Menu Close

ලංකාවේ පොම්ප හයිඩ්රො බලාගාර ඇතිකළ නොහැකිද ?

ලෝකයේ ප්‍රවාහන ක්‍ෂේත්‍රය විදුළි වාහන දෙසට ගමන් කරන බව හෙට පායන හිරු මෙන් පැහැදිළිය. එහෙත් ඒ පායන හිරු මුවහ කරන්නට, බල ශක්ති විශේෂඥයෝ යයි කියන යම් යම් අය උත්සාහ කරති. සාමාන්‍ය ෆොසිල ඉන්ධන මෝටර් රථයක හෙලවෙන කැරකෙන කෑලි 2000 කට ආසන්න ප්‍රමාණයක් ඇත. එහෙත් ලෝකයේ මෙතෙක් නිර්මාණය කර ඇති සංකීර්ණම විදුළි වාහනය වන ටෙස්ලා X වාහනයේ ඇත්තේ කෑලි 20කි. 

කෑලි 20ක් නඩත්තු කරනවා වෙනුවට, කෑලි 2000 ක් නඩත්තු කිරීමට අපට සිදුවී ඇති එක් හේතුවක් වන්නේ වැඩිවන විදුළි වාහන වල ආරෝපණය අපොහොසත් වේ යයි සිතීම නිසාය. ලංකාවේ වාහන විදුළි වාහන බවට පත් වුවහොත් ඒවා ආරෝපණය කරන්නට ජාතික බල ශක්ති ජාලය අපොහොසත් වන්නේය යන්න කියන අයද සිටිති. එය එසේ වන්නේ අද සිටම නියම ආකාරයේ බල ශක්ති ක්ෂේත්‍රය නියම දිශාවට ක්‍රමානුකූලව දිශානත කලොත් පමණි.

ඇත්තටම මේ ලිපිය විදුළි වාහන වලට කෙලින්ම සම්බන්ද නැත. එහෙත් විදුළි වාහන ආරෝපණයට කෙලින්ම සම්බන්ද වන්නේ, අනාගතයේ වැඩිවන විදුළි වාහන ආරෝපණය අපහසු නිසා එම විදුළි වාහන ගෙන්වීමට බාධා කරන ප්‍රයත්නයක් ඇති හෙයිණි. 

මේවා සාමාන්‍ය මුහුණු පොත් කියවන්නන් විසින් ඉගෙන ගැනීම වටින්නේ කුමක් නිසා දැයි කෙනෙක් ප්‍රශ්ණ කරන්නට පුළුවන. එයට ඇති සරළම පිළිතුර වන්නේ, බල ශක්තියද, ආහාර හෝ ඇඳුම් වැනි මූලික අයිතිවාසිකමක් වීම නිසා, ඒ ගැන දැන ගැනීම වැදගත් වන්නේය යන්නය.

බල ශක්තිය සහ බල ශක්තිය ඇති කරන ක්‍රම ගැන යම් ආකාරයේ සරළ හෝ දැනුමක් යන්න වර්තමාන සාමාන්‍ය දැනුමේ කොටසකි. අද දින ලොව මුහුණ පාන විශාලතම ගැටළුවකින් එකක් වන පරිසරයට අවම බලපෑමක් වන සේ බල ශක්තිය නිෂ්පාදනය කිරීම සහ කළමනාකරණය වේ. එය විශාල අභියෝගයක් වේ. එහෙත් වාසනාවට මේ අභියෝගයේ එක් කොටසක් වන බල ශක්ති නිෂ්පාදනය සඳහා දිනෙන් දින මිළ පහතට වැටෙන සූර්ය පැනල භාවිතය විශාල පිටුවහලකි.

නමුත් සූර්ය පැනල වලින් නොමිළයේ ලැබෙන බල ශක්තිය ගබඩා කර ගත යුතුය. මේ පහත ඇති ඕස්ට්‍රේලියා සයිට් එකක මේ ආකාරයේ පොම්ප බලාගාර පන් ලක්ෂයක් ලොව පුරා ඇති බව සොයා ගෙන ඇත. ලංකාවේ එසේ කල හැකි ස්ථාන වල පිංතුරයක් මෙහි දමා ඇත. පොම්ප බලාගාරයක කිසිම ආකාරයේ කාබන් විමෝචනයක් හෝ රසායනික අපද්‍රව්‍ය පරිසරයට විමෝචනය වීමක් නැත. 

පොම්ප බලාගාරයක් යනු ජල විදුළි බලාගාරයක තවත් ප්‍රභේදයකි. ජල විදුළි බලාගාරයක සිදුවන්නේ ඉහළ විභවයක් වන කඳු ප්‍රදේශයක එක්වන ජලය පහතට ගැලීමෙන් ජළ රෝදයක් කරකැවෙන විට එයින් බල ශක්තිය ගැනීමය. මේ ජළ රෝදය යන්නෙන් හැඳින්වූයේ ටර්බයිනයක්ය. එනම් ජලය මේ ටර්බයිනයේ ඇති පංකාව මත වැදේ. පංකාව එවිට කරකැවෙමින් ඩයිනමෝවක් ක්‍රියාත්මක වී විදුළි බලය ඇති කරයි. මේ විදුළි බලයේ ප්‍රමාණය සමානුපාතික වන්නේ, ඒ ජළය කොතෙක් ඉහළ සිට ගලා එන්නේද මෙන්ම, තත්පරයකට වැටෙන ඒ ජලයේ ප්‍රමාණයද මතය.

දැන් මේ ජල ප්‍රමාණය දිගින් දිගටම මේ ආකාරයට කන්දේ සිට ගලා එන්නේ යයි අපට සහතික වන්නට නොහැකිය. නියඟ ඇති කලට එසේ නැත්නම් ඇති තරම් වර්ෂාව නැති කාලයන්හී ඉහත විස්තර කල ටර්බයිනය කරකැවීමට අවශ්‍ය තරම් ජළය නැති වන්නට පුළුවන. එසේම ලංකාවේ නම් ජලාශ වල එකතුවන ජළය භාවිතා කරන්නේ ජල විදුළිය සඳහාම පමණක් නොවේ. මෙතනදී රටට අවශ්‍ය වන බල ශක්තිය දිනයේ එක් එක් කාලයන් අනුව වෙනස් වීමද සැළකිය යුතුය. එනම් රාත්‍රී කාලයේ විශාල ඉල්ලුමක් බල ශක්තිය කෙරේ ඇත. දහවල් කාලයේ එපමණ බල ශක්ති ඉල්ලුමක් නැති වෙන්නට පුළුවන. 

මේ කියන ජලාශය දහවල් කාලයේ පහත ඇති ජලාශයක ඇති ජලයෙන් පිරවීම කල හැකි නම් ඉහත විස්තර කරන ලද ජල විදුළි බලාගාරයේ ප්‍රභේදයක් වන ‘පොම්ප බලාගාරයක්’ ඇති කල හැක. එම පිරවීම කල හැකි එක් ආකාරයක් වන්නේ දහවල වැටෙන හිරු එළියෙන් පණ ගැන්වෙන සූර්ය පැනල වලින් ලැබෙන විද්‍යුත් ශක්තියෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප මගිනි. තවද ඒ පොම්ප වල ඇති මෝටරය මධ්‍යම බල සැපයුම් ඒකකයෙන් සැපයෙන ප්‍රත්‍යාවර්තක හර්ට්ස් 50 සංඛ්‍යාතය සමඟ සම්බන්ද වී ක්‍රියාත්මක වීමද අනවශ්‍යය. ඒ මෝටර් සරළ ධාරා වලින් ක්‍රියාත්මක වුවද ගැටළුවක් නැති බව පැහැදිළිය. 

දැන් අපි සාරාංශය ගැන කීවොත්,

1. සෛද්ධාන්තිකව ගත් විට ඉහළ සහ පහළ ඇති ඕනෑම ජලාශ දෙකක මේ ‘පොම්ප හයිඩ්රෝ’ ක්‍රමය භාවිතා කල හැක.
2. පොම්ප බලාගාරයක් සඳහා ඉහළ සහ පහළ සේ ජලාශ දෙකක්ද, දෙපසට වැඩ කරන මෝටර් – ඩයිනමෝවක්ද අවශ්‍ය වේ. ඉහළට පොම්ප කරන ජළය කෙසේ පොම්ප කලද කාරියක් නැත.
3. මේ ක්‍රමයේ ඇති විශේෂ වාසිය වන්නේ ජළය අපතේ නොයෑමය. ජළය ස්වල්ප ප්‍රමාණයක් භූගත වීම සහ වාෂ්පීකරණය නිසා නැතිවුවද, එය මුළු ජල ප්‍රමාණයෙන් කුඩා ප්‍රතිශතයකි.

ආර්ථික වශයෙන් මෙහි ලාභයක් ඇත්දැයි කෙනෙක් මීළඟට අසන ප්‍රශ්ණය විය හැක. ස්වභාවිකව හෝ දැනටමත් ජලාශ දෙකක් වෙනස් උසක ඇත්නම් මේ ක්‍රමය භාවිතා කිරීම ලාභයකි. එනම් මෙය එක්තරා ආකාරයක බැටරියක් වේ. එසේම මෙය කඳුකරයේ පවතින කුඩා හෝටලයක් වැනි ස්ථානයකට ඉතා ගැලපෙන ක්‍රමයක් වන්නේ ජලාශ දෙක වෙනුවට නාන තටාක දෙකක් භාවිතා කිරීමය. අවශ්‍ය වන්නේ ඒ සඳහා එම තටාක වල මාන සකස් කිරීම පමණි.

දැන් මේ පෙන්වා ඇති රූප අනුව මේවා ලංකාවේ භාවිතා කල හැක්කේ කෙසේදැයි විමසමු.

 ලංකා විදුළි බල මණ්ඩලයෙන්ද මේ පොම්ප හයිඩ්රෝ ක්‍රම ඇති කිරීමේ යෝජනා ඇත. එහෙත් ඒවා අද වනතුරුත් ක්‍රියාත්මක නොවීම අවාසනාවකි. ඉහත පින්තුර අනුව මෙන්ම පහත ඇති සයිට්ස් වල ලංකාවේ එසේ ඇතිකළ හැකි විශාල පරිමාණයේ පොම්ප බලාගාර දැකිය හැක.   

ලංකාවේ පොම්ප බලාගාර කල නොහැකිය කියන බල ශක්ති විශේෂඥයන් සිටී. එහෙම එකෙක් ඔබ දුටුවොත් මේ පින්තුර සහ සයිට්ස් , කණට දෙකක් ගසා පෙන්වන මෙන් ඔබෙන් ඉල්ලා සිටිමි.

https://www.anu.edu.au/news/all-news/anu-finds-530000-potential-pumped-hydro-sites-worldwide?fbclid=IwAR3E3QaTllF9fZZibiwhfOBqi1xhPtB1Ku3580xkKhZb4oFE_KK61eBNHbQ

 

https://nationalmap.gov.au/renewables/?fbclid=IwAR0eRpDzjNdpy0CVVQyC1hVUOp94lQpL11hXf7voSVv7RSrolzej9cczIZY#share=s-oDPMo1jDBBtwBNhD

 

https://businessdocbox.com/Green_Solutions/70355246-Valuing-pumped-storage-debunking-myths-creating-tools.html?fbclid=IwAR0ktbfW32P2sDJbU29t6ejYC5lc3-IEqYP4FGTv63Jojed58ZxriG2dxOo

%d bloggers like this: