Menu Close

ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි – How to avoid Corona at office

ඡායාරූප අනුග්‍රහය ප්‍රදීපා තෙන්නකෝන් රස්තියාදුකාරී
මං දන්නා වෙදකමක්වත්, වෙන ඉටිගෙඩියක්වත් නැති බව පළමුවෙන්ම කියන්න ඕනා. මං දන්නා එකම වෙදකම වෙදමහත්තයෙක්, නෝනෙක් දෙන බෙහෙතක් උඩ බලාගෙන ගිලීම විතරයි. ඒ වුනත් මේ දවස් ටිකේ හොයා සපයාගත් කරුණු අනුව කොරෝනාවෙන් බේරෙන හැටි ගැන යං තරමක් දුරට තියෙන අවබෝධයෙන් තරමක් සරලව ලියන්න හිතුවෙ අපේ බහුතරයක් දෙනා එලෝ සිහියෙං මෙලෝ අතගගා ජීවත් වෙන එකාලා මිසක් යමක් හිතලා මතලා කරන්න නොදන්නා අය හිංදයි.
ඉස්කෝල, 20 විජ්ජාල සේරම වැහුවත් මේ රටේ ජනයා බුරුතු පිටිං එක්කාසු වෙන තැං හැටහුටාමාරක් ලබන සඳුදා ඉඳං සිකුරාදා (සෙනසුරාදා) වෙනකං වැඩ. ආණ්ඩුවෙ හා පුද්ගලික අංශෙ කාර්යාල, සාප්පු, වැඩබිම් එව්වයෙං ප්‍රධානයි. ඉතිං ඒ වගේ තැංවල වැඩට යන, ඒ තැංවලින් වැඩ ගන්න කාට වුනත් කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න වෙනවා. හත් අට ගුණයක් වැඩිපුර දීලා ගත්තු මුඛවාඩම පැලැන්දට විතරක් නං පරිස්සං වෙන්න හම්බවෙන්නෙ නෑ. 
ලෝක සවුක්ය සංවිධානෙං ඇහිං දැක්කා වගේ කියන හැටියට මේ කොරෝනා කියන විෂබීජෙ අනික් වයිරස් තරං චුට්ටිම එකක් නෙවෙයි. ඒ හංදා මුඛවාඩමක් අස්සෙං රිංගන්න නං බෑ. ඒ වුනාට සමහරු ඕක ටිකක් වෙලා  දාගෙන ඉඳලා හොස්ස අගට දාඩිය දානකොට ගලෝගන්නව. ඉං පස්සෙ හොස්ස අතිං පිහල ආයි දාගන්නෙ එතකොට අතේ තිවුණු විසබීජ සේරම නොමිලෙම කටේ. 
ආං ඒ හංදා කල්පනාවෙං පරිස්සං වෙන්න මට හිතෙන හැටියට අනුපිලිවෙලිං කියාදෙන මේ දැනමුතුකං හොඳිං ඔලුවට ගන්න.
මේ වෙනකොට පිටරට ඉඳං මෙරට ආපු අයගෙං අහුවෙච්චි හරිය ආණ්ඩුව ගානෙ නිරෝධායනය කරන බව ඇත්තයි. ඒ වුනාට ඊට කලිං මෙරට ආපු සමහරක් අය පාටි දීලා, ට්‍රිප් ගිහිල්ලා, හොර කොටු පැනලා වැඩේ අල කරල තියෙන්න පුළුවං. පහුගිය දා ආපු එකාලගෙනුත් කීප දෙනෙක්ම පැනලලුනෙ. එතකොට මීට සති දෙකකට තරම උඩදි මෙරට ආපු විදේශිකයොත් තවම රටේ ඉන්න පුළුවං. එයිනුත් මල්ල පිටේ එල්ලං බස්සෙකේ, කෝච්චියෙ යන අය විසේසයි. ඔය කියාපු හැමෝමත්, ඒ අය එක්ක අන්තර්ක්‍රියා කරපු හැමෝමත් රෝග වාහකයි වෙන්න පුළුවං. ආං ඒ හංදා වැඩට යන එකේදි පරිස්සං වෙන්න.
උදේ වැඩට යන්න ලැහැත්ති වෙත්දි පොඩි සබං පොත්තක් හෙම සිලි කවරෙක දාගෙන ලැහැත්ති වෙන්න. ඔය කාර්යාලවල තියෙන සබං, අත් හේදුං දියර එහෙම පොඩ්ඩෙං අන්තරස්දහන වෙන හංදා එව්ව ගැන විස්සාස තියන්න එපා. ඊළඟට කෑම වගේම වතුරත් ගෙදරිං අරං යන්න. ගෙදරිංම පෑනක් අරං යන්න. මුඛවාඩමක් තියෙනව නං ඒකත් අරගන්න. වැඩට යත්දිත් පොදු ප්‍රවාහනේ මගෑරලා ගෙදර තියෙන වාහනේම යනව නං හොඳා. එහෙම බැරිනං ඉතිං බසෙං හරි කෝච්චියෙ හරි තමා.
මගට බැස්සං අපිට හම්බුවෙන හැම කෙනාගෙම පැටිකිරිය අපි දන්නෙ නෑනෙ. සමහර විට අපිට හම්බුවෙන කෙනා ගුවන්තොටුපොලෙන් හොරෙං පැනගත්තු රෝග වාහකයෙක් එක්ක ඊයෙ රෑ බීලා නටලා තොත්තු දීලා රෝගෙ බඩට දාගත්ත කෙනෙක් වෙන්න පුළුවං. ඒ වගෙම දවස් ගානක් ඉඳං හේත්තුව දාන්න ට්‍රයි එක දෙන ලලනාවකගෙ එක්කෙනා ලඟදි රට ඉඳල ඇවිල්ලා දෙන්න එක්ක ඊයෙ රෑ පරණ ඇරියස් කවර් කරලා රෝගෙ ගිලල වෙන්න පුළුවන්. මේ දැං අපි ගොඩවෙන ත්‍රීවිල් එකේ මීට කලින් ගියෙ රෝගවාහකයෙක් වෙන්න පුළුවං. උන්දැ අල්ලං ගිය තැනිම්ම අපිත් අල්ලලා උන්දැගෙ නහය කට හරහා අතින් ත්‍රීවිල් එකට ආපු රෝග බීජෙ අපේ අතට ඇවිල්ලා අන්තිමට අපි නාහෙ කට අතින් අල්ලත්දි අපේ ඇඟට රිංගන්න පුළුවං.
ආං ඒ හන්දා පරිස්සං වීම නුවනට හුරුයි. මගට බහිද්දිම මුඛවාඩමේ නිල්පාට පැත්ත එලියට හිටින්න හරියට ගලපලා දාගන්න. එතකොට නහය, කට ආරක්ෂිතයි. අනික් අයගෙ කිඹුහුම්වලින් පිටවෙන බිඳිති ඒකෙ පිට පැත්තෙ රඳන්නෙ නෑ. හැබැයි ඒක සැරිං සැරේ ගලව ගලවා විෂබීජ තවරන්න එපා. බස් එකේ තැනිං තැන අල්ල අල්ලා ඉඳලා ඒ අතිම්ම මුඛවාඩමේ ඇතුල් පැත්ත අල්ලන්න එපා. ඒකක් දාං හිටියත් නැතත් බස් එකේ යත්දි මූණ කට අල්ලන්න එපා. ඊළඟට කල්ලි ගැහිලා මූනට මූණ බලාගෙන කයිවාරු ගහන එකෙනුත් වැළකෙන්න. කිඹුහුං අරින එකෙනුත් සාමාන්‍ය දුරකට ඇහැට නොපෙනෙන තරමෙ පින්නක් වගේ විසිවෙන කෙළ බින්දු හරහා විෂබීජෙ අපේ අතට, මූනට එන්න පුළුවන්. තමුන්ටත් කිඹුහුං යනව නං “පේප ටිෂූ“ එකක් හරි ලේංසුවක් හරි නාහෙයි කටයි වැහෙන්න තියල අල්ලගෙන අරින හචිමක් ඇරගන්න. ඒ කොරල ඔය කරදහිය හරි ලේංසුව හරි එක අතන මෙතන නොදමා හරි තැනට (ඒ කිවුවෙ පාර අයිනෙ නෙමෙයි. නියමිත කසල බඳුනක) බැහැර කරන්න. නැත්තං ඔවුව, බල්ලො, කපුටො ඇදං ගිහිං තව තැන්වල විෂබීජ පැතිරෙන්න පුළුවන්. කසල සුද්ධ කරන්න එන ඇත්තන්ටත් එවුවා අහුලන්න ගිහිං රෝග බෝවෙන්න පුළුවං.  පුළුවන් තරං අනික් අයව ස්පර්ශ කිරීමෙන් වැළකෙන්න. ජැක් හේත්තු කිරීමත් ටික දොහක් නැවැත්තුවටයි.
ඊළඟට වැඩපොලේ, කාර්යාලෙ ඉන්න ඇඟිලි සලකුණු යන්තරෙයි, අත්සන් කරන පොතට අමුණල තියෙන පෑනයි දෙකත් ලෙඩ වාහකයො. රෝග වාහකයෙක් ඇඟිල්ල නහයෙ හරි කටේ හරි ගහල ඒ පිටිම්ම පෑන ඇල්ලුවොත් හරි ඒ ඇඟිල්ලම ඇඟිලි ගහන යන්තරේට තිබ්බොත් හරි, ඉං පස්සෙ අපිත් ඒක අල්ලල අපේ කටේ හරි නාහෙ හරි ඇඟිල්ල තිබ්බොත්, නැත්තං ලේන්සුව ඇල්ලුවොත් විෂබීජෙ අපේ ඇඟටත් යන්න පුළුවං. ඒ හංදා ඇඟිල්ල තියලා අස්සං කල ගමං යන්න වතුර ටැප් එකක් හොයාගෙන. ගෙදරිං ගෙනා සබං පොත්ත දෑතෙම ගාගෙන එයිං ටිකක් කරාමෙ කරකෝන කෑල්ලෙත් ගාන්න. ඉං පස්සෙ අතත් හෝදගෙන කරාමෙ කරකෝන කෑල්ලත් හෝදන්න. 
ඊළඟට වැඩ කරත්දි උනත් උපකරණ හවුලෙ පාවිච්චිය නවත්තන්න. පොදු ස්ථාවර දුරකථනෙට එක්කෙනෙක් විතරක් උත්තර දෙනව නං වඩා හොඳයි.  නැත්තං ඒක පාවිච්චි කරන කෙනා මාරු වෙන සැරයක් ගානෙ විෂබීජ නාෂක දියරෙකිං පිහින්න වෙයි. ගෙදරිං ගෙනා පෑන පාවිච්චි කරනව මිසක් හවුලෙ පෑන් පාවිච්චි කරන්න එපා. තමුන් ලඟ තියෙන පෑන කාටවත් හවුලෙ පාවිච්චියට දෙන්නත් එපා. දෙනවම නං ආපහු ගන්න කලින් විෂබීජ නාෂක දියරෙකින් පිහින්න වෙනව. ඒ වගෙම තමයි පරිගණක යතුරු පුවරු, මූසික, පමුණන අක (Stepler), පදින වික (puncher) ආදියත්. හවුලෙ පාවිච්චි නොකර පුද්ගලිකව පාවිච්චි කරන්න. නැත්තං පාවිච්චියට පෙර විෂබීජ නාෂක දියරෙකිං පිහින්න. එහෙමත් නැත්තං හොඳම දේ අත මූනෙ, නහයෙ කටේ ගැවෙන්න නොදී තියං ඉඳලා සබන් දාලා අත හෝදන එක. ඕක ටික දවසක් අනික් අයට විහිළුවක් වගේ පෙනුනත් ගනං ගන්න එපා.
ඒ වගෙම තමයි අපි ගාව තියෙන ජංගම දුරකථනෙත්. දැං හුඟක් අය පාවිච්චි කරන්නෙ ඇඟිල්ලෙං පිහින ජාතියෙ කඩවසං දුරකථනනෙ. එව්වයෙ වුනත් විෂබීජ රැදෙන්න පුළුවං. ඒ හංදා කට්ටිය දෙතුං දෙනා හවුලෙ එක පෝන් එකෙං යූටියුබ් බැලීම, අතිං අතට මාරු කිරීම වලකින්න. කොටිම්ම පෝන් එක කාටවත් අල්ලන්න දෙන්න එපා. මොකද ඒක විෂබීජ නාශක දියරෙං පිහින්න බෑනෙ.
ඔය මොක කලත් ලිපි ලේඛන හවුලෙ පාවිච්චි කරන්නම වෙනවනෙ. එවුවා විෂබීජ හරනය කරන්නත් බෑනෙ. ඒ හංදා හවුලෙ පාවිච්චි කරන ලිපි ලේඛන ඇල්ලුවං පස්සෙ ආයි අත හෝදන්නෙ නැතුව නාහෙ කටේ අත දාන්න යන්න එපා. 
හොඳම දේ නං කට්ටිය අතිං වියදං කරල හරි විෂබීජනාශක දියරයක් ගෙනත් කාර්යාලෙ, වැඩපලේ තියෙන බඩු භාණ්ඩ විෂබීජානුහරණය කරන එකයි. කාර්යාල කාර්ය සහයක තැනට ඕක බාර දුන්න නං අගේට වැඩේ කෙරෙයි.
කාර්යාල වලට යන අය උනත් එතන තියෙන පෑන, පෝරම, මුද්දර පොඟවන වතුර මූඩිය ආදිය අල්ලනව නං ඉං පස්සෙ අත හෝදන්න මතක තියාගන්න ඕනා. පොඩි ඩිටෝල් කුප්පියකුයි වතුර බෝතලේකුයි අරං ගියා නං ඒ වැඩේට හොඳටම ඇති. එතකොට මුද්දර අලවත්දි කෙල ගාන්න ඕනත් නෑ.
ඊළඟට කන බොන වෙලාවට වුනත් කැන්ටිමෙන් පොදු පිඟන් කෝප්පවල දාලා දෙන එවුවා කෑමෙන් බීමෙන් වැළකෙන්න. විශේෂෙන්ම එක කිරිටොපිය හතර දෙනා එක්ක කටිං කට කඩාගෙන කෑම, ප්ලේන්ටිය දෙකට බෙදාගෙන බීම, සිගරට්ටෙක හතර දෙනා එක්ක බීම, බත්මුල් හතරක් වරකට එක බැගින් දිගෑරගෙන හතරදෙනා එක්ක කෑම වගේ හිඟෝටු වැඩ කරන්න එපා. බැජ් පිට්ටෙක නැතිවෙනව වගේ නං නැතිවෙච්චාවේ. ලෙඩ ගෙදර ගෙනියන්න එපා. කන දෙයක් තනියම කන්න. ගෙදරින් ගෙනියන වතුර බෝතලේට කාටවත් අත තියන්න දෙන්න එපා. මොකද වතුර බෝතලේ විෂබීජානුහරනය කරන්න නං උණු කරන්නම වෙනවනෙ. කඩෙං කැන්ටිමෙන් කනව නං පිඟාන කෝප්පෙ එවලෙම උණුවතුරෙං හොදල දෙනවද කියලම බලන්න. නැත්තං පිඟානෙ උඩු පැත්ත විතරක් ඇල්වතුරෙං හෝදල දුන්නට අපේ අතට අහුවෙන පිඟානෙ යටිපැත්තෙ හරි, කෝප්පෙ අඬුවෙ හරි විෂබීජ තියෙන්න පුළුවං.
ඊළඟට බොස් එක්ක සෙකට්‍රි එක්ක මොන සම්බන්ධෙ තිබ්බත් අතන මෙතන අහුමුළුවල “මුඛ්‍ය“ පරමාර්ථ ඉෂ්ට කරගන්න යන්න එපා. රට වෙනුවෙං, ගෙදර සැමියා (බිරිඳ), ළමයි වෙනුවෙං හිතලා පාලනය වෙන්න. එව්වා ඔය කොයි ලේ බොන්නත් දැනගන්නව නං හොඳා.
ඊළඟට කාර්යාලෙන් පිටවෙත්දි ඇඟිල්ල තියලා, අත්සන ගහලා ආයිමත් සබන් ගාලා අත හෝදගන්න. එහෙම කරන්නෙ මගතොටේ ඉන්න අයගෙ ආරස්සාවට. බැරිවෙලා හරි අපේ අතේ පයේ විෂබීජෙ ගැවිල තිබුනොත් මගතොටේ, බස් එකේ, කෝච්චියෙදි අපිට හම්බුවෙන අයට ඒක බෝ නොවෙන්නයි එහෙම කරන්නෙ. ඊළඟට ගෙදරට එන ගමන් කෙලින්ම නාන කාමරේටම යන්න. ඊට කලිං ගෙදර බල්ලව වත් අල්ලන්න එපා. ඌටත් ගලක් ගහල එලවන්න. විශේෂයෙන්ම පොඩි අයව අල්ලන්න එපා. බිරිඳ පෙර මගට ඇවිත් චුම්බකයක් ඉල්ලුවත් (අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා) දෙන්න එපා. ගෙදර බඩු මුට්ටු අල්ලන්න කලින් ඇඳං ආ ඇඳුම් ටිකත් හෝදලම නාගන්න. කිලුටු ඇඳුං, හොඳ ඇඳුං එක්ක දාන්න එපා.  ගමන් මල්ල, හෙල්මට් එකේ ඉස්සරහ පියන එහෙමත් විෂබීජ නාෂක දියරෙකින් පිහිනව හොඳයි. ගෙදරින් පිටට ඇඳන් ගිය ඇඳුං හෝදන්නෙ නැතුව ආපහු අඳින්න එපා. ඔය සේරම කරන්නෙ පිටිං විෂබීජ ගෙදෙට්ට ගේන එක වලක්වන්න.
ඊට අමතර වශයෙං රෑ තිස්සේ මල ගෙවල්, දාන ගෙවල්, පිරිත්, බණ, පාටි, කොටහලු, මගුල්, රැස්වීම් වගේ කිසිම දේකට යන්න එපා. ඒ වගේ දේවල් ලැහැත්ති කරන්නත් එපා. තියෙන දෙයක් තම්බං කාලා ගෙට වැදිලා බුදිය ගන්න. අත්‍යාවශ්‍ය දේකට ඇරෙන්න පිටිං කිසි කෙනෙක්ව ගෙන්නගන්නත් එපා, ගෙදරින් පිට යන්නත් එපා. රෑ පානෙ කොටු පැනීමත් මේකට ඇතුළත්. කොටිම්ම කිසිම කෙනෙක්ට මීටර එකහමාරකට වඩා කිට්ටු කරන්න එපා. ඔය විසබීජෙට තනියෙං ඊට එහා දුරකට පැනගන්න ටිකක් අමාරුයි. බර හංදා බිම වැටිලා ටික වෙලාවකින් අපාගත වෙනවා. 
සල්ලි පාවිච්චි කිරීමෙදිත් සැලකිල්ලක් දක්වන්න. පුළුවන් තරං ඉලෙක්ට්‍රොනික් ක්‍රම හරහම ගෙවීම් කරන්න. පිටිං අතට ලැබෙන සල්ලිවල වුනත් විෂබීජ ටික වෙලාවක් හරි රැඳිල ඉන්න පුළුවන්. සමහර විට ඒවා ඉස්තිරික්කෙන් මැදල ගත්තම විෂබීජානුහරණය වෙන්න පුළුවන්. හැබැයි රත්වෙලා වැඩිවුනොත් සල්ලි කොලෙත් හරණය වෙයි. කාසි නං සබං දාලත් හේදියැකි.
පිටිං මිලදී ගන්න පිසූ ආහාර වුනත් නිවුනයින් පස්සෙ කවුරුහරි අතින් අල්ලල දෙනව නං ඒකටත් විෂබීජ මුහුවෙන්න පුළුවන් කියල හිතෙනව. ඒක ටිකක් බයානකයි. රෝග වාහක චූංපාං කාරයෙක් ඇඟිලිවල නියපොතු කකා ඉඳල අතින් අල්ලල කවරෙට දාල දෙන නිවුනු පාන් ගෙඩ්ඩක් ඊළඟට කෙලින්ම යන්නෙ බඩට. මොකෝ පාං තම්බනව කියලයැ. ඒ හංදා ගෙනාපු ගමං කන්න පුළුවං කෑම ජාති (පාං, බනිස්, කේක්, කිඹුල බනිස්, ජෑම් පාස්, රෝල්, සැංවිච්, කන්න ගියහං වටේටම පාං කුඩු හැලෙන ජාතිය) පාවිච්චියෙං වලකින්න. අහකට අරං යන්න (Take away) දෙන තැංවල නං උනුවෙම්ම ලංසීට් එකට බෙදල පාර්සලේ බැඳල දෙනව උනත් අනවශ්‍ය අවදානමක් ගන්න එපා. කන බොන කොයිකත් ගෙදරම උයා පිහාගෙන කන තරමට හොඳයි. 
ඊළඟට වැදගත්ම දේ. අවදානමට පෙර සූදානම. විසේසයෙන්ම ජනමාධ්‍ය හරහා දෙන විශ්වාසදායක පුවත් ගැන අවධානයෙං ඉන්න. රට ඉඳල ඇවිත් නිරෝධායනයට ලක් නොවී, ගුවන්තොටුපලින් හොරෙන් පැනල ඇවිල්ල ඉන්න සැකකටයුතු රට මරුවෙක් හරි ලෙඩේ හැදිලා බෙහෙත් නොගෙන වහං වෙලා ඉන්න එකෙක් හරි අහල පහල ඉන්නව නං පොලිසියට දැනුං දෙන්න. ඒ ඇරෙන්න කට්ටිය එක්කහු වෙලා ගිහිං ඒකව අල්ලල ගස් බැඳල තලන්න ගිහිං විෂබීජ තිබ්බොත් බෝ කරගන්න එපා. පොලිසියයි, සෞඛ්‍ය අංශයි එක්කහු වෙලා ඒක නියමිත පිළිවෙලට බේරයි. තමුන්ට විෂබීජෙ පැතිරිලා කියල හිතෙනව නං දෙයියනේ කියල ගිහිං ඉස්පිරිතාලෙට බාරවෙන්න. නැත්තං පවුලෙ අයටත් බෝ කරලා ජීවිත කාලෙම විඳවන්න වෙයි. 
ඊළඟටත් වැදගත්ම දේ කොරෝනා වලක්වන යන්තරේ, අහවල් පෙත්ත, අහවල් තෙල කිය කියා අවස්ථාවාදීන් විකුනන සුකුරුත්තං වලට අහුවෙලා අතේ තියෙන තුට්ටු දෙකට කෙලවා ගන්න එපා. එහෙම කහඹිලියා සල්ලි තියෙනව නං ඒ සල්ලි ටික පෝන් එකට දාගෙන ඒකෙං බුකියට රිංගන්න. 
මේ එක්කොම ලිවුවෙ මට හිතෙන හැටියට දන්නා කියන අයගෙං විස්තර අහගෙනයි. වෙදකං අංසෙං උපදෙස් දුන්නු මනෝජ් දියෙස් දොස්තර මහත්තැංවත් මේ වෙලාවෙදි පිං දීමෙන් මතක් කරන ගමං මේ ලිවුම හමාර කරනවා. 
මෙයිං වැදගත් යමක් වෙතොත් ඕන තැනක පල කරන්න අවසර ගන්න ඕන නෑ. හැබැයි වරදක් ඇතොත් වහාම නිවැරදි කරල දෙන්න ඕනා.
%d bloggers like this: