Menu Close

 හදවතට සමීප දරුවන් – 2 කොටස

maxresdefaultදිනක් මා මෙඩ්රික් හිඳ සිටි මේසය අසලින් ගියෙමි. ඔහු චිත්‍රයක් සිතුවම් කරයි. කුඩා කන්දක්, එහෙන් මෙහෙන් ඇඳි ගස් කීපයක්,.. ගල් පරුවත, … මා ඒ දෙස බලන බව දුටු ඔහු මෙසේ කීවේය. … “මේ මැද්දේ, දිය පහරක් ගලා ගෙන යනවා”… “එහි ජලය හරිම සීතලයි”… “මැඩම් දන්නවාද, එහි ඇති පුදුමම දේ? … මෙසේ කියන විට ඔහුව පෙනුනේ කුඩා දරුවෙක් සේය. ඔහුගේ දම් පැහැ ඇස් දිලිසුණේය. … “ දිය පහරට අත දමන විට මාළු අතට එනවා”… !… “ඒ මාලුන්ව අතේ තියාගන්න පුළුවන්”…

එවිට මා මෙසේ කීවෙමි. … “සමහරවිට ඒ සීතල දිය පහරට උන්ව හිරි වැටෙන නිසා වෙන්න ඇති”…

තවත් දිනෙක ඔහු මට කීවේ, කන්ද උඩ ගලක් ඇති බවත්, ඒ ගලේ මාළුවෙක්ගේ රූපයක් කොටා තියෙන බවය.  … “ඒ කුමක් වෙන්න පුලුවන්ද මැඩම්? … “එය ෆොසිල වූ මාලුවෙක් වෙන්න පුළුවන් මෙඩ්රික්”… මා කීවෙමි. … “වසර බොහෝ ගණනකට පෙර අගාසි ගංගාව නිසා අපේ මහාද්වීපයේ ගොඩක් තැන් යටවුනා”… මා ඔහුට කීවෙමි. පොත් රාක්කයේ ඇති එන්සයික්ලෝපීඩියා පොතක් රැගෙන, එහි ‘අගාසි ගංගාව’ යටතේ කියවන්නට ඔහුට කීවෙමි. අප එක්ව එය කියෙව්වෙමු.

පොත බලා ඔහු කෑ ගැසුවේය. … “ මෙන්න මේක තමා මම කිව් දේ !…!! … “මෙඩ්රික්, මට කියන්න, ඔය කියන කඳු මෙහි සිට කොතරම් ඈතින්ද තියෙන්නේ? … “නැහැ එපමණ දුරක් නැහැ, …”එතෙන්ට කෙටි පාරකින් ගියාම හැතැප්ම නවයයි තියෙන්නේ”… “මැඩම්ට එහි යන්න ඕනැද ?… ඔහු ඇසුවේය. … යන්නට මට අශ්වයෙක් නැත යයි කීවිට ඔහු කීවේ ඔහුට වෙළඹක් සිටින බවත්, ඌ ඉතා ආරක්ෂාකාරී බවත්ය. මෙය ඔහුව හීලෑ කර ගැනීමට හොඳ අවස්ථාවක් යයි සිතුවෙමි.

… “හොඳයි මෙඩ්රික්, මා ඒ කන්දට ඔබත් සමඟ යන්නට එන්නම්, එහෙත් එක පොරොන්දුවක් වෙන්න ඕනා”…. ව්‍යාකරණ පොතේ සෑහෙන ප්‍රමාණයක් මා ඔහුට පෙන්වා, එය සති දෙකක් තුල ඉගෙන ගත යුතු බවත්, ඉගෙන ගෙන හොඳ ලකුණු ගතහොත් ඔහු සමඟ කන්දට යන්න එන බවත් පැවසුවෙමි.

ඔහු එය කලේ කෙසේදැයි පුදුමයකි. මේ කාලය තුල මා ඔහු අන් ලමයිගෙන් කොපි කරන්නේද යන්න ගැන සැළකිලිමත්ව සිටියෙමි. එසේ කොපි කරන්නට ඔහුට ඉඩක් නොතිබිණි. නමුත් ඔහු ව්‍යාකරණ වලට ගත් ලකුණු හොඳ තත්වයේ විය. මින් පෙර කිසි දිනක ඔහු එතරම් හොඳ ලකුණු රැගෙන තිබුනේ නැත.

ඊළඟ සෙනසුරාදා ඔහු ගැස්පාර්ඩ් අශ්වයා සහ සුරුබුහුටි වෙළඹක් රැගෙන මගේ දොරකඩ පෙනී සිටියේය. ඇයගේ නම ‘ෆ්ලෝරා’ විය. දුටු සැනින් මා ඇයට කැමති වීමි.

ඒ කන්දේ දුටු දර්ශනය කවදා අමතක කරම්ද? එතරම් එය සුන්දර විය, අද දින පවා ඒ දර්ශනය මට මැවී පෙනේ. කන්ද මුදුනේ සිට බලන විට ඈත නිම්නයන් සහ ඉන් ඉහළ පාවී යන වළාකුළු චමත්කාර දසුනක් මැවීය. එහි කුමක්දෝ කණගාටු දායක මෙන්ම ගුප්ත බවක්ද තිබිණ. එහි සිටියේ අසුන් පිට නැග සිටි මා සහ මෙඩ්රික් පමණි. හමන මඳ සුළගේ සමනළයන් පියාසර කළහ. කුරුල්ලෝ ඈත ආකාශයේ පියාසර කළහ. කන්දෙන් ඔබ්බේ ඇති නිම්නයේ ඈත තිබුණු ගසක් අසළින් දිය පහරක් ගලා ගියේය. ඒ දිය පහර ගලා එන කන්දේ තිබි ගසක්, මිනිසෙක් දිය පහරට අත තබා දිය බොනවාක් මෙන් දසුනක් මැවීය. 

දිය පහරට පිවිසි මෙඩ්රික්, එයට අත දමා මෙසේ කෑ ගසා කීවේය. … “ මෙන්න ඒ මාළු ඉන්නවා මැඩම් !.. එකෙක් මගේ අතේ ඇඟිලි අතරින් ලිස්සලා ගියා ! ..”ඒත් ඔන්න ඒකා ආයෙත් ආවා”… “මේ බලන්න , දැන් මාළුවා ඉන්නේ මගේ අතේ ! …” දිය පහරට අත දාලා බලන්නකෝ මැඩම් ”… ඔහු ආයාචනය කළේය. මා දිය පහරට අත දැමූ විට දැනුනේ, ජලජ ශාඛයක් අතේ ගෑවුනා මෙන් අදහසකි. එහෙත් තවත් මොහොතකින් කුඩා මාලුවෙක් අතට පැමිණියේය. … ‘පුදුමයිනේ, විශ්වාස කරන්නත් බැහැ “…!

මෙඩ්රික් දිය පහරට ඔබ්බේ තණ පඳුර උඩ හිඳ ගෙන මගෙන් මෙසේ ඇසුවේය. … “මැඩම්, ගොඩක් කියවලා තියෙනවානේ”…”මේ මාළු බය නැතිව අපේ අතට එන්නේ කොහොමද කියා කියනවාද ? … “නැහැ මෙඩ්රික්, ඔබ එය මට කියා දෙන්න. මට වඩා ඔබ ස්වභාව ධර්මය ගැන දන්නවානේ “… මා කීවෙමි. … “එය අමුතු දෙයක් !…හැම තැනක්ම අමුතුයි නේද මැඩම් ?

තවත් පැයකින් දෙකකින් අප පාසැල ඇති පෙදෙසට පැමිණියෙමු. මෙඩ්රික් මගෙන් සමුගෙන ගිය අතර, මා නැවතී සිටි බෝඩිමේ අයිතිකාරියගෙන් මෙඩ්රික්ගේ පියා ගැන විමසුවෙමි. ඇය මට කීවේ පුදුම හිතෙන කතාවකි. ‘රොඩ්රිගු අයිමාඩ්’, තරුණ කාලයේ ධනවත් මෙන්ම කඩවසම් කෙනෙක් විය. ඔහු මේරි නම් වූ රතු ඉන්දියානු කෙල්ලක් සමඟ පෙමින් බැඳිණි. එහෙත් මෙඩ්රික් බිහි වූ පසු ඒ සම්බන්දය නැතිව ගියේ, ඇය ඔහු හැර දමා යාමෙනි. සමහර විටෙක රොඩ්රිගු ඇයව එළවා දමන්නට ඇත. නැතහොත් ඇය ඇයගේ රතු ඉන්දියානු ගෝත්‍රයට නැවත එක් වන්නට ඇත.

එහෙත් ඇය මෙඩ්රික්ව ඇය වෙත ගන්නට උත්සාහ කලද, එය ව්‍යර්ථ වූයේ නඩුවේ තීන්දුව රොඩ්රිගුට දරුවාගේ අයිතිය ලබා දෙමිනි. නමුත් මේ සිද්ධියෙන් පසුව රොඩ්රිගු මත් පැන් පානයට ඇබ්බැහි විය. ඉන් පසු තරමක මානසික ව්‍යාධියකින් ඔහු පෙලුනද, ඔහු බීමේ සිරිත අත්හළේ නැත.

මෙඩ්රික් අප කන්දට ගිය බව ඔහුගේ පියාට කියා ඇත. ඒ අනුව පුදුමයකට මෙන් ලබන ඉරිදා දින ඔවුන්ගේ නිවාසයට රාත්‍රී කෑම සඳහා ආරාධනයක් මෙඩ්රික් ගෙන ආවේය. මෙඩ්රික් මෙසේ කීවේය. … “මැඩම්ට ආරාධනය නොකළ එකම පවුල අප වෙන්න ඇති”… “ඕනෑම කෙනෙක් සිතාවි, අපේ නිවසට යා යුතු නැති තැනක් බව”… “ තාත්තා කිව්වේ, කාලගුණය නරක අතට හැරුනොත් මැඩම්ව කැටුව යෑමට හිම කරත්තය එවන බවයි”…

හිම කරත්තයේ යන මගීන්ට උණුසුම්ව සිටිය හැකි අයුරෙන් සම්වලින් ඇතුලාන්තය තනා තිබිණ. එය ඉරිදා දින මෙඩ්රික් විසින් රැගෙන ආ අවස්ථාවේ නිවස අයිතිකාරිය විශ්මයෙන් කා ගැසුවාය.. “මගෙ දෙයියනේ, මේ හිම කරත්තේ අපි අන්තිමට දුටුවේ මේරිව කැන්දාගෙන එන වෙලාවේ”… “ඔවුන්ගේ විවාහය සඳහා රොඩ්රිගු අයිමාඩ් මේක හැදුවේ, විනිපෙග් වල ඉන්න දක්ෂ වඩුවෙක්ට කියා”… “කිසි කෙනෙක් මේ හිම කරත්තය දුටුවේ නැහැ, මේරි මේ පලාතෙන් ගිය පසු”… “මේ බර්ලින් හිම කරත්තයත් මේරි වගේම ලස්සණ නිසා හරි ප්‍රසිද්ධ වුනා”…

සාගරයක් වැනි හිම පතනය හරහා බෝට්ටුවක යන්නාක් මෙන් හිම කරත්තයේ ගියෙමු. සුළං තදින් හැමීය. බර්ලින් කරත්තය ඇතුලේ අඩ අඳුරේ මෙඩ්රික් සහ මමත් ගමනාන්තය තෙක් ගියෙමු. මේ අමුතු ගමනේ ඇති කුතුහලය නිසා අපගේ ඇස් දිළිසුණි. එහෙත් ගෝෂා නගන දැඩි සුළං අතරේ ගිය ගමන අවසානයේ කෙමෙන් ගරා වැටෙන ගෙයකට පැමිණීමෙන් අධෛරමත් වූ මා තවත් විපිළිසර වූයේ, මධ්‍යසාර ගඳ ඇති මහත මිනිසෙක් මා පිළිගත් හෙයිණි. ඒ මෙඩ්රික් ගේ පියා විය. මෙවැනි තැනක මෙඩ්රික් සිටීම ගැන දුක් වුනෙමි.

පාට නැතිවුණු ජනෙල් තිර ඇති කාමරය මඳ අඳුරෙන් යුතු විය. පැරණි වී ගිය වෙල්වට් තිර ඇති පුටු වලින් මේසය වටවූ අතර කෑම එහි ගෙනත් තැබුවා නොව, දීසි ඒ මේසයට තල්ලු කලාක් මෙන් විය. රොඩ්රිගු අයිමාඩ් මේසයේ කෙළවරක ඔටුන්නක් පැළඳ ගෙන සිටිනවාක් මෙන් මුල් තැන රැගෙන සිටියේය. වයින් පිරි ඩිකැන්ටරයක් ඔහු අබියස විය.   

මෙඩ්රික්ගේ පියා මාව සාදරයෙන් පිළිගෙන මෙසේ කීවේය. … “සියල්ලන් කියන්නේ, ඔබ හොඳ ගුරුවරියක් මෙන්ම ළමයින්ට හොඳින් උගන්වන කෙනෙක් කියා”… “මට කියන්න, ඔහු හොඳින් පාසැලේ ඉගෙන ගන්නවාද නැතහොත් මා මගේ මුදල් සහ කාලය අනිවාරතේ වියදම් කරනවාද කියා? … ඔහු එසේ කියන විටදී මෙඩ්රික් ගේ දෑස් අමනාපයෙන් හැකිලිණි. මා මෙසේ කීවෙමි. … “ ඇත්ත වශයෙන්ම මෙඩ්රික් මගේ හොඳම ශිෂ්‍යයා” … “ඔහු අවංක මෙන්ම, අවට ඇති දෑ ගැන විමසිළිමත් වගේම ස්වාභාව ධර්මයටත් ඔහු බොහෝ සමීපයි”…

රොඩ්රිගු අයිමාර්ඩ් ඔහුගේ දැවැන්ත දෑතෙන් මේසයට තඩි බෑවේය. … “ස්වභාව ධර්මය යකාට ගිය දෙන් ! …”ඔහුගෙන් මට ඕනා, අධ්‍යාපනයයි”…!…!! …ඔහු ඔය තරම් හොඳ නම් පන්තියේ පළමු වෙනියා වෙන්නේ නැත්තේ ඇයි ? … “සමහරවිට ඔහුගේ හදවත එයට අනුකූල නැතිව ඇති”…. මා කීවෙමි.

එයට කට හැර, බෙරිහන් දෙමින් මහත් හඬින් සිනාසුණු රොඩ්රිගු අයිමාර්ඩ් මෙසේ කීවේය. … “ඇත්තෙන්ම හදවත ඒ සමඟ යා යුතුයි. එහෙත් ඔය හදවත් හරහා කෙරෙන දේ නිසා ජීවිතයේ බරපතළ වැරදි වෙන්නට පුළුවන්”… “අන්න එහෙමයි මට වැරදුනේ, මා මෙඩ්රික් ගේ කාලයේ හොඳට ඉගෙන ගන්නට පුළුවන් කෙනෙක්”… “නමුත් එය ඔය හදවත නිසා වුනේ නැහැ”…

“ එහෙත් දෙයියෝ දැන ගෙන ඉන්නට ඇති, මගේ ආනාගතය දුටු කෙනෙක් මාර්ගය පෙන්නුවා නම් මට කුමක් වේද කියා… !

%d bloggers like this: