Menu Close

ගෙවී ගිය පසුගිය දශක හතෙහි, සෑම දශකයකම මුල් වසරේ මාර්තු මාසය, මා හට සුවිශේෂී මාසයක් වී තිබේ……

   2020 මාර්තු මාසයේ 15 වැනිදා වන අදට, හරියටම දශක හතකට ඉහතදී සිට, ගතවූ සෑම දශකයකම පළමු වර්ෂයේ මාර්තු මාසයේදී, මාගේ ජිවිතයේ හැරවුම් ලක්ෂ කිහිපයකට පිවිසීම පිළිබඳව, අහඹු ලෙස ක්‍රියාත්මක වූ සිද්ධි කිහිපයක් ගැන මතකය ආවර්ජනය කිරීමේදී පොදුවේ එම සිද්ධි සියල්ලම මෙතෙක් නොදුටු රටාවක් අනුව පෙළ ගැසෙන බව දකින්නට ලැබුණි. මේ සම්බන්ධව මහත් කුතුහලයක් ඇතිවූ නිසා, එම සිද්ධි තරමක් දුරට ආවරණය කරමින් මෙසේ Blog සටහනක් තැබීමේ වැදගත් කමක් ඇතැයි හැඟෙන නිසා, එම සිතුවිලි මේ ආකාරයට වචන වලට පරිවර්තනය කිරීමට සිතුනි.

එදා 1950 මාර්තු මස 15 වැනිදා, මතුගම සී. ඩබ්ලිව්. වබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයයට කාර්ය බහුල දිනයක් වී තිබුණි. පස්යොදුන් කෝරළයේ ගම් නියම් ගම් වල පිහිටි, කනිෂ්ඨ විද්‍යාල කිහිපයක ඉගෙනුම ලබා, පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වී, සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසි දෙනෙකු උසස් අධ්‍යාපනය සඳහා මධ්‍ය විද්‍යාලයට ඇතුලත් කර ගැනීම එදිනට යෙදී තිබිණ. නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලියක් ලද, කන්නන්ගර ඇමති තුමාගේ මතුගම මන්ත්‍රී ආසනයේ, එතුමා විසින්ම ආරම්භ කරන ලද, ශ්‍රී ලංකාවේ පළමුවෙනි මධ්‍ය විද්‍යාල කිහිපයෙන් එකක් වන මතුගම මධ්‍ය විද්‍යාලයය ප්‍රදේශයේ ඉතාමත් ජනප්‍රිය විදුහල විය.

එදින පෙරවරු අට වන විට විදුහලට ඇතුලත්කර ගැනීම සඳහා කැඳවීම් ලිපි ලැබී තිබුණු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලු දෙනාම, තම වැඩිහිටියෙකු සමග පැමිණ සිටියහ. මමද එම සිසුන්ගෙන් එක් අයෙක් වීමි. අප කවුරුත් නගරයෙන් ඈත පිටිසර ගම් වැසියන් බව, එකිනෙකා සමග කරන ලද කතාබස් වලට සවන් දුන් කෙනෙකුට අනුමාන කළ හැකි විය. තනි කාමරයකින් යුක්ත විදුහල්පති කාර්යාලයට ඇතුල්වන ස්ථානයේ තබා තිබුණු බංකු වල, වැඩිහිටියෝ කිහිප දෙනෙකු හිඳගෙන සිටි අතර, ඉතිරි අය මිදුලට වී කථාබස් කරමින් සිටියහ. නුහුරු නුපුරුදු තැනකට පැමිණ සිටි, මා ඇතුළු දරුවෝ කිහිපදෙනා මැලවී ගිය මුහුණු වලින් යුක්තව සිදුවන්නේ කුමක්දැයි නොදැන මලානිකව බලා සිටියහ.

ටික වෙලාවකින්, විදුහලේ ගුරුවරයෙකු විසින් ශිෂ්‍යත්ව ලාභීන්ගේ නම් කියවා, ඔවුන් පැමිණ සිටින බව සටහන් කර ගත්තේය. ඒ සමගම දරුවා කලින් ඉගෙනීම ලැබූ පාසැලෙන් ලැබුණු අස්වීමේ සහතිකය සහ උප්පැන්න සහතිකය සුදානම් කර තබා ගන්නා ලෙසද දෙමාපියන්ට උපදෙසක් ලැබිණ.

විනාඩි කිහිපයකට පසු සිසුන් ඇතුලත් කර ගැනීම ආරම්භ විය. හතරවැනියා ලෙස කැඳවීම ලැබුණේ මටය. පියාත් සමග විදුහල්පති තුමාගේ කාමරයට ඇතුල්වූ මට දකින්නට ලැබුණේ ප්‍රතාපවත් පෙනුමක් සහිත, හිසෙහි තට්ටය පෑදුණු, කාල වර්ණ ශරීරයකින් යුක්ත, හැඩි දැඩි, මහත්මයෙකි. ඔහුගේ මේසය මත වූ නාම පුවරුවේ, M. Ganesan – Principal යනුවෙන් සඳහන් කර තිබුණි. ඔහු දුටු මාහට තරමක භීතියක්ද ඇතිවිය. මාගේ පියා, තමා අත තිබුණු බුලත් හුරුල්ල සකස් කර, මට දුන් විට, මම එය විදුහල්පති තුමාගේ අතට දී දණගසා වැඳ ආචාර කළෙමි. මගේ හිසට අත තබා ‘“Thank you” කී විදුහල්පතිතුමා, මාගේ පියා අත තිබුණු ලියකියවිලි භාරගෙන, මේසයේ පැත්තක වාඩිවී සිටි තවත් ගුරුමහත්මයෙකුට දී ඒවායේ නිරවද්‍යතාව තහවුරු කර ගැනීමෙන් පසුව, ඇතුලත්වීමේ ලේඛනයේ මගේ නම සහ අනිකුත් විස්තර සටහන් කර,

“Your admission number is 1927. Go to Class 6 A” යයි කීවේය.

එසේ කියා, මගේ විස්තර ලියන ලද කඩදාසි තීරුවක අත්සන යොදා මට දුන්නේය.

මම 6 A පන්තියට ගොස් ගුරු මහත්මියට කඩදාසි තීරුව දුන් විට, මගේ අංකය සහ නම පන්ති නාම ලේඛනයේ ඇතුලත් කළාය. මට පන්තියේ ඉදිරි පේළියේ අසුනක් ලැබිණ. පැයකදී පමණ නවක සිසු සිසුවියන් සියලු දෙනාම පන්තියට පැමිණියහ. 6A පන්තියට ඇතුලත් කර ගන්නා ලද නවක ශිෂ්‍යත්වධාරීන් විසි දෙනා වන අප එදිනම ඉගෙනීමේ කටයුතු ආරම්භ කළෙමු. එදිනම කිහිප දෙනෙකු සමග නව මිතුරු සබඳතා ඇතිකර ගැනීමටද හැකි විය. 

මධ්‍ය විද්‍යාලයේදී ඉගෙනීමේ කටයුතු සාර්ථකව කරගෙන ගිය අපි 1956 වර්ෂයේදී අපොස සාමානය පෙළ, (එකළ SSC) විභාගයට පෙනී සිටියෙමු. උසස් පෙළ විද්‍යා අංශය සඳහා මට සුදුසුකම් ලැබුණි. එහෙත් මතුගම මධ්‍ය විද්‍යාලයයේ විද්‍යා ගුරු හිඟයක් පැවති නිසා, ශිෂ්‍යත්ව ධාරියෙකු වූ මා රජය මගින් වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලයට මාරු කර යවන ලදී. එම විදුහලේ දෙවසරක උසස් පෙළ අධ්‍යාපනයෙන් පසු මට විශ්ව විද්‍යාල වරම් ලැබුණි.

ඒ අනුව, 1960 මාර්තු මාසයේදී, මා හට ශ්‍රීලංකා විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍යයෙකු ලෙස, එකල කොළඹ පැවැත්වූ විද්‍යා අංශයට ඇතුලත් වීමට හැකි විය. වසර තුනක විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ගුරුවෘත්තිය රැකියාව වශයෙන් තෝරාගත් මාහට, හික්කඩුව මධ්‍ය විද්‍යාලයයේ සිව් වසරක් සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයයේ පස් වසරක් සේවය කිරීමට අවස්ථාව ලැබිණ. විවාහ ජීවිතයට පිවිසියේද මේ කාලයේය.

මේ අතරතුර 1969 වර්ෂයේදී පවත්වන ලද පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව පිණිස තෝරාගැනීමේ විභාගයෙන් සමත් වූ මාහට පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ අධ්‍යාපන විද්‍යා පීඨයට ඇතුලත් වීමට හැකිවිය.

1970 මාර්තු මස මුලදී අපගේ අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කරන ලදී. අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව, පූර්ණ කාලීන එක් වර්ෂයක අධ්‍යයන නිවාඩු ලැබෙන පාඨමාලාවකි. රජයේ පාසල්වල සේවය කරනු ලබන ගුරුවරු සහ වෙනත් අධ්‍යාපන නිලධාරීහු පාඨමාලාව අවසන් කිරීමෙන් පසු නැවත රාජ්‍ය සේවය සඳහා පැමිණීම අනිවාර්ය වේ. ඔව්හු මේ සම්බන්ධයෙන් රජය සමග ඇපයක් සහිත ගිවිසුමකට අත්සන් කළ යුතු වේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැටුප් වැඩිවීම් සහ ඉහල නිලතල වලට උසස් වීම් ලබාගැනීම සඳහා අධ්‍යාපන ඩිප්ලෝමා සහතිකය ලබා තිබීම එක් කඩඉමකි. 

අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව හදාරද්දී මට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයයේ සහ ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයයේ ඉගැන්වීම් පුහුණුව ලැබීම සඳහා පහසුකම් සලස්වා තිබිණ. ඒ කාලයේ අපගේ සියලු අධ්‍යාපන කටයුතු අධීක්ෂණය කරන ලද්දේ දිවංගත මහාචාර්ය ජේ. ඊ. ජයසුරිය මැතිතුමා විසින්ය. 

අධ්‍යාපන ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීමෙන් පසු, මාහට විද්‍යා අධ්‍යාපන නිලධාරි වරයෙකු ලෙස උසස් වීමක් ලැබුණි. මේ අනුව මාගේ රාජකාරි කටයුතු සඳහා මුල් පත්වීම ලැබුණේ රත්නපුර දිස්ත්‍රික්කයටය. 1971 වර්ෂයේ සිට ආරම්භවූ ජේ.වී.පී කැරැල්ල නිසා විද්‍යා අධ්‍යාපන අධීක්ෂණ නිලධාරි වශයෙන් අපට පැවරී තිබුණු රාජකාරි කටයුතු කරගෙන යාමේදී මහත් හිරිහැර වලට මුහුණ දීමටද සිදුවිය. එක් අවස්ථාවකදී, මගේ රාජකාරි ප්‍රදේශයේ විද්‍යාලයක විද්‍යාගාරයේ ගබඩා කර තිබුණු සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය සහ සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය බෝතල් තොගයක් ත්‍රස්තවාදීන් විසින් විද්‍යාගාරයෙන් සොරකම් කර ගන්නා ලදී. මෙම සිද්ධිය සම්බන්ධව අප වෙත තිබුණු තොරතුරු සැපයීම සඳහා, මට කිහිප වරක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද යාමට සිදුවිය. (ඒ කාලයේ CID හතරවෙනි තට්ටුවට ගිය කෙනෙකු ආපසු ආවේ කලාතුරකිනි ) 

වසර පහක් පමණ රත්නපුර දිස්ත්‍රික්කයේ සේවයෙන් පසු, මට මාගේ ගම් ප්‍රදේශය අයිති කළුතර දිස්ත්‍රික්කයට ස්ථාන මාරුවක් ලැබුණි. මේ කාලයේදී පදිංචිය සඳහා නිවසක් තනා ගැනීම සඳහා තරමක් දුරට හෝ කාලය ගතකිරීමට අවස්ථාව සලසා ගැනීමටද හැකිවිය.නිවස තැනීමේ කටයුතු වසරකදී පමණ අවසන් කර ගත හැකි විය.
එම දශකය අවසාන කාලයේදී, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු ලබා වසර පහක් විදේශයකට ගොස් රැකියාවක් කිරීම සඳහා රජයේ අනුග්‍රහය ලබාදීම පිණිස නීති සම්පාදනය කර රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛයක් නිකුත් කරන ලදී. මේ කාලය වන විට නයිජීරියාව, ඕමානය, සීෂෙල්ස් වැනි රටවල විවිධ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින්ටද හොඳ ඉල්ලුමක් තිබිණ. මේ අනුග්‍රහය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කළ බොහෝ අයටද එම මහඟු අවස්ථාව හිමිවිය. මේ අනුව මාද, දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් සීෂෙල්ස් ජන රජයේ අධ්‍යාපන අමාත්‍යංශයට අයදුම් පතක් ඉදිරිපත් කළෙමි. 1980 වර්ෂය මුලදී එයට අදාළ සම්මුඛ පරීක්ෂණයක් කොළඹදී පවත්වන ලදී. ඊට සති කිහිපයකට පසුව සීෂෙල්ස් ජනරජයේ අධ්‍යාපන අමාත්‍යංශයට අයිති ජාතික තරුණ සේවාවේ විද්‍යා උපදේශක වරයෙකු ලෙස මා තෝරාගෙන ඇති බවත් මාර්තු මාසයේ සිට එම තනතුරේ වැඩ භාරගැනීමට පැමිණෙන ලෙස දන්වා ලිපියක් ලැබිණ. මේ සඳහා කැමැත්ත දන්වා යැවූ විගසම ගමන සඳහා අවශ්‍ය ගුවන් ගමන් ටිකට් පතක්ද ලැබුණි. 
1980 මාර්තු මාසයේ මුල් සතියේ සීෂෙල්ස් ජනරජයට ගොස් එහි අධ්‍යාපන අමාත්‍යංශයට අයිති ජාතික තරුණ සේවාවේ විද්‍යා උපදේශක වරයෙකු ලෙස වැඩ භාර ගතිමි. ඉතා කුඩා රටක් වන සීෂෙල්ස්හි ජාතික තරුණ සේවාව එම රටටම ආවේනික සුවිශේෂී අධ්‍යාපන ක්‍රියාවලියකි. මුළු රටෙහිම ඇත්තේ 1 සිට 9 දක්වා ශ්‍රේණි සහිත කණිෂ්ඨ ද්විතීය පාසල් 35 ක් පමණකි. මේ සියල්ලේම එකාකාර අධ්‍යාපනයක් නොමිලේ ලබාදේ. අධ්‍යාපනයට අමතරව විෂයය බාහිර ක්‍රියාකාරකම් සඳහාද සෑම සිසුවෙකුම යොමු කෙරේ. නව වන ශ්‍රේණිය සමත් වීමෙන් පසු සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම වසර දෙකක නේවාසික පුහුණුව සඳහා ජාතික තරුණ සේවා ආයතනයට අනිවාර්යෙන්ම සම්බන්ධ විය යුතුය. මෙහිදී ඔවුනට දිනකට පැය පහක පමණ සාමාන්‍ය විෂයය මාලාවේ නියමිත විෂයයන් ඉගෙනීමට ලැබෙන අතර සවස් කාලයේදී ඉවුම් පිහුම්, වඩු කර්මාන්තය, පෙදරේරු වැඩ, ජලනල එලීම වැනි ප්‍රායෝගික වැඩද, විවිධ ක්‍රීඩා පිලිබඳ නිපුණත්වයක්ද ලබාදේ. මෙහිදී මාහට පැවරුණේ විද්‍යාව ඉගැන්වීමයි. ජාතික තරුණ සේවාවේ පුහුණුවෙන් පසු සිසුන්ගේ දක්ෂතා අනුව, රටෙහි ඇති එකම උසස් අධ්‍යාපන ආයතනය වන, බහු තාක්ෂණ ආයතනයේ විවිධ පාඨමාලා සඳහා යොමු කෙරේ. මෙහිදී ලබන ප්‍රවීණතාව අනුව තෝරාගත් සිසුන් රටෙහි අවශ්‍යතා වලට අදාළ විවිධ ක්ෂේත්‍රයන්හි උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබාදී විදේශ රටවලට යවනු ලැබේ.

සීෂෙල්ස් ජනරජයට ගොස්, මාස කිහිපයකින් පවුලේ සියලු දෙනාම එහි ගෙන්වා ගැනීමේ පහසුකම් එරට රජය මගින්ම සලසා දෙන ලදී. මේ අනුව එරටට පැමිණි බිරිඳ සහ දරුවන්ද සමග නතරවීම සඳහා ගෘහ භාණ්ඩ සහ අනිකුත් උපකරණ සහිත නගරය මධ්‍යයේම නිවසක්ද සපයන ලදී. දරුවන් නිවස අසලම පිහිටි විදුහලට ඇතුලත් කරන ලදුව බිරිඳද මා සේවය කළ ආයතනයේම ගුරුවරියක් ලෙස බඳවා ගන්නා ලදී. 

පස් අවුරුදු සේවා කාලය අවසන් කර ආපසු දිවයිනට පැමිණ අධ්‍යාපන අමාත්‍යංශයේ, විභාග දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික තනතුරක නැවත සේවය කිරීමට හැකිවිය.

රජය මගින් 1990 වර්ෂයේදී නිකුත් කරන ලද විශේෂ චක්‍ර ලේඛයක් මගින් රාජ්‍ය සේවයේ දස වසරකට වඩා අඛණ්ඩ සේවයක් ඇති නිලධාරීන්ට, විශ්‍රාම වැටුප් සහිතව විශ්‍රාම යාමේ අනුග්‍රහය ඇති බව ප්‍රකාශයට පත්කරන ලදී. රජයේ සේවකයින් විශාල සංඛ්‍යාවක් මේ අනුග්‍රහයෙන් ප්‍රයෝජන ගනිමින් විශ්‍රාම ගත්හ. මටද නිත්‍යානුකුලව විශ්‍රාම ගැනීමට කලක් තිබියදී මේ අනුග්‍රහය ලබාගැනීම කාලෝචිතයි මම තේරුම් ගතිමි.

1990 මාර්තු මාසයේදී, 44/90 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව මට විශ්‍රාම ලබාගත හැකි විය.

ඒ සමගම සීෂෙල්ස් අධ්‍යාපන අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි, මට නැවත වරක් එරටට ගොස් එහි උසස්ම අධ්‍යාපන ආයතනය වන සීෂෙල්ස් බහු තාක්ෂණ ආයතනයේ, ගුරු පුහුණු අංශයේ උපදේශකවරයෙකු ලෙස සේවය කිරීමට හැකිවිය. වසර කිහිපයක් සේවය කර ආපසු දිවයිනට පැමිණ, පරිසර අමාත්‍යංශයේ NORAD පරිසර ව්‍යාපෘතියේ වැඩ සටහන් නිලධාරි ලෙස වසර කිහිපයක් කටයුතු කළෙමි. මේ කාලයේදී දිවයිනේ ප්‍රදේශ රාශියක කරගෙන යනු ලැබූ පරිසර ව්‍යාපෘති කිහිපයක දායකත්වය දක්වමින් අත්දැකීම් රාශියක් ලබාගැනීම මා ලද භාග්‍යයක් විය.

2000 මාර්තු මාසයේදී දිවයිනේ නම් දැරූ වාස්තු විද්‍යා අධ්‍යාපන ආයතනයක් වන SLIA හි ලේකඛාධිකාරී තනතුර සඳහා, රජයේ සේවයෙන් විශ්‍රාම ලබා සිටි මා පත්කර ගන්නා ලදී. මෙම ආයතනයේ අධ්‍යාපනික කටයුතු සංවිධානය සඳහා මගේ අත්දැකීම් භාවිත කිරීමට අවස්ථාවක් ලැබිණ. මගේ විෂයය පථයට පරිබාහිර අංශයක් වන වාස්තු විද්‍යා ක්ෂේත්‍රයේ නියැලී සිටින ප්‍රවීණයින් රාශියකගේ ආභාෂය ලැබීම නිසා මට නවතම දැනුම් සම්භාරයක් ලබාගැනීම සඳහා එම සේවා කාලය ඉතා ප්‍රයෝජනවත් විය. එහෙත් පූර්ණ කාලීනව වැඩකිරීමේ පෞද්ගලික අපහසුතාව නිසා එම ආයතනයෙන් ඉවත් වීමට සිදුවිය. පසුව MDG පෞද්ගලික ගුරු පුහුණු විදුහලේ අර්ධකාලීන විද්‍යා උපදේශකවරයෙකු ලෙස එම ආයතනය නතර කිරීම දක්වා වසර හතරක් කටයුතු කළ හැකිවිය.

2010 වර්ෂයේ මාර්තු මස මුලදී මට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් දියත් කරන ලද, ද්විතීය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියේ -SEMP සහ දැනුමැති සමාජයක් සඳහා අධ්‍යාපනය – EKSP යන ව්‍යාපෘති දෙකෙහි පරිසර අධ්‍යාපනය පිලිබඳ උපදේශක තනතුර භාරගැනීමට සිදුවිය. මෙම ව්‍යාපෘති වල පුරා වසර හතරකට වැඩි කාලයක් කටයුතු කරමින්, පාසැල් අධ්‍යාපන විෂයය මාලාවේ විෂයය ක්ෂේත්‍ර කිහිපයකටම පරිසරය සහ පරිසර සංරක්ෂණය පිලිබඳ නව සංකල්ප රාශියක් ඇතුලත් කිරීම සඳහා දායකත්වය දැක්වීමට අවස්ථාව ලබාගත හැකි විය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ව්‍යාපෘති වල පරිසර උපදේශක තනතුරේ කටයුතු අවසන් වීමත් සමගම කලක සිට බලාපොරොත්තුව සිටි ආකාරයට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා යවන ලද අයදුම් පත්‍රය සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් ලැබිණ. විශේෂයන්ම ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය සඳහා සිත් යොමු කිරීමට සිදුවුයේ, ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා සිටින දියණියන්ගේ බලවත් ඉල්ලීම නිසාය. ඕස්ට්‍රේලියාවේ ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ ලිපිය ලැබී මාස තුනක් ඇතුලත ස්ථිර පදිංචිය සඳහා පැමිණෙන ලෙස අපට දන්වා තිබුණි. මේ සඳහා වහාම ක්‍රියාත්මක වීමට සිදුවිය.

අවසානයේදී, උපන්දා සිට ජීවත්වූ, සෞභාග්‍යසම්පන්න මව්බිම සහ හරි හම්බ කරගත් සිඋලු දේ පිළිබඳව ඇති ආශාවන් අත්හැර දමා සංක්‍රමණය සඳහා සුදානම් වීමු. ගේ දොර, වතුපිටි, නෑ හිත මිතරන් ආදී සියල්ල අතහැර දමා එම ගුවන් ගමන පිණිස ගුවන් ටිකට් පත් මිලදී ගැනීමට ගිය අවස්ථාවේදීද මව්බිමින් පිටත් වීම සඳහා වෙන්කර ගැනීමට තිබුණු දිනය වුයේ 2015 මාර්තු මස 15 වෙනිදාය. සියල්ල අත්හැර දමා විදේශ ගත වීමට ලැබුණේ මාර්තු මස 15 වෙනි දිනකම වීම නම් දෛවයේ සරදමක් වැනිය යි සිතේ.

දශක හතක දුෂ්කර දිවි ගමනේ, විවිධ හැල හැප්පීම් සහ හැරවුම් ලක්ෂ සහිත සැතපුම් කණු සහිත ස්ථාන ලෙස සැලකිය හැකි අවස්ථා ගැන මෙනෙහි කරන විට, සෑම දශකයකම ආරම්භ වර්ෂයේ, මාර්තු මාසයේ 15 දිනට හෝ ඒ ආසන්න දිනයකට යෙදෙන මෙම අහඹු රටාව හඳුනාගත හැකි විය. මේ සියල්ල අහම්බෙන් සිදුවූවාක් මෙන්ම කිසිම විටක සිතාමතා සිදුකල දේ නොවන බව සහතික විය හැකිය. ඒ සිදුවීම් පිටුපස කිසිම අදෘශ්‍යමාන බලවේග කිසිවක් ඇතැයි යන මිත්‍යාවට නම් මම කිසිසේත් නැඹුරු නොවෙමි. මේ සියල්ල සියයට සියයක්ම අහඹුතාව පෙරදැරි වී සිදුවූ දේ බව පමණක් ඉඳුරාම විශ්වාස කරමි.

ගණිතය ඉගෙනීමේදී දකින්නට ලැබෙන, සංඛ්‍යා හැසිරවීමේ අහඹු රටා මෙන්ම ජීවිතයේ බොහෝ සිද්ධිද යම්කිසි ගුප්ත අහඹු රටාවක් ඔස්සේ ක්‍රියාත්මක වන බව මට මෙම සිද්ධි වලින් පැහැදිලි වී තිබේ. සමහරවිට ඔබගේ යටගියාවද දින වකවානු අනුව විග්‍රහ කළහොත් මෙවැනි අහඹු රටා හමුවෙනු ඇතැයි අනුමාන කළ හැකිය.

හැකිවේ.

%d bloggers like this: