Menu Close

හදවතට සමීප දරුවන් – 1 කොටස

81lZynL36DLසටහන :- “ගේබ්රියල් රෝයි” කැනඩාවේ සිටි ඉතා දක්ෂ ලේඛිකාවකි. ඇය, ‘Goverener General’s Award’ යන ත්යාගය තෙවරක් හිමි කර ගත්තාය. එසේම ප්රංශයේ, ‘Prix Femina’ සහ ‘Academie Francaisse’ යන ත්යාග වලින්ද පිදුම් ලැබුවාය. මේ සංක්ෂිප්ත වෘතාන්තය ඇයගේ ‘Children of my heart’ යන පොතෙනි.
 
එය තරමක් දිග හෙයින් කොටස් කීපයකින් මුහුණු පොතට එකතු කලෙමි.
 
කතාව :-
 
ගුරුවරියක් සේ මා ගතකල ජීවිතයේ, එක්තරා ශිෂ්යයෙක්ට මා බිය වුනේ ඔහුව දකින්නත් පෙරදීද යන්න සිතුනී. එනම් එසේ මට සිතුනේ කඩ මන්දිරයේ තිබුණු තැපැල් කන්තෝරුවේ දී මට අසන්නට ඇසුණු දෙයක් නිසාය. මා එහිදී අලුත් පාසැල ගැන උනන්දුවෙන් කතා කලෙමි. එවිට එහිදී අයෙක් මෙසේ කීවේය. … “දැනට සියල්ල හොඳින් සිදු වේවි”… “එහෙත් මෙඩ්රික් පැමිණි විට කතාව වෙනස් වේවි”…
 
ඔවුන් කියා සිටියේ අවසාන ගුරුවරයාට ඔහු පිහියකින් ඇනීමටද තැත් කල බවය.
 
සැප්තැම්බරයේ මුල් භාගය ගතවිණි. මගේ ගෝලයන් පිරිස, අස්වැන්න නෙළු ඔවුන්ගේ දෙමාපියන්ට සහාය වී එකිනෙකා පාසැල් ඒම කෙමෙන් ආරම්භ කළහ. එහෙත් මේ කියන මෙඩ්රික් මෙතෙක් පැමිණියේ නැත. නමුත් තවත් දින කීපයකට පසු ඔහුගේ පැමිණීම, ඔහුගේම ක්රමයකින් සිදු විය.
 
මා ඒ අවස්ථාවේ කළු ලෑල්ල අබියස සිටියෙමි. දරුවන්ගේ සාමාන්ය ඝෝෂාව නිහඬතාවයකට පෙරළිණි. ඔවුන් තව දුරටත් මා කියන දේ අසා සිටියේ නැත. ඔවුන්ගේ අවධානය යොමුව තිබුනේ ඈත ක්ෂිතිජයේ කෙමෙන් විශාල වන සුදු පැහැ තිතකටය. ඒ සුදු පැහැ තිත තවත් මොහොතකින් සුදු අශ්වයෙක් බවටද, ඒ උඩ සිටින අසරුවෙක්ද විය. අසරුවාගේ හිසේ විශාල තොප්පියක් තිබිණි.
 
පාසැල් වත්තට හැරෙන පාර නොගත් අසරුවා, අසු කෙලින්ම කම්බි වැටට උඩින් පැන්නුවේය.
 
ඒ සමඟම පාසැල් කොඩිය රඳවා ඇති කුළුන අසළින් සැණෙන් බිමට පැන, අසු එහි ගැට ගැසුවේය. තදින් හුස්ම පිටකළ අසු හිස වැනීමෙන් කොඩි ගහ සෙලවුනේ සුළඟට අසුවුනාක් මෙනි. ඉන් පසු හේ පන්ති කාමරයේ දොර අසළට පැමිණියේය. විශාළ එඬේර තොප්පිය ඇසිනුත් පහලට වැටී තිබිණ. මෙක්සිකන් වර්ගයේ සපත්තු දෙක සහ දැවැන්ත ඉණ පටිය ඔහුට දී තිබුනේ වෙඩික්කාරයෙක්ගේ පෙනුමකි.
 
පාරේ ඇවිදිනවාක් මෙන් පන්ති කාමරය තුලට ඔහු ඇවිද ආවේය.
 
එකළ කැනඩාවේ තිබුණු බොහෝ පාසැල්වල මෙන්ම මගේ පාසැලේද තිබුනේ එක්ව සම්බන්ද කර තිබුණු බංකු සහ මේස ඇටවුම විය. දරුවන් ඔවුන්ගේ පොත් එම මේස ලාච්චුවේ තබා ගෙන බංකුව උඩ හිඳ ගත්හ. මේසයේ පැන්සල්, පෑන්, ගම් ඇතුළු වෙනත් දේ තබා ගැනීමට සිදුරු තනා තිබිණි. පන්තියේ මැදට පැමිණි මෙඩ්රික්, ඒ මේස බංකුවකට හිනෙන් පහර දුන්නේ, මේස බංකුව විසිවන ලෙසිනි. එහි ඉඳ සිටි කුඩා දරුවෙක් ඉන් පෙරළී බිම වැටී හඬන්නට විය.
 
දරුවා නැගිටවා වෙන තැනක හිඳවා, … “මේ ඇට්ටර කොල්ලාට ඈතින් ඉඳ ගන්නට ඔබට තැන් තිබේ “… යයි කියන්නට මට සිතුනද, නිහඬව සිටියෙමි.
 
මෙඩ්රික්ට වයස වසර දාහතරකට අඩු වූ අතර, එකළ මා වසර දහ අටක යුවතියක් වීමි. එහෙත් ඔහු මට වඩා අඩි භාගයක් පමණ උස කෙනෙක් විය. මෙවැනි දඩබ්බරයෙක් පාලනය කල යුතු ආකාරය ගැන නොදත් වුවද, මා ඔහුට කිසි දෙයක් නොකියා සිටීම ඔහුව තවත් කුප්පවීමක් විය. සටහන් පොත කෑලි වලට ඉරු ඔහු, ඒවා රෝල් කර බෝල තනා ගම් බෝතලයෙන් ගත් ගම් වලින් ඒවා දවටා මැද ඇඟිල්ල කැටපෝලයක් මෙන් සකසා ඒවා සීලිම දෙසට විසි කළේය.
 
පාසැල ඇරෙන සවස් වරුවේ ළමයි නිවාස කරා යන වෙලාවේ, ප්රථම වරට මම ඔහුව ඇමතුවෙමි.
 
… “මෙඩ්රික් අයිමාඩ්’ …කරුණාකර ඉඳ ගන්න”… ඔහු වටයක් කැරකී මා දෙස බැලුවේ තියුණු දෑසකිනි. ඔහු අත් මිට මොලවා ගෙන ගහගන්නට මෙන් දුන්නක් මෙන් වක්ව සිටියේය. එහෙත් ඔහු ඉඳ ගත්තේය. මා ඔහුගේ ඉරියව් නොසලකා මගේ මේසයේ තිබුණු පොත් සකස් කලෙමි. දරුවන්ගේ පොත් බැලුවෙමි. ටික වේලාවකට පසු පසු මා ඔහු දෙස බැලුවෙමි. මෙසේ කල් ගත කල හෙයින්දෝ, ඔහු ඉවසුන් නොමැතිව සිටි බව පෙනිණ.
 
මා නැගිට, ඔහු හිඳ ගෙන සිටි මේසයේ අනෙක් පස හිඳ ගතිමි.
 
මා තරමක් බියෙන් එසේ කලේ ඊළඟ මොහොත කුමක් වේදැයි නොදන්නා හෙයිණි. කෙසේ හෝ ඔහු මට ඉඩ දෙන්නට මෙන් මඳක් පසෙකට විය. ඔහු දෙස බැලූ මට දැනුනේ, හොඳින් වැඩී තිබුනද තවමත් ඔහු ළමයෙක් බවය. අවසානයේ මා ඔහුට කතා කලෙමි.
 
… “හිතන්න, පාසැල් පරීක්ෂක තුමා ඇවිත්, … “මේ සීලීමේ ඇති විකාර මෝස්‌තර කව්ද කලේ ?..කියා ඇසුවොත් මා කුමක්ද කියන්නේ? … “මට කියන්න වෙන්නේ, ඒවා කලේ මගේ පන්තියේ සිටින ලොකුම ළමයා බවත්, ඔහු මට වඩා අඩි භාගයක් උස හෙයින් මා කියන දේ අසන්නේ නැති බවත්ය”… “එහෙත් ඒ විකාර ගලවා දැමිය හැකි එකම ශිෂ්යයා ඔහු වේ නම්, පරීක්ෂක තුමාට එසේ කියන්න මට සිදු නොවනු ඇත”…
 
ක්ෂණිකව පුටුවෙන් නැගිටගත් ඔහු ඉනිමඟ සහ කොස්ස ගෙන ආවේය. ඉන් පසු ඔහු කලේ, එදින ඔහු විසින් කරන ලද පාසැල් අභ්යාස කටයුතු වන සීළිමේ අලවන ලද කඩදහි බෝල ගැලවීමය. ඔහු ඉනිමඟින් බසින විට රතු වූ මුහුණෙන් මා දෙස බලා සිටියේ වරදක් කළා යන අදහසෙන් වුවද මුරණ්ඩු අයුරෙන් මා දෙස බැලුවේය. මොහොතකින් මිදුලට පිවිසි ඔහු අසු පිට නැංගේ, තොප්පිය දමා ගෙන පිම්මේ ඉගිළුනේය.
 
තවත් විනාඩියකින් ඔහු ඈත නිම්නයේ තිතක් මෙන් නොපෙනී ගියේය.
 
මේඩ්රික්ව මෙල්ල කළා යයි එදා මට සිතුනා නම්, එය මට වැරදුනු තැනකි. ඉන් පසු මා ඔහුගේ අවධානය ගන්නට මහත් සේ වෙහෙසුනෙමි. සමහර අවස්ථාවල ඔහු මා දෙස බැලුවේ, මා ඔහු වරදක් කර අල්ලා ගන්නවාක් මෙනි. එහෙත් ඔහු හදිසියේ නොපෙනී යයි. මා ඔහු දෙස බලන විට මට දැනුනේ, හීලෑ කරන ලද සතෙක් ව නැවත කුඩුවකට දමන්න හදන විට එම සතා මා දෙස බලනවාක් මෙනි. ඇත්තටම එසේ ඔහුව කූඩු කරන්නට මට සිතුනද, ඔහු ගැන මට ඇති වූයේ දුකකි.
 
තාරුණ්යයේ ආදර සිතිවිළි වලින් මා මිදී සිටියද, ඒවා මොහොතකට හෝ මා තුලද ඇති වී නැතිවී ගියේ නැත කියන්නට නොහැකි විය.
 
එක් දිනක් ව්යාකරණ පොත අප ඉදිරියේ විවර කර ගෙන සිටියෙමු. මෙඩ්රික් මට සවන් නොදෙන බවක් පෙනිණ. ඔහු ඈත නිම්නය දෙස බලා සිටියේය. කොඩි ගහේ බඳින ලද ඔහුගේ අශ්වයා වූ, ‘ගැස්පාර්ඩ්’ පාසැල දෙස බලමින් හේෂාරාවය කලේ, බැඳ සිටියාට අමනාපය පල කරන්නාක් මෙනි. එදින ඉතා සුන්දර දිනයක් විය. මෙඩ්රික් මෙසේ කීවේය. … “අද පාසැල නොතිබුනා නම් මා ඉන්නේ බැබ්කොක් කැලෑවේ …!, මා එවිට මෙසේ කීවෙමි. … “ ඇත්තටම?…
 
…”එතරම් ඔබ පාසැලට අකමැති නම්, මට තේරෙන්නේ නැහැ, ඇයි ඔබ පාසැල් එන්නේ කියා”…
 
ඔහුගේ දම් පැහැ ඇස් තවත් අඳුරු විය. මා ඔහු දකින්නට පෙර අසා තිබුණු මුරණ්ඩු කොල්ලා ඔහුගෙන් පිළිබිඹු විය. .. “ ඒ මගේ තාත්තා නිසා ! … “තාත්තා මට පාසැල් යන්න බල කරනවා”… “නීතිය ඔහුගේ අතේ තියෙන්නේ”…. “ඔහු දෙවතාවක් මා පස්සේ පොලීසිය පැන්නුවා”… “ඒ එක වතාවක් වුනේ පසුගිය වසන්තයේ”.. “ මා ගොවිපොළක රැකියාවක් කරන ගිය නිසා”… මෙසේ ඔහු කියාගෙන ගියේය.
 
… “එහෙත් ඉක්මනින් මට වයස අවුරුදු දාහතරක් වෙනවා”… “මගේ තාත්තාට එවිට මට පාසැල් යන්න යයිකීමට එවිට බැරි වේවි”… “මා එවිට නිදහස් මිනිසෙක් වෙනවා” … ඔහු ජයගත්තාක් සේ කියා සිටියේය. ඔහුගේ බැල්මෙන් පෙනුනේ, ඔහු නිදහස ගැන සිහින මවනවාක් මෙන්ය.
 
ඔහුව පාලනය කිරීමේ නිදහස මගෙන් නැති වෙනවාක් මෙන් දැනිණි.
%d bloggers like this: