Menu Close

නිල් මහා සටන ජය පරාජයෙන් තොරව අවසන්.

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන 141 වැනි නිල් මහා සටන මහා ක්‍රිකට් තරගය පෙරේදා (14 වැනිදා) එස්.එස්.සී. පිටියේදී ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුණා.

සාන්ත තෝමස් විද්‍යාලීය කණ්ඩායම තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 369ක් රැස්කර ගත් අතර රාජකීය විද්‍යාලය තම ප්‍රථම ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 282ක් රැස් කළා. තරගයේ 3 වන සහ අවසන් දිනය සඳහා තරගය නතර කරනවිට දෙවන ඉනිම ක්‍රීඩා කළ සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 127ක් රැස්කරගෙන සිටියා.

තරගයේ කාසිය වාසිය දිනා ගත් රාජකීය නායක කවිඳු මදාරසිංහ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට සාන්ත තෝමස් විද්‍යාලයට ආරාධනා කළා. සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ආරම්භක පිතිකරු ශලින් ද මෙල් ලකුණු 85ක් වාර්තා කළ අතර රයන් ප්‍රනාන්දු ලකුණු 70ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී රාජකීය විද්‍යාලය වෙනුවෙන් කවිදු පතිරත්න, එල්. මධුසංඛ, තෙවිදු සේනාරත්න හා කමිල් මිෂාර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රථම ඉනිම වෙනුවෙන් දසිස් මංචනායක නොදැවී ලකුණු 53ක් රැස් කළා. ඉසිවර දසනායක සහ කමිල් මිෂාර පිළිවෙළින් ලකුණු 42ක් සහ ලකුණු 32ක් ලබා ගත්තා. එම ඉනිමේ පන්දු යැවීමේදී තෝමස් විද්‍යාලය වෙනුවෙන් යසිරු රොද්‍රිගු, කිෂාන් මුණසිංහ සහ යූ. සුවාරිස් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියා.

තරගය අවසන් වන විට ශාන්ත තෝමස් දෙවැනි ඉනිම වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැඳී සිටි ගවින් බොතේජු හතරේ පහර 5ක් සමගින් ලකුණු 36ක් ලබා සිටි අතර කිශාන් මුණසිංහ ලකුණු 16ක් ලබා සිටියා. පන්දු යැවීමේදී රාජකීය විද්‍යාලය වෙනුවෙන් ගිෂාන් බාලසූරිය ලකුණු 50කට කඩුලු 4ක් බිඳ හෙලුවා. තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයද ගිෂාන් බාලසූරිය දිනා ගත්තා.

Share with Friends

%d bloggers like this: