Menu Close

නූතන දර්ශනයේ ප්ලාස්ටිකත්වය සම්බන්ධයෙන් මැලැබූ

 

large_6eaeeeb5543566a6134075a29bc42450

 

අප ප්ලාස්ටිකත්වය පිළිබඳව මැලැබූ ගේ අදහසේ දාර්ශනික මූලයන් පරීක්ෂා කර බැලීමට දැන් යොමු විය යුතුය. හේගල් අනුව යමින්, මැලැබූ පෙන්වා දෙන්නේ කාන්ටියානු දර්ශනය විසින් ඇති කරන කේන්ද්‍රීය දාර්ශනික එකතුකිරීමක් ලෙස අප මෙය වටහා ගත යුතු බවයි. එක අතකින් කාන්ට් පෙන්වා දෙන්නේ උත්තරානුභුතික ආත්මය නම් පූර්ව කොන්දේසිය උපකල්පනය කරන්නේ නොමැතිව අපගේ අත්දැකීමේ ලෝකය යන්න විය නොහැකි බවයි. අපට මේ ලෝකය දෘශ්‍යමාන වන්නේ නිශ්චිත ආත්මීය කොන්දේසි කීපයකට අනුව බව වටහා ගැනීම අපහසු නැත. විඥානවාදීන් විසින් නැවත නැවතත් පෙන්වා දී ඇති ලෙසට ලෝකය සම්බන්ධයෙන් අපට තිබෙන්නේ සිතුවිලි පමණි. එම නිසා මෙම ලෝකය අපට හඳුනා ගත හැකි වන්නේ මෙම සිතුවිලි වල ආකෘතියෙන් පමණි. ලෝකය යනුවෙන් අපට හමු වන්නේ මෙම සිතුවිලි වල ආකෘතියට අනුව සැකසුනු දෘශ්‍යමානයන් වන්නේ මෙම නිසාය. නමුත්, විඥානවාදයට වෙනස් ලෙස, කාන්ට් පෙන්වා දෙන්නේ ලෝකය අපේ සිතුවිලි වලින් උත්පාද කර ඇති දෙයක් ලෙස වටහා ගැනීමට ද අපට නොහැකි බවයි. විශේෂයෙන් අපගේ සිතුවිලි ලෙස ලෝකය පිළිබඳව සිතා බැලීමේ දී සමහර දේ අපට හමු වන්නේ අනිවාර්යය ආකෘතියකින් බව අපිට පැහැදිළි වෙයි. නිදර්ශනයක් ලෙස අප මහ මග ගමන් කරන විට, සිතුවිලි වල ආකෘතියෙන් හඳුනා ගැනීමට ඇති දේ සහ අප දෑස් පියාගෙන යමක් ස්මරණය කරන විට සිතුවිලි වල ආකෘතියෙන් හඳුනා ගත හැකි දේ අතර වෙනසක් තිබේ. දෙවැනි අවස්ථාවේදී අප සිතනා දෙය අපට මුළුමනින් පාලනය කළ හැකි වුවත් පළමු අවස්ථාවේදී අපට එම සිතුවිලි – ඒවා සිතුවිලි පමණක් බව පැහැදිළි වුවත් – අපට මුණ ගැසෙන්නේ අනිවාර්යතාවයේ ස්වරූපයකිනි.

එම නිසා අපගේ සිතුවිලි ක්‍රියාත්මක වීම සඳහා එමගින් පාලනය නොවන ‘තොරතුරු’ අප වෙත පැමිණිය යුතු බව පැහැදිළි වේ. වෙනත් ආකාරයකට කියන්නේනම් අප වෙත සංවේදනය වන දේ තිබෙනා බව ඉතාම සාධාරණ නිගමනයක් බව පෙනී යයි. නමුත් ගැටලුව වන්නේ මෙය සත්‍ය වශයෙන්ම ‘එළියකින්’ පැමිණෙන දෙයක් ද කියා අපට පෙන්වා දීමට නොහැකි වීමයි. මෙයට හේතුව වන්නේ අපට ළඟා විය හැක්කේ අපගේ මානසික යථාර්ථයට පමණක් වීමයි. එම අර්ථයෙන් ගත්විට මෙම ‘එළිය’ පිළිබඳව අදහස ද අවසානයේ දී හිස්, අන්තර්ගතයක් නොමැති ආකෘතියක් බව පැහැදිළි වේ.

නමුත් අනෙක් අතට අපගේ මානසික යථාර්ථය කුමක්ද කියා අපට පෙන්වා දීමට ද නොහැකිය. එය අපට ගත හැකි වන්නේ ඉහත ‘තොරතුරු’ මත ක්‍රියාකාරී විය හැකි මූලික ආකෘතියක් ලෙස පමණි. නමුත් එම ආකෘතිය නිශ්චිත වශයෙන් සමන්විත වන්නේ කුමකින්ද සහ එය පවතින්නේ කුමකින්ද කියා අපට පෙන්වා දීමට ද නොහැකිය. එම අර්ථයෙන් ගත්විට මෙම ආත්මය පිළිබඳව අදහස ද, ඉහත ‘එළිය’ පිළිබඳව අදහස සේම, හිස්, අන්තර්ගතයකින් තොර ආකෘතියක් බව පැහැදිළි වේ.

එම අර්ථයෙන් ගත්විට අපගේ පැවැත්මේ සැබෑම මානය වන්නේ මේ අන්ත දෙක අතර සිදු වන අකණ්ඩ චලනය, අනවතර ක්‍රියාකාරිත්වය නොවන්නේද? ප්ලාස්ටිකත්වය පිළිබඳව මැලැබූ ගේ සංකල්පය හරහා අපට පළමු වරට මුණ ගැසෙන්නේ මෙයයි. ආත්මීයත්වය යනු සාරයක් නොවන සාරයක් මත ආකෘතියක් නොවන ආකෘතියක් විසින් සිදු කරන හැඩයක් පැනවීමේ අවසන් නොවන ක්‍රියාවලියයි.

නමුත් මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ ප්ලාස්ටිකත්වය යන්න මගින් ස්ථාවර ලෙස පවත්නා යාන්ත්‍රණයක් විස්තර කරන්නේ නොමැති බවයි. මැලබියානු දර්ශනයේ රැඩිකල් මානය, දේශපාලනික මෙන්ම කලාත්මක සිතීමක දී එහි ඇති නවීනත්වය අපට හමු වන්නේ මෙම ලක්ෂ්‍යයේදීය. ප්ලාස්ටිකත්වය යනු අනෙක් දේ මත – මිනිසා මත, ජීවී ලෝකය මත – බලපවත්නා දෙයක් පමණක් නොවේ. ඒ වෙනුවට එමගින් මැලැබූ අල්වා ගන්නට උත්සාහ කරන්නේ සමස්තයයි. වෙනත් ආකාරයකට කියන්නේනම් මැලැබූ ගේ ව්‍යාපෘතිය පදනම් වන්නේ ප්ලාස්ටිකත්වය යන සංකල්පය ඇසුරින් සමස්ත දාර්ශනික ‘පද්ධතියක්’ ගොඩ නැගීම මතයි. මෙහි තීරණාත්මක ප්‍රතිඵලයක් වන්නේ ඇයට ප්ලාස්ටිකත්වය ස්ථාවර ප්‍රපංචයක් ලෙස නිර්වචනය කළ නොහැකි වීමයි. වෙනත් ආකාරයකට කියන්නේනම් අන් සියල්ල වෙනස් කරමින් සහ වෙනස් වෙමින් ක්‍රියාත්මක වන ප්ලාස්ටිකත්වය යන්න ද මේ ආකාරයටම විපර්යාසයට ලක් වීමට එකඟ විය යුතුය. එසේ නොමැති වනවා යනු ප්ලාස්ටිකත්වය සඳහා අප ලබා දෙන මූලධාර්මික බව එම සංකල්පයේ අභ්‍යන්තරය විසින්ම අභියෝගයට ලක් වනවා යන්නයි.

අපට ඉහතින් විස්තර කළ සම්ප්‍රදායික කාන්ටියානු රාමුව වෙත සීමා වීම අනිවාර්ය නොවන්නේ ප්ලාස්ටිකත්වයේ ප්ලාස්ටිකත්වය නිසාය. එමගින් ආකෘතියක් පනවමින්, ආකෘතියක් ලබා ගන්නවා යන්නෙන් මෙය එකම ආකාරයකට සිදු වන බව අදහස් වන්නේ නැත. එය නිරන්තරයෙන් චලනයට ලක් වෙයි – එම නිසාම ලබනා ආකෘතිය මෙන්ම පනවනා ආකෘතිය ද වෙනස් වීමට ලක් වෙයි. අප පසුව පැහැදිළි කර ගන්නා ලෙසට, මැලැබූ ට අනුව, කාන්ටියානු දර්ශනයේ අවසාන පෙරළිය සිදු වන්නේම මෙම ලක්ෂණය නිසාය. සිය අවසන් දාර්ශනික ප්‍රයත්නය තුළ ජීවය පිළිබඳව ප්‍රශ්නය වෙත කාන්ට් ලබා දෙන වැදගත්කම මගින් අපට පැහැදිළි වන්නේ මෙයයි. අපගේ පැවැත්ම පදනම් වන ස්ථාවර ආකෘතික සාරයක් තිබෙනවා මෙන්ම එම ආකෘතික සාරය වෙත අහඹු ලෙස ලක්ෂණ එකතු කරන අබිරහස් බාහිරත්වයක් තිබෙනවා කියා තහවුරු කිරීමට අපට පදනමක් නොමැති වෙයි. අපගේ පැවැත්ම යනු මෙම ස්වකීයත්වය මෙන්ම බාහිරත්වය පිළිබඳව අදහස නැවත නැවතත් සූත්‍රගත කරන, නැවත නැවතත් සාකච්ඡා මේසයට ගන්නා චලනයකි.

අපට එය මේ ආකාරයටත් ලිවිය හැකිය. අපගේ පැවැත්මේ සාරයක් තිබෙනා බව හෝ එම සාරය වෙත අන්තර්ගතයන් ලබා දෙන බාහිරත්වයන් ඇති බව හෝ අපට පරීක්ෂා කර බැලිය නොහැකිය. අපට දෙන ලද දෙය වන්නේ මේ අභ්‍යන්තරත්වය කියා සිතෙනා ආකෘතිය වෙත බාහිරත්වය කියා සිතෙනා දෙයින් ලැබෙන තොරතුරු මුණ ගැසෙනා ලක්ශ්‍යයි. අපට නිශ්චිත ලෙස පරීක්ෂා කර බැලිය හැකි වන්නේ මෙයයි. නමුත් එය පරීක්ෂා කර බලන විට අපට පැහැදිළි වන්නේ ප්ලාස්ටිකත්වයේ ක්‍රියාකාරිත්වය පමණක් එහිදී නිරීක්ෂණය කළ හැකි බවයි. නොවෙනස් වන ආකෘතිය ලෙස අප හඳුනා ගන්නා අපගේ ස්වකීයත්වය යනු බාහිරින් ලැබෙනා දේ මගින් නිරන්තරයෙන් වෙනස් වීමට සහ යළි හැඩයක් ගැනීමට ලක් වන ආකාරයේ ආකෘතියකි. අනෙක් අතට අප බාහිරත්වය ලෙස හඳුනා ගන්නේ අප විසින් යළි සූත්‍රගත කළ දෙයක්, අපේ ආත්මීය ආකෘතියට අනුව සකස් කළ දෙයක් පමණි – එම ආත්මීයත්වයෙන් ස්වායත්ත වූ බාහිරත්වයක් අපට මුණ ගැසෙන්නේ නැත. වෙනත් ආකාරයකට කියන්නේනම් අපට දෙන ලද දෙය වන්නේ ආකෘතියක් ගැනීම සහ ආකෘතියක් ලබා දීම යන ද්විත්ව ක්‍රියාකාරිත්වය පමණි. මැලැබූ විසින් ප්ලාස්ටිකත්වය ලෙස නම් කරන්නේ මෙයයි.

විඥානවාදීන් යෝජනා කරනා ලෙසට අපට කිසිදා පාරිශුද්ධ සක්‍රීයත්වයක් – මනස විසින් සියල්ල පනවා ගන්නා මොහොතක් – හමුවන්නේ නැත. එමෙන්ම, අනෙක් අතට, යථාර්ථවාදීන් කියනා ලෙස අපට කිසිදා පාරිශුද්ධ නිෂ්ක්‍රීයත්වයක් – පරිබාහිර භෞතික ක්‍රියාකාරිත්වයක් මගින් අපගේ මනස මුළුමනින් ගොඩ නැගෙනා මොහොතක් – හමු වන්නේ ද නැත. ඒ වෙනුවට, හේගලියානු මැලැබියානු දර්ශනය පෙන්වා දෙන ලෙස, අපට තිබෙන්නේ ප්ලාස්ටිකත්වය පමණි –  සක්‍රීයත්වයට මෙන්ම නිෂ්ක්‍රීයත්වයට ද එරෙහි වූ ප්ලාස්ටිකත්වය පමණි. නමුත් මෙමගින් අදහස් වන්නේ මෙය අනිවාර්යයෙන්ම විඥානවාදය සහ යථාර්ථවාදය අතර බෙදීම සඳහා මැලැබූ ගේ පිළිතුර පමණක් වන බව නොවේ. පසුකාලීනව ඇයගේ අදහස් වල වර්ධනය තුළ අපට පැහැදිළි වන ආකාරයට ප්ලාස්ටිකත්වයේ ප්ලාස්ටිකත්වය පිළිබඳව වඩාත් රැඩිකල් ප්‍රකාශනයක් ලෙස අපට හෛඩගර් ගේ පැවැත්ම සහ පැවැත්මවල් අතර වෙනස හඳුනා ගත හැකිය. ඉතාමත් සරල අර්ථයෙන් ගත්විට, මැලැබූ යෝජනා කරනා කියවීමට අනුව, මෙමගින් යෝජනා කරන්නේ පැවැත්ම සෑම විටම පැවැත්මවල් ලෙස රූප විපර්යාසයට ලක් වෙමින් ආකෘතිගත වන බව සහ අනෙක් අතට යන්නම ඇති වන්නේ මේ ආකාරයටයි. නමුත් මෙය සමාරම්භක ලෙස අනෙක් අතටද සිදු විය හැකිය. එනම් පැවැත්මවල් විනාශ වීම, අවසන් වීම, අකර්මණ්‍ය වීම ආදිය මගින් අපට නැවතත් පැවැත්ම වෙත දැක්වෙන සමාරම්භක සම්බන්ධය නිරාවරණය විය හැකිය. මැලැබූ පෙන්වා දෙන ලෙස ප්ලාස්ටිකත්වය යනු හේගලියානු දයලෙක්තිකයට මෙන්ම හෛඩගරියානු ප්‍රතිගොඩනැංවීම (destruction) යන්නට ද එක ලෙස අදාළ වන්නා වූ චලනයකි (තරමක් අමතර කරුණක් සඳහන් කරන්නේනම්, මැලැබූ පෙන්වා දෙන ලෙස, ප්ලාස්ටිකත්වය සහ විසංයෝජනවාදය අතර වෙනස පදනම් වන්නේ මේ මතයි – විසංයෝජනය, විසංයෝජනය කළ නොහැකි වුවත්, ප්ලාස්ටිකත්වය යන්නම නිරන්තරයෙන් ප්ලාස්ටික ලෙස රූපවිපර්යාසයට ලක් වේ).

වංගීස සුමනසේකර

 

 

 

***

%d bloggers like this: