Menu Close

    වාහන විත්ති 390 – වසර දහයකින් පරිසර ගැටලුව නිරාකරණය කිරීම සහ වාහන වල ඇතිවන වෙනස්කම්. 

          a79902667171ff2c7249a63b5f91fe9eඉහළ තලයේ විද්‍යාඥයන් අවවාද කරන ලද්දේ, 2030 වසර වන විට සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 සීමාවෙන් ඉහළට ලෝක උෂ්ණත්වය ඉහළ යැවිය යුතු නැති බවය. මෙය පහසු නැත. විශේෂයෙන් ජනගහණය වැඩිවන ලෝකයේ ඒ සීමාව ලබා ගැනීම ඉතා අපහසු දෙයකි. මස් සඳහා ඇතිකරන ගොවිපොළ සතුන්ගෙන් නික්මෙන කාබන් ප්‍රමාණය මෙන්ම ලෝක උෂ්ණත්වය ඉහළ යන තවත් ප්‍රධාන සාධකයක් වන්නේ, බල ශක්තිය ජනනය කරන බලාගාර වල දවන ෆොසිල ඉන්ධනය.

මේ දෙවන සාධකය නවත්වා දැමීමෙන් හෝ පාලනය කිරීමෙන් පමණක්ම ඉහළ යන ලෝක උෂ්ණත්වය පාලනය කල හැක. එය කල හැකි හොඳම ක්‍රමය වන්නේ පුනර්ජනනීය බල ශක්තියට අනුගත වෙමෙන් බව බොහෝ දෙනා පිළිගනී. පිළිගන්නට අකමැති කෙනෙක්ට වුවද, දැන් නම් කරන්නට දෙයක් ඇත්තේම නැත. මක්නිසාදයත්, ප්‍රායෝගික දත්ත ඒ සම්ප්‍රදායික චින්තනයට අභියෝග කරන හෙයිණි.

දින කීපයකට පෙර, 70 දශකයේ ඉගෙන ගත්, එහෙත් ඒ ඉගැන්වීම් වලම එල්ලී සිටින, බල ශක්ති විශේෂඥයෙක් යයි කියන ඔලමොට්ටලයෙක්, බංග්ලාදේශයේ ගල් අඟුරු වලින් බල ශක්තිය ලබා ගැනීම ගැන ප්‍රශංසා කර තිබිණ. මෙන්න මේ පිස්සන්, ප්‍රායෝගික දත්ත නොදකින්නේ අපේ කරුමයටද, රටේ කරුමයටද, උන්ගේ කරුමයටද යයි නොදනිමි. සූර්ය බලය භාවිතයට අනුගත වීම, ලාභ ශක්ති ප්‍රභවයක් මෙන්ම ශුන්‍ය කාබන් පාදය ලබා ගැනීමේද සාධකයක් වන බව පැහැදිළිය යන යතාර්ථය මෙන්න මේ පිස්සන්ට කණට ගසා පෙන්වා දිය යුතු කාලය එළඹ ඇත.

ලාභ වෙමින් සහ ප්‍රායෝගික සේ බල ශක්තිය ලබා ගැනීම යන සාධක නිසා, සූර්ය බල ශක්තිය මගින්, සම්ප්‍රදායික ෆොසිල ඉන්ධන බල ශක්ති ප්‍රභවයන් වේගයෙන් ලොවෙන් ඉවත් කරන බව පෙනේ. උදාහරණ සේ ඇමරිකාවේ කොලරාඩෝ, ඉඩාහෝ සහ කැලිෆෝර්නියාවේ බල ශක්තිය විෂයේ ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති වල ස්වභාවය ගත හැක.

එනම් පුනර්ජනනීය බල ශක්තිය මගින් ලැබෙන ශක්තිය සඳහා යන මිළ, සම්ප්‍රදායික බල ශක්ති ප්‍රභවයක් වූ ස්වභාවික වායු වලින් භාගයකි. එසේම බැටරි වල ගබඩා කර ඇති බල ශක්තිය මගින් හදිසියේ ඇතිවන බලයේ විචලනය අඩු කිරීමට භාවිතා කරන ස්වභාවික බල ශක්තියෙන් ක්‍රියාත්මක වන බලාගාර [Natural gas peaker plants] වේගයෙන් විස්ථාපනය වෙමින් පවතී. ඉතා ඉක්මනින් සූර්ය බල ශක්තිය සහ බැටරි තාක්ෂනය, ‘මධ්‍යම ග්‍රිඩ් ක්‍රම බිස්නස් මොඩලය’ නැති කර දමනු ඇත.

මීළඟට කාබන් විමෝචනය කරන තවත් ක්ෂේත්‍රයක් වන්නේ ෆොසිල ඉන්ධන භාවිතා කර කෙරෙන ප්‍රවාහන ක්‍රම වේ. විදුළි වාහන ජනප්‍රිය වන ආකාරය අනුව මේ කඩඉමද ලබා ගැනීමට අපහසු නැත. ටෙස්ලා වැනි විදුළි වාහන පමණක් තනන ආයතනයක් නොවුවද, විශාල පරිමාණයට වාහන නිෂ්පාදනය කරන වාහන නිෂ්පාදන කරුවන්, ඔවුන්ගේ ෆොසිල ඉන්ධන වාහන වේගයෙන් වෙනස් කරමින් සිටී.

උදාහරණයක් සේ මීට මාස කීපයකට පෙර පැවත්වූ ෆ්‍රෑන්ක්ෆර්ට් මෝටර් වාහන ප්‍රදර්ශනයේ මර්සිඩීස් බෙන්ස් සමාගම කියා සිටියේ, … “ඔවුන්ගේ අවසාන ෆොසිල ඉන්ධන එන්ජිම’ නිර්මාණය කල බවය. ඉන් පසු තවත් නව පන්නයේ ෆොසිල ඉන්ධන එන්ජින් ඔවුන් නිර්මාණය නොකරනු ඇත. එය එසේ නම් ඔවුන්ද වෙළඳ පොළෙන් බලාපොරොත්තු වන වාහන හෙවත් විදුළි වාහන නිෂ්පාදනයට පෙළඹෙනු ඇත. නැතිනම් ඔවුන්ටද වන්නේ, ඩිජිටල් කැමරා නිෂ්පාදනය ඉදිරියේ Kodak කැමරා නිෂ්පාදකයාට වූ දෙයය.

නූතනයේ භාවිතා වන ඒ ෆොසිල එන්ජින් වුවද, මීට වසර දශක දෙකකට පමණ පෙර භාවිතා කල එන්ජින් වලට වඩා ඉඳුරා වෙනස් වේ. උදාහරණයක් සේ CLA -180 මර්සිඩීස් රථයේ ඇත්තේ ටර්බෝ යාන්ත්රණයෙන් පාලනය වන ඝන සෙන්ටි මීටර් 1300 ක එන්ජිමකි. ඒ කුඩා එන්ජිමෙන් එපමණ බලයක් ලබා ගැනීම සඳහා වාහනයේ ඇති එන්ජින් පාලක ඒකකද [Engine control units] එදා භාවිතා කල ආකාරයේ සරළ ඒවා නොවේ. මේ ක්‍රම වසර සීයක් පැරණි මර්සිඩීස් වාහන සමාගමේ සම්ප්‍රදානුකූල ක්‍රම නොවේ.

මින් පෙනෙන්නේ වාහනද ඉලෙක්ට්‍රොනික සහ පරිඝනක තාක්‍ෂණයන්ට වේගයෙන් ඇදී යන බවය. ලංකාවේ පවා හයිබ්‍රිඩ් බෙන්ස් රථ ධාවනය වෙනවා දැකිය හැක. ඊළඟ පියවර සම්පූර්ණ විදුළි රථ වේ.   

2020 වසරේ මැද භාගයේ සූර්ය සුළං සහ විදුළි වාහන සම්පූර්ණයෙන්ම වෙළඳ පොළ බලපෑමෙන් වනු ඇත. අද දින පුනර්ජනනීය බල ශක්තිය, ෆොසිල ඉන්ධන වලින් ලැබෙන බල ශක්තියට දැවැන්ත අභියෝගයක් වෙමින් දිනෙන් දින ඒ සඳහා වියදම් වන මුදළ පහතට යන්නේය. එපමණක් නොව, එහි අනෙක් වාසිය වන්නේ පරිසරයට හිතකර බව යන්න අද සිටින කුඩා දරුවෙක් වුවද දනී.

එය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම අනුව යන දෙයකට වඩා, පහළින් ඉහළට තල්ලු වී යන වේගවත් මිනිස් අවශ්‍යතාවයක් වන්නේය. අද දින පවතින තාක්ෂනය නිවැරදිව භාවිතා කරන්නේ නම් පැරිස් සමුළුවෙන් නිර්ණය කරන ලද ලෝක උෂ්ණත්වය වැඩිවීම වළකා ලීම එතරම් අපහසු දෙයක් නොවේ. සූර්ය බලය, බැටරි තාක්ෂණය සහ රියදුරන් නොමැති විදුළි වාහන කෙමෙන් ලාභ වෙමින් පවතී. 

එනම් තවත් වසර දහයකින් ඒවා ස්මාර්ට් දුරකථන ලොවෙන් තිදෙනෙක් ගෙන් එකෙක්ට තිබෙනවාක් මෙන් වනු ඇත කියා, උපකල්පනය කිරීමේ වරදක්ද නැත.  

තවත් විස්තර :- 

 

https://leadthechange.bard.edu/blog/how-to-solve-climate-in-ten-years?fbclid=IwAR3hTGx-VbYETRrmQ1uQdlW5XDeBCdmLe38JDQ7HZHAqvHEeQ3odRjgt6lw

%d bloggers like this: