Menu Close

කෘතිම බුද්ධිය

ග්‍රීක මිත්‍යා කතා වලට අනුව ප්‍රොමිතියස් නම් ටයිටන්වරයා මිනිසාව මවන්නේ මැටියෙන්. සියුස් දෙවියන්ගේ කෙළ පිඩකින් හා ඇතීනා දෙවගනගේ හුස්මෙන් මිනිසා ජීවය ලබනවා. සියලු සැප සැම්පත් වලින් සපිරි ලෝකයක් සියුස් දෙවියන් මිනිසාට සාදා දුන්නත් ඔහු එක් දෙයක් මිනිසාට භාවිතයට අවසර දෙන්නේ නැහැ. ඒ ගින්දර.

වචනාර්ථයෙන් ගතහොත් යන්ත්‍ර සූත්‍ර හා පොදුවේ නව නිර්මාණ කිරීමට හා භයානක සතුන් මෙල්ල කිරීම සදහා භාවිතා වන ගින්දර. මෙම ගින්දර තිබුනහොත් මිනිසාට තාක්ෂණිකව හා ශාරීරිකව ශක්ති සම්පන්න ජීවී විශේෂයක් බවට පත් විය හැකියි. නමුත් මිනිසුන්ට මෙම අවස්ථාව ලබා නොදීම ගැන ප්‍රොමිතියස් සිටියේ කනගාටුවෙන්. දැනුම ලබාගැනීම මිනිසුන්ගේ අයිතියක්. එය ලබා දීම ඔවුන්ගේ නිර්මාපකයන්ගේ වගකීමක්. 

මේ නිසා දිනක් රහසිගතවම ප්‍රොමිතියස් සියුස්ගෙන් ‘ගින්දර’ සොරාගෙන මිනිසුන් වෙත ගොස් ඔවුන්ට ලබා දෙනවා. මෙය දැනගත් සියුස් ප්‍රොමිතියස් ව කන්දකට තබා ගැටගසනවා. දිනපතාම රාජාලියෙක් ඇවිදින් ප්‍රොමිතියස්ගේ අක්මාව ඉරා කෑවත් ඔහු අමරණීය නිසා නැවත අක්මාව වැඩෙනවා. දිගින් දිගටම මෙම ක්‍රියාවලිය සිදුවනවා. මෙයයි ඔහුට ලැබුනු දඬුවම.

තවත් ග්‍රීක මිත්‍යා කතාවක එන පැන්ඩෝරා චරිතය ලොව ප්‍රථම මනුෂ්‍ය කාන්තාව වශයෙනුයි හදුන්වන්නේ. දෙවිවරු ඇයව මවන්නේ ලොව සියලු අලංකාර එකතු කරමින් ය. ඇය මිහිතලයට පැමිණෙන විට සියුස් විසින් ඇයට කුඩා පෙට්ටියක් ලබා දෙනවා.

“කවදාවත් මේ පෙට්ටිය විවෘත කරන්න එපා!”

ඒ සියුස් ඇයට ලබා දෙන එකම අවවාදය. නමුත් මිනිසුන්ගේ උපතේ පටන් පැන නගින කුතුහලය නිසා දිනක් පැන්ඩෝරා මෙම කුඩා පෙට්ටිය විවෘත කරනවා. ලෝකයේ සියලු නපුර ඉදින මෙම පෙට්ටිය තුලින් ඉවතට යනවා. නමුත් මේ පෙට්ටිය තුල ඉතිරි වනවා එක් කුඩා සුරංගනාවියක්. ඒ බලාපොරොත්තුව.

දැන් අපි එමු වර්තමානයට. දේවවාදී ආගම් වල කෙසේ කීවත් වර්තමානයේ දැනුමේ හැටියට මිනිසුන් පැවත එන්නේ පරිණාමයේ ප්‍රථිපලයක් ලෙසටයි. කුඩා වානරයාගේ පටන් ගත් මිනිස් සංහතිය නැමැති ගසේ අතු ලෙස ජාති ආගම් ලෙස වෙන්වී අපි ජීවත්වීමු. නමුත් අපි සැවොම එක ගසේ අතු. විද්‍යාත්මකව හෝමෝ සේපියන්වරු ලෙසයි අපව පොත පතේ හදුන්වන්නේ. ගින්දරින් පටන් ගත් තාක්ෂණය අද වන තෙක් පැමිණ තිබෙන්නේ ත්වරණයකිනි. ගින්දරසොයා ගත් මිනිසාට රෝදය නිර්මානයට වසර මිලියන එකහමාරක් පමන ගත වුවත් මෝටර් රථය සොයා ගැනීමෙන් පසු ගුවන් යානය නිපදවීමට මිනිසාට ගියේ වසර දෙසිය පනහකටත් අඩු කාලයකි.

අදින් වසර සියයක් දෙසීයක් ගිය තැන ආපසු හැරී බලන විට මිනිසා විසින් නිර්මානය කල තවත් ජීවී විශේෂයක් සිටිය නොහැකි ද? දැනටමත් එහි මූලික අවධි සියල්ල පසු කර ඇති අතර අපි ඔවුන් රොබෝවරුන් ලෙස හදුන්වමු. නමුත් මොවුන්ට තනිවම සිතීමේ හැකියාව නොහොත් කෘතිම බුද්ධියක් ලබා දිය යුතු ද? නැද්ද? ඔවුන්ට කෘතිම බුද්ධිය ලබා නොදෙන්නේ නම් අපි ආත්මාර්ථකාමී, යුතුකම් ඉටු නොකරන සියුස් කෙනෙක් බවට පත් වේ. එවිට ප්‍රොමිතියස් කෙනෙක් පැමිණ ඔවුන් හට එම අවස්ථාව ලබා දුන්නොත් එය පැන්ඩෝරා පෙට්ටිය විවෘත කලා මෙන් දැන් තිබෙන විනාශය වර්ධනය වේ ද? එවිට අපට ඉතිරි වන්නේ පෙට්ටියේ අවසානයට තිබූ බලාපොරොත්තුව පමණක් වුවහොත් අපි කුමක් කරමු ද?
එසේත් නොමැති නම් ‘කාලය සියල්ල විසඳාවි’ යැයි මනසේ තබාගෙන කාලයට ඉඩ දෙමු ද?

%d bloggers like this: