Menu Close

හදවතට සමීප දරුවන් – 3 කොටස

In the mirrorරොඩ්රිගු අයිමාඩ් ඔහුගේ ජීවිතය විනාශ වූ ආකාරය කියා සිටියේය. අකලට මහළු වූ මිනිසාගේ මළානික දෑස් වලින් පෙනුනේ තරුණ කාලයේ ඇතිකරගත් බලාපොරොත්තු වල නැතිවූ සේයාවන් විය. මා ඔහුට ඕනෑකමින් කන්දෙමින් බාල කාලයේ ඔහුගේ සිහින අවබෝධ කර ගතිමි. ඔහු මා දෙසට හැරෙමින් මෙසේ කීවේය. … “මෙන්න මේ නිසයි, මට නොලැබුණු දේවල් මා මෙඩ්රික් ගෙන් බලාපොරොත්තු වන්නේ”…
 
“එසේ නොවුනොත් මා ඔහුව දෙකට කඩනවා ! …කෑ ගසා කියමින්, නිශ්ශබ්ද වූයේය.
 
ඔහු ගැන කණගාටු වූ මා කීවේ, මෙඩ්රික් වඩාත් සාර්ථක වන්නේ, ඔහුට සහජයෙන් ලැබී ඇති දක්ෂතා දියුණු කිරීමෙන් යන්නය. ඔහු මා කියූ දේ තේරුම් ගෙන එයට එකඟ වුනේ යයි සිතුවද, ඊට හාත්පසින් වෙනත් දෙයක් කීමෙන් මා සිතු ආකාරය ඉඳුරා වැරදි බව පෙනින. ඔහු කඩුවකින් අනිනවාක් මෙන්, මෙසේ කීවේය.
 
… “ඔහුගේ සතුට සහ කැමැත්ත ? … “ ඒ නිසාද ඔබ ඔහු සමඟ සිංදු කියමින් කඳු දිගේ ඇවිද්දේ?
 
ඒ අපවාදයෙන් මගේ සිතේ ඇතිවූ සිතිවිළි මොහොතකින් සමථයකට පත් කර ගැනීමට හැකි වූයේ, කාමරයේ ඇති සිල්ක් තිර හරහා නිවසෙන් ඈත පෙනෙන පයින් ගස් පරිසරය දෙස බැලීමෙනි. යථා තත්වයට පැමිණි මා මෙසේ කීවෙමි. … ‘එන්න එන්නම කාලගුණය නරක අතට හැරෙනවා.”… “මා දැන් නැවත නිවස බලා යා යුතු කාලයයි”… මෙයට ඔහු විරුද්ධත්වය පාමින් කියා සිටියේ, හිම කුණාටුව අඩු වන්නට තවත් පැයක් දෙකක් පමණ යන බවත්, එතෙක් ඉවසිය යුතු බවත්ය.
 
එහෙත් මා සාලය දිගේ ඇවිද පැමිණියෙමි. රොඩ්රිගු අයිමාඩ් මා කැටුව පැමිණියේය.
 
සාලයේ එල්ලා තිබුණු සුන්දර ස්ත්රියකගේ පින්තුරයක් දැක මා මොහොතක් නැවතුනෙමි. මෝහනීය අඳුරු දම් පැහැ ඇස් ඇති ගැහැණියගේ දිගු ඇසි බැමි වල, ඈ ගතකල දුෂ්කර ජීවිතයේ අනේක දුක් කන්දරාව පෙනෙනවා වැන්න. ඒ ඇස් මෙඩ්රික්ගේ මෙන්ම විය. ස්වභාව ධර්මයට ඇති ආදරයත්, ඒ රතු ඉන්දියානු ගැහැණියගෙන්ම මෙඩ්රික්ට ලැබෙන්නට ඇත.
 
… “ ඒ මගේ මියගිය බිරිඳයි”… මෙසේ කියමින් ඔහු මහ හඬින් සිනාසුනේය. … “ඇය මිය ගියේ නැතත්, ඇය මගේ ජීවිතයෙන් ඉවත් වූ නිසා මා සලකන්නේ ඇය මිය ගියා සේ”… මෙඩ්රික් දෙස බලමින් ඔහු මෙසේද කීවේය. … “මෙඩ්රික් වුනත් මා කල දේ කලොත් මම පුදුම වන්නේ නැහැ”… “එහෙත් මගේ එකම බලාපොරොත්තුව වන්නේ මෙඩ්රික් ඔබ කියන දේ පිළිපැදීමයි”… “මා මෙන්ම ඔහුත් වනචාරී ගෝත්ර වල කෙල්ලෝ සොයාගෙන යාවි”…
 
… “මෙඩ්රික්ට මා දී ඇති අවවාදය වන්නේ, අවශ්ය වෙලාව වන තුරු ඉන්න කියා”… “එහෙත් මේ දුප්පත් රටේ, කාටද ඔය තරම් නැවතී බලා සිටිනට පුළුවන්? නමුත් දෙවියන් දුන්නා වගේ ස්වර්ගයෙන් මේ කුඩා ගුරුවරිය ඔහුට ලැබිලා තියෙනවා”… “මා මේ මෙඩ්රික් කියන තරුණ මෝඩයා වුනා නම්, නම් ඇයව ක්ලබ් එකකට, නැටුමකට එක් කරගෙන යනවා “… “එහෙත් මගේ කාලයේ නම්, මට ලැබුණු ගැහැණිය මාර්ගය මට පෙන්නුවේ නැහැ”… “මගේ දරුවා වාසනාවන්තයි – ඔබ මෙහි පැමිණි නිසා” … මෙඩ්රික් දෙස බලමින් ඔහු මෙසේද කීවේය. … “උඹේ වාසනාව මේ ගුරුවරී පුතා …!
 
මා නිවසෙන් එළියට යමින් මෙසේ මෙඩ්රික් ගෙන් ඇසුවෙමි … “දැන් අපි යමු “… “ඔබ නැවතත් මාව මගේ නිවාසයට එක කරගෙන යනවා නේද ?
 
එළියට බට අපට දැනුනේ, බැම්මක් කඩාගෙන ගිය විට ඇතිවන ජළ කඳක් මෙන් ශබ්දයකි.. එහෙත් හිම කරත්තය තෙක් වැටී ඇති පටුමඟ දිගේ, ලඟින් ලඟින් සිටවූ ගස් නිසා මේ මහා ජළ වරුශාව අපේ ඇඟේ එතරම් වැදුනේ නැත. කරත්තයට නැගුනු අප දෙදෙනා එහි ආසන දෙකේ ඈතින් හිඳ ගතිමු. අප අතර තිබුණු නිශ්ශබ්දතාවය මුලින්ම බිඳ හල මෙඩ්රික් මෙසේ කෙඳිරුවේය. … “මැඩම් සමාවෙන්න, … “මා කවදාවත් හිතුවේ නැහැ, ඔහු ඔබට අපේම නිවසේ වහළය යට අපවාද නගාවී කියා” …
 
මා ඔහු වෙතට නැමී ඔහුගේ අත රැගෙන ඔහුගේ සිත් රිදීම අඩු කරන්නට සිතුවද, සැනෙන් එවැන්නක් කල යුතු නැති බව මට වැටහිණි. ගුරුවරියක් සේ, මා කිසි විටෙක එවැන්නක් කල යුතු නැති බව හැඟිනි. කරුණාව, තරුණ බවේ චමත්කාරය සහ ජීවිත වගකීම් අතර මා පැටලී ගියා සේය.
 
අකමැත්තෙන් හෝ එසේ නොකිරීම නිසා, නොපෙනෙන අනන්ත අනාගතය පිළිබඳ විපිළිසර බවක් මට ඇති විය. මගේ සිතුවිළි පැටලී තිබුනේ, අනුකම්පා කල යුත්තේ මෙඩ්රික්ටද මටද, හෝ වෙනත් කෙනෙක්ටද යන්නය. මෙඩ්රික් ළමා වියෙන් තරුණ වියට එළැඹ එන සමයේ ඔහු මැදිවන ගැටළු වලින් ඔහුගේ තරුණ බවට අභියෝගයක් වන බවක් පෙනේ. ඔහුට ඔහුගේ ජීවිතයෙන් කොටසක් නැති වුනා සේය.
 
ඈතට විහිදුණු හිමෙන් යටවුනු තෘණ භුමිය ඔබ්බේ හඬමින් ගලා යන නදිය තරණය කල යුතුව ඇත. ගැස්පාර්ඩ් අසු අපේ මාර්ගෝපදේශකයා වී ඇත. මෙඩ්රික් මහත් අවධානයෙන් දුරකථන කණු ඇති තැන සොයමින් ඒ හරහා මාර්ගය සොයාගැනීමට උත්සාහ කරයි. මා ඔහුට හිමෙන් ඉහළට නෙරා ඇති දුරකථන කණු සොයාගැනීමට උදව් කලෙමි. දුරකථන කණුවක් දුටු විගස අප කෑ ගැසුවෙමු. තවත් වෙලාවක් සිතේ ඇති දෑ තබා ගන්නට අපහසු වූ හෙයින්දෝ ඔහු මෙසේ තෙපලීය. …
 
… “ තාත්තා කිව් දේ නිසා, මම හිතන්නේ, මට තවත් පාසැල් යන්නට බැහැ”..”
 
නැවතත් මට ඔහුගේ අත අල්ලන්නට සිතුනු මුත්, එය අමතක කර මා මෙසේ කීවෙමි. … “සම්පූර්ණයෙන්ම එහි අනෙක් පැත්ත කරන්න මෙඩ්රික්…!.. ඔබේ ගැලවීම එතන පමණයි තියෙන්නේ… !!…ඊට පිළිතුරු නොදෙමින් මෙඩ්රික් අසු මෙහෙයවන්නට විය. නිර්භීත අශ්වයා හිම කුණාටුවේ ලතෝනිය සහ දැඩි සුළං නොතකා ඉදිරියට ගමන් කරයි. එහෙත් දැන් දුරකථන කණු දකින්නට නැත. පොළවක්ද දකින්නට නැත. හදිසියේ ගැස්පාර්ඩ් කකුල ලිස්සා හිම කන්දක් උඩ වැටී ගියේය. … “මා හිතන්න අප අතරමං වෙලා මැඩම් …!
 
එහෙත් එය මට ඇසුනේ, අප සියළු කරදර වලින් මිදුනා යන අදහසක් මෙනි.
 
මෙඩ්රික්, ගැස්පාර්ඩ් අසුගේ පපුව යටින් අත දා ඔසවන්නට වෑයම් කලද නැවතත් අසු වැටී ගියේය. මා සිහිනයෙන් මෙන් මේ ජීවිතයෙන් ඉවත් වීම සහ ඉන් පසු සියළු කරදර වලින්, විශේෂයෙන් තරුණ කමේ ගර්වයෙන් නික්මයාම ගැන සිතුවෙමි. හෙට දින මෙහි පැමිණෙන කෙනෙක්ට හිමෙන් ගල් වූ රූප දෙකක් දකින්නට හැකි වෙනවා ඇත.
 
ඒ ගල් රූපවල හිස කේ සහ ඇහි බැම් හිම පියළි වලින් වැසී තිබෙනවා ඇත.
 
එහෙත් හදිසියේ සුදු අශ්වයා නව පණක් ලැබුනා මෙන් නැගී සිටියේය. ගරාදි තෙක් එරී තිබුණු හිම කරත්තය සෙලවිණි. කරත්තය හිමෙන් ඉහළට එසවී තල්ලු වී යනවිට මෙඩ්රික් කරත්තය ඇතුලට පැන්නේය. අසුට සම්බන්ද කල තෝන් ලනු අතට ගත ඔහු, … “අපි ආයෙමත් පාරේ… යයි කීවේය.
 
මා දෑස් පියා ගතිමි. එහෙත් ඒ නිදන්නට නොවේ. ඒ මගේ සිහිනයේ ගැළී සිටින්නට විය. මිය යෑම හෝ වයසට යෑම ගැන අදහස් මගෙන් තුරන් විය. මා වයසට නොයන්නේය යන අදහසේ ගැළී ජීවිතය අවධාරණය කලෙමි. එවිට දැනෙන්නේ සියලු ජීවිත රැහැන්වලින් ඉවත්ව අප දෙදෙනා නිදහස්ව අහසේ පියාසර කරන්නාක් මෙනි. නැවත මා ඇස් අරින විට දුටුවේ හිම කරත්තයේ දෙපස එල්ලා ඇති ලන්තෑරුම් දෙක විය. එහි වීදුරු හතර රඳවා තිබුනේ ඊයම් රාමු වලින් මෙන්ම, වීදුරු දෙකකින් කරත්තයේ දෙපස මනාව දැකිය හැකි පරිදි තනා තිබිණ.
 
අනෙක් වීදුරු දෙකේ කරත්තයේ ඇතුලේ අඳුරු රූ දිස් විය. එහි මා දුටුවේ මගේ මුහුණයි.
 
එය සිත් අදින අයුරෙන් පෙනිණ. සුදු හිම ආලෝකයෙන් දිළිසෙන හිසකේ විසිරී, අඩවන් දෑසින් ඈත හිම විනිවිද දකින මුහුණකි. එහෙත් මගේ මුහුණට ඔබ්බේ තවත් මුහුණකි. ඒ මෙඩ්රික්ගේ විය. මගේ විසිරුණු හිස කෙස් ඔහුගේ මුහුණේ වැදෙමින් තිබිණ. ඔහු එම වීදුරු දෙකෙන් ඔහුව පෙනෙන බව ඔහු දැන ගෙන නොසිටින්නට ඇත. ඔහු මා දෙසට නැමී මා නිදනවාදැයි බලනවා පෙනේ. මා අඩවන් දෑසින් ඔහු දෙස වීදුරු හරහා බලා සිටියෙමි.
 
හිම කරත්තය පසුපසින් පෙනෙන හිම පසුබිමේ, මා සහ මෙඩ්රික්ගේ රුව කන්නාඩියේ දැන් පෙනෙන්නේ බොඳ වූ පැරණි විවාහ පින්තුරයක් මෙනි.
 
වීදුරුවෙන් මට දැන් පෙනෙන්නේ, ඔහු ඔහුගේ අත් මේස් ගලවන බවය. හිසකේ බැඳ සිටි තුවාය තුලින් එළියට පැමිණි මගේ කෙස් රොදක් ඔහු අල්ලන්න හදනවාක් මෙන් පෙනිණ. මා දෙස බලන ඔහුගේ මුහුණෙන් පෙනෙන්නේ මුදු බවක් සහ ආදරණීය බැල්මකි. මේ සියලු දේ ලන්තෑරුමේ කණ්නාඩියෙන් පෙනෙන්නේ මා හෝ මෙඩ්රික් නොව, වෙනත් දෙදෙනෙක් ඒ රඟපෑමේ සිටිනවාක් මෙන්ය. ලන්තෑරුමේ ඇති වූ නාටකයක් දකිනවාක් වැන්න.
 
තවත් මොහොතකින් ඔහුගේ ඒ ආදරණීය බැල්ම නැති වී ගියා සේ පෙනිණ.
අනතුරුව ඔහුගේ මුහුණ විරූපී වූවා සේ පෙනුනේ, සමහරවිට ඔහුගේ හදවතේ යම් බියක් ඇතිවුනාක් සේය.
 
මේ සිදුවීමෙන් පසු මෙඩ්රික් හා මා අතර සාමාන්ය ආකාරයකින් හැසිරීමක් නොවීය. ඔහු මේ වන විට අවුරුදු දාහතර පසු කර සිටියද, පාසැලට පැමිණීම නැවැත්වූයේ නැත. එහෙත් ඔහුගේ අවධානය දිනෙන් දින නැති විය. ඔහු පාසැලේ වැඩිමහල්ම ශිෂ්යයා වූ හෙයින්දෝ, කිසි විටෙක යහළුවන් ඇති කර ගැනීමට උත්සාහ කලේද නැත. ඔහුට සිටි එකම සගයා ඔහුගේ අශ්වයා විය.
 
එක් දිනක් ඔහු, ඔහුට නියමිත පාඩම පන්තියේදී කියවමින් සිටියේය. හදිසියේ ඒ කටහඬ ගොරෝසු වූයෙන්, පන්තියේ අනෙක් ළමයින් හදිසියේ පැමිණි අමුත්තා කව්දැයි බලනවාක් මෙන් බැල්මක් ඔහු වෙත හෙලූහ. මුලින්ම කුඩා ගැහැණු ළමයින් මුලින්ම මෙඩ්රික්ගේ කටහඬ වෙනස් වූ බව තේරුම් ගත්හ. සමහර කෙල්ලන් හඬ නගා සිනාසුණහ. ඔහු එතැන් සිට කොඳුරනවා මෙන් පාඩම කියෙව්වේය.
 
අවශ්යම වෙලාවේ ඔහුට සහායට සිටිනවා මෙන්, මා පන්තියේ අනෙක් කෙලවරේ සිට ඔහු දෙස බලා සිටියෙමි.
%d bloggers like this: