Menu Close

වළාකුළින් වැසුණ තරුව – Mege Daka Thara

වංග දේශය නැත්නම් බෙංගාලය ඉන්දියාවේ බොහොම සුවිශේෂ කලාපයක්. ලෝකයේ විශාලම කඩොලාන පරිසර පද්ධතිය වුණ “සුන්දර්බාන්” පිහිටා තිබෙන්නෙ මේ කලාපයෙ. ඉන්දියානු සාහිත්‍යයේ ඉහළින්ම කියැවෙන රබීන්ද්‍රනාත් තාගෝර්, විභූතිභූෂන්, සරච්චන්ද්‍ර වැනි අයත්, ඉන්දියානු සම්භාව්‍ය සිනමාව ලෝක තළයට ඔසවා තැබුව සත්‍යජිත් රායි, රිත්වික් ඝටක් වැනි සිනමා අධ්‍යක්ෂවරුනුත් මේ කලාපයෙන් බිහිවුණු අය. ශ්‍රීලාංකික පාථකයන්ට වංග සාහිත්‍ය හඳුන්වා දෙන්නෙ චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි මහත්මිය. ඇය ස්වෝත්සාහයෙන්ම වංග භාෂාව ඉගෙන ගෙන ඒ කෘතීන් වංග බසින් සිංහලට පරිවර්තනය කල නිසා සිංහල භාෂාවෙන් කියවන පාථකයන්ට මේ සාහිත්‍ය ඇසුරු කරන්න අවස්තාව ලැබී තිබෙනව. ඒ ගැන සිංහලෙන් කියවන පාථකයින් ඇයට ස්තූතිවන්ත විය යුතු යි.
බෙංගාලය, යටත් විජිත යුගයේ පටන්ම නොයෙක් දේශපාලන පෙරළි වලට මුහුණ දුන් සහ ආර්ථිකමය වශයෙන් සෑහෙන පීඩාවිඳි කලාපයක්. පරිපාලන පහසුව වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාලකයන් බෙංගාලය කොටස් දෙකකට වෙන් කරනව. 1947 ඉන්දියාවට නිදහස ලැබීමත් එක්ක බ්‍රිතාන්‍යයන් ඉන්දියාව සහ පාකිස්තානය විදිහට ඉන්දියාව කොටස් දෙකකට වෙන්කරන අතරේ මුස්ලිම් බහුතරය ජීවත් වුණ නැගෙනහිර බෙංගාලය පකිස්තානයට අයිති වෙද්දී “කල්කටා” ව අගනුවර කරගත්ත බටහිර බෙංගාලය අයිති වෙන්නෙ ඉන්දියාවට. පකිස්ථානයේ රාජ්‍ය භාෂාව විදිහට “උර්දු” භාෂාව සම්මත වෙද්දි පකිස්ථානයට අයිති නැගෙනහිර බෙංගාලයෙන් මීට විරුද්ධව “බෙංගාලි භාෂා පෙරමුණ” පිහිටුවා ගන්නව. බහුතරට බෙංගාල බස භාවිත කර නැගෙනහිර බෙංගාලයෙ බෙංගාල බසම රාජ්‍ය භාෂාව බවට පත්කර ගැනීමයි ඔවුන්ගෙ අරමුණ. 1955 අවුරුද්දෙ පකිස්ථාන අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නැගෙනහිර බෙංගාලය නැගෙනහිර පකිස්තානය නමින් හැඳින්වෙන්න පටන් ගන්නව. බෙංගාලය පකිස්තාන ආධිපත්‍යයෙන් වෙන්ව ස්වාධීන රාජ්‍යක් බවට පත්කර ගැනීමේ සටන් ගණනාවකින් පස්සෙ 1971 දී නැගෙනහිර පකිස්තානය, බෙංගාල බස රාජ්‍ය භාෂාව බවට පත්කර ගනිමින් “බංග්ලාදේශය” නමින් ස්වාධීන රාජ්‍යක් බවට පත්වෙනව.
1960 දී රිත්වික් ඝටක් ගේ Mege Daka Thara නැත්නම් The Cloud Capped Star (වළාකුළින් වැසුණ තරුව) සිනමාපටය නිර්මාණය වෙන්නෙ මේ දේශපාලන සහ ආර්ථිකමය හැලහැප්පිලි මැද්දෙ ඉන්දියාවට අයිති බටහිර බෙංගාලයට සංක්‍රමණය වෙන නැගෙනහිර බෙංගාලි පවුලක් වටා. 
නීතා උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක්. සංගීතය හදාරන නීතාගේ එක් සහෝදරයෙක් ගේ අරමුණ ප්‍රසිද්ධ ගායකයෙක් බවට පත්වීම. නීතාගේ අනෙක් සහෝදරයා බොක්සිං ක්‍රීඩාව ප්‍රියකරන්නෙක්. ඔහුගෙ අරමුණ බොක්සිං ක්‍රීඩකයෙක් වීම. නීතාගේ බාල සහෝදරිය ජීවිතය ගැන බරක් පතලක් නැතිව සැහැල්ලුවෙන් කාලය ගෙවා දමන චරිතයක්. මේ පවුලේ පියා ගුරුවරයෙක්. අම්මා ගේදොර වැඩකටයුතු කරගෙන ඉන්න සාමාන්‍ය ගෘහණියක්. පවුලේ අනෙක් සහෝදර සහෝදරියන් ගැන හොයා බලන්නෙ ඒ අයගෙ අවශ්‍යතා වෙනුවෙන් මුදල් වියදම් කරන්නේ, ඉගෙන ගන්න ගමන් ඉගැන්වීමෙන් අමතර මුදලක් උපයන නීතා. පියාව අනතුරකට ලක්වෙලා එක්තැන් වුණායින් පස්සෙ පවුලේ බර කරට ගන්නේත් නීතා. ඇය අධ්‍යාපනයත් මග නතරකරල පූර්ණ කාලීනව රැකියාවක් කරන්න යොමුවෙනව. පවුලේ අනෙක් අය ජීවිතේ තමන් දකින හීන මාවත් අතරේ ඉදිරියට යද්දි නීතා ඇගේ ජීවිතයෙ හොඳම අවධිය පවුලේ යහපත වෙනුවෙන් ගෙවා දමනව. 
රිත්වික් ඝටක් ගේ සිනමාව ඔහු ඉපදුන බෙංගාලයෙ ජන ජීවිතයේ දුක්ඛිත බව ඔවුන් විඳින ආර්ථිකමය පීඩාව නිරූපණය වෙනුවෙන් කැපවුණ එකක්. ඔහුගේ සමකාලීන සත්‍යජිත් රායි ලැබූ ප්‍රසිද්ධිය හමුවේ ඔහු ගේ යෝධ සෙවණැල්ලට වැසීගිය විශිෂ්ටයෙක් විදිහටයි රිත්වික් හැඳින්වෙන්නෙ. මොකද ඔහුගේ චිත්‍රපට වලට රායි ගේ තරමට අවධානයක් ලැබුණේ නෑ. නමුත් රිත්වික් ඔහුගේ මේ යථාර්ථවාදී සිනමා භාවිතාව ඔහුගේ අවසන් චිත්‍රපටය දක්වාම අතනොහැර පවත්වාගෙන ගියා.
නමුත් මේ රායි ඇතුළු සිනමාකරුවන් ඉන්දියාව ඇතුළේ විවේචනයට ලක්වෙන්නෙ ඔවුන් ඉන්දියානු ජන ජීවිතයේ දුක්ඛිත බව ලෝකයට පෙන්වමින් ජනප්‍රිය වෙන බව කියමින්. ඒත් ඉතිහාසයෙ මේ චෝදනාව ලැබුව මුල්ම කලාකරුවන් ඔවුන් නොවෙයි. රුසියාවේ ගොගොල්ටත් මේ “දුක විකුණාගෙන කන” චෝදනාව එල්ල වුණා. ගොගොල් ඒ කතාවට හරි අපූරු උත්තරයක් දෙනව.
“මූණ කැතයි කියල කණ්නාඩියට දොස් කියන්න එපා”
තමන් ජීවිත් වෙන සමාජයෙ ඇත්ත ස්වභාවය තමන්ගෙ කෘතියෙන් නැවත ගොඩනැගීම කලාකරුවෙක් ගේ වගකීම. ඉතින් ඒ සමාජෙ කැත නම් ඒ කැත අතහැරල ලස්සන විතරක් තමන්ගෙ කෘතියට අරගන්නෙ කොහොමද කලාකරුවෙක්? ඒ අතින් රිත්වික් ගේ Cloud Capped Star සිනමාපටය බෙංගාලයේ වගේම ලංකාවේ අපේ ජීවිත වලටත් කොයිතරම් අදාල ද..
 රිත්වික් ඝටක්
%d bloggers like this: