්න මහත්තයා වගේම දූරදර්ශී කෙනෙක් ගංගොඩවිල උසාවි බිමේදී මගේ පිටට තට්ටු කළේය. “මොකද දිසානායක මෙහෙ? ඔයා නිමල් නේද?”

පෙරකදෝරු හිතවතා අප හා කතා කරන වෙලාවෙත් උකුසු ඇසින්…………
මම හැරී බැලුවෙමි. ඒ විද්‍යාකර විද්‍යාලයයේ ඉගෙනගත්තෙකි. අපට ඉහළ පන්තිවලය. “නඩුවක් නේද? ඉතින් මොකක්ද අපෙන් කෙරෙන්න ඕනේ?” බොක්කටම වදින හිනාවකින් සංග්‍රහ කරමින් ඒ හිතවතා ඇසුවේය. 
පෙරකදෝරු හිතවතාට කතාන්දරය කිව්වේ අපේ අනිල්ය. 
“මේකයි සර් වැඩේ. මේ ලොකු අයියගේ නමටයි අපේ කඩේ රෙජිස්ටර් කරලා තියෙන්නේ. ප්‍රයිස් කන්ට්‍රෝල් එකෙන් කඩේට පැනලා ඇල්ලුවා කහ කුඩු පැකට් වගයක්. ඒවා අපිත් ගන්නේ කඩේට බඩු දාන අයගෙන්…. ඒ මිනිස්සුත් ලියාපදිංචි කට්ටියක් නෙවෙයිලු….. ඉතින්…….” 
“That’s enough. දැන් ක්ලියර්…….. රෙජිස්ටර් නොකරපු තැනක බඩු අරගෙන කඩේක විකුණන එක තහනම් වැඩක් නේන්නම්…. බොහොම ලොකු වැරැද්දක්… ඒත් නිමල් වෙනුවට මම නඩුවට පෙනී ඉන්නවා. 
-එච්චර සීරියස්ලි හිතන්න එපා. චෝදනාව කියවපුවම ‘මම වැරදිකාරයා’ කියල කියමු. නඩු කියන්න ගියොත් කෙළවරක් නැහැ…. ඇදෙයි. කරදර වෙන්නයි, තව වියදම් කරන්නයි, රස්තියාදු වෙන්නයි තමා වෙන්නේ. දන්නවනේ, අපේ රටේ හැටි. වැරදිකාරයා කිව්වම පොඩි දඩයක් ගහයි…. එච්චරයිනෙ. අදම කේස් එක ඉවරයි… මොකද කියන්නේ?” 
පෙරකදෝරු මිත්‍රයා කතා කළේ කලබලයෙනි; වටපිට බලමිනි. උකුසු ඇස් එහා-මෙහා යවමිනි.
දඩ ගෙවාගන්න බැරි නම් මාව හිරේ ගියාවේ! මට හොඳ වැඩේ තමුසෙලා වගේ එවුන් එක්ක………
“ඔයාලගේ කේස් එක ගනිද්දී මම එතැනට එනවා. බය වෙන්න එපා!” 
මනුස්සයා ඈතට ගියා විතරය. අන්නාගේ කට ඇරිණි. “තව කාව හරි බිලී බාගන්න තමයි ඔය රවුම් ගහන්නේ…. ඒක නෙවෙයි, ලොකා. පොඩි දඩයක් ගහයි කිව්වනේ. කලබලේට මං සල්ලි අරගෙන ඇවිත් නෑ. ඔයා ළඟ……….?” 
“ඇයි බූරුවෝ, මමද දන්නේ මොනවද වෙන්නේ කියලා. සල්ලි….? දඩ ගෙවන්න බැරි නම් මාව හිරේ ගියාවේ….. එතකොටවත් තමුසෙලගෙ බඩ පිරෙයිනෙ. තමුසෙලත් එක්ක වැඩ කරනවට මට මෙහෙම වෙලා මදි, ඕයි.” 
අන්නා ඔළුව ඉස්සුවේ නැත; කෙලින් බැලුවෙත් නැත. “මම ටක් ගාලා බොරලැස්ගමුවට ගිහින් සල්ලිත් අරන් එනවා. නඩු ඔක්කොම අහල ඉවර වෙලාලු දඩ අය කරගන්න පටන් ගන්නේ. මම ටක් ගාලා එන්නම්!” මිනිහා ඉගිල්ලුණේ තත්පරයෙනි. 
නඩුව අඬගැසිණි. මම විත්ති කූඩුවට නැංගෙමි. 
‘වැරදිකාරයා’ යැයි පිළිගත්තෙමි. දඩයක් නියම කෙරිණි. ඊළඟට ඒ ගොඩනැඟිල්ලේම පැත්තකවූ රිමාන්ඩ් සිර මැදිරියට ගාල් කරනු ලැබීමි. 
අම්මෝ….. එහෙම ගන්දස්සාරයක්…. හුලිජ්ජ ගන්ධකේ බැරිය. ඒ මදිවාට මුත්‍ර වාෂ්පයෙන් ඇස් දෙක අරින්නට බැරි තරමට දැවිල්ලකි. බීඩි- සුරුට්ටු- දහදිය ගඳවල් සේරම එකට මුසුවී; කැලත්තී නැඟෙන දුමාරයෙන් පිරුණු මිහිපිට අපායකි.
හිර කුටියේ හිටි වැඩිම දෙනා අයි.ආර්.සී.කාරයන් වගෙය….. (1970 නිව්යෝක් කල්ලියක ෆොටෝවකි.)

සිර කුටියේ හිටි වැඩිම දෙනා පෙනුමෙන්ම අප්‍රසන්නය; අයි.ආර්.සී. කාරයන් විදිහය……… ඒත් උසාවි වැඩ ගැන දැනුවත් දැනමිත්තන්ය. නිතරම එතැනට යන-එන්නන් වගෙය. “මහත්තයාගේ මල්ලිත් මාර පොරක්නේ. මල්ලීට එන්න පරක්කු වුණෝතින් තමයි ඔයාට ලෙඩේ වෙන්නේ. අදම දඩේ ගෙව්වේ නැත්තං වැලිකඩට දායි!” මගෙන් විස්තර ඇසූ කෙනෙක් කිව්වේය. 

“ඈ?” 
මට කියැවුණේ නිකම්මය. 
සිරි ලියනගේ මහතාගේ ‘නිරුක්ති සහිත සිංහල ශබ්දකෝෂය’ පොතේ 178 පිටුවේ ‘ඈ’ යටතේ නිරුක්ති දක්වා තියෙන්නේ මෙහෙමය. 
‘ඈ, 1. සිංහල වර්ණ මාලාවේ සිවුවැනි ස්වරය, ඇකාරයේ දීර්ඝය. 2. ඇය, ස්ත්‍රිය, ඒ තැනැත්තිය. 3. ප්‍රශ්නාර්ථයෙහි යෙදේ, මොකක්? 4. එනම් සතා. ඈයා. 5. ආඥාව, අණ. 6. ආදායම, අය. 7. වඳ බවට පත්, අභාවයට ගිය. 8. ආර්ය.’
ඈ අක්ෂරය තියෙන්නේ සිංහල භාෂාවේ විතරක් බව………
ඈ අක්ෂරය තිබෙන්නේ සිංහල භාෂාවේ විතරක්ය කියන පෝස්ටුවක් මුහුණු පොතේ තිබිණි. බාසා වෙසරදයෝ ඒ මතය පිළිගනිත්දැයි මා දන්නේ නැත. එහෙත් එදා ගංගොඩවිල උසාවියේ සිර කුටියේදී නම් නිදිට ‘ඈ?’ කියැවුණේ බයටමය; නොහිතාමය. 
ඒ හිර කුටියේ හිටි පැය දෙකකට ආසන්න කාලය මට කිසිදා අමතක නොවන්නකි. 
මොන වරදක් කළත් සිරකරුවොත් ආශ්වාස-ප්‍රාශ්වාස කරන; නාඩි වැටෙන ප්‍රාණකාරයෝ වෙති. ඔවුන්ගේ අසරණකම මා හොඳටම අත් දුටුවේ වීරවිල හා පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරුවලදීය! මහියංගනයේ මාපාකඩවැව තාවකාලික රැඳවුම් කඳවුරේදීය!! 
දඩ මුදල් ගෙවන්නට පටන් ගනිද්දී, අපේ අනිල් උසාවියට ඇවිත් උන්නේය; සල්ලිත් අරගෙන. මම අපායෙන් මිදුණෙමි. ඒ දවස ගැන සිහි කරද්දී තවමත් ලජ්ජාවෙන් මිරිකෙන කොටසකුත් තිබේ. 
දඩය ගෙව්වාට පස්සේ පෙරකදෝරු ගාස්තුව ගෙවන්නට, මා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පෙරකදෝරු මහත්තයාව සෙව්වත් ඒ මනුස්සයා පෙනෙන මානයක නොසිටියේය. උසාවි භූමිය සෙනඟින් පිරිලා නිසා ඔහු සොයා ගැනිල්ල පහසු කටයුත්තකුත් නොවිණි. 
“අනේ ලොකා. ඔන්න ඔහේ යං. ගිනි කන මිනිස්සුනේ. අපේ ගාස්තුව නොගෙව්වට ඒ මනුස්සයා බංකොලොත් වෙන්නෑ.” යෝජනාව කළේ අනිල්ය.
එහෙන් මුත්‍රා බරකි; මෙහෙන් සරුවාංගයෙන් හමන අප්‍රසන්න කුයිලකි!
ඒ වෙනකොට මටත් ඇති වෙලාය! එහෙන් මුත්‍රා බරකි. මෙහෙන් සරුවාංගයෙන්ම හමා එන කුයිලකි. ගෙදර දුවන්නටත්, බරෙන් හා කුයිලෙන් මිදෙන්නටත් තිබුණු නොඉවසිල්ල නිසා මම අන්නාට කීකරු වීමි; යුතුකම පසෙකට දැම්මෙමි! 
ජීවිතයේ පළමු හා එකම වතාවට නීතියෙන් වැරදිකරුවෙකුවී, දඩයකුත් ගෙවා දමා මා ගෙදර ආවේ නීතීඥ ගාස්තුව නොගෙවා හොරෙකු මෙනි! 
ඒ ගැන නම් මට තවමත් ලජ්ජා හිතෙයි. එදා මගේ ඒ අකෘතඥකම ඒ තරම්ම ප්‍රබලය. 
“ලොකූ, ඔයා එහෙනම් ගෙදර යන්න. කඩේ වහලා තියන එක අපරාදෙනෙ. මම මෙහෙන්ම බොරලැස්ගමුවට යනවා….” මහරගම හන්දියේදී අපේ අනිල් කිව්වේය. 
මට වැටහුණේය. මිනිහාට උවමනා වුණේ, මගේ දෙහි කැපිල්ල මඟ හැරගන්නටය. කට කොකියමින් හිටියත් පාර-තොටේදී ඒකාට මොකුත් කියන්නට විදියක් නැතිය. එහෙම සීලවන්තකමක්; හැදියාවක් තියෙන නිසා මම තනිවම ගෙදර ගියෙමි. 
ඒත් පමුණුව පාර දිගේ ගෙදරට යන ඩිංගෙදී මගේ හිත කිව්වේ යමක් තදබල ලෙසින්ම වැරැදී ගිහින් කියලාය.
යමක් වැරදී ගිහින් තියෙන බව මට කල්පනා වුණේ පමුණුව පාර දිගේ…….
‘අල්ලපු කඩයේ ඉඳලාත් සුනිල්ලා, මල්ලිකාලා මේවා එකක්වත් දන්නේ නැතිද? මේ යක්කු ඉන්නෙත් ඇහැ-කණ පියාගත් ගමන්ද?’ 
මට කල්පනා වුණේ එතකොටය. පොඩි කාලේ එක පොකුරට; එකට වැටී හිටියත් දැන් පවුලේ එකිනෙකා වෙනම ඉගිලෙන්නට පටන් ගෙන තිබෙන බව මට වැටහුණේ එතකොටය. සංසාරයේ හැටි එහෙමය. ‘අදම ගිහින් ටිකාක් අවුස්සලා බලන්න ඕනේ!’ 
එදාම හවස මම කඩයට කඩා වැදුණෙමි. ඒ වෙනදා මා එහි යන වෙලාවක නොවේ; අහම්බෙනි. මගේ ප්‍රාදූර්භූත වීම පොඩි මාමාත්, අනිලුත් විතරක් නොව කීර ලෑල්ලේ කුමාරලාත් අන්ද-මන්ද කරවූ බව හොඳටම පෙනුණේය. 
අන්ද-මන්ද දැඩි චණ්ඩසිතුම් ඇති පුඟුලන් මැද දෙරණේ – ඉන්ද්‍රඛීලයක් සේ මම ඉන්නෙමි….’ නාරද දිසාසේකර අදත් ගයන්නේ විවිධ- විෂම මිනිසුන් ගැනය. ඒ යෙදුම වෙනත් කිසිම ගීතයක තිබෙතැයි මට මතක් වෙන්නේ නැති හැටි….. 
බොරලැස්ගමුවේ කඩයට ගිය වහාම අන්ද-මන්ද, වික්ෂිප්ත මුහුණුවලින් යුතුව මා වට කරගත්තේ එහෙම කිහිප දෙනෙකි. එයින් කැපී පෙනුණේ කුමාරලාගේ අම්මාගේ මුහුණයි…..
%d bloggers like this: