Menu Close

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි.

ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා “තාත්තේ චූ කරන්න ඔනද?” ඇසු විට “හා” කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි.

අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස “සුබ උදැසනක්” ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි.

මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද.
මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු.

අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක්.මේක මතක් වුනේ අද හරියට ඇවිදගන්න බැරි වුන තාත්තව මම එයාගේ පැත්තට හැදිලා පස්සෙන් පස්සට ඇවිදගෙන ආවේ එයාට මගේ කකුල් උඩ කකුල තියාගන්න දීලා, මම එයාගේ කකුලත් උස්සගෙන ඇවිදීම.
වැඩේ පරිස්සමට කලේ තවත් දෙදෙනෙක්ම සහයට හිටි නිසා.

අදත් හෙන දිගු දවසක්.
 ඒත් හැම දේම ලියන්නට පැය 24ක්ම මදි.

හෙට උදේට තාත්ත කතා කරාවි.
මට එහෙම හිතෙනව..
තාත්තා කතා කරනකන් මමත් කතා කරන්නව.

පලි:
හඳවතින් යෝදයෙක් වගේ වෙච්ච බඩි සර් දුන්න ඒ උපදෙස් සහ වචන වල හයිට පිං!

%d bloggers like this: