Menu Close

කන්ද උඩ ගින්දර

දස්කොන් ගැන නොඅහපු කෙනෙක් අපේ සමාජෙ නැති තරම් වුණත් මේ දස්කොන් ගැන තොරතුරු සඳහන් වෙන මූලාශ්‍ර හොයා බැලුවම හමුවෙන කාරණා බොහෝවිට පරස්පරයි, ව්‍යාකූලයි. තහවුරු කරගත හැකි සාධක අවමයි. රොබට් නොක්ස් ගේ වාර්තා, ඉතිහාසය සම්බන්ධව වැඩිදුර හදාරන විද්වතුන්ගේ අදහස් මේ හැම දෙයක්ම සලකා බැලුවම අවසානෙ අරගන්න පුලුවන් මෙවැනි අදහසක්. 
උඩරට රාජධානියේ දෙවනි රාජසිංහ රජ සමයේ දි De La Haye නම් අද්මිරාල් වරයා යටතේ, ප්‍රංශ නාවිකයින් පිරිසක් ත්‍රිකුණාමලයට ගොඩ බහිනව. ඔවුන් අතරෙන් කීපදෙනෙක් දූතයන් විදිහට රාජසිංහ රජු මුණගැහෙන්න උඩරට බලා පැමිණෙනව. රජු ඔවුන්ව මහනුවර රඳවා තබා ගන්නව. ප්‍රංශ දූත පිරිසේ නායකත්වය දැරුව ලැනරෝල් (La Nerolle) නැමැත්තෙකුගෙන් අදටත් ලංකාවේ වාසය කරන ලැනරෝල් වාසගම ඇති පරම්පරාව පැවත එන බව තමා ඉතිහාස වාර්තාවල සඳහන් වෙන්නෙ. මේ ප්‍රංශ නාවිකයන් අතරෙ උන්නා ප්‍රංශයෙ ගැස්කන් පළාතෙන් ආ පියරේ නම් පුද්ගලයෙක් (Pierre Gascon) ඔහුගෙ නම. මේ ගැස්කන් පසුව උඩරට වාසය කළ පෘතුගීසි කාන්තාවක් සමග විවාහ වෙනව. ලන්දේසි බලපෑම් නිසා මේ වෙනකොට ලංකාවෙ වාසය කල පෘතුගීසි ජනතාව ආරක්ෂාව පතා උඩරට රජු වෙත පැමිණ තිබුණා. රජු ඔවුන්ට උඩරට වාසස්ථාන පිහිටුවා ගන්න අවසර දුන්නා. ඔවුන්ගෙන් සමහරු රජ වාසලේ සේවට බඳවාගත් බව කියවෙනව. පියරේ ගැස්කන් විවාහ වෙන්නෙ මේ කාන්තාවක් සමග. කාලයාගෙ ඇවෑමෙන් ඔවුන්ට පුතෙකු ලැබෙනව. ඔවුන් දෙදෙනා පුත්‍රයාට පේද්‍රෝ ගැස්කන් (Pedro Gascon) නාමය තබනව. 
පේද්‍රෝ ගැස්කන් දරුවා, ජෝශප් වාස්, ජාකොමේ ගොන්සාල්වෙස් නම් කතෝලික පියවරුන් යටතේ පෘතුගීසි භාෂාවත්, කිත්සිරිමෙවන් රාජසුන්දර සාමණේරයන් යටතේ සිංහල භාෂාවත් ඉගෙනගන්නව. භික්ෂූන් වහන්සේලා ආශ්‍රයෙන් කාව්‍යකරණය ඉගෙනගන්න ගැස්කන් ඉක්මණින්ම මිහිරට කවි පබැඳිය හැකි දක්ෂ කවියෙක් බවට පත්වෙනව. පියා රජ වාසලේ සේවය කල නිසා කුඩා කල පටත් පේද්‍රෝ ගැස්කන්ට රජ වාසල හුරු පුරුදු තැනක් වුණා. ඔහු වාසලේ ආදරය දිනාගත් පුද්ගලයෙක් බවට පත්වුණා. ගැස්කන් නම සිංහල උච්චාරණය අනුව වෙනස් වී දස්කොන් බවට පත්වුණා. පසුව ගැස්කන් දස්කොන් නමින්ම හැඳින්වෙන්න පටන් ගත්ත.
මේ කාලයෙදි උඩරට රජකම් කලේ දෙවන විමලධර්මසූරිය රජ. විමලධර්මසූරිය අග බිසවුන් හෙවත් රන්දෝලිය ගේ පුත්‍රයා වුණ කුණ්ඩසාලෙ කුමාරයා සහ දස්කොන් හොඳම මිත්‍රයන් බවට පත්වුණා. දෙවනි විමලධර්මසූරිය රජ ගේ අභාවයත් එක්ක වයස දාහතක් තරම් තරුණ වියේ දී ම කුණ්ඩසාලෙ කුමාරය වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින් කන්ද උඩරට රජ වෙනව. නරේන්ද්‍රසිංහ රජ කවි, ගීත නාටක, ක්‍රීඩාව ප්‍රිය කළ විනෝදකාමී පුද්ගලයෙක් වුණ නිසා උඩරට ජනතාව රජුව හැඳින්වූයෙ “සෙල්ලම් නිරිඳු” නමින්. දස්කොන් හොඳ කවියෙක් වුණ නිසා මේ දෙන්නා අතරෙ සමීප මිත්‍රත්වයක් ඇතිවෙන්න ඇති. නමුත් නරේන්ද්‍රසිංහ ගෙන් රජකම පැහැර ගන්න කුමන්ත්‍රණය කරමින් සිටි පුද්ගලයෙක් හිටියා. ඒ තමා දෙවනි විමලධර්මසූරිය රජ ගේ උප ප්‍රධාන බිසව හෙවත් යකඩදෝලිය ගේ පුත්‍රයා වුණ පට්ටිය බණ්ඩාර. කුණ්ඩසාලෙ කුමාරයා රන්දෝලි බිසව ගේ පුත්‍රයා වුණ නිසා රජ කම ඔහුට හිමිවීම පෙර සිරිත අනුව සිදුවුණු දෙයක්. නමුත් උඩරට නිලමේ වරුන් කිහිප දෙනෙක් කුණ්ඩසාලෙ රජවීම ගැන නොමනාපයෙන් පසුවුණා. ඒ ඔහුගෙ පියා සිංහලයෙක් නමුත් මව හෙවත් රන්දෝලි බිසව ඉන්දියාවෙ මධුරාපුරයෙන් පැමිණුන වඩුග කුමාරිකාවක් වීම. මේ සිරිත ආරම්භ කළේ දෙවනි රාජසිංහ රජු. සිංහල නිලමේ වරුන්ගේ බලලෝභී කුහකත්වය නිසා ඔවුන් ගැන කළකිරුණ දෙවනි රාජසිංහ රජ, සිංහල කුල පරම්පරාවකින් වෙනුවට ඉන්දියාවෙන් කුමාරිකාවක් ගෙන්වාගන්නව. දෙවනි විමලධර්මසූරිය නමින් රජවෙන්නෙ රජුට දාව මේ බිසවට උපන් පුත්‍රයා. දෙවනි විමලධර්මසූරියත් රාජසිංහ අනුව යමින් මධුරාවෙන් කුමාරිකාවක් ගෙන්වාගන්නව. ඔවුන්ගේ පුත්‍රයා තමයි කුණ්ඩසාලෙ කුමාරයා. කුණ්ඩසාලෙත් වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින් රජවුණායින් පසුව රන්දෝලිය වෙන්නෙ මධුරාවෙන් පැමිණි නායක්කාර් වංශික කුමාරිකාවක්. ඈ තමයි ප්‍රමිලා.
වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ උභයකුල පාර්ශව පාරිශුද්ධ සිංහලයෙක් නොවුණ නිසා ඔහුගෙ අර්ධ සොහොයුරා පට්ටිය බණ්ඩාර සිංහල ජාතිකවාදි නිලමේ වරුන් එක්ක එකතුවෙලා රජකම පැහැරගන්න කැරැල්ලක් දියත්කරනව. මෙවැනි කැරැල්ලක් ගැන අනතුරු ඇඟවී තිබීමත්, රජු වෙනුවෙන් සටන් වැදුණ දස්කොන් ගේ සටන්කාමීත්වයත් නිසා කැරැල්ල අසාර්ථක වෙනව. රජු කැරළිකරුවන්ට මරණ දණ්ඩනය නියම කරන අතරේ තමන්ට පක්ෂපාතී නිලධාරීන්ට තනතුරු තානාතර වරදාන ලබා දෙනව. තමන්ගේ සමීපතමයා වුණ දස්කොන්ට අධිකාරම් තනතුරක් පිරිනමනව. එතන පටන් දස්කොන්, දස්කොන් අධිකාරම බවට පත්වෙනව.
අධිකාරම් තනතුරට ඇසගසාගෙන හිටි නිලමේ වරුන් කෝප ගන්වන්න මේ සිදුවීම ඉවහල් වෙනව. ඉන්පසුව දස්කොන් මාර්ගයෙන් මහනුවර විදේශිකයින් රජුට හිතවත් වීම, ජාකොමේ ගොන්සාල්වෙස්, ජුසේවාස් වැනි පියතුමන්ලාට රිසිසේ කතෝලික දහම ඇදහීමට, ප්‍රචාරය කිරීමට නිදහස ලැබීම වැනි සිදුවීම් උඩරට ප්‍රබලයන්ගේ “දස්කොන් විරෝධය” අවුලුවන්නට හේතුවී තිබෙනව. මේ නිසා දස්කොන් විනාශ කරන්න මඟක් ඔවුන් සොයමින් හිටිය. රන්දෝලි බිසව ප්‍රමිලා සහ දස්කොන් අධිකාරම අතරෙ සමීප සම්බන්ධතාවක් ඇති බව කුමන්ත්‍රණකරුවන් දැනගන්නෙ ඔය අතරෙ. දස්කොන් විසින් ප්‍රමිලාට ලියුවා යි කියන කවිත් රජුට අසුවීමට මේ කුමන්ත්‍රණ කරුවන් ම ලියූ ඒවා බවත් මතයක් තිබෙනව. කොහොම වුණත් ඔවුන්ගේ මේ සම්න්ධතාව ගැන රජු දැනගන්නව. සමහරවිට ඒ කුමන්ත්‍රණකරුවන් ගේ උපායකින් වෙන්නත් ඇති. දස්කොන් ගැන දැඩිව කළකිරුණ රජ ඔහුව සිරගත කරනව. 
හිරගෙදර දී දස්කොන්, රජුගෙන් සමාව ඉල්ලා “නෝක්කාඩු මාලය” නම් කවි පෙළක් රචනා කරනව. නමුත් දස්කොන් ගැන විමසිල්ලෙන් හිටි සතුරන් ඒ කවි පෙළ රජු අතට පත්විම වළක්වනව. අවසානෙ 1721 අවුරුද්දෙ පමණ දස්කොන් ගෙ හිසගසා දමන්න රජු නියම කරනව. කොහොම වුණත් දස්කොන් මරාදැමීමේ කුමන්ත්‍රණය පහුකාලීනව සොයාගත් බවත් ඊට සම්බන්ධ වුණ ලෙව්කෙ නිලමෙ තුමා වැනි කිපදෙනෙකු රාජ දණ්ඩනයට යටත් වීමට සිදුවුණ බවත් සමහර මූලාශ්‍ර වල සඳහන්.
ඉතිහාසය ගොඩනැගෙන්නෙ ඔප්පුකර පෙන්විය හැකි කරුණුමය සාධක වලින් වුණත් කලා කරුවෙක් තමන්ගෙ ලෝකය ගොඩනගන්නෙ පරිකල්පනයෙන්. නමුත් ඒ හුදු හිතලුවක් නොවෙන්නෙ ඔහු ඒ ගොඩනැංවීම සිදුකරන්නෙ සියලු මනුශ්‍යයන්ට පොදුවුණු මානව ගුණධර්මයන් මත පිහිටල නිසා. කලාකරුවෙක්ට හදවතත් බුද්ධියත් සම සමව මෙහෙයවා ගත හැකි ප්‍රඥාවක් අවශ්‍යවෙන්නේ ඒ හින්ද. ජැක්සන් ඇන්තනී මහත්මයගෙ “කන්ද උඩ ගින්දර” නවකතාව ගොඩනැගෙන්නෙ මේ ඉතිහාසය විසින් ඉතිරි කල හිස් ඉඩකඩ අතරෙන්. කන්ද උඩරට රාජ්‍යයේ ගම් නියම් ගම්, මංමාවත්, නිලධාරින් ගේ වගවාසගම් සහ රජ වාසල පරිපාලන ක්‍රමවේදයන් ගැන ජැක්සන් ඇන්තනී මහත්මය ඉතා හොඳ අධ්‍යයනයක් කර ඇති බව පෙනීයනව. මොකද මේ කතාවේ චරිතවල සිතුම් පැතුම් කතුවරයාගේ කල්පිතය තුළින් නිමැවුණත් ඊට පදනම් වෙන උඩරට රාජධානිය සහ එහි කටයුතු සිදුවුණ ආකාරය සැබෑවටම පැවතුන ආකාරයෙන් නිරූපණය කිරීමට අවශ්‍ය නිසා. ඒ හරහා කියවන්නාගේ විශ්වාසය දිනාගන්නවාත් එක්කම ඔහුගේ දැනුම් පරිමාවත් පුළුල් කිරීමට කතුවරයා සමත් වෙනව. කතාව ගොඩනැංවීම, දෙබස්, මේ හැමදෙයක්ම නාටකීය බවෙන් ඉතා ඉහළයි. මහනුවර සීත කඳුකරයේ මීදුම් බැඳුන තැනිතලා වනරොද අතරේ ඇවිද යන හැඟීමෙන් පාථකයාට කතාව රසවිඳිය හැකියි. 
කතාවට පදනම් වෙන්නෙ කුණ්ඩසාලෙ කුමාරයා රාජ්‍යත්වයට පත්වීම සහ ඒ ආසන්නව උඩරට සිදුවුණු දේශපාලන හැල හැප්පීම්. කුණ්ඩසාලෙ කුමාරයා හෙවත් වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ලංකා ඉතිහාසයෙ වැදගත් රජෙක් වෙන්නෙ ඔහු ලක්දිව අවසන් සිංහල රජු නිසා. පුතෙක් නොසිටි හේතුවෙන් ඔහුගෙන් පස්සෙ රජකමට පත්වෙන්නෙ ප්‍රමිලා අග බිසවගේ සහෝදරයා හෙවත් රජුගේ මස්සිනා. නායක්කර් වංශිකයින්ට ලක්දිව රජකම ලැබෙන්නෙ එහෙම. “කන්ද උඩ ගින්දර” මේ දේශපාලන නාටකය ඒ ඒ චරිත වල සිතුවිලි තුලට එබී බලමින් ගෙනහැර දක්වනවා. මං දන්න තරමින් මේ කතුවරයාගෙ පළමු නවකතාව. “කන්ද උඩ ගින්දර” වුණත් ඉතාම සුන්දර ව, රසබර ව, කුතුහලය ඇති කරමින් සහ ඓතිහාසික තොරතුරු විස්තරාත්මකව වර්ණනාකරමින් ලියවුණු සාර්ථක නවකතාවක් විදිහට මෙය හඳුන්වාදිය හැකියි.

%d bloggers like this: