Menu Close

අසිරිමත්වූ දේකි- තෙවෙනි කොටස

ටීචර් කොල්ලා ළඟට ඇවිත් කණෙන් මිරිකලා අල්ලා ගත්තා……….

විනාඩි පහක් ගියේ නැහැ, ඇම්ඩා කොළ ගුළිවලින් පන්තියේ එවුන්ට ගහන්න පටන් ගත්තා. ටීචර් දැක්කා මේක. නැඟිට්ටා…. කොල්ලා ළඟට ඇවිත්, කණෙන්ම මිරිකලා අල්ලාගත්තා.


“කාලකන්නියා, කොයි වෙලේ බැලුවත් දඟේ. අනෙක් ළමයි ඔක්කොම මම කිව්ව විදියට චිත්‍ර අඳිනවා පේනවද? තමුන් අඳින්නෙත් නැහැ. අනිත් එවුන්ට පාඩුවේ අඳින්න දෙන්නෙත් නැහැ. පන්තිය ඉස්සරහට ගිහින්, ගහනවා දණ!”

“ඉතින් ටීචර් මං චිත්තරේ ඇඳලා ඉවරයිනේ!”

කොල්ලා ඇඳපු චිත්‍රය ඩෙස්ක් එක උඩ තියෙන බව පෙන්නුවා. ටීචර් කොළේට එබුණා. සුදු කඩදාසිය විතරයි. ඒක උඩ මැස්සෙක් වහලා ඉන්නවා. 
ටීචර්ට මැස්සෝ ඇලජික්… සාරි පොටෙන්ම ගසා දාලා මැස්සව එලවන්න හැදුවා. මොන ඌ එහෙමමයි! 

ටීචර් ඇම්ඩගෙ චිත්‍ර පොත අතටම අරගෙන බැලුවා.
ඉතින් ටීචර්, ඔය තියෙන්නේ මම ඇඳපු චිත්තරේ!
කඩදාසිය මැද්දේ පණ පිටින්ම ඉන්නවා මැස්සෙක්. ඇරපු අතක් නෑ…. හැබෑ එකෙක්මයි.

“උඹ මේ තරම් හපනෙක්ය කියලා මම දන්නේ අදයිනේ පුතේ! ඔයා වගේ දක්ෂයන්ට හරි පාර පෙන්වන්න ඕනේ…. හෙට උදේට ඉස්කෝලේ එනකොට, මතක ඇතිව ඔය ළමයාගේ තාත්තවත් එක්කගෙන එන්න ඕනි. තේරුණා නේද. මතක ඇතිව.” ටීචර් කිව්වා.

ඕන්න කොල්ලා තාත්තත් එක්ක එනවා ඉස්කෝලෙට. කොල්ලගේ තාත්තව දකිනකොටම ටීචර්ට හීන් දාඩිය දැම්මා.
පොර හෙණ මරිසි- මදාවි පාටයි. 
“ඇයි ටීචර් මට මුගේත් එක්ක ඉස්කෝලෙට එන්න කිව්වේ? නඩුවක් නේද? මම ඇහුවට මේකා මොකුත් කියන්නෙම නැහැනේ. ටීචර් මට කියන්න, මූ මොකද කළේ? අද ගෙදර ගියාම මම මුගේ කණ පළලයි නවතින්නේ.”

“අනේ නැහැ ළමයාගේ තාත්තේ. මේ බලන්නකෝ…. 
මේ ළමයා කොච්චර දක්ෂද කියලා චිත්‍ර අඳින්න.” ටීචර් මැස්සාගේ පින්තූරේ පෙන්නුවා.

“අයියෝ ටීචර්…. ඕක කියන්නද මේ මටත් ඉස්කෝලේට එන්න කිව්වේ… ගෙදරදීත් මුගේ වැඩේම ඕකයි…. ටීචර් දන්නවද වැඩක්…” 
තාත්තා කටහඬ අඩු කළා. රහසෙන් වගෙයි ඉතිරි ටික කිව්වේ.
මේ සිත්තම ගැන මොකද හිතෙන්නේ?
“කකුස්සියට ගිහිල්ලත් ඒකෙ බිත්තියේ මේ නසරානියා ##තක් ඇඳලා. බැබළි- බැබළී තියෙන ඒක දකිනකොට නිකම් ඉන්න හිතෙන්නෙම නැහැ. ඒකට කෙළලා මගේ ##යත් ලෙලි ගිහිල්ලයි තියෙන්නේ නෝනේ!”

කතාව කියවුණේ අපේ ගෙදර මිතුරු සාදයකදීය.

“ඔන්න බලාපන් මචං, නිමලයා හිමිජ්ජා වගේ අහගෙන ඉඳලා උඹේ කතන්දරේ උගේ blog එකටත් ලියලා තියෙයි ඉක්මනටම.”

“ලිව්වට කමක් නැහැ නිමල් අයියේ, වඳින්නම්. මගේ නම එහෙම ලියන්න එපා!” 

ඔන්න, කතන්දරය පැවසූ මිතුරාගේ ඉල්ලීම ඉටු කරනවාය. කතාව කියාගෙන යද්දී පළවූ ප්‍රතිචාරත් නොලියා ඉන්නවාය. එහෙම කළේ එම බාධාවන් ‘මරිසි තාත්තාට’ ඔබින බසින් කියවුණු නිසාය!

දැන් ඉන්නා ඇම්ඩන්ලා හැබෑම දක්ෂයන්ය. 
එහෙම කෙනෙකුගේ මුහුණු පොතේ පළව තිබුණු පෝස්ටුවකි, උඩින් දමා තියෙන්නේ. අටුවා-ටීකා-විස්තර-විග්‍රහ අවශ්‍යම නැත. 
වචනවලට වඩා පින්තූර බලවත්ය!
මේ පොතේ පියකරු ලෙස නිමවා නැත්තෙත් ස්ත්‍රී ලිංගේන්ද්‍රිය….
හැබැයි, මේ කතාව මෙතැනදී කිව්වේ විශේෂ හේතුවක් නිසාමය.

‘අසිරිමත්වූ දේකි’ පොතේ තියෙන චිත්‍රවලින් පියකරු ලෙසින් චිත්‍රණය කොට නැත්තෙත් ‘ස්ත්‍රී ලිංගේන්ද්‍රිය පද්ධතිය’ පෙන්වන චිත්‍රයි. සමහරවිට හිතා-මතාම එලෙස සිදු කළා වෙන්නටත් ඉඩ තිබෙයි. 

එහෙත් පොතේ චිත්‍ර බොහොමයක් අපූරුවට තිබෙන නිසා විය යුතුය, සිරිබිරිස් උන්නැහේ පසුගිය කොටසට ‘කමෙන්ටුවක්’ දමමින් චිත්‍ර ශිල්පියා කවුරුන්දැයි විමසා තිබුණේත්.

මේ පොතේ චිත්‍ර ශිල්පීහු දෙදෙනෙක් වූහයි සඳහන්ය. බන්දුල පීරිස් හා පාල පීරිස් මහත්වරු!

ඔවුන් මේ තරම් හොඳින් හෝ රූප සටහන් නිමවන්නට ඇත්තේ, අවුරුදු 45කටත් එහා කාල වකවනුවකදී බවත් මෙතැනදී අමතක කළ නොහැකිය.
සිතියම් සහිත ස්ත්‍රී චිකිත්සාවලිය පොතේ නම්………..
එහෙම වුණත්, සුදුස්සාට නිසි ගෞරවය දිය යුතු නිසා කියන්නෙමි. 

1935 තරම් ඈත කාලයකදී පළවුණු ඩී.එච්.එස්. අභයරත්න මහතාණන්ගේ ‘සිතියම් සහිත ස්ත්‍රී චිකිත්සාවලිය’ පොතේ අපූරු චිත්‍ර සටහන් රැසක්ම වෙයි.

ඒ පොතත් අපූරුය. 1973 වෙද්දී මුද්‍රණ වාර 14 ක් පසු කරන්නට එම කෘතියට හැකිවී තිබෙන්නේ ඒ නිසාම විය යුතුය. 

දැනට එතැනින් නැවතිලා ‘අසිරිමත්වූ දේකි’ පොතට එමු, එහෙම හොඳයි නේද? 

ගියවර පෝස්ටුවේදී අපි 14 වෙනි පිටුවේ උඩ ඡේදය දක්වායි කියෙව්වේ. ඉතින්, මෙන්න පොතේ 14 පිටුවේ දෙවෙනි ඡේදයේ සිට……

එතකොට ගැහැනුන්ගේ ලිංගේන්ද්‍රිය පද්ධතිය?

නිරුවත්ව සිටින ගැහැනියක් දිහා බැලුවොත් ද්විතීයික ලිංගික ලක්ෂණයක් වන රෝම හැර වෙන කිසි දෙයක් ඔබට දකින්න ලැබෙන්නේ නැහැ. මේකට හේතුව ගැහැනුන්ගේ ලිංගික අවයව වැඩි හරියක්ම ඇඟ ඇතුළේ පිහිටා තිබීමයි.

මතුපිට ඇති අවයවයන්ද ඉතා සියුම් හා පහසුවෙන් නොපෙනෙන නිසා ඒවා හොඳට දකින්න පුළුවන් වන්නේ දෙවටොර දෙක ටිකක් පළල් කිරීමෙන් පමණයි.

දැන් නම් අන්තර්ජාලය පිරික්සද්දී මෙවැනි චිත්‍ර ඕනෑ තරම් හමුවෙනවා…….
කකුල් දෙකේ කලවාවල ඉහළම කොටසට (දෙවටොරට) ආසන්නයෙන් රෝමවලින් වැසුණු බික් දෙකක් වගේ පිහිටා තිබෙන්නේ ස්ත්‍රී ලිංගයේ විශාල දෙතොල නම් වූ අවයවයයි. 

මේවා තුළත් ශිෂ්ණයේ වගේ ලේ කුහර පිහිටා තිබෙනව. මෙය සෙමෙන් එබුවොත් එහි ඇති මොලොක් ගතිය නිසා ඒ බව වටහාගන්න පුළුවන්.

මෙයට ඇතුළතින් තිබෙන්නේ කුඩා දෙතොල නම් වූ අවයවයයි.

එය රෝස පැහැති සියුම් පටල දෙකක් වගෙයි. 
මේවාත් පිරිමැදීමෙන් එහි ඇති කිති ගතිය හා හිරිවැටෙන ගතිය (සංවේදනීය බව තේරුම්ගන්න පුළුවන්.) 

මෙම කුඩා තොල් දෙක දෙස හොඳින් බැලුවොත් ඔබට ඒවා ඉදිරියේදී එකට එක්වී කුඩා නමුත් දැඩි අවයවයක් වට කර සිටින බව වැටහේවි.

ශිෂ්ණයේ හිස මෙන්ම භගමනියත් ඉතා සංවේදී ……….
වියළි මෑ ඇටයක් වැනි මේ අවයවයට ක්ලිටරීසය නැතහොත් භගමනිය කියා කියනව. එය සෑම අතින්ම වාගේ පිරිමියෙකුගේ ශිෂ්ණයේ හිසට සමාන බවක් දක්වනවා.

ශිෂ්ණයේ හිස මෙන් මෙයද ඉතාමත්ම සංවේදනීය අවයවයක්, පිරිමැදීමෙන් ශිෂ්ණය මෙන්ම ක්ලිටරීසයත් පණ ගැන්වෙනවා. 
මේ සංවේදී ගතිය නිසා සංසර්ගයේදී ගැහැනියක් තෘප්තිමත් කිරීමේදී මෙය සියුම්ව පිරිමැදීම හුඟාක්ම වැදගත් වෙනව.

ඊළඟට කුඩා දෙතොල අතර තිබෙන ප්‍රදේශය දෙස බලන්න. 

එහි ඇති කුඩා සිදුරක් ඔබට පෙනේවි. 
මෙය මුත්‍ර මාර්ගයේ විවරයයි. එයට පහළින් වඩා විශාල වූ හිදැසක් නැත්නම් සිදුරක් තිබෙනව. මෙය යෝනි මාර්ගයේ මුඛයයි. 

මෙම යෝනි මාර්ගය එතැන් සිට ඇඟ ඇතුළට වෙන්නයි පිහිටා තියෙන්නේ. මෙම විවරයට නැත්නම් යෝනි මාර්ගයේ මුඛයට අඟල් 1/4 හෝ 1/2 ක් පමණ ඇතුළෙනුයි.
කන්‍යා පටලය විවිධ හැඩයන්ට තියෙන්න පුළුවන්………..
යෝනි මාර්ගයේ මුඛය සිවියකින් වැහිල ද තියෙන්නේ?

සංසර්ගයේ නොයෙදුණු ගැහැනියකගේ යෝනි මාර්ගයේ කෙළවර එවැනි සිවියක් තිබෙනව. ඒ වුණාට ඒ සිවියෙන් යෝනි මාර්ගය මුළුමනින්ම වැහිලා නැහැ.

ඍතුවීම කියලා හඳුන්වන මාස් ශුද්ධියෙදී පිටවන ලේ ශරීරයෙන් පිටව යාමට මේ සිවියේ සිදුරක් තිබෙනවා. 

මෙම සිවියේ හැඩය හා ප්‍රමාණය එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. මේ රූප සටහනෙන් ඒ නොයෙක් විධියේ හැඩරුව ඔබට දකින්න පුළුවන්. 

නමුත් වෛද්‍යවරයෙකු නොවන ඔබට නම් ස්ත්‍රී යෝනියක් පරීක්ෂා කිරීමෙන් මෙහි හැඩරුව හඳුනාගැනීමට පුළුවන්කමක් නෑ.  

ගැහැනියක් පළමු වරට සංසර්ගයේ යෙදෙන විට ලේ ගැලීමක් සිදු වන්නේ මේ සිවිය බිඳීම නිසා ද?
පළමු සංසර්ගයේදී මේ කන්‍යා පටලයට මොකද වෙන්නේ?
ඔව්! අප රටේ පැරණියන් තුළ මුල් බැසගත් මතයක් අනුව නම් ගැහැනියකගේ කන්‍යා භාවය හෙවත් පිරිසිදු බව මනින එකම මිම්ම තමා මේ සිවිය.
ලංකාවේ විවාහ සිරිතට අනුව බොහෝ විවාහවලදී දෙවැනි ගමනේ පවත්වන උත්සවයේදී ප්‍රසිද්ධියේම මේ පිළිබඳ කරුණු සොයා බලනවා.”

සමාවෙන්න. 
‘නිදිගෙ පංච තන්තරේ’ පෙරළා බලන්නට අලුතින් එන හිතාදර පාඨක-පාඨිකාවන් වෙනුවෙනුත් මතක් කිරීමක් කරන්නම හිතෙනවා. 

මේ ‘රුහිරු පරීක්ෂාව’ ගැන මට කියා දුන්නේ අපේ ආච්චී; දසනායක රත්නවතී මහත්මියයි. හිතේ නොමැකී ඇඳී තියෙන විදිහට ඒ ටික film එකකදී දැක්කේ සිරිල් පී අබේරත්න මහතා අධ්‍යක්ෂණය කළ ‘සුසී’ චිත්‍රපටයෙදීයි. 
දර්ශනයේ රඟපෑවේ අද්විතීය දක්ෂ නිළි ‘පර්ල් වාසුදේවී. 

‘දැනුම’ කොච්චර වටිනවාද?

වට්ටෝරුව ඉතා වටිනා රහසක් වුණු Coca Cola…….
ලෝක ඉතිහාසය දිහාව හොඳ විමසිල්ලෙන් බලන කෙනෙකුට පෙනෙනවා, අතීතයේ ඉඳලාම මිනිසුන් ‘දැනීම’ මෙවලමක් කරගත්තු හැටි. 
කෙම් ක්‍රම, යන්තර-මන්තර, බේත්-හේත් විතරක් නෙවෙයි කෑම-බීම පවා ‘රහස්’ විදිහටයි සමහර වෙලාවකට සැලකෙන්නේ.

නිකමට හිතන්නකෝ ‘Coca Cola’ ගැන. 
ලෝක ජනගහනයෙන් 96% ක් විතරම ‘කොකා කෝලා’ ලාංඡනය අඳුරනවා වුණත්, වට්ටෝරුව…..? ඉතාම රහසිගතව ආරක්ෂා කෙරෙන එකක්! 
ඒ නිසාම වෙන්නැති අදටත්, දවසකට බෝතල බිලියන 1.8 කට කිට්ටු ගණනක් දිනකදී විකිණෙනවා ඇත්තෙත්. 

මොකද වෙන්නේ තවත් කොම්පැනිවලින් Coke හදන්න පටන් ගත්තොත්?

‘කොකා කෝලා’ වට්ටෝරුව වගේ නෙවෙයි, ලිංගිකත්ව රහස්! ඒකට; ඒ දැනීමට තියෙන්නේ පුදුමාකාර ඩිමාන්ඩ් එකක්. 

ඉස්සර ඉඳලාම ඒ දැනීම තියෙන අය ඒකෙන් වැඩ අරගෙන තියෙනවා. දැනීම නැති උදවිය ඒ නිසාම අමාරුවේ වැටිලත් තියෙනවා. ඉසිසිඟ තාපස උන්නාන්සේ වගේ.

ඉසිසිඟ තවුසාගේ ශීලය බිඳින්නට පැමිණෙන රූබරිය, ඒ අසරණයාගේ නොදැනුම දඩමීමා කරගන්න හැටි මෙහෙමයි ජාතක පොතේ තියෙන්නේ.
කුමාරිකාවන්ගේ දුහුල් වස්ත්‍ර පහව ලැජ්ජා ස්ථානය පෙනෙන්ට විය. (E.N.M.K. සොයිසාගේ සිතුවමකිනි.)
එසේ උන්නාවූ කුමාරිකාවන්ගේ දුහුල් වස්ත්‍ර පහව ලැජ්ජා ස්ථානය පෙනෙන්ට විය. තාපසයෝ ස්ත්‍රීන්ගේ යෝනි කිසිදිනෙක නුදුටු හෙයින් පහවූ වස්ත්‍රයෙන් ඒ අවයවය දැක ඒකාන්තයෙන්ම මේ තුවාලව වනයෙක්ම යයි සිතා විචාරන්නාහු, ‘එම්බා තාපසයෙනි, තොපගේ මේ දෙකලව අතර කළු වූ පැහැ ඇති මනාකොට පිලියම් කරන ලද සිප්පි මුඛයක් බඳු දෙයක් පෙනෙන්නේය. ඒ කුමන තුවාලයක්ද? තොපගේ උත්තමාඞගයයි කියන ලද නිමිත්තස්ථානය නොපෙනෙන්නේ මන්ද? එය ශරීරය තුළට වැද ගියේ දැයි විචාළහ.

-එවිට ඈ කියන්නී ‘තාපසයෙනි, මෙතැන වනව ගොස් කණුඩුතිය ස්වාභාව කොට ඇති මම නිතර සැපයක් නොලබමි. පින්වත් ඔබට එය ගුණ කරන්නට හැකි නම් එසේකොට මගේ දුක දුරු කරව’යි කීහ.
-තාපසයෝද ඈ කී බොරු බස් සැබෑවක් යයි සිතා ‘ඉදින් ඔබට මාගෙන් සැපයක් වී නම් එය කෙරෙමි’යි කියා ඇගේ සියුම් වස්ත්‍ර අස්කොට දෙකලව විවරකොට ලජ්ජා ස්ථානය හොඳින් බලා කියන්නාහු ‘එම්බා තාපසයෙනි, තොපගේ මේ තුවාල වූ වනය ඉතා ගැඹුරුය. ලේ සහිත කුණෙන් ගැවසී ගත්තේය. මදක් දුර්ගන්ධයද ඇත්තේය. එබැවින් මේ වනයට මම කොළ සුඹුළු ආදිය ගෙන යොදා සුව කරන්නෙමි’යි කීහ.
තොපගේ අංගජාතය මෙහි ඝෂ්ටනය කොට ඔබා මට සැපයක් ලැබෙන පරිදි…………
-එබසට ඈ කියන්නී ‘තාපසයෙනි, මන්ත්‍ර යෝගයක් වේවයි, ඖෂධ යෝගයක් වේවයි මේ වනයට සුවයක් ගෙන නොදෙයි. එබැවින් තොපගේ අඞගජාතය මෙහි ඝෂ්ටනය කොට ඔබා මට සැපයක් ලැබෙන පරිදි කරව’යි කීහ.
නලිනී ජාතකයෙයි ඔහොම ‘ගට්ටනය කොට ඔබා, සැපයක් ලබා දෙන්න’ කියලා කියා තියෙන්නේ.
මගේ කඩප්පුලිකම නිසාම, මට මැවිලා පෙනෙනවා ඈත ගමක පන්සලේ බණ මඩුවක්. සුදෝසුදු ඇඳුමෙන් සැරසුණු උපාසක මහත්තයෙක් පන්සිය පනස් ජාතක පොත් වහන්සේ පෙරළාගෙන ‘නලිනී ජාතකය’ තාලෙට හඬ නඟලා කියවනවා. උපාසකම්මලා හයියෙන් සාදුකාර දෙයිද…..නොදී ඉඳියිද?
ගුටි කන කතන්දර කිව්වා මදැයි. ඔන්න, ඔන්න. ආයෙම හරි පීල්ලට!
“සංසර්ගයේ යෙදීමේදී ශිෂ්ණයේ හිස යෝනි මාර්ගයට ඇතුළුවීමෙන් යෝනි මාර්ගයෙහි කෙළවර ඇදී පළල් වෙනවා. ශිෂ්ණය ඇතුළුවීම නිසාත්, මේ ඇදීම නිසාත් මේ සිවියේ සමහර තැන් ඉරී යනවා. ඒ නිසා සිවියේ ඇති සියුම් ලේ නහර බිඳී සුළු ලේ ගැලීමක් ඇති වෙනවා.
සයිකල් පැදීමෙන්, ව්‍යායාම කිරීමෙන්, ගස් නැඟීමෙන් මේ සිවිය බිඳෙන්න  පුළුවන්ද?
හැම ගැහැනියකටම මෙහෙම වෙනවා ද?

බොහෝ දෙනෙකුට මෙහෙම දෙයක් සිදු වුණත්, ඉතාමත් පිරිසිදු එනම් කන්‍යා භාවය රැකි ගැහැනියකගේ වුවත් සමහරවිට ලේ ගැලීමක් සිදු නොවන්න ඉඩ තිබෙනව. එයට හේතුව මේ සිවියේ නොයෙක් හැඩයන් හා එහි ඇති ඇදීමට ඔරොත්තු දෙන ගතිය කියල කියන්න පුළුවන්.

සයිකල් පැදීමෙන්, ව්‍යායාම කිරීමෙන් හෝ ගස් නැඟීමෙන් මේ සිවිය බිඳෙන්න පුළුවන් ද?

මේ වගේ දේවල්වලින් සාමාන්‍යයෙන් එහෙම බිඳීමක් ඇතිවෙන්නේ නෑ. නමුත් ඉතාම කලාතුරකින් සිවියට හානියක් වෙන්න ඉඩ තිබෙනවා. එහෙම හානියක් උනොත් සංසර්ගයේදී ලේ ගැලීමක් සිදු වෙන්න බෑ.

මේ අනුව කන්‍යා භාවය හෝ පිරිසිදුකම මේ සිවිය මත රඳා පවතිනව කියල කියන්න පුළුවන් ද?
ඉහත කළ විස්තරයෙන් කන්‍යා භාවය හා මේ සිවිය අතර සාධාරණ සම්බන්ධයක් නැති බව ඔබට තේරුම් යන්න ඇති.”

2020 වෙද්දී තියෙන්නේ ගොඩක් වෙනස් වුණු ලෝකයක්!
2020 අවුරුද්ද වෙද්දී කොච්චර දේවල් වෙනස් වෙලාද?
‘පිරිසිදුව හිඳීමේ- කුමරි බඹසර;කුමර බඹසර රැකීමේ’ තත්ත්වය….. 
වියදම් කරන්න ඇති තරම් සල්ලි තියෙනවා නම් දැන් වෛද්‍ය වෘත්තිකයෙකු ලවා අලුතින් කන්‍යා පටලයක් නිමවා ගන්නටත් හැකියාව තිබෙනවාලු! 

“මේ සිවියට ඇතුළතින්?

ඇත්ත වශයෙන්ම ස්ත්‍රියකගේ ලිංගේන්ද්‍රිය පද්ධතියේ වැදගත්ම අවයවයන් පිහිටා ඇත්තේ මේ සිවියට ඇතුළතින් ඇගේ ශරීරය තුළයි. අප ඉහතින් මතක් කළ යෝනි මාර්ගයේ මුඛයට ඇතුළතින් ඇත්තේ යෝනි මාර්ගයයි.

යෝනි මාර්ගය සියුම් පේශීන්ගෙන් හා ඉතා සිනිඳු ශ්ලේෂ්මල පටලයකින් සැදී ඇති දිගැති සම් මල්ලක් වගෙයි. එය එහි මුඛයේ සිට උඩු අතට උදර කුහරය තුළට දික් වෙනවා. එහි අනිත් කොනේ පිහිටා ඇත්තේ ගර්භාෂයයි.
ගර්භාෂය තරමක පුවක් ගෙඩියක් තරම් වූ ඇතුළත කුහරයක් සහිත නමුත් දික් වූ ගෙලකින් යුක්ත අවයවයක්. මෙම ගෙල යෝනි මාර්ගය තුළට නෙරා පවතිනවා. ගර්භාෂයේ ඇතුළත කුහරය මෙම ගෙල තුළින් යෝනි මාර්ගය තුළට විවෘත වෙනවා. මේ සම්බන්ධයෙන් ඇති වැදගත්කම ඔබට පසුව වැටහෙනවා ඇති.

පැලෝපියන් නාලත් සියුම් සිදුරුවලින් ගර්භාෂය තුළට………..

එතකොට අනිත් අවයව?


දැන් ඔබ රූප සටහන් හොඳින් පරීක්ෂා කරන්න. ගර්භාෂයේ දෙකෙළවරෙහි ග්‍රැමෆෝන් එකක බටයේ හැඩයේ නාල 2ක් දික් වන බව ඔබට පෙනේවි. මේවාට පැලෝපීයන් නාල කියලයි කියන්නේ.

මෙම අවයවද සියුම් සිදුරකින් ගර්භාෂය තුළට විවෘත වෙනවා. එහි අනිත් කොණ විවෘත වන්නේ උදරය තුළටයි.

දැන් ඔබට තේරෙනව ඇති උදර කුහරය මෙම නාල හා ගර්භාෂය තුළින් යෝනි මාර්ගයට විවෘත වන බව. එමෙන්ම ශුක්‍රාණු යෝනි මාර්ගයේ තැන්පත් වූ විට ගර්භාෂයේ ගෙල තුළින් ගර්භාෂයටත් එතැන් සිට පැලෝපීය නාලය තුළටත් ගමන් කළ හැකි බව දැන් ඔබට පැහැදිලිව ඇති. ඒ වගේම ස්ත්‍රී බීජවලටත් පැලෝපීයන් නාල දිගේ ගර්භාෂය තුළට ගමන් කරන්න පුළුවන්.”

ඔන්න, අදට මතක තියාගන්නකෝ, අපි දැනට පොතෙන් පිටු 17ක් කියවලා ඉවරයි! 

%d bloggers like this: