Menu Close

හදවතට සමීප දරුවන් – 5 කොටස.

wildflower-bouquet-drawing-61පාසැල් වසර හිතනවාටත් වඩා ඉක්මනින්, බලාපොරොත්තු නොවන ආකාරයට අවසන් වෙමින් යයි. වසන්තයේ ප්‍රථම දිනයේ මෙඩ්රික් පාසැල් පැමිණියේ නැත. මා ඔහු ගැන බොහෝ කණගාටු වුවද, පාසැලෙන් ඔහු ඉවත්ව සිටීම හොඳ දෙයක් යයි සිතුවෙමි. නමුත්, මා යන්නට පෙර ඔහුව හමුවන්නට මහත් බලාපොරොත්තුවෙන් සිටියෙමි. 

නගරයේ පාසැලක ගුරු සේවය සඳහා මට පත්වීමක් ලැබී තිබුණු අතර ජූනි මාසයේ ඒ පාසැලේ සේවයට මා යා යුතුව තිබිණ.

සිසු සිසුවියන් විසින් මගේ අස්වීම වෙනුවෙන් කුඩා උත්සවයක් පාසැලේ පැවැත්වූහ.  එයටවත් මේඩ්රික් පැමිණෙතැයි සිතුවෙමි. එහෙත් ඔහු ඊට සහභාගී වූයේද නැත. ඔහුට ඒ ගැන විස්තර නොලැබෙන්නට හේතුවක් නැත. උත්සවය සරළ වුවද, බොහෝ සතුටක් ඉන් ලැබුනාක් මෙන්ම, මේ පළාතෙන් ඉවත්ව යෑමේ දුකද එක සේ මට දැනවිය. ළමයින් පාසල වන මල් සහ කොළ වලින් සැරසූහ. දෙමාපියන් කේක් සහ රසකැවිළි පාසැලට එවූහ.

මා පාසැලෙන් මාරු වී යනවාට බොහෝ දුක් වූ කුඩා ගෑණු ළමයෙක් මගේ බෙල්ලේ එල්ලී, … “මැඩම් යනවා…අපිට මොකද වෙන්නේ? … කියා ඇසුවාය.

… “අලුත් අවුරුද්දේ වෙනත් ගුරුවරියක් ඒවි”… “ඔයා එයාට මටත් වඩා කැමති වේවි”… යයි මා කීවෙමි. ඇය දුකෙන් කෙඳිරි ගාමින් මෙසේ කීවාය. … “මොනවාද මේ කියන්නේ? … “මැඩම් මට කොතරම් ආදරේද ? ශෝකයට පත්ව සිටි ඇය සනසවන්නට, මා පහත් වී ඇයව සිප ගතිමි. එහෙත් මට දැනුනේ මා මඟ බලා ගෙන සිටි අනෙක් දරුවා නැති හෙයින්, කුඩා දැරිය විසින් ශෝකයට පත්වූ මා සිප ගත්තා වැනි අදහසකි.    

මුළු දිනයේම ඇස් රිදෙන තුරු මා ඈත ක්ෂිතිජය දෙස බලා සිටියේ, නිම්නයේ වේගයෙන් එන යොවුන් අසරුවා දකින තුරුය.

පසුදින සමහර ශිෂ්‍ය ශිෂ්‍යාවන් මා හැරලවන්නට දුම්රියපොළට පැමිණියහ. සෙමෙන් ගමන් ආරම්භ කල දුම්රියෙන් එළිය බැලූ විට දැවැන්ත අහස සහ අනන්තයට ඇදෙන නිම්නයේ ක්ෂිතිකය හමුවේ. තවමත් අත වනන දරුවන් කෙමෙන් කෙමෙන් කුඩා වී නොපෙනී ගියහ. දැන් මට පෙනෙන්නේ මැනිටෝබා නිම්නයේ ඇති අනන්ත පැතලි ස්වභාවය පමණි. එහෙත් මගේ සිතිවිළි වෙනත් තැනක තිබිණ.

දුම්රිය පාරත් සමඟම ඇදෙන ගුරු පාර පෙනේ. එය හිමෙන් වැසී ගිය ශීත කාලයේ කුණාටුවේ මෙඩ්රික් සමඟ හිම කරත්තයේ මේ ගුරු පාරේ ගිය ගමන මැවී පෙනුණි.  අද ඒ ගුරු පාර සංසුන් වුවද, එදා ඒ කුණාටුවේ ශබ්දයත්, සීතලත්, ගැස්පාර්ඩ් අසු හිම කරත්තය අදීනත වෙහෙස වූ අයුරත්, එදින අප දෙදෙනාගේම සිත් වල තිබී විපිළිසර බවත් සිහි විය. මා ඔහු ගැන සිතුවෙමි. ලන්තෑරුම් කන්නාඩියේ දුටු අප දෙදෙනාගේ රුව සිහි විය.

එදා ඔහුගේ මුහුණේ තිබි විශ්මය, දයාව සහ ආදරයේ ප්‍රතිබිම්භය නැවත මගේ සිතේ ඇඳි ගියේ දුම්රියේ ජනේලයෙන් එළියේ දකින තිරිඟු සහ ඕට්ස් මල් පසුබිමේ ය.   

ඔහුගේ ප්‍රථම ආදරය දිරිමත් කරන්නට මා කිසිසේත් උත්සාහ නොකළද , ඒ ආදරය උපන් වනම මිය යාම දැකීම සිත පාරවන්නක් විය. මා ඔහුගේ ආදරයට ආදරය කලෙමි. සත්‍ය වශයෙන්ම තාරකාවක් මඟ පෙන්වන්නාක් මෙන් ඔහුට මඟ පෙන්වන්නට මට අවශ්‍ය වූවා නොවේද? එහෙත් මගේ හදවත දකින සත්‍යය එයම වීද ? 

අවසාන වතාවට ඒ සුන්දර මැනිටෝබා නිම්නය දකින වේලාවේ මා දුටුවේ, වේගයෙන් දුම්රිය දෙසට එන අසරුවෙකි. මගේ විශ්මයට සහ අපමණ සතුටට මා ඒ දකින්නේ මෙඩ්රික් විය. ඔහුගේ විශාල තොප්පිය හිසෙන් ගිලිහී උරහිස් පසුපස සුළං අබියස නටමින් තිබිණ. මා ඔහු මුල් දිනයේ දකින ලෙසින්ම ඔහු හැඳ සිටියේය. සුදු අශ්වයාගේ හිසේ තිබී කළු කෙහෙරැළි, සුළඟට වැනෙමින් තිබුණි. ඔහු පසුපස නිම්නය පිරී තිබුනේ ඔහුගේ රුවෙනි.

සිතෙන් නම් මා ඔහුට බල කලේ, ‘විගස එන්න’ කියාය. දුම්රිය, නිම්නයෙන් ඉවතට යන වක්වූ පාර දිගේ ඇදෙනවාත් සමඟම ඔහු නොපෙනී ගියේය. ඔහු යමක් අතේ රැගෙන සිටි අතර එය මා සඳහා යයි විශ්වාස කලෙමි. එසේ මට සිතුනේ ඇයිදැයි කියා නොදත්තෙමි.

දුම්රිය වක් වූ පාර පසු කර ඉදිරියට ඇදෙද්දී, කුඩා කඳු ගැටයක් උඩ මෙඩ්රික් සිටියේ, ඔහු පසුපස අනන්ත ආකාශය පසුබිමේ තබමිනි. ඔහු නොඉවසිල්ලෙන් මා දුම්රියේ කොතැනක ඇද්ද යන්න බලමිනි සිටියේය. ග්‍රීෂ්ම සෘතුවේ අප දුම්රියෙන් ගමන් කරන විට දී, ජනේල ඇරගෙන යාම සිරිතක් කොට ගෙන තිබුනෙමු. ඒ නිසා, මෙඩ්රික්ට මා සොයාගන්නට අපහසු වුනේ නැත. මා දුම්රිය ජනේලයෙන් එළියට ඇදී ඔහු දෙස බලා සිටියෙමි.

ඔහු ඔහුගේ අතේ තිබුණු දෙය හිසට උඩින් ඔසවා කීප වතාවක් කරකවා ජනේලය දෙසට විසි කලේ, එය හරියටම නිවැරදිව මගේ ඔඩොක්කුවට වැටිණි.

එය සමනළයෙක් තරම් වත් බර නැති සේ වුවද විශාල මල් මිටියක් විය. ලිහිල්ව එය වැලකින් ඔතා තිබුනද, එය එතරම් විසිර ගියේ නැත. තවමත් මල් පෙති අතරේ පිණි බිඳු තැවරී තිබිණ. මා මේ තරම් වෙනස් වන මල් ගොන්නක් එක තැන දුටු ප්‍රථම වතාව එය විය. ඒවායින් සමහරක් නිම්නයේ තිබුනාට සැක නැති වුවද, එහි තිබුණු සමහර ඕකිඩ් වර්ග නම් ග්‍රීස්ම සෘතුවේ ලෙහෙසියෙන් වැවෙන්නේ නැති නිසා, කොහේ හෝ ඈත වනයක ගස් සෙවනක තිබුණු මල් විය යුතුය.

මෙඩ්රික් උදේ හිමිදිරියේ සිටම ඒ මල් සොයමින් වෙහෙස වන්නට ඇත.  

අවසාන වතාවට අප එකිනෙකා දෙස බැලුවෙමු. තොප්පිය යටින් පෙනුණු ඔහුගේ යොවුන් මුහුණේ ආදරය, දයාව සහ අවධානය කැපී පෙනිණ. ඔහුගේ බැල්ම සීත වතුරේ එදා අප මාළු ඇල්ලූ දිනයේ මෙන්ම විය. … “හැම දෙයක්ම ගුප්තයි…. “හැම දෙයක්ම අමුතුයි …නේද මැඩම් ? සේ ඔහු ඇසුවා සිහිපත් විය. කඳු ගැටය උඩ මා දෙස බලා සිටින ඔහුට මට කියාගන්නට ලැබුනේ…මෙඩ්රික්, …මෙඩ්රික් …යන්න පමණි. දීප්තිමත් අහස දෙසට ඔහු අත දිගු කලේ සදහටම සමු ගන්නට මෙනි.

ගැස්පාර්ඩ් අසු ඔහුගේම ක්‍රමයකින් ආචාර කරන්නාක් මෙන් වේගයෙන් හිස සැලුවේය.

ඊළඟ වංගුවේ ඔවුන්ව මට නොපෙනී ගියේය.

මා මගේ ඔඩොක්කුවේ තිබෙන මල් කළඹ දෙස බැලුවෙමි. එය තණකොළ ගසකින් බැඳ තිබුනේ රිබන් පටියකින් බැඳ තිබෙනවා අයුරෙනි. එයින් කිසිදා අමතක නොවන වියළි වන මල් සුවඳක් නික්මිණි. එය කියා සිටියේ තවමත් තරුණ වුවද  වෙනස්වන ග්‍රීෂ්ම සෘතුවයි. 

 

එහෙත් එය කෙමෙන් නැති වෙමින් තිබිණ.          

 


නිමි.   



 



     

 

%d bloggers like this: