Menu Close

සිරියානු යුද්ධයේ අමුතු සිදුවීම්:සිරියානු ටී-72 යුද ටැංකියකට එරෙහිව තුර්කි ACV-15 සන්නද්ධ රථයක්

syria-shows-an-armored-personnel-carrier-brawling-with-a-t-72-tank

දශකයට කිට්ටු කාලයක් ඇදි ඇදී එන සිරියානු යුද්ධයට පෙබරවාරි මාසයේ අවසන් සති දෙක සුවිශේෂී එකක් වූයේ තුර්කි හමුදාව ඊට සෘජුව මැදිහත් වීම නිසාය.එහිදී සටන්කාමීන් විසින් අපූරු වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබිණි.එහි දැක්වෙන්නේ තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන් විසින් පැදවූ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථයක්,සිරියානු හමුදාවේ ටී-72 යුද ටැංකියක් ලුහුබැඳ එකිනෙකා ඝට්ටනය කර ගන්නා අයුරුය.මෙම සිදුවීම සිදුවන්නේ සිරියානු වයඹදිග ඉඩ්ලිබ් පළාතේදීය.ඊට ප්‍රථමයෙන් එරටේ ඊසානදිග ප්‍රදේශයේදී ඇමෙරිකා-රුසියා හමුදාවන් හි රථ දෙකක් අතර මෙවැනි සිදුවීමක් වාර්තා විය.

සන්නද්ධ රථ දෙකේ වීඩියෝ පටය,ඩ්‍රෝන් යානයක් මගින් පටිගත කල එකකි.එය මුලින්ම සමාජ ජාල වල පළ වන්නේ 2020 පෙබරවාරි 22දාය.නමුත් සිදුවීම ඊට දින දෙකකට ප්‍රථමයෙන් සිදුවූවකි.සිරියානු යුද්ධය සම්බන්ධව ඇස යොමාගෙන සිටින නිරීක්ෂකයන්ට අනුව රථ දෙක ගැටෙන්නේ සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ නයිරාබ් ගම්මානයේ බටහිර කොටසේදීය.සටන්කාමීන් එහිදී පදවන්නේ තුර්කියේ නිෂ්පාදිත ACV-15 වර්ගයේ සන්නද්ධ රථයකි.එය 1970 දශකයේදී සැලසුම් කල ඇමෙරිකානු එම්113 සන්නද්ධ පුද්ගල ප්‍රවාහනය රථයේ ව්‍යුත්පන්නයකි.

ACV-15
ඉහත සිදුවීමට අදාල තුර්කි ACV-15 සන්නද්ධ රථයක් සිරියානු සටන්කාමීන් පදවන අයුරු

සිදුවීමට අදාල ප්‍රදේශයේ එම කාල සීමාව තුල දෙපාර්ශ්වය අතර බරපතල ගැටුම් ඇති වූයේ තුර්කි ප්‍රොක්සි හමුදා,තුර්කි හමුදාවේ සහාය ඇතිව දියත් කල මෙහෙයුමත් සමගයි.මේ සඳහා තුර්කි කාලතුවක්කු ඒකකවල සහාය ලැබුණු අතර එරට සැපයූ සහ සන්නද්ධ රථ ඇතුලුව තවත් යුදෝපකරණ සැලකිය යුතු ප්‍රමාණයක් සටන්කාමීන් සතු විය.

Artillery Turkish Female officers participating Syria Operations
සිරියානු හමුදා ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන තුර්කි කාලතුවක්කු ප්‍රහාරක ඒකක

මෙම කලහය සහිත වීඩියෝවට අනුව නයිරාබ් ගම්මානය ආසන්නයේ විවෘත භූමිය තිබෙන ටී-72 යුද ටැංකියක් තනිවම ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන අයුරු දැකගත හැකිය.ආරම්භයේ සිට පෙනෙන දෙයක් වන්නේ යුද ටැංකියේ කාර්ය මණ්ඩලය සිය වටපිටාව සම්බන්ධව අවධානයකින් නොසිටින බවයි.ඊට අමතරව දොරවල් සියල්ල වසා විවෘත භූමියක තනිව සිටින යුද ටැංකිය තර්ජන ගණනාවකට විවෘතව පවතියි.සිරියානු හමුදාව සන්නද්ධ රථ මේ ආකාරයට භාවිතා කල පළමු අවස්ථාව මෙය නොවේ.ඉන් හෙළි වන්නේ වසර ගණනක යුද්ධය නිසා දුර්වල පුහුණුවක් සහ අවම සම්පත් සහිතව සිරියානු හමුදාව සටන් වදින බවයි.2011 වර්ෂයේ පටන් මේ දක්වා සිරියානු අරාබි හමුදාවට සන්නද්ධ රථ සිය ගණනක් අහිමිව තිබේ.

සිදුවීමට අදාල වීඩියෝව:රතු පැහැයෙන් සිරියානු හමුදාවේ යුද ටැංකියද,කොළ පැහැයෙන් සටන්කාමීන්ගේ සන්නද්ධ රථයද සලකුණු කර තිබේ

සමීප දසුන් සහිත වීඩියෝපටයක්:කොළ පැහැයෙන් සටන්කාමීන්ගේ රථයත්,රතු පැහැයෙන් සිරියානු හමුදාවේ යුද ටැංකියත් පෙන්වා ඇත.

සිදුවීමට අදාල ප්‍රදේශයේ පිහිටීම නිරීක්ෂකයන් විසින් ගූගල් අර්ත් වැඩසටහන ඔස්සේ හඳුනාගත් අයුරු

නැවතත් වීඩියෝවට යොමුවුවහොත් පෙනෙන්නේ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථයේ පැමිණීමයි.ටී-72 යුද ටැංකියේ කාර්ය මණ්ඩලයෙන් පැහැදිලිව පෙනෙන ප්‍රචාරයක් ලැබීමට ප්‍රථමයෙන් තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන් එය ලං වී අවසානය.මෙහි තිබෙන පුදුම සහගත කරුණ වන්නේ එම රථය පැමිණෙන්නේ යුද ටැංකිය මුහුණලා සිටින දිශාවෙන්ම වීමයි.යුද ටැංකිය චලනය වීමට පටන් ගන්නේ සතුරු රථය එහි වම්පසට ලඟා වූ පසුවයි.මින් පෙනී යන්නේ විවෘත භූමියක තිබෙන යුද ටැංකියක්,හරි හැටි පුහුණුවක් නොමැති කාර්ය මණ්ඩලයක් සමග බරපතල අවදානමකට පත් වන බවයි.

සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථය අඩි කිහිපයක් ආසන්නයට පැමිණි පසුව යුද ටැංකිය පණ ගැන්වෙන අයුරු පෙනේ.ඉන්පසු රථ දෙක එකිනෙකා පිටුපස ලුහුබදියි.යුද ටැංකිය මාර්ගයට පිවිසි රජයේ පාලන ප්‍රදේශයට පසුබසියි.සටන්කාමීන්ගේ රථය එය පසුපස හඹා යයි.

මාර්ගය ඔස්සේ යුද ටැංකිය පසුපස හඹා යන සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථය,කෙටි කාලයක් යුද ටැංකියේ පිටුපස ගැටීමට සලස්වයි.ඉන්පසුව සටන්කාමීන් සිය රථය විරුද්ධ දෙසට පදවමින් ඉවත්ව යෑමත් සමග වීඩියෝව අවසන් වේ.

මෙම සිදුවීම ඩ්‍රෝන් යානයක සවි කල කැමරාවක් මගින් පටිගත කරන්නේ කවුද යන්න පැහැදිලි නැතත්,එහි දැක්වෙන ලාංජනයට අනුව එය හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ ඊබා පුවත් ආයතනයට අයත්ය.තුර්කිය අල්කයිඩාවට සම්බන්ධ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට යුදමය සහාය ලබා දෙන බව නැවත වරක් මේ හරහා සනාථ වේ.

යුද ටැංකියක් හඹා ගොස් ඝට්ටනය කිරීම හරහා සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථයේ කාර්ය මණ්ඩලය ලබා ගන්නට අපේක්ෂා කලේ කුමක්ද යන්න පැහැදිලි නැත.රථය වෙනස් අරමුණු වෙනුවෙන් සකසා භාවිතා කල හැකි අතර,තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන්ට තුර්කිය ලබා දී තිබෙන්නේ විවෘත කොතක් සහිත කැලිබර් .50 එම්2 මැෂින් තුවක්කු සහිත මාදිලියකි.මෙම රථ මාදිලියට,ටී-72 යුද ටැංකියට සැලකිය යුතු තර්ජනයක් එල්ල කිරීමේ හැකියාවක් නොමැත.ඒ අනුව සටන්කාමීන් යුද ටැංකියට කෙසේහෝ හානියක් සිදු කල එහි ගමන අඩාල කරන්නට උත්සාහ කර තිබේ යැ‍යිද අනුමාන කල හැකිය.

තුර්කිය ලබා දුන් සන්නද්ධ රථවල නැගී ගමන් කරන සටන්කාමීන්,ඉඩ්ලිබ් පළාත,සිරියාව.

කෙසේවෙතත්,යුද ටැංකියේ ඝට්ටනය කිරීමත්,එය ඩ්‍රෝන් යානයක් මගින් පටිගත කිරීමත් නිසා මෙය අසාර්ථක වූ මරාගෙන මැරෙන ප්‍රහාරයක් ලෙස කෙනෙකුට අර්ථ දැක්වීමට පුළුවනි.ප්‍රචාරණ අරමුණු වෙනුවෙන් මෙවැනි රථ යොදාගෙන කරන මරාගෙන මැරෙන ප්‍රහාර,කුඩා ඩ්‍රෝන් යානා භාවිතයෙන් පටිගත කිරීමට ත්‍රස්තවාදීන් පුරුදුව තිබේ.සිරියාවේ මෙවැනි ප්‍රහාර සඳහා මුල්කාලයේ වැඩිම ප්‍රසිද්ධියක් අත්කරගෙන සිටියේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයයි.ඔවුන්ගෙන් පසුව හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම් වාහන යොදාගෙන සිරියානු හමුදාව ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරයි.එවැනි ප්‍රහාර ඔවුන් ඊබා පුවත් සේවය ඔස්සේ ප්‍රසිද්ධ කරනු ලැබේ.

ඉඩ්ලිබ් හි හස්රායා හි සිරියානු හමුදාවේ ස්ථාන වෙත 2019 අගෝස්තු පලමුවෙනිදා හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන් එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරය

 හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන් 2019 අගෝස්තු 19දා කැෆ්ර් යිඩින් ප්‍රදේශයේ සිදු කල මරාගෙන මැරෙන ප්‍රහාරය

හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම,වාහන මූලික කරගත් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා පදනම වශයෙන් සන්නද්ධ රථ භාවිතා කරන බව ප්‍රසිද්ධ කරුණකි.එමගින් වැඩිදියුණු කල සන්නාහයක් සහිත සිවිල් වාහනවලින් දෙනවාට වඩා වැඩි ආරක්ෂාවක් රියදුරුට ලබාදෙයි.එසේම සාර්ථකව ඔවුන්ගේ ඉලක්කයටද ලබා වීමට ඉඩ ලැබේ.මන්ද සන්නද්ධ රථයක් නැවැත්විය හැක්කේ යුද ටැංකි නාශක අවියකින් පමණක් වන නිසාය.නමුත් හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩාමේ වාහන පදනම් කරගත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් අසාර්ථක වූ පළමු අවස්ථාව මෙය නොවේ.

 හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන් වැඩිදියුණු කල සන්නාහයක් සහිත BMP රථයක් යොදාගෙන 2019 අගෝස්තු මාසයේදී කැෆ්ර් හලාබ් ප්‍රදේශයට එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරය

 වැඩිදියුණු කල සන්නාහයක් සහිත බුල්ඩෝසරයක් යොදාගෙන බටහිර ඇලෙපෝ හි අල්-සාරා දිස්ත්‍රික්කයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්නට හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන් දැරූ උත්සාහය අසාර්ථක විය.

up-armored bulldozer SVBIED used by HTS in the attack on al-Zahraa district
ප්‍රහාරය අතරතුර

up-armored bulldozer SVBIED used by HTS in the attack on al-Zahraa district
සිරියානු හමුදාවේ ග්‍රහණයට පත් වූ බුල්ඩෝසරය

සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථයේ කාර්ය මණ්ඩලය කුමක් සිදු කිරීමට උත්සාහ කලද,තුර්කිය ඉඩ්ලිබ් හි සටන් සඳහා සිය දායකත්වය කොතරම් ඉහළ නංවා ඇද්ද යන්න ඉන් මතු වී පෙනේ.තුර්කිය පසුකාලීනව අෂාඩ් රජයට එරෙහි කණ්ඩායම්වලට එළිපිට,සෘජුව සහාය ලබා දීමට පියවර ගැනීමත් සමග සිරියානු යුද්ධය භයානක අලුත් දිශාවන් කරා පුළුල් වීමේ හැකියාවක් උත්පන්න වී තිබේ.මාර්තු 5දා තුර්කි-රුසියා සටන් විරාමය හරහා වාතාවරණය යම් තරමකට සන්සුන් විය.

ඊට ප්‍රථමයෙන් සිදුවූ ගැටුම්වලදී කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් සිය හමුදා සෙබලුන් ගණනාවක් ජීවිතක්ෂයට පත් වූ බව තුර්කිය ප්‍රසිද්ධියේ පිළිගත්තේය.මරණවලට රුසියානු ප්‍රහාරද හේතු වුවද කිසිදු මරණයක් සඳහා කෙලින්ම මොස්කව් රජයට චෝදනා කරන්නට අන්කාරා රජය පසුබට විය.ඉඩ්ලිබ් ගැටුම නිසා අලුත් මානුෂීය අර්බුදයක් හටගත්තේ යැ‍යි කියමින් තුර්කිය එරටේ රැදී සිටින සිරියානු සරණාගතයන්ට යුරෝපයට ඇතුල් වීමට දේශසීමා ගේට්ටු විවර කලේය.

source:thedrive.com

%d bloggers like this: