Menu Close

මැලැබූ ගේ ප්ලාස්ටිකත්වය

190329120233-erwin-wurm-astronomical-purpose-full-169

මේ තිබෙන්නේ කැතරින් මැලැබූ (Catherine Malabou) පිළිබඳව ලියවෙන කෙටි ලිපි මාලාවක පළමු සටහනයි. එහි ඉලක්කය වන්නේ නුදුරු දිනෙක සංවිධානය කිරීමට උත්සාහ කරන වැඩමුළුවකදී කියවීමට නියමිත මැලැබූ ගේ රචනයක් සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. එනිසා, එයට සහභාගී වන්නට උනන්දු වන කෙනෙක් සිටින්නේනම්, මෙය අනිවාර්යයෙන් කියවන්න කියා අපි ඉල්ලා සිටිමු. නමුත්, කුමන හෝ ප්‍රයෝගික හේතුවක් නිසා, කෙනෙක්ට එයට සහභාගී විය නොහැකි වුවත්, මෙම ලිපි මාලාව කියවීම කිසි සේත් ඵලරහිත දෙයක් නොවනු ඇත.

වර්තමාන දාර්ශනික සංවාදයේ ඉතාම වැදගත් ආස්ථානයක් මැලැබූ ගේ අදහස් විසින් නියෝජනය කරනු ලබනා බවට සැකයක් නොමැත. භෞතිකවාදය සහ යථාර්ථවාදය පිළිබඳව සමකාලීන උනන්දුව ඇයගේ චින්තනය තුළ හොඳින් සලකුණු වී ඇති බව පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය. නමුත් එය එහි සකස් වී තිබෙන්නේ අතිශය සුවිශේෂ සම්මිශ්‍රණයක් ලෙස ගත හැකි සාධක ගණනක එකතුවකිනි. ඇයගේ පුද්ගලික බුද්ධිමය ගමන් පථයේ ආරම්භය විසංයෝජනවාදය සමග සමපාත වන නිසා මෙම වෙනස මැලැබූ තුළ ඉතාම තියුණු වනවා කියා කිව හැකිය. පොදුවේ ගත්විට සමකාලීන දාර්ශනික සංවාදයේ කේන්ද්‍රීය ආස්ථාන නියෝජනය කරන චින්තකයන් ගේ එක් ලක්ෂණයක් වන්නේ 60-80 දශක වල පශ්චාත්-ව්‍යුහවාදය / පශ්චාත්නූතනවාදය යන්නෙන් වෙන් වීම වුවත්, මෙම වෙන් වීම ඒ බොහෝ දෙනෙක් ගේ පුද්ගලික බුද්ධිමය වර්ධනයේ එක් මොහොතක සිදු වන වෙන් වීමක් ලෙස ගත නොහැකි වේ. වෙනත් ආකාරයකට කියන්නේනම්, මේ බොහෝ දෙනෙක් පශ්චාත්-ව්‍යුහවාදී පරිසරයක වර්ධනය වී, පසුව, දෙවැනි පියවර ලෙස, එයින් වෙන් වූවා කියා කිව නොහැක – මෙය කොන්ටෙන් මෙයසූ, ග්‍රැහැම් හාමන්, ට්‍රිස්ටොන් ගාසියා, රේ බ්‍රාසියර් ආදී බොහෝ දෙනෙක්ට වලංගු වන පොදු සාධකයකි. එක්තරා අර්ථයකින් ඔවුන්ගේ බුද්ධිමය වර්ධනය ආරම්භ වන්නේම පශ්චාත්-ව්‍යුහවාදයෙන් ඛණ්ඩනය වීමක් ලෙසයි. කැතරින් මැලැබූ මේ අතරින් සුවිශේෂ වන්නේ මෙම නිසාය – ඇයගේ සමකාලීනයන් බහුතරයකට වෙනස් ලෙස ඇය සිය බුද්ධිමය ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ පැරණි පරම්පරාවේ දාර්ශනික ආස්ථාන වලට පක්ෂපාතී තැනක සිටයි. එම නිසාම ඇය සිය ආස්ථානය වර්ධනය කරන්නේ, නිදර්ශනයක් ලෙස, ඩෙරීඩා, ෆූකෝ වැනි චින්තකයන් සමග විවේචනාත්මක සංවාදයක් මගිනි. අන් බොහෝ දෙනෙක්ට වඩා සමකාලීන දාර්ශනික සංවාදයේ යටින් දිවෙන සාරය (Zeitgeist) ඇයගේ සිතීම තුළ වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකි වන්නේ මෙම නිසාය. මෙය පැහැදිළි කර ගැනීම සඳහා අපි පළමුවෙන් ඇයගේ සංවාදයේ මූලික සංකල්ප පැහැදිළි කර ගැනීමට උත්සාහ කරමු.

මෙහිදී අපට පළමුවෙන් මුණ ගැසෙන්නේ ප්ලාස්ටිකත්වය (plasticity) යන්න මැලැබූ සම්බන්ධ ඉක්මන් සොයා බැලීමකින් වුවත් පැහැදිළි වනු ඇත. එම නිසා අපි ප්ලාස්ටිකත්වය පිළිබඳව මැලැබූ ගේ සංවාදය – අතිශය අසාධාරණ ලෙස – සාරාංශ කරමින් මෙය ආරම්භ කරමු. මැලැබූ සංවාදය ආරම්භ කරන්නේ ‘පුරුද්ද’ (‘habit’) පිළිබඳව හේගල් ගේ විශ්ලේෂණය සමගිනි. ඇරිස්ටෝටල් ට මෙන්ම හේගල් ටද පුරුද්ද සහ මිනිසත් බව අතර සමීප සම්බන්ධයක් තිබේ. නමුත් හේගල් මෙහිදී අවධාරණය කරන්නේ පුරුද්ද යනු සතුන්ගේ සහජාශය (instinct) වෙනුවට මිනිසාට තිබෙනා ඒ හා සමාන හැකියාව නොවන බවයි. සහජාශය යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ අපට ස්වභාවිකව උරුම වන, වෙනස් නොවන, ජීව විද්‍යාත්මක පෙළඹවීම් ය. නමුත් පුරුදු යනුවෙන් හඳුන්වන්නේ එවැනි දෙයක් නොවේ. පුරුද්දක් යනු එක්තරා ආකාරයකට අපගේ හැසිරීම් සඳහා දෙනු ලබන ආකෘතියකි. අපේ ජීවිතය සකස් වී තිබෙන්නේ මේ ආකාරයේ පුරුදු වටාය (‘ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි’ යන සිංහල කියමනට හේගල් මෙන්ම මැලැබූ ද බොහෝ ප්‍රිය වනවාට සැකයක් නැත). නමුත් මේ පුරුදු අප විසින් ඇති කරගෙන ඇති දේවල් වනවා යන්න ද ඉතාමත් හොඳින් පැහැදිළි වෙයි. සමහරවිට ජීවිතයේ අප බොහෝ සේ ඇබ්බැහි වී ඇති පුරුදු අත් හැර දමන්නට අපට හැකි වන්නේම මෙම නිසාය. එවැනි අවස්ථාවකදී අප කරන්නේ එම පුරුද්ද තවත් පුරුද්දකින් යටපත් කර, පළමු පුරුද්ද ඉවත දැමීමයි.

මෙම නිශ්චිත අර්ථයෙන් ගත්විට අපගේ ජීවිතය යනු අප විසින් නිර්මාණය කර තිබෙන කෘතියක් (work) ලෙස ගත හැකිය. ප්ලාස්ටිකත්වය යන සංකල්පය මැලැබූ හට වැදගත් වන්නේ මෙම නිසාය. මැලැබූ සිහිපත් කරන ලෙසට ‘ප්ලාස්ටික්’ යන වචනයේ මූලික අර්ථ දෙකක් තිබේ. එක අතකින් එමගින් අදහස් කරන්නේ ආකෘතිය වෙනස් වීමේ හැකියාවකින් යුතු වනවා යන්නයි. නිදර්ශනයක් ලෙස, මෙම අර්ථයෙන්, මැටි – එසේත් නැතිනම් කුඩා දරුවන් සෙල්ලම් කිරීමට යොදා ගන්නා ක්ලේ – යනු ප්ලාස්ටික අමු ද්‍රව්‍යයකි. එය අපට විවිධ ආකෘති වලින් තිබෙන ලෙස වෙනස් කළ හැක. ‘ප්ලාස්ටික්’ යන්නෙහි දෙවැනි අර්ථය වන්නේ ආකෘතියක් ඇති කිරීමට, ආකෘතියක් පැනවීමට ඇති හැකියාවයි. නිදර්ශනයක් ලෙස අප ‘ප්ලාස්ටික් සර්ජරි’ යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ මිනිස් සිරුරේ ආකෘතිය, හැඩය වෙනස් කරනා ශල්‍යකර්ම වලටයි.

මෙම අර්ථයෙන් ගත්විට පුරුදු යනු මිනිසාගේ පැවැත්මේ ඇති ප්ලාස්ටිකත්වයේ ප්‍රකාශමාන වීම කියා අපට කිව හැකිය. මූර්ති ශිල්පියා විසින් මැටි පිඩක් තමන්ට අවශ්‍ය හැඩයක් එන තුරු අඹා ගන්නා ලෙස අපගේ ජීවිතය අපට අවශ්‍ය හැඩයක් එන තුරු අප විසින් අඹා ගනියි. හේගල් උපුටමින් මැලැබූ අපට සිහිපත් කරන ලෙස ‘මිනිසා යනු ආත්මයේ කලා කෘතියයි’. ප්ලාස්ටිකත්වය යනු මෙලෙස ආකෘතියක් ගැනීමට සහ පැනවීමට ඇති හැකියාවන්ගේ එකතුවයි. පුරුදු යනු මෙම ලක්ෂණ දෙකම එකට කැටි කරගත් ප්‍රපංචයක් කියා අපට නිරීක්ෂණය කළ හැකිය.

එක් අතකින් පුරුද්දක් තුළ නිෂ්ක්‍රීයත්වයක් අනිවාර්යයෙන් අඩංගු විය යුතුය. පුරුද්දක් යනු එක්තරා ආකාරයකට අප නොදැනුවත්ව ගොඩ නංවන ලද හැසිරීම් රටාය. ‘නරක පුරුදු’ යනුවෙන් හඳුන්වන දේ (උදා: දුම් පානය) වැනි දේ අප ගොඩ නගා ගත හැකි වන්නේ මෙම නිසාය. ඒ අනුව බැලූ විට අපට අප සම්බන්ධයෙන් තරමක පුදුමාකාර කරුණක් නිරීක්ෂණය කළ හැක. අප, අප බවට පත්ව තිබෙන්නේ අපගෙන්ම සැඟවී ඇති ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසයි. කෙතරම් මහන්සි වුවත් අපේ ජීවිතයේ මූලික රටාව අප වෙත ආරෝපණය වී ඇති ආකාරය අපට මුළුමනින් පාරදෘශ්‍ය වන්නේ නැත.

අනෙක් අතට අපට මෙසේ කළ හැකි වන්නේ අපට ජීවිතයේ අහම්බයෙන් හමු වන යම් යම් දේ නැවත නැවතත් සිදු කිරීමෙන්, අභ්‍යාස කිරීමෙන්, එම අහඹු සිදුවීම් වලට ආකෘතියක් ලබා දිය හැකි නිසාය. අපේ ජීවිතයේ සමහර පුරුදු ලෙස වර්ධනය වී ඇති භාවිතයන් සමග අපගේ සම්බන්ධය ඇතිව තිබෙන්නේ බොහෝ අහම්බයෙන් විය හැකිය. අප යම් යම් ආහාර රටාවකට පුරුදු වන්නේ, යම් යම් රූපවාහිනී වැඩසටහන් නරඹන්න පුරුදු වන්නේ කෙසේද කියා සිතු විට මෙම ඉතිහාසයේ ආරම්භය බොහෝ විට අහඹු සිදුවීමකින් සලකුණු වී තිබෙනු ඇත. එපමණක් නොවේ. අප ලේඛකයන්, සංගීත කරුවන්, චිත්‍ර ශිල්පීන් වැනි අය එවැනි ජීවිතයකට සම්බන්ධ වන්නේ කෙසේද කියා ඇසු විට එහි ආරම්භයේ අහඹු සිදුවීමක් තිබෙනවා කියා කියනු ඇත. නමුත් වැදගත් වන්නේ අප මත මෙලෙස අහම්බයෙන් කඩා වැටෙනා දෙය නැවත නැවතත් සිදු කිරීමේ මගින් එය අපේ ජීවිතයේ මූලික ආකෘතිය බවට පත් කර ගැනීමේ හැකියාවයි. පුරුද්ද යනු, වෙනත් ආකාරයකට කියන්නේනම්, අහඹු දෙය මූලික දෙය බවට පත් වීමයි.

නමුත් මෙහිදී තරමක් වැදගත් කරුණක් අප සිහිපත් කරගත යුතුය. මේ මගින් මැලැබූ – මෙන්ම හේගල් ද – යෝජනා කරන්නේ පුරුද්ද යනු මිනිසත් බව වෙත සුවිශේෂ වූ හැකියාවක් යන්න නොවේ. මැලැබූ පෙන්වා දෙන ලෙස මෙය සත්‍ය වශයෙන්ම සමස්ත ජීවී ලෝකයට – අවම වශයෙන් සත්ව සහ ශාක ලෝකයට – අයත් වන්නා වූ හැකියාවකි. ශාකයක් යනු එක් අතකින් කිසියම් ජීව විශේෂයකට අයත් පැවැත්මකි. නමුත්, ඒ සමගම, සෑම ශාකයක් වෙතම එයටම ආවේනික වූ ලක්ෂණ, එය අනෙක් ශාක වලින් වෙන් කර හඳුනා ගත හැකි ලක්ෂණ තිබේ. එම අර්ථයෙන් මිනිසා මෙන්ම ශාක ලෝකයද ප්ලාස්ටිකත්වයේ ක්‍රියාකාරිත්වයට යටත් වන බව පැහැදිළි වෙයි. සෑම ශාකයක්ම, එක් අතකින්, එහි බාහිර පරිසරය විසින් එයට අහඹු ලෙස ලබා දෙන ආකෘතියට අනුගතවෙයි. ඒ සමගම, අනෙක් අතට, මෙම ආකෘතිය වටා සිය පැවැත්ම සකස් කර ගැනීමේ හැකියාවෙන් යුක්ත වෙයි.

මේ අතරින් මිනිසාගේ වෙනස්කම සලකුණු කිරීමට අපට තිබෙනා එකම ප්‍රවේශය වන්නේ මිනිසා තුළ මෙම අහඹු දෙය සහ ස්වභාවික දෙය අතර ඇති පරතරය, පරතරයක් ලෙස අකණ්ඩව අපට හමු වීම පමණි. වෙනත් ආකාරයකට කියන්නේනම් මිනිසාගේ මේ අහඹු හැසිරීම් ස්වභාවික නොවන බව හඳුනා ගැනීම අපට එතරම් අපහසු නොවේ. නමුත් මේ මගින් අප පැමිණිය යුතු නිගමනය වන්නේ මිනිසා ‘ස්වභාවික’ සහ ‘සංස්කෘතික’ යනුවෙන් කොටස් දෙකකට වෙන් කළ යුතු වේ යන සම්ප්‍රදායික නිගමනය නොව සැබැවින්ම පවතින්නේ මේ දෙක අතර ඇති නිරන්තර චලනය පමණක් වන බවයි. පවතින්නේ දයලෙක්තියකයයි – ප්ලාස්ටිකත්වයයි.

 

වංගීස සුමනසේකර

 

 

 

 

***

%d bloggers like this: