Menu Close

දොළහ වෙද්දී – සිව්වෙනි කොටස

‘ඕනන්’ ගැනවත්, ‘ඕනෑනිසම්’ ගැනවත් නොදැන හිටි මට ඕනෑවී තිබුණේ, පියසිරි කියූ හරුපයේ අරුත දැන ගන්නටය. එහෙම ජාගර චිත්තයක් පහළවී තිබුණේ පියසිරි පිළිබඳව මොකක්දෝ සුවිශේෂයක් හැඟී තිබුණු බැවින්ය කියන කාරණයත් නොකියා හිටින්නට බැරිය.

කුතුහලයෙන් දැවෙමින් උන් මම ඒ හරුපයේ තේරුම…………
ඒ නිසාම, කුතුහලයෙන් දැවි-දැවී හුන් මම ඒ ‘හරුපය’ කිමැයි සමරසිරිගෙන් විමසුවෙමි. මට වැඩ වසර කිහිපයකින් වැඩිමහලු සමරේ, ඒ වෙද්දී ඉඳලා තිබුණේ ‘සිර කරගත්- උතුරා යන තාරුණ්‍යයේ’ය!
ඉතින්, මං ඒ ප්‍රශ්නය ඇහුවාම සුදු මල්ලී ඉතාමත් දක්ෂ ලෙස; රුචිකර ලෙස ඒ පාඩම සවිස්තරව; සනිදර්ශනවම කියා දුන්නේය; 
කාටත් රහසේ, ප්‍රායෝගිකවම! 
එක දවසක් විතරකුත් නොවේ…. 
එකම අයුරකින් විතරත් නොවේ. 
ගංගානන්ද අහිංසකයා හා ඈඳමින් පියසිරිලා කියූ ‘ගල්’ කතාවේ තේරුමත් මට වැටහුණේ එයින් පසුවය!
එලෙස ගෙවුණු දින කිහිපයකට පසුව සමරේ මට කිව්වේ ඇඟ කිළිපොළා යන තරමේ කතාවකි!
“රංජි මල්ලී, දැන් ඉතින් නිකම්ම පපුව එළියේ දමාගෙන ඉන්න එපා. ඔයාලගෙ තාත්තට පෙනෙයි!” සමරසිරි කිව්වේය.
මෙහෙම ධාතු පිට කරන්න පටන් ගත්තාම පපුවේ පොඩි වළක්…….
“මොනා පෙනෙන්නද?”

“දන්නවද? අපි මෙහෙම ධාතු පිට කරන්න ගත්තම පපුවේ පොඩි වළක්  හැදෙන්න පටන් ගන්නවලු. ඉතින් ගුණපාල අයියට ඒක නෝට් වුණෝතින් මළකෙළියක් වෙයි…. ඔයා කෝකටත් බැනියමක් අඳින්න පටන් ගන්න…. එතකොට ඉවරයිනෙ.”
සමරසිරි එහෙම කිව්වත් ඒක නං කරන්නට විදියක් නැත. හිටි ගමන් එහෙම කරන්නට ගියොත් තාත්තා දාහක් ප්‍රශ්න අසනු නියතය.
ඒත් සමරසිරිගේ මාහැඟි උපදේශ එකක්වත් අහක දමන්නටත් මට හිතුණේ නැතිය. මනුස්සයා ඒ තරම්ම expert කෙනෙකි කියලාය මං පිළිගෙන තිබුණේ.
‘ශුක්‍ර ධාතුව කුමකින් හට ගන්නේ ද? ඉන් ශරීරයට ඇත්තා වූ ඵලය කවරේ ද? එය ක්ෂය වීමෙන් ශරීරයට වන හානිය කිමෙක් ද? යනාදිය දැන ගැනීම සියල්ලන්ටම අතිශය ප්‍රයෝජන වන්නේය. මේ සඳහා සුශ්‍රැතයේ මෙසේ ප්‍රකාශ වේ, එනම්-

       “රසාද්‍රක්තං තතො මාංසං – මාංසාන්මෙදඃ ප්‍රජායතෙ,
        මෙදසො’ස්ථි තතො මජ්ජා – මඥඃ ශුක්‍රරස්‍ය සම්භවඃ”
එවක් පටන් මාසයක් ගත වෙන තුරු එය ශුක්‍රගත නොවන්නේය………
‘රස ධාතුවෙන් ලේ ධාතුව ද, ලේ ධාතුවෙන් මාංස ධාතුව ද, මාංස ධාතුවෙන් මේදො ධාතුව ද, මේදො ධාතුවෙන් ඇට ධාතුව ද, ඇට ධාතුවෙන් ඇට මිදුලු ධාතුව ද, ඇට මිදුලෙන් ශුක්‍ර ධාතුව ද හට ගන්නේය’ යනු මෙහි අභිප්‍රායයි.
-මේ ක්‍රමයෙන් යමෙක් යම් දිනෙක මනා ආහාරයක් අනුභව කළේ ද, එවක් පටන් මාසයක් ගතවන තුරු එය ශුක්‍රගත නොවන්නේය යනු සුශ්‍රැතාචාර්යයන්ගේ මතය වේ. 
මෙසේ ක්‍රමයෙන් එක එක ධාතුගත වූවායින් පසු අන්තිමයේදී මාසයක් පමණ ගත වූ කල ශුක්‍ර ධාතු ස්වල්පයක් හට ගනියි.
-මේ පරිද්දෙන් දුකසේ ලැබිය හැකි වූ එම ධාතුව යමෙක් පළමු කී ප්‍රකාර ක්ෂය කෙරේ නම් ප්‍රථම කොට ඔහුගේ ශුක්‍ර ධාතුව අඩු වීමෙන් එය සෑදෙන්නා වූ ඇට කුහර තුළ පිහිටි මිදුලු ධාතුව හීන කරයි. 
මෙසේ මිදුලු ධාතුව අඩු වීමෙන් එය සෑදෙන්නට හේතු වූ ඇට ධාතුව අඩු කරයි. ඇට ධාතුව හීන වීමෙන් එය සෑදීමට හේතු වූ මේදො ධාතුව ක්ෂය වෙයි. මේදො ධාතුව පිරිහීමෙන් එය සෑදීමට හේතු වූ මාංස ධාතුව ඌන කරයි. 

-මාංස ධාතුව ඌන වීමෙන් එය සෑදීමට හේතු වූ ලේ ධාතුව පිරිහෙයි. ලේ ධාතුව පිරිහීමෙන් එය සෑදීමට හේතු වූ රස ධාතුව ක්ෂය වෙයි. 

-මෙසේ ශුක්‍ර, ඇට, ඇට මිදුලු, මේදස්, මාංස, ලේ, රස යන සප්ත ධාතුන්ගේ අභාවය හේතු කොට ගෙන මනුෂ්‍යයා ජීර්ණව පතිත වූ වෘක්ෂයක් මෙන් විශේෂ වශයෙන් කාස, ක්ෂයාදී අනෙක රෝගයන්ට භාජන වීමෙන් අකාල මරණයට ද පැමිණෙන්නේය.’
සප්ත ධාතුන්ගේ අභාවය හේතු කොටගෙන මනුෂ්‍යයා ජීර්ණව පතිත වූ………
එහෙම තිබෙන්නේ ‘සිතියම් සහිත ස්ත්‍රී චිකිත්සාවලියපොතේ 196- 197 පිටුවලය. ඒ කෘතිය ලියා තිබෙන්නේ 1935 දීය. 1973 වනවිට 14 වතාවක් අච්චු ගස්වා තිබෙයි. පොතට හොඳ ඉල්ලුමක් තිබුණු බවත්, පිළිගැනීමක් තිබුණු බවත් එයින් විශද වෙයි. 

ඒ පොතේ තිබුණු දේශීය (ආයුර්වේද) දැනීම කොතරම් විදුහුරුද යන්න වෙනම ප්‍රශ්නයකි. ශුක්‍ර ධාතු වර්ධනයේදී ‘එක කිරි තේ කෝප්පයක’ බලය; ජවය; ශක්තිය ගැන මා ලියුවේ නොබෝ දිනෙකය. 
කොයි තරම් expert කෙනෙකු වුණත් දැනුම ලබාගත යුතු වන්නේ තිබෙන තැනකින්ය. සමරසිරිට වෙන්නට ඇත්තෙත් ඒ ටිකය. ඔහු ලිංගික අධ්‍යාපනය ලබාගන්නට ඇත්තෙත් තමා වැනිම කෙනෙකුගෙන් වෙන්නැතිය. 

ඒ හැම දෙනාම දැනගෙන ඉන්නට ඇත්තේ ‘ස්ත්‍රී චිකිත්සාවලිය’ වැනි පොත්වලින් කියවුණු දේවල්ය! 
එහෙම අඩමානෙට දැනගත් අයගෙන් ‘ලිංගික කරුණු’ අසාගැනීම අන්ධයන්ගෙන් අලියාගේ හැටි කොහොමදැයි විමසනවා වගේ වැඩකි.
ඒක අලියාගේ හැටි කොහොමදැයි අන්ධයන් රැලකගෙන් විමසනවා වගේ වැඩකි!
“රංජි මල්ලී ඇයි තවම ලන්කට් එකක් අඳින්නේ නැත්තේ?” ඒ අතරේ දවසක සමරසිරි ඇහුවේය. “අම්මට කියලා එකක් මස්සවාගන්න වෙයි. හිටි ගමන් fire වුණෝතින්…..! උදේටත් කල්පනාවෙන්….. නැඟිටිනකොට සරමෙන් tent ගහගෙනද ඉන්නේ?”
සමරේට දිවැස් තියෙනවාවත්ද?
මා සමඟින් එවැනි කතාබහක් කරන්නට හිටියේ සමරේ විතරය. එවැනි සංවාද නිසා සිදුවුණේ අප වඩාත් සමීප වීමකි. 
ඒ කාලයේ ගැටවරයන්ට ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වෙනකොටම ‘ජොක්කු’ මසා දෙන සිරිතක් තිබුණේ නැතිවා වගෙය. දැන් වාගේ ready made ජොකාලා ඕසේට තිබුණේත් නැතිය.
“අම්මේ, මටත් සස්පෙන්ඩර් එකක් මහලා දෙන්නකෝ…..” කියන වචන තුන-හතර කටපාඩම් කරගෙන, බොහොම අසීරුවෙන් අපේ අම්මා ඉදිරිපිටදී ජප කර ගත්තේ සිය-දහස් වතාවක් විතර කොඳුරමින් පුරුදු වෙලාය.
අපරාදේ කියන්නට බැරිය. 
අපේ අම්මා ඔහොම දේවල්වලට දේවතාවියකි. 

එහෙම කියන්නේ අම්මාගේ පාමුල් පෙට්ටියේ තියෙන ඉතුරු-බිතුරු රෙදි කෑලි මූට්ටු කරලා, වැඩ පෙන්වන්නට කැමති නිසාය. “මේ මොකක්ද අම්මෙ මේ? මල් වට්ටියක් වගේ…… මේකෙ නැති මෝස්තරයක් නැහැනේ. රෙදි ජාති කීයක්ද? කවුරුවත් දැක්කොත්….”
උඹ ඕක ඇඳගෙන ස්ටේජ් නඟින්න යනවය බොඩි බිල්ඩර්ස්ලා වගේ?
අම්මා මසා දුන් යට ඇඳුම දුටු මනතින්ම මට කියැවිණි. 
“එහෙනං ඉතින් රෙදි යාරයක් විතර ගෙනත් දීහන්, තාත්තගේ රෙදි සාප්පුවෙන්. උඹලගේ තාත්තට තියෙනවනෙ සාගරේ වගේ. මම ඕක මැහුවේ සැරෙන්-සැරේ කැපිලා ඉතිරි වෙච්චි රෙදි කෑලි පුරුද්දලා අරං, පිරිමහලා. ඒකටත් කෙළහනවා……” 

නරක mood එකක හිටි අම්මා තාත්තාවත් කතාවට ඇදගත්තාය.
“මාත් මේ සද්ද නැතිව අහගෙනයි හිටියේ. දැන්මම ඉලන්දාරිකම් ඔළුවට ගැහුවොත් නං පුතෝ…….” තාත්තාත් හොට දැම්මේ මාව නිරුත්තර කරවමිනි. “උඹ ඕක ඇඳගෙන stage එකකට නඟින්න යංනෑනෙ. බොඩි බිල්ඩර්ස්ලා වගේ!”
‘තාත්තටත් ඕනෑ නැති රෙද්දක් නැති හැටි!’ මට සිතිණි. එහෙම දේවලින් වුණේ තාත්තාත් මාත් අතර ‘රහස් පවුරක්’ ඉදි වුණු එක විතරය; පරතරයක් ඇති වුණු එක විතරය. 
එයින් මා තල්ලු වුණේ සමරසිරි වැනි පිටස්තරයන් කෙරෙහි වැඩි විශ්වාසයක් රැඳවීමේ ස්ථාවරයකටය.
බොහොමයක් වැඩිහිටියන්, කිසිම අවබෝධයක් නැතිව කරන්නේ තම දූ-දරුවන් පිටස්තරයන්ට සමීප කරවීමය. දරුවන්ට සමීපවී සිටිය යුතුම අවදියේ දුරස් වෙන්නට පටන් ගැනීමය! එහෙම වුණාම……….
ඉතින් මමත් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නොට්ටිගේ පුතෙක් වීමි!
කොහොම දුරස් වුණත් තාත්තාට බොරු කිරීම නම් අපට ලෙහෙසි වුණේ නැත. අභියෝග මතුවෙන තරමටය, ඒවා ජයගන්නට උපා යෙදෙන්නේ.
ඉතින් මමත් නොට්ටිගේ පුතෙක් වීමි. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම! 
දිසානායක හේවගේ පරම්පරාවේ ‘උපායශීලී ජාන’ වැඩිම තරමක් මට දායාදවී තිබීම නිසා එලෙස ‘තාත්තාගේ කණෙන් රිංගීම’ ඒ තරම් අසීරුත් නොවිණි.
ඉස්කෝලේදී සති කිහිපයක් තිස්සේ ඇනුම්-කෙටුම් කියමින් මට රිදවන්නට වෙහෙසුණු පියසිරිටම එය එපා වුණා විය යුතුය. කොල්ලා හැසිරුණේ ‘නිමලෙක්’ ඉස්කෝලේ නොහිටි ගානටය.
සත්‍යයම කිව යුතුය. ඒ ගැන නම් මා සතුටු වුණේ නැත.

තරහකාරයෙකු වුණත් ඒ සන්දියේදී මා ගැන සැලකිලිමත් වෙනවාට මම කැමැත්තෙන් සිටියෙමි. 
ඒ මමංකාරය හින්දාද? එහෙමත් නැති නම් උච්ඡමානය හින්දාද? 
මටම පොදුවූ නුහුගුණයක් හින්දාවත්ද? නැතිනම් සංසාර පුරුද්දක් හින්දාද? 

හේතුව නොවැටහෙන නමුත්, මම නම් සමහර දෙනා හා දුටු මනතින්ම බැඳෙන්නෙමි. එයට ස්ත්‍රී-පුරුෂ භේදයක් හෝ වයස-තරාතිරම හෝ බලපාන්නේ නැත. එලෙස බලද්දී මම එකල පියසිරි කෙරේ ආසක්තව සිටියෙම්ද?

ඒ හද බැඳී සියලු දේ එසේම තිබියදීත්……..

අදටත් එහෙම හිතෙන්නේ ඒ දිනවල සිහිනයෙන් පවා පියසිරිගේ බෙදුණු නිකට දකින්නට මා කැමැත්තෙන් හිටි නිසාය. 
ෂර්ලි නිසා මගේ හිතේ නිදන්වී තිබුණු ‘කාකි’ පාටත් ඊට අනුබල සැපයුවා වෙන්නැතිය. ශිෂ්‍ය භට කණ්ඩායමේ පුහුණුවීම්වලදී පියසිරි ඇන්දේත් කාකි කොට කලිසමක් හා සුදු මේස් බැනියමකි. 

ඒ හද බැඳි සියල්ල එසේම තිබියදීත්, මම අපේ තාත්තාට දුන් පොරොන්දුව කඩ නොකළෙමි. පියසිරි හා වචනයක්වත් කතා කළේ, මේ පුතයා නොවේ! 

අම්මව දෙනවයි කිව්වා නං තාත්තව ගස් බැඳලා හරි දීපං පුතේ’ අපේ තාත්තා මට කියාදී තිබ්බේ එහෙමය!
මේ තරමටම මට මේවා වැදගත් වන්නේ ඇයි?
මා මානසිකව ශක්තිමත් වුණේ මෙවැනි සුළු අභියෝගවලට මුහුණ පෑමට පුරුදු වීමෙනි; මගේ දරාගැනීමේ හැකියාව උපරිමයට වැඩුණේ මෙවැනි දේට මුහුණ පෑමෙනි. සමහර සිදුවීම් ප්‍රසන්න නැති බව හැබෑය. 
ඒත් ඒවායිනුත් සාධනීය ප්‍රතිඵල නෙළාගත හැකිය. 
එහෙම කරගන්නට හැකි වෙන්නේ ඌරු කටක්- කබර පිටක් හා ගල් කාෂ්ඨක හිතක් තියෙනවා නම්ය.

නරකම දෙයකින් වුණත් හොඳක් මතු කරගන්නටත් ඉඩක් ඇත!
නිමල් දිසානායක ඉපදෙන්න හිතලාවත් නැති කාලේ; දිසානායක හේවගේ ගුණපාල රහුබැද්දේ විදානෙලාගේ ලීලාවතීට දැපනේ වැටිලා ඉන්න කාලේ ඇල්ෆ්‍රඩ් කිංසි නමැති මහත්මයෙක් පොත් දෙකක් ලිව්වේය. 
ඒවා ලංකාවේදී ලිව්වා නම් උන්නැහෙට වහ කන්නයි වෙන්නේ. 

ඒ දවස්වල ඉඳලාම අපේ ඇත්තන් සංස්කෘතිය; සභ්‍යත්වය; සුචරිතය ‘සිරස දරාගෙන’, ආඳා මාළු අතින් නොකා ඉරටෙන් කන්න පුරුදුවෙලානෙ හිටියේ.
එහෙව් කාලෙක කිංසි උන්නැහේ ලියපු පොත් දෙක තමයි ඇමෙරිකාවෙත් ලොකු ආන්දෝලනයක් ඇති කළේ. 
Sexual Behavior in the Human Male (1948) පළමුවෙනි පොත. 
දෙවෙනි එක Sexual Behavior in the Human Female (1953)
මානවයන්ගේ ලිංගික චර්යාවන්; ඒ පිළිබඳ ආකල්ප හා නැමියාවන් ගැන ගොඩක් විස්තර ඒ කෘතිවල කියවුණා.
වැඩි දෙනෙකු හිතන තරමටත් වඩා මානවයා ‘කාමුක සතෙක්’ කියන පණිවිඩය ඒ කෘතිවලින් සමාජගත වුණා. 
පිරිමින්ගෙන් 46%ක් තම වැඩිහිටි ලිංගික දිවියේදී ස්ත්‍රී-පුරුෂ දෙපිරිසත් එක්කම කාම සම්භෝගයේ යෙදී තිබුණු බව….. 37%ක් එකම වතාවක් හෝ සමරිසි සබඳතාවක පැටලී තිබුණු බව….. වගේ තැති ගැන්වෙන තොරතුරු ඒ පොත්වලින් හෙළිදරව් වුණා.

මානව ලිංගික චර්යාවන් ගැන ලියැවුණු ඇල්ෆ්‍රඩ් කිංසි මහත්තයාගේ පොත් දෙක……
කින්සි වාර්තාව ගැන මෙලෝ හසරක් දැනගෙන හිටියේ නැතත්, ටෙස්ටස්ටරෝන් හෝමෝනය ගැන වගේ-වගක් දැනගෙන හිටියේ නැතත්, ඒ වෙද්දී එක කාරණයක් නම් මට නිසැකවම පැහැදිලි වෙමින් තිබිණි.
මාත් අපේ තාත්තාගේ ආරෙට ගිහින්ය. මදිය නොකියන්නට මගේ ලිංගික හෝමෝන ශ්‍රාවය වෙයි.
‘මේ පපුවේ අමාරුවට දිව යට තියාගන්නයි කියන පෙත්ත තියෙනවා නේද? ඒකට පුරුදු වුණාට පස්සේ ‘වීතරාගී’ තමයි….’ 
වැඩිහිටි හෘදය රෝගියෙක් කරුණු නොසඟවා මා සමඟ කිව්වේය. 
සමහර ඖෂධ මඟින් ලිංගික හෝමෝන ශ්‍රාවය වීම අඩපණ කරත්දී ‘ලෛංගික ශක්තිය’ අඩු වෙතියි මා දැනගත්තේ එදිනය.
මේ ලිංගික හෝමෝන වහනය වෙන්නේ කාටවත් ඕනෑ තාලෙට නොවේ; 
ඕනෑ වෙලාවට හෝ විදිහටත් නොවේ. එක-එක්කෙනාගේ ශරීර ස්වභාවය අනුවය. 
හෝමෝන වහනය වැඩි නම් ඔහු හෝ ඇය වඩාත් කාමුක වෙයි. 
එය අඩු කෙනෙකු විරාගී කෙනෙකු වන්නටත් ඉඩ තිබෙයි. විමසිලිමත්ව බලාගෙන යද්දී මේ සේරටම වග කිව යුත්තේ අපේ සිරුරේ රසායනික ද්‍රව්‍ය තිබෙන; නිපදවෙන මට්ටමය!
අඩු වයසෙන් ලිංගික හෝමෝන වැඩිපුර නිපදෙද්දී, ඒ බව සඟවාගෙන මනස් සිරගෙයක හිර වෙන්නට ……
ඉතින් අඩු වයසෙන්ම ලිංගික හෝමෝන වැඩියෙන් නිපදවෙද්දී, මට සිදු වුණේ ඒ බව හංගාගෙන ඉන්නටය.
පවුලේ වැඩිමහල් පුතණුවන් විදිහට, 
අවුරුදු දොළහේ සිටම පවුලේ බරට උර දුන් දරුවෙකු විදිහට, 
අපේ ආච්චීගේ-තාත්තාගේ ඉගැන්වීම් හා හික්මීම්වලට කීකරුවූ ළමයෙකු හැටියට මට කරන්නට වුණේ…………..

%d bloggers like this: