Menu Close

ස්ත්‍රීත්වය – උනුන් දරා ගන්නා සුළුය

“ඩොක්ටර්…” කියූ ඇය මා ඔළුව ඔසවා බලන තෙක් මගේ පිටුපසට වී සිටියාය.

“අම්මා, ප්ලේට්ලට් නම් තවම සීයට එහා නැගලා නෑ. ඒත් සුදු රුධිරාණු වැඩි වෙන්න අරගෙන ඒක සුභ ලකුණක්. අද හවස රිපෝට් එක බලලා ඒකේ වෙනසක් තිබ්බොත් හෙට යන්න පුළුවන්”

“ලොකු දෙයක් ඩොක්ටර්. මම දැන් ආයෙම දුවලා හයට එනවා”

ඉතා කුඩා ශරීරප්‍රමාණයක් හිමි ඇය යළි දරුවාගේ ඇඳ ළඟට දුවයි. ඇගේ අම්මා දරුවා ළඟ උදේ සිට හවස් වනතෙක් ඉන්නා අතර අසල කර්මාන්ත ශාලාවක අත් උදව් සපයන ඇය නිවාඩු නැති හෙයින් රාත්‍රිය පුරා ඩෙංගු උණ සමග පොර බදනා දරුවා සමග ඔට්ටු වී, මූත්‍රා මැනිල්ලේ සිට දියර මැන මැන බොන්නට දීමත් අර දරුවාගේ කරදර ඉවසීමත් අප බලා සිටින්නේ විමතියෙනි.

උදෑසනම ඇගේ අම්මා පැමිණි සැනින් ඇය ලක ලැහැස්ති වී වැඩට යති. හවස පැමිණ දරුවාගේ ඇඳ ළඟ පුටුවක් තියාගෙන කුඩා කතන්දර පොත් කියවමින්, කටුවක් දමා නිතර ලේ ගනිමින් පරීක්ෂා කරනා අප හා උරණ වී සිටින දරුවා මේච්චල් කරගන්නට බොහෝ චාටු බස් දොඩන්නීය. හවස ගත් ලේ පරීක්ෂණ වාර්ථා ලැබුනේ මහ රෑය.

“ඔන්න ඩොක්ටර් මම අර අම්මට නිදියන්න පැදුරක් දීලා කිව්වා. දරුවත් නිදියන එකේ ඔයා ඇඳ ළඟ නිදියාගන්න කියලා” අපේ හිත හොඳ හෙදිය මා වෙත එමින් පැවසුවාය. ඒ අම්මා දින ගණනාවක් නින්දක් නොලැබ සිටි බව අපි හැමෝම දන්නා කරුණකි.

ළමා වාට්ටුවේදී ද, ප්‍රසව හා නාරිවේද වාට්ටුවේදීද , මට හමුවන ගැහැණුන් ප්‍රමාණ වූ දුක් කරදර කන්දක් පොදි බැඳ මහා මේරුව තරණය කරනු දකිමින් ඔවුන්ගේ අතොරක් නැති දරා ගැනිල්ලට යන්තම් හෝ උදව්වක් දෙමින් අපද එවන් වූ මහා බර පොදි දරාගෙන සිටින්නෙමු.

චිත්ත සන්තානයේ ඉපදෙන සිතුවිලි පුදුමාකාර ය. ගැහැණිය, තමන්ගේ ලෝකයේ ඕනෑ එපාකම් අනුව තම ජීවිතය වෙනස් කරගනී, යන මඟ සකසා ගනී. ඇතැම් විශිෂ්ඨ චිත්ත ශක්තියක් හිමි අයවලුන් තම සිතැඟි ඔස්සේ ජීවිතය සොයා යයි. අම්මා යන භූමිකාව හමුවේ ස්ත්‍රීන් තමන් මෙතෙක් යමින් සිටි මාවත අත හරින අයුරු, වෙනස් කරගන්නා අයුරු මට නිරන්තරයෙන් දකින්නට ලැබේ. මේ ලියන මම ද, ජීවිතයේ වගකීම් හමුවේ, මාතෘත්වය හමුවේ මගේ අරමුණු නවතා හෝ වෙනස් කරගෙන ඇත්තේ දරුවෙකුගේ කායික සහ මානසික වර්ධනය සඳහා මවගේ ආදරය සහ කැපවීම අවශ්‍ය බව හොඳින්ම දන්නා නිසා ය.

මට හමුවෙන බොහෝ ස්ත්‍රීන් හුදෙකලා වූවෝ ය. ඔවුන්ගේ හදවත ගැඹුරෙහි දිග පළල ගැඹුර විනිවිද පෙන්වන කතන්දර බොහෝ අප හමුවේ දිග හැරේ. මේ ලංකා සමාජය තුල හමුවෙන ස්ත්‍රී න්බොහෝ පීඩන හමුවේ ගොළුවී සිටී. සමාජය විසින් ඔවුනට හිමි කර දී ඇත්තේ එවැනි අනාරක්ෂිත බවකි.

ඇතැම් විට දරුවන් වෙනුවෙන්, දෙමාපියන් වෙනුවෙන්, සමාජයේ ජීවත් වීම වෙනුවෙන් තම සිතැඟි දෑ කප කරන අතරම නොරැඳෙන බන්දන රකින ස්ත්‍රීන් බොහෝ වෙති. ඔවුන් හුදෙකලාව තුළ නඟනා සුසුම් හඬ නෑසෙන සුළුය.

මා දකිනා ශක්තිමත්ම ජීවියා ස්ත්‍රීය වේ. එකී ස්ත්‍රිය මවක් වූ විට එම ශක්තිය දෙගුණ තෙගුණ වී ඇය තුළට ආරෝපණය වේ.

“මම රට ගියේ දරුවට හොඳින් සලකන්න එද්දි හොඳටම ලෙඩ වෙලා… අනේ ඩොක්ටර් බබාව දිගටම ක්ලිනික් ගෙනත් නෑ ගෙදර අය.. ආයෙම ක්ලිනික් දාලා දෙන්න”

තරුණ මවක් පැමිණ අප හමුවේ බැගෑපත් වේ.. අවුරුද්දකට වැඩි කාලයක් ක්ලිනික් හෙවත් සායන පරීක්ෂාවට නොපැමිණි දරුවාට මුත්‍රා ආසාධනයකට ප්‍රතිකාර කර ඉන්පසු … සායනික පරීක්ෂාවට යොමු කරන ලදී.

” මහත්තයා නැතුව මං තනිවම දරුවා හදන්නේ ” ඇය ද අප හමුවට එන්නාවූ බොහෝ කාන්තාවන් මෙන්ම තනිව අරගලයක නියුතු මවකි. සැමියා ඇය හැර ගොස් ය.

“මම මෙහෙ රස්සාවක් හොයා ගත්තා නෝනා ආයේ මම යන්නේ නෑ.. ඉන්නේ මෙච්චරයිනේ මට. ” ඇය පවසන්නේ දෑස් කඳුළින් පුරවාගෙන ය.

ලංකා පොළොව මත මේ අරගලය බොහෝ වෙහෙසකර ය. කාන්තාව ගැන කතා කරද්දී බිඳී වැටෙනා ලෙහී වෙන්වෙනා පවුල් එමට ය. පවුලක් යනු මව පියා යන දෙදෙනාගේ ආදරය නිසාම නිර්මාණය විය යුත්තකි. හැඟීම් මත පදනම්ව හැඟීම් සන්තර්පනය කරන්නට යෑම තුළින්ම අද බොහෝ පවුල් සංස්ථා බිඳ වැටී ඇත. ඇතැම් විට ඒවා පවතින්නේ නාම මාත්‍රිකව පමණි. එය කෙතරම් දරුවන්ගේ මානසික වර්ධනයට බලපාන්නේදැයි අප හමුවේ දිග හැරෙන ශෝකාලාපයන් පැහැදිලි කරවයි.

“ඔබේ දරුවන්ට ආදරේ නම්, ඔවුන්ගේ මවට ආදරය කරන්න” මේ මා අන්තර්ජාලයේ දුටු ආදර්ශ පාඨයකි. අවාසනාවකට අද, නුසුදුසු පවුල් පරිසර තුල දරුවන් අතරමං වී සිටී. සියළු බර දරාගෙන ගැහැණිය හුදෙකලා අරගලයක ය.

මේ කාන්තා දිනයේ අප අමතක කරනා තවත් පැත්තක් ගැන මම අවධානය යොමු කරන්නට සිතුවා. ඒ කාන්තාව පත්වන මානසික ආතතිය හෝ අවපාත තත්ත්වයන් ගැනය. තනිව හෝ වෙන වෙනම නිහඬ අරගලයක යෙදී සිටීමෙන් හෙම්බත් වන අම්මලා, උදව් ඉල්ලද්දී…ඒ ගැන සැලකිලිමත් වන සමාජයක් නැති තරම් ය. අන්තර්ජාලය තුළ ඇති සමාජ මාධ්‍ය ජාලාවල නාමිකව හෝ නිර්නාමිකව ඔවුන් මේ වියවුල් කඳුළු අකුරු කරනු දැකීම මහත් වූ කම්පනයකි. අහිතකර විෂකුරු සමාජ පරිසර තුළ ඔවුන් තව දුරටත් වියවුලට පත්වනවා මිස එයින් මිදෙන්නට මංපෙත් විවර වෙන්නේම නැති තරම් ය.

රටක පැවැත්ම එහි ජීවත් වෙන රට වැසියාගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා සුබ දායක වන ලෙස අප වෙනස් කරගන්නේ කෙසේ ද?

ගැහැණියක හෝ මිනිසෙක් වේවා, පවතින ආර්ථික සාමාජීය ගැටළු සහ අවපාතයන් සේරමත් සමග වගකීම් සහිත බැරෑරුම් රැකියාවක් කරද්දී මනසට අත් වන ආතතිය බොහෝය. ‍ඒවා බොහෝ කායික රෝග කෙරෙහිද බලපාති.

දරුවා හෝ දරුවන් ද සමග සියදිවි නසාගන්නා මව්වරුන් ගැන අපට වසරකට කිහිප වරක් අසන්නට ලැබේ. මා මනෝවෛද්‍ය වාට්ටු තුළ සේවය කරද්දී එසේ සියදිවි නසා ගැන්මට තැත් කළ ස්ත්‍රීන් කිහිප දෙනෙකු මට මුණ ගැසී තිබේ.

සියළු දුක්වේදනා හමුවේ අවසන මව්වරුන් මෙලෙස දරුවන් හා දිවි නහගන්නා තත්වයට පත් වන්නේ නම් එය කොයි තරම් බරපතල කාරණයක් දැයි සමාජයක් වශයෙන් අපට දැනිය යුතු ප්‍රබල කාරණයකි.

තනිව වෙහෙසෙන මව්වරුන් බොහෝ ය. බොහෝ විට සිදුවෙන්නේ හිතේ ඇතිවන්නාවූ තුවාල සමග ඒවා සුව වීමටවත් කාලයක් හෝ ඉඩක් නොදී, ඇය කළ යුතු, වගකීම් , යුතුකම් ගැන කියමින් , “රටේ ලෝකේ හැමෝම කරනවා, ඉතින් ඔබත් කළ යුතුයි” කියා තවත් තෙරපීම ය.

සියල්ල ඉවසාගෙන කරනවා ඇරෙන්න විසඳුමක් නොදෙන සමාජයක අවසන ඔවුන් පුපුරා යෑමට ඉඩකඩ බොහෝය. බෝ නොවන රෝගවලින් ආතුර වූ සමාජයක, ගැහැණිය ද ඒවාට බොහෝ ඉක්මනින් ගොදුරු වෙන්නේ, තමා ගැන බලා ගන්නේ නැති නිසාය. උදේ රැයින් නැගිට දරුවන් වෙනුවෙන් වෙහෙසෙන, අම්මලා එක්කෝ එකතැන ඉඳගෙන වැඩය, නැත්නම් ගමනේ ය. අප සමාජයේද බොහෝ පිරිසක් දියවැඩියාව අධික රුධිර පීඩනය සහ ශරීරයේ මේද අධිකභාවය නිසා ඇතිවන රෝගාබාදවලින් පෙලෙති. අධි ස්ථුල බව බොහෝ කාන්තාවන් කෙරෙන් දක්නට ලැබෙන්නේ ඔවුන් තමා ගැන බලාගන්නේ නැති නිසාම යැයි සිතේ. වයසටවඩා වයස්ගත වූ බවක් පෙන්නුම් කරන්නේ ඔවුන් දරා ඉන්න බොහෝ දුක් දෝමනස්සයන් පිරි ජීවිත තුලින්ද එකතු කරන්නාවූ පීඩාකාරි තත්ත්වයන් නිසාය.

පවුලක ආදායම් සපයන්නා වීම, ස්වාමියා රහිතව දරුවන් උස්මහත් කිරීමට සිදුවීම ,රැකියා විරහිත භාවය, දීර්ඝ කාලීනව බලපවත්නා මානසික සහ කායික රෝගාබාද වැනි මේ කරුණු ගැන වඩා විවෘතව කතා කළ හැකි තැනක් හෝ ක්‍රමයක් අපට තිබිය යුතුය. විශේෂයෙන්ම ස්ත්‍රීන් සේවයක කරනා තමන්ගේ සේවා ස්ථානයේ වැඩ කරන අය සඳහා, මනෝ වෛද්‍ය උපදෙස් සහ තක්සේරු කිරීම් සිදු කළ යුතුය. සමාජයේ හෝ ප්‍රදේශයේ, ක්ෂේත්‍ර රැකියාවෙහි නියුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා, ප්‍රදේශය බාර ප්‍රාදේශීය සෞඛ්‍ය සායනයේ වෛද්‍ය සායනය වෙත සියලු පවුල් වල ඇති ප්‍රශ්න සහ ගැටළු ගැන දැන ගැන්මට ලැබෙන යාන්ත්‍රණයක් ඇති කළ යුතුය. විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී පවුල් සහ අහිතකර සමාජ පරිසරවල ජීවත්වන , ඔවුන්ගේ මානසික ගැටළු සහ සාමාජීය ගැටළු ගැන

සමාජය මනෝ වෛද්‍ය ගැටළු සහ ඒවාට සහයෝගය සොයා යන්න ඔවුන්ගේ හිතේ මනෝ ව්‍යාධි ගැන ඇති භීතිකාව ඉවත් කළ යුතුය. එවිට මානසික ගැටළු හංගා ගැනීමට වෙර දරන භාවය අඩු වෙනු ඇත.

සියල්ල අපහසු වූ සමාජයක ගැහැණුන් උනුන් වෙනුවෙන් සහයෝගය දැක්වීමට, උනුන් තලා පෙලීමට නොව වැටෙන තැනදී නැගිටුවාගැනීමට ස්ත්‍රීන් ලෙස අප පුරුදු පුහුණු විය යුතුය. ගැහැණිය අසරණවන, අඩම්තෙට්ටම්වලට ලක්වන කවර හෝ මොහොතකදී තවත් ඔවුන් පීඩනයට පත් කිරීමට නොව ඒ ඉන්නා කරදරෙන් මුදා නිදහස් කිරීමට හැකි සහයෝගිතා යාන්ත්‍රණයක් මේ ස්මාජයේ සකස් විය යුතුමයැයි මට සිතේ.

ලෝක කාන්තා දිනය සමරන එක් දවසක ගැහැණිය වෙනුවෙන් මේ ලියනා ලිවීම් හුදෙකලා නොවී දිනෙන් දින , එකිනෙකා වෙනුවෙන් වෙහෙසෙන, ඔසවා දරා සනසන සමාජ වටපිටාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශක්තියක් සපයනු ඇතැයි ද දරා ගැනීම් අපහසුම කාලයක අපි උනුන් වෙනුවෙන් දරා ගැනීමට වෙහෙසිය යුතුයැයි ද මම තරයේ විශ්වාස කරන්නෙමි.

%d bloggers like this: