Menu Close

ඉඩ්ලිබ් හි එර්ඩොගන්ගේ හමුදාවන්ට එරෙහි සටන සිරියානු හමුදාව ජය ගනියි.නමුත් යුද්ධය අවසන් නැත

syrian-army-win-battle-against-erdogan-forces-in-idlib-but-war-is-far-from-over

සිරියානු රජයේ හමුදාවට එරෙහි ඉක්මන් ජයග්‍රහණයක් ලබා ගැනීමේ තුර්කි දේශපාලන සහ හමුදා නායකත්වයේ සිහින මාර්තු මාසයේ මුල් දින කිහිපය තුල සුනුවිසුණු වී ගියෝය.2018 සැප්තැම්බර් මාසයේ සිට සිරියානු හමුදාව ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයෙන් මුදාගත් ප්‍රදේශ අතහැර,මොස්කව් සහ අන්කාරා රජයන් එකඟවූ සෝචි ගිවිසුම්වල දැක්වෙන සීමාවන් තෙක් පසුබස්වන්නේ යැ‍යි තුර්කි නායකත්වය සිදු කල ප්‍රකාශය,ඔපරේෂන් ස්ප්‍රින්ග් ෂීල්ඩ් යුද මෙහෙයුම හරහා ඉෂ්ඨ කරගන්නට තුර්කි හමුදාව සහ සිරියාවේ සිටින ඔවුන්ගේ ප්‍රොක්සි හමුදා අසමත් වූහ.තුර්කිය සහ රුසියාව ඉඩ්ලිබ් යුද මුක්ත කලාප එකඟතා හරහා මධ්‍යස්ථ කැරලිකරුවන්ගෙන්,ත්‍රස්තවාදීන් වෙන් කිරීමටත්,කිලෝ මීටර් 30 පළල යුද මුක්ත කලාප කොරිඩෝරයක් නිර්මාණය කිරීමටත් බලාපොරොත්තු විය.එනමුත් මේ එකඟතා කිසිදිනෙක මුළුමනින්ම ක්‍රියාවට නංවන්නට නොහැකි වූයේ,හයාට් ටරිර් අල්-ෂාම් සහ අල්කයිඩාවට සම්බන්ධ අනෙකුත් කණ්ඩායම්,අදාල යුද මුක්ත කලාප කොරිඩෝරයෙන් ඉවත් නොවීමත්,ඉඩ්ලිබ් හි සිටිනවා යැ‍යි කියන අභිරහස් මධ්‍යස්ථ කැරලිකරුවන්ගෙන් ඉහත කී ත්‍රස්ත කණ්ඩායම් වෙන් කිරීමට නොහැකි වීමත් යන කාරණා හේතුවෙනි.

මෙම වාතාවරණය හමුවේ රුසියාව සහ ඉරානය රටවල සහාය ඇතිව ත්‍රස්ත විරෝධී මෙහෙයුම් නැවත ආරම්භ කර,අන්තවාදීන්ගෙන් වර්ග කිලෝමීටර් දහස් ගණනක් මුදා ගන්නටත්,ඉඩ්ලිබ් නගරයට පහරදිය හැකි සීමාවේ සිරියානු සෙබලුන් රදවන්නටත් සිරියානු රජය ක්‍රියා කලේය.අන්තවාදීන්ගේ පාලනය යටතේ තිබෙන වයඹදිග සිරියාවේ මෙම ප්‍රදේශය,තුර්කියට වැදගත් වන බව එරට රජය හොඳින් දනියි.එම භූමිය සිරියාව කෙරෙහි සිය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී වැදගත් මෙවලමක් ලෙස තුර්කිය භාවිතා කරයි.සිරියාව තුල තම ඇලුම්කම්වලට තර්ජනයක් එල්ල වුවහොත් එම භූමිය යොදාගෙන ඩැමැස්කස් රජයට එරෙහිව මහා පරිමාණ යුද මෙහෙයුමක් පවා දියත් කරන්නට තුර්කියට හැකියාව තිබේ.පසුගිය සති කිහිපයේදී ඔවුන් ඒ බව මනාව ඔප්පු කල අතර මාර්තු පළමුවෙනිදා අන්කාරා රජය ඔපරේෂන් ස්ප්‍රින්ග් ෂීල්ඩ් මෙහෙයුම ආරම්භ කල බව ප්‍රකාශ කලේය.

මෙහෙයුමේ ආරම්භයේදී තුර්කි හමුදා ජයග්‍රාහී ලෙස නයිරාබ් ගම්මානයත්,ඒ ආසන්නයේ ස්ථාන කිහිපයකුත් අල්ලා ගත්හ.වරෙක ඔවුහු එම්5 මහා මාර්ගයේ පිහිටි සරාකිබ් නගරයට ඇතුල් වූ නමුත්,සිරියානු හමුදාවේ ප්‍රති ප්‍රහාරයකින් පසුව නගරයෙන් පසුබැස ගියෝය.පසුව සරාකිබ් නගරය තුල රුසියානු හමුදා පොලිසිය යෙදවීය.

නයිරාබ් ජයග්‍රහණය ලබා ගන්නේ තුර්කිය ප්‍රමුඛ හමුදාවන්ට දකුණු ඉඩ්ලිබ් දෙසින් පසුබසිද්දීය.සිරියානු හමුදාව එම ප්‍රදේශයේ ජනාවාස දුසිමකට වැඩි ගණනක් අල්ලා ගන්නේ කැෆ් ර් නබුල් නගරය යටත් කර ගන්නට තුර්කි හමුදා දැරූ උත්සාහයන් ව්‍යර්ථ කරමින්ය.තුර්කිය ප්‍රමුඛ හමුදා බටහිර ඇලෙපෝ දෙසින් සිරියානු හමුදාවේ ස්ථාන වලට පහර දුන්නද,දිනක පමණ කාලයක් සටන්කාමීන් යටතේ තිබූ ෂෙයික් අකිල් සහ ඒ ආසන්නයේ වූ කඳුමුදුනක බලය නැවත තමන් වෙත ලබා ගන්නට සිරියානු හමුදාව සමත් විය.

මේ සියල්ලේ සාරාංශය වනුයේ විවෘත සටනකදී තුර්කි ප්‍රමුඛ හමුදා සිරියානු හමුදාව ඉදිරියේ පරාජය වී ඇති බවත්,එම්5 මහා මාර්ගයේ ප්‍රධාන ස්ථාන වල පාලනය සිරියානු හමුදාව සතු බවත්ය.ඒ අනුව ඉදිරියේදී ඔවුන්ට දකුණින් තිබෙන එම්4 මහා මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කිරීමට හැකියාව ලැබේ.

සිරියානු රජයේ මාධ්‍යට අනුව,2019 දෙසැම්බර් 15දා සිට 2020 මාර්තු 5දා කාලය තුල රජයේ හමුදා වර්ග කිලෝමීටර් 1,600ක ප්‍රදේශයක් ඇතුලත ජනාවාස 215ක් මුදාගෙන තිබේ.එම කාල සමයේදී ත්‍රස්තවාදීන් 6,100ක් මරා දමා,2550කට තුවාල සිදු කර තුර්කි ප්‍රොක්සි හමුදාවන්ට අයත් වාහන 615ක් විනාශ කර ඇත.තුර්කි යුදෝපකරණ 100ක්ද විනාශ කලේ යැ‍යි එම වාර්තාවේ සඳහන් වේ.මෙම සංඛ්‍යාවන් සහ තුර්කි පාර්ශ්වය සපයන සිරියානු හමුදාවට සිදුවූ හානිවල සංඛ්‍යාලේඛන අධිතක්සේරුවෙන් යුතුව ඉදිරිපත් කර ඇති බව පෙනේ.මාර්තු මස 5දා පස්වරුව වෙද්දී තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කල වාර්තාවන්හි සඳහන් වන්නේ සිරියානු සෙබලුන් 3,322ක් මරා දමා,යුද ගුවන් යානා 3ක්,හෙලිකොප්ටර් යානා 8ක්,ඩ්‍රෝන් යානා 3ක් බිම හෙළා,යුද ටැංකි 155ක්,කාලතුවක්කු සහ රොකට් විදින 103ක්,ගුවන් ආරක්ෂක පද්ධති 8ක්,යුද ටැංකි නාශක අවි 15ක්,මෝටාර් අවි 4ක්,විවිධ වර්ගවල යුද රථ 157ක් සහ අවි ගබඩා 10ක් විනාශ කර තිබේ යැයි කියාය.

මාර්තු 5දා තුර්කි ජනපති රිසෙප් ටයීප් එර්ඩොගන් මොස්කව් බලා ගියේ,තුර්කිය ප්‍රමුඛ හමුදා සරාකිබ් නගරය අල්ලා ගැනීමට තවත් මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කරන අතරතුරය.කෙසේවෙතත්,මේ ප්‍රහාරයද සිරියානු හමුදාව ව්‍යර්ථ කලේය.

ඉඩ්ලිබ් හි ගැටුම් නැවැත්වීම සඳහා අලුත් එකඟතාවයකට පැමිණෙන්නට තුර්කි සහ රුසියා ජනපතිවරුන් එකඟ වූහ.එහි පහත කරුණු ඇතුලත්ය.

  • මාර්තු හය වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට දැනට තිබෙන ඉදිරි ආරක්ෂක වළලුවල සීමාවෙන් සටන් සියල්ල නවතා දැමීම.
  • එම් 4 මහා මාර්ගය මැදි කරගත් එහි සිට උතුරට සහ දකුණුට කිලෝ මීටර් හයක් පළල ආරක්ෂිත කොරිඩෝරයක් රුසියාව සහ තුර්කිය නිර්මාණය කරනු ඇත.
  • මාර්තු 15දා සිට එම්4 මහා මාර්ගය ඔස්සේ ඒකාබද්ධ මුර සංචාර ආරම්භ කිරීමට තුර්කිය සහ රුසියාව එකඟ විය.
  • මීට පෙර ඇති කරගත් සියලු එකඟතාද ක්‍රියාත්මකය.සටන් විරාමය ත්‍රස්තවාදීන්ට අදාල නොවේ.

මෙම එකඟතාවයේ පහත සඳහන් දෑ නොකියා කියයි

  • තුර්කිය සිරියාවේ සිදු කල කෙටි යුද්ධය පරාජය වූ බව පිළිගන්නා අතර,2018 සැප්තැම්බර් මාසයේ සිට සිරියානු හමුදා ලබා ගත් සියලු ජයග්‍රහණ පිළිගනියි.
  • සිරියානු හමුදාව එම්5 මහා මාර්ගයේ පාලනය තමන් සතුව තබා ගන්නා අතර,කලාපය තුල සිය යුදමය ස්ථාවරය සුවිශේෂී ලෙස වැඩිදියුණු කරගත්තේය.
  • එකඟ වූ එම්4 මහා මාර්ගය මැදි කරගෙන දිවෙන කොරිඩෝරය,පිහිටා තිබෙන්නේ සටන්කාමීන්ගේ පාලන ප්‍රදේශයේය.එය නිර්මාණය කිරීම සහ එහි ඒකාබද්ධ මුර සංචාර සිදු කිරීම කල හැක්කේ එම ප්‍රදේශයේ සිටින සටන්කාමීන් ඉවත් කිරීමෙන් පසුවයි.සටන්කාමීන් ඉවත් ව යෑම ප්‍රතික්ෂේප කල හොත්,ඒ සඳහා තවත් යුද මෙහෙයුමක් දියත් කිරීමේ හැකියාව තුර්කිය සමග අත්සන් කල එකඟතාවයෙන් ලබා දී තිබේ.
  • තමන් මේ යුද්ධයට දේශපාලනික විසඳුමක් ලබා ගැනීමට සහාය දෙන බව තුර්කිය සහ රුසියාව අවධාරණය කලහ.කෙසේවෙතත්,ඉඩ්ලිබ් හි ත්‍රස්තවාදී කණ්ඩායම් රැඳි සිටින තාක් කල් එවැනි දේශපාලනික විසඳුමක් ලබා ගැනීම කල නොහැක්කකි.මේ හේතුව නිසා කලාපයේ දිගටම ගැටුම් පවතිවී.

source:southfront.org

%d bloggers like this: