Menu Close

ගීතයේ ප්‍රාගානුභුති විමසීමට ප්‍රයත්නයක්

87809596_202318807662774_5702048150387163136_n

සර්ව වෛශික සන්ධර්භයන්හිම වඩාත් සිත් ඇද ගන්නා සුළු ප්‍රෙහෙළිකාවක් වූ, සෞන්දර්ය පිළිබඳ අර්ථකතනය නිරන්තර විවේචනයට ගොදුරු වන්නක් වූවද, සෞන්දර්ය ආශ්වාදයෙහිලා සමස්ත මානව වර්ගයාම රුචිකත්වයක් දක්වති. මිනිසාත්, කාලාවත්, සෞන්දර්යත් අතර පවතින්නාවූ අවියෝජනීය බන්ධනය මත කලා කෘති වින්දනය ඔස්සේ එකී රුචිකත්වය තෘප්ත කර ගැනීමේ නිරායාස ක‍්‍රියාදාමයක මානවයා ශිෂ්ටාචාරම්භයේ සිටම පුරුදුව සිටින බව ප‍්‍රකට කරුණකි.

අපේ පැදුරෙන් මිදී කෙල්ලට
වාසලට යන්නට වුණා
අනේ ඒකිගෙ කැකුළු ඇඟ කඳ
හැම වෙලාවෙම සිහිවුණා
මාළිගාවෙන් අපේ ගෙපැලට
තෑගි බෝගත් හිමිවුණා
දුහුල් සළු පිළි සිහිල් ජල කෙළි
දුවට හිමි බව සැලවුණා//

මහා සීගිරි ගලේ මුදුණක
උඹේ රුව සිත්තම් වුණා
එය බලන්නට හොරෙන් හවසක
මාත් එතනට ගොඩ වුණා
කරඬුවක් වගෙ උඹේ උඩු කය
අනෙක් උන් මැද දිලිසුණා
මගේ හුස්මක් ගැටී වෙන්නැති
දුවේ කළු ගල හෙලවුනා//

පපුව ටික ටික මෙලෙක් වෙනකොට
එන්න වෙයි මං දන්නවා
උඹේ දූවිලි සුවඳ තැවරුණු
පැදුර තාමත් තියනවා
දැනුත් සීගිරි සිංහයා
කට ඇරන් ඉන්නවා පේනව
ඒ ඉසව්වෙන් යද්දි මං
පොඩි කෙල්ල හංගා ගන්නවා

පද රචනය : මහින්ද ප‍්‍රසාද් මස් ඉඹුල
ගායනය : සමන් ලෙනින්
සංගීතය : දර්ශන රුවන් දිසානායක

ගීතය වනාහී මෙකී සෞන්දර්යාත්මක ප‍්‍රකාශයන්ගේ පරිපූර්ණ ඵලයක්ය. වත්මන් ගීත සාහිත්‍ය තුළ හරසුන් ගීත හරහා සිදු වෙමින් පැවතියා වූ සෞන්දර්යාත්මක පරාභවය යළි ගුණාත්මක සෝදාපාළුවකට ලක් කරමින් පේ‍්‍රක්ෂකාභිමුක වූ ගීතයක් ලෙස මහින්ද ප‍්‍රසාද් මස් ඉඹුලගේ පද සංකලනයෙන් හා සමන් ලෙනින්ගේ හඬ මුසුවෙන් සුසංයෝගිත ,අපේ පැදුරෙන්, ගීතය මා හැඳින්වීමට කැමැත්තෙමි. ඉතිහාසය විසින් වල දැමූ සමාජ යථාර්තයක් පාරිකල්පනික චින්තනයක් ඔස්සේ විදග්ද හා කෝමළ ලෙස පද වැල් බඳින මස් ඉඹුලගේ භාෂා මාදූර්‍ය්යේද, ඒ හා භාවමය සංතතියක් මුසු කරන සමන් ලෙනින්ගේ හඬ මාදූර්‍යයේ හා දර්ශන දිසානයකගේ සංගීත සංයෝජනයේ වූ ශබ්ද මාදූර්‍ය්යේද, සංකලනය මඟින් නිමවන සීගිරි ලඳකගෙ අප්පෙක් හෙවත් අපේ පැදුරෙන් ගීතය ශ‍්‍රාවක සිත සතන් සංක්ශෝභයට පත් කරමින් සෞන්දර්යාත්මක උත්කර්ෂණයක් වෙත ග‍්‍රහනය කර ගැනීමේ ශක්‍යතාවයෙන් යුතු බව කිව මනාය.

නමුත් මෙහිදී අප අභිමුක වන ගැටළුකාරී තත්වය නම් අප මෙලෙස නිරතුරුවම සංවාදයට නගන සෞන්දර්යය යනු කුමක්ද? මෙම ගීතය තුළ එකී සෞන්දර්ය අන්තර්ගතවී තිබේද? සහ එසේ නම් මා මෙම ගීතය රසවින්දනයෙහිලා සෞන්දර්යක් අත්පත් කර ගත්තෙහිද? යන්නයි. මා පෙර සඳහන් කළ පරිදි සෞන්දර්යය යන්න නන්විද ප‍්‍රඥයන් විසින් නන්විධ දෘෂ්ටි කොණයන්ගෙන් අර්ථකතනය කොට ඇත්තේ වූවද, අපගේ මනස විසින් එකී ගැටළුකාරී චෛතන්‍යයන් ස්පර්ශ කරන ක්ෂණයේම දර්ශන විශය තුළ අප තාවකාලිකව හෝ නිමග්න වන හෙයින් සෞන්දර්යය විමසීමෙහිලා දර්ශනානුකූල විග‍්‍රහයක් වඩාත් සාදාරණයයි තැකීමට පුළුවන. එකී හේතු ප‍්‍රකාරව මෙම ගැටළු ත‍්‍රිත්වයට පිළිතුරු සෙවීමක් ලෙස මෙම ගීතය සෞන්දර්යාත්මක කීයවීමකට බදුන් කරනු වස් දර්ශන ඉතිහාසයේ යුග ප‍්‍රවර්තකයා යන නාම දාරී ජර්මානු ජාතික ඉම්මෑනුවෙල් කාන්ට්ගේ සෞන්දර්ය විනිෂචය පිළිබඳ දාර්ශනික ප‍්‍රවේශය උපස්ථම්බක කර ගන්නෙමි. දර්ශනයේ බෙදුම් රේඛාව වූ කාන්ටියානු දර්ශනවාදය අනෙකුත් දර්ශනයන්ගේ මුදුන් මුල වූ විශ්වීය න්‍යාය නිසාවෙන්ද, කාන්ට් තම ,විනිෂ්චයේ පරික්ෂාව” නම් තෙවැනි කෘතිය ඔස්සේ සෞන්දර්යය විනිෂ්චය පිළිබඳ ගොගනැංවීමට උත්සාහ දරනු ලබන අවිසංවාදී මතයේ පැහැදිළි හා නිෂ්චිත දැක්ම නිසාවෙන්ද මෙම සෞන්දර්යාත්මක් විශ්ලේෂණය උදෙසා කාන්ටියානු දර්ශන න්‍යාය ප‍්‍රවේශ මාධ්‍ය ලෙස තෝරා ගැනීමට හේතු කාරක වූ බව දැක්විය හැකිය.

සංගීතයේ මාධ්‍ය ධ්වනිය වන සේ ගීතයේ මුඛ්‍ය මාධ්‍ය ලිඛිත හෝ ධ්වනි මාර්ගයෙන් ඉදිරිපත් වන වචනය වන හෙයින් ඒ හරහා ප‍්‍රකාශිත අර්ථ විවරණයක යෙදීම සියල්ලටම මත්තෙන් සිදු කළ යුත්තකි. සීගිරි ලඳකගේ පියකුගේ ස්වයං කථනයක් ලෙස දිග හැරෙන අපේ පැදුරෙන් ගීතයෙහි සන්ධර්භය සර්වකාලීන දේශපාලනික, සමාජීය, හා ආධ්‍යාත්මික යථාර්තයක් සංවදයට නගන්නා වූ ගේය පද රචනයකි.

දහස් ගණන් කවීන්ට, දහස් ගණන් කතා කරුවන්ට අනුභූතියක් වූ සීගිරි ලඳ එදා සේම අද දවසේද, සීගිරිය වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ නේකවිධ වර්ණනයන්ට ලක්වන්නියකි. සැබවින්ම ඇය කවුරුන්ද? එච්. සී. පී බෙල් මහතා පවසන්නේ, , මෙහි සිටින රන්වන් කාන්තාවන් අන්තඃපුර ස්ත‍්‍රීන් බවත්, නිල් වන් කාන්තාවන් ඔවුන්ගේ සේවිකාවන් බවත්ය. එකී විද්වත් මතය හා සාපේක්ෂව යමින් ඇය රජු විසින් බලත්තැන්නෙන් ආලකමන්දාවට ගෙන්වාගත්, අසරණ යුවතියක් විය නොහැකිද? යන්න, ප‍්‍රස්තුත කර ගනිමින්, ඇගේ රූ සිත්තම නෙත ගැටෙන පාත‍්‍ර වර්ගයා ආශ්වාදය කළා වූ සහ කරන්නා වූ ලෞකික සුන්දරත්වය ඈ හැදූ වැඩූ ඇගේ පියාටද, ඒහා සමාන තෘප්ත කර හැගීමක් වේද? යන ඛේදනීය ඉරනම, මානූශීය දෘෂ්ටි කෝණයක් ඔස්සේ අපේ පැදුරෙන් ගීතයේදී පේ‍්‍රක්ෂකයා හා සහසම්බන්ධ කෙරේ.

පේ‍්‍රමනීය හේතු කරණා නොමැති අතීත රාජකීය ලිංගික දඩයමේ ගොදුරක් බවට පත් වන මෙම අසරණ යුවතියගේ නග්න වූ සිරුරේ රූ සිරිය සමස්ත ලොකයාටම සීගිරි ගල මත නිරාවරණය වීම හා ඒ අභිමුකයේ ඈ ආරක්ෂා කර ගැනීමට හෝ එකී අසාධාරණයට විරුද්ධව කෑ මොර දීමට හෝ නොහැකිව අසරණ වන ඇගේ පියගේ රුහිරු නලියන වේදනාත්මක හැගීම් ප‍්‍රවාහය ,මගේ සුසුමක් වැදී වෙන්නැති දුවේ කළු ගල සෙල වුනා, යන පද මාත‍්‍රය හරහා අපව කලම්ඹනයට පත් කරමින් මෙහිදි අපට ප‍්‍රක්ෂේපණය කරයි. මෙම ආත්ම කථනය ඔස්සේ අනාවරණය කරනු ලබන ඛේදනීයතම යථාර්තය නම්, තම දියණිය ලිංගික ගොදුරක් බවට පත් වීමට හේතු කාරණා වූ ඇයගේ රූ ලාලිත්‍ය වියැකී, ඇය වහැරුණු, වියපත් ස්ත‍්‍රියක් වන දින ඇය එතෙක් විදි අලප වූ හෝ රාජකීය ශෝභාව නාම මාත‍්‍රයක් පමණක් බවට පත් වීමයි.

පපුව ටික ටික මෙලෙක් වෙන කොට
එන්න වෙයි මම දන්නවා
උඹේ දූවිලි සුවඳ තැවරුණු
පැදුර තාමත් තියනවා,

එකී අනාගත නියත සිදුවීම අරඹයා විප්ලවීය අරගලයක නිරත නොවුනද, පීතෘ ස්නේහයේ නාමයෙන් තම දියණියගේ කායික සුන්දරත්වයවියැකී යන දිනද, ඇය නැවත බාර ගැනීමේ පදනම් විරහිත ආත්මීය බැඳීමකින් මෙම පියා බලා හිදී.

අතීතයෙන්, වර්තමානය වෙත කාල අතික‍්‍රමණය කරන්නේ නම්, වත්මන් සමාජය තුළද අප අත් දකින්නේ කාලානුරූපී වූ ධනපති පන්තිය හා නිර්ධන පන්තිය අතර මෙකී ගට්ටනයම වේ. බල ඇත්තන්ගේ අණසකට යටත්ව සමාජ මාධ්‍ය ඔස්සේ විකිනෙණ යුවතියන්ගේ ඛේදවාචකයද එදා සීගිරි ලඳගේ බෙදවාචකයම වේ.

අදත් සීගිරි සිංහයා
කට ඇරන් ඉන්නවා පේනවා
ඒ ඉසව්වෙන් යද්දි මං
පොඩි කෙල්ල හංගා ගන්නවා,

නිල, බල, විභේදනයන්ගෙන් යුත් සමජයක අඛණඩ පැවැත්මකින් යුත් මෙකී අශීලාචාර, සර්වකාලීන අර්බුදය හමුවේ පියවරුන් හට තම දියණියන් ලෝකයාගේ දෘෂ්ටියෙන් වසන් කර තබා ගන්නවා හැර අන් විසදුමක් නොමැත්තේය යන්න, අවසන් වශයෙන් මෙම පියා ප‍්‍රකාශ කරමින් ව්‍යංගාර්ථවත් ලෙස තම කථනය අවසානයත්, ආරම්භයත් අතර නිමග්න කරවමින්, සමාජය ඥාණනය කිරීමකට යත්න දරයි.

අප ප්‍රෞඩ යයි කියා කියා ගන්න ඉතිහාසයක ප‍්‍රතාපවත් භාවය විසින් වසාගත් අඳුරු යථාර්තයක් සමකාලීන සමාජය හා ගට්ටනය කරවමින්, පන්ති විශමතාවය, ස්ත‍්‍රීත්වය, පීතෘත්වය යන සමාජීය ස්ථරයන් සේම පුරුෂාධිපත්‍යට යටත් වූ සමජයක වින්දිත දියණියකගේ ඛේදය පියකුගේ ඇසින් සංරචනය හරහාද, ගොඩනගන්නා වූ වාග් සෞන්දර්යය හා ඒකාත්මික වන සංගීත හා ස්වර සංයෝජනයේ ඇති සෞන්දර්යය යන මාධ්‍යයන් ද්වෛතය ස්වායත්තව සෞන්දර්යාත්මක ආශ්වාදයකට ග‍්‍රහනය කර ගත්තේ වුවද, මෙම ද්විත්වයේ සම්මිශ‍්‍රිත ඵලය විසින් අපව අවිඥාණිකව වඩාත් ප‍්‍රශස්ත සෞන්දර්ය විනිෂ්චයකට යොමු කරවන බව පැහැදිලි කරුණකි.

මෙහිදී, මෙම ගීතය ශ‍්‍රවනය ඔස්සේ, ශ‍්‍රාවකයා ප‍්‍රාගානුභූතික කොන්දේසි හරහා පංචේන්ද‍්‍රයන් මඟින් ගීතයේ වාචකමය අර්ථයන් හා සංගීතයේ ස්වර සංතතියන් ග‍්‍රහනය කර ගැනීම මඟින් සිදු කරනු ලබන ,සංවේදන සංජානනය, යන්න, කාන්ට් මූලිකවම සෞන්දර්ය යයි අර්ථකතනය කරමින් සෞන්දර්යය අත් විදීම උදෙසා සංවේදන සංජානනයේ ශක්‍යතාවය පැවතිය යුතු බව හුවා දක්වයි. එකී ප‍්‍රාගානුභූතික ව සිදු කරනුන් ලබන සංවේද සංජානනය ආනුභූතික කියවීමකට අප සෞන්දර්යය ආශ්වාද්යේදී ගෙනේ. එනම් සීගිරි පුරාවෘතය පිළිබඳ වූ ආනුභූතික කියවීම් විසින් අප ඥාණනය කරමින්, වඩාත් අර්ථානුකූල සෞන්දර්යය ආශ්වාදයක් හා අප සුසංවාදගත කරවයි.

කාන්ටියානු දර්ශනය තුළ සෞන්දර්යය විභේදනයේදී මිනිසා විසින් නිර්මිත දෑ නිෂ්චිත සංකල්පයකට යටත් වන හෙයින් අනුගාමී සුන්දරත්වයෙහිලා සැළකුවද, ඉහත දැක්වූ ලෙස ගීතය හා සහසම්බන්ධ වීම මත මා ගොඩනැගූ පාරිකල්පනික චෛතන්‍යයත්, අනෙකෙකු එයට පරස්පර චෛතන්‍යයක් මත යැපීමත් යන ගට්ටනය මත මේම කලා කෘතිය නිෂ්චිත අවසානයකට නිරපේක්ෂව වේය සහ ආකෘතිකගත නොවේය යන්න සාක්ශාත් වේ.නිදසුනක් ලෙස,

උඹේ දූවිලි සුවඳ තැවරුනු
පැදුර තාමත් තියන්වා,

යන පද පෙළ හරහා මා පරිකල්පනය කරන වියළි පොළොව මත කර්කෂ ජීවිතයක් ගත කළ දූවිළි සුවඳ තවරා ගත් ලඳ, තවෙකෙකුට දූවිළි සමඟ පොර බඳිමින් කෙළි දෙලෙන් ජීවිතය ගත කළ, කුඩ ලමිස්සියක ලෙස අර්ථකතනය කළ හැකිය. ඒ අනූව, කාන්ටියානු දර්ශන මතවාදයන්ගෙන් පොෂනය වූ රෝමාන්තිකවාදයත්, අද පවතින දාර්ශනික මතවාදයන් සළකන පරිදි, කලා කෘති නිදහස් සුන්දරත්වයට යටත් කරන සේ, මෙම ගීතයද එකී හේතු ප‍්‍රකාරව නිදහස් සුන්දරත්වය ඔස්සේ ඉදිරියට විමර්ශනය කළ හැක.

පෙර නිදසුනේ සඳහන් කළ පරිදි, එකම ප‍්‍රස්තුතයක් මත අර්තකතනයන් බහුවිධයක් ගොඩනැගීම හරහා පෙනී යන කරුණ නම් මෙහිදී, කාන්ට් රසඥතා විනිශ්චයේ ස්වභාවය විවරණය කිරීම හරහා ගෙනා, කළා කෘතියක් තුළ ඉන්ද‍්‍රීය ගෝචර වන දෙයෙහි අයිතිකරු වන්නේ, එකී වස්තුව නොව එය විනිශ්චය කරන තැනැත්තාය යන මතය තව දුරටත් ස්තිර කරවයි. මාගේ රුචිකත්වය මත මා ආත්මීය වශයෙන් මෙම ගීතය හරහා යම් ශෝකී සෞන්දර්යයක් අත් විදින්නේ වුවද, එය තවෙකෙකු හට සමාජය කෙරේ ජුකුප්සා ජනක භාවයක් හා සෞන්දර්යය සම්මුඛ වන්නට පිළිවන. නමුත් මා මෙහිදී ගීතය හා ගොඩනගන සහසම්බන්ධතාවය මත සුන්දරයි යයි පවසන්නේ කුමක්ද යන්න, හෝ එය කිනම් හේතුවක් උදෙසා සුන්දර වන්නේද යන්න, හේතු දැක්වීමට අසමත් වීම මත එකී විනිශ්චයේ පවතින අතාර්තිකබාවයත් අත්පත් කර ගැනීමකින් තොරව එහි නිමග්නව සෞන්දර්යය ආශ්වාදයෙහි නියැලීමත් සිදුව ඇති බව ගම්‍ය වේ. කාන්ට් පවසන්නේද සෞන්දර්යය විනිශ්චය තාර්කික පදනමකින් තොරව නිශ්කාමී තෘප්තියක් ලබාදෙන අපූර්වතම හැගීමක් ලෙසයි. මෙම ගිතයේ සන්ධර්භය වෙත යළි පිවිස විමර්ශනය කළහොත්, කාන්තාවකගේ සුන්දරත්වය පිළිබඳ කෙරෙන කථිකාවතේ එන සාමන්‍ය අර්ථ නිරූපණයට ප‍්‍රතිවිරුද්ධව, කාන්තාව යනු සුන්දර වස්තුවක් නොවන බව කන්ටියානු දර්ශන න්‍යයික පදනම මත ප‍්‍රකාශ වේ. මන්දයත් කාතාවක් සුන්දර යයි ප‍්‍රකාශ කිරීම තුළම ඇත්තේ අත්පත් කර ගනීමෙ අරමුණික චේතනාව වන හෙයිනි. සෞන්දර්යය අත්විදීමෙහිලා එලෙස ආත්මීය, අතාර්තික හා නිශ්කාමී තත්වයක් බල පැවැත්වෙන්නේ වුවද, ඒසාවූ විනිශ්චයක් සියළු දෙනාටම පොදු වීමේ අන්තර් පුද්ගල සප‍්‍රමාණිකත්වයක්ද කාන්ට් එහිදී අපේක්ෂා කරයි. මාගේ රුචිකත්වය මත පදනම්ව මෙම ගීතය සුන්දර යයි කරනු ලබන ප‍්‍රකාශය පෙර සඳහන් කළ පරිදි කිසිඳු අත් පත් කර ගැනීමකින් තොර අසල්ලීන භාවයකින් යුතුව ගීතය පිළිබ්ඳ කෙරෙන ප‍්‍රකාශයක් වන හෙයින් එය අනෙකාටද, ආරෝපණය කිරීමේ හා අනෙකා සම්ඟ බෙදා ගැනීමේ උත්තේජනයක් මා හට ඇති වීම හේතු කොට ගෙන, මා එකී සෞන්දර්යය වින්දනය ආත්මීය විශ්වීයත්වයකයක් වෙත රැුගෙන යන බව කාන්ටියානු දර්ශනයට අනූව නිගමනය කළ හැක.

එසේ වුවද, කාන්ට් පවසන ආකාරයේ අතාර්කික සෞන්දර්යය විනිශ්චයක් පොදු විනිශ්චයක් ලෙස, සියළු දෙනාටම මෙම ගීතය සුන්දර යයි හැගෙන සේ අන්තර් පුද්ගල සප‍්‍රමාණිකත්වයක් ගොඩ නගන්නේ කෙසේද යන ගැටළුව තවමත් පවතී. මෙකී ගැටළුවට පිළිතුරු වශයෙන් කාන්ට හුවා දක්වන්නේ මෙම විනිශ්චය පොදු ඥාණන ක‍්‍රියාවලියක් ඔස්සේ ගත් විට සියළුම බුද්ධිමත් මිනිසුන් හට ඥානනය කළ හැකි හෙයින්, එකී ක‍්‍රියාවලියේ විවිධ ස්ථරයන් මත අත්‍යාවශ්‍ය මානසික තත්වයන් ඇතිවීම මඟින් සියළු දෙනාටම පොදුවූ එකමතික සෞන්දර්යයක් ආශ්වාදය කළ හැකි බවයි. මෙකී ක‍්‍රියාව්ලියේදී පළමුව පංචේන්ද‍්‍රයන් මඟින් කලා කෘතියේ සංවේදන ග‍්‍රහනය කර ගන්නා රසිකයා, ඉක්බිති පරිකල්පනය ඔස්සේ එකී තොරතුරු පිළිවෙළකට සකස් කර, තෙවනුව එයට සංකල්පයක් ලබා දී තාර්කික පදනමක් තැනීමට උත්සුක වුවද, එහිදී පරිකල්පනික දේ අවබෝධය වෙත ඌණනය කිරීමට නොහැකි වේ. එනම් මෙම ගීතය හරහා ගෙනෙන දියණි පීතෘ සම්බන්ධ්තාවය හා එයට එලල්ල වන පන්ති විශමතාවික සාමාජීය බෙදවාචකය හා එය භාවමය ආශ්වාදයකට ලක් කරන ස්වර සමීකරණයන් මා සමස්තයක් ලෙස අවබෝධ කර ගැනීමට අපොහොසත් වීම ඔස්සේ අවබෝධයත් පරිකල්පනයත් අතර දෝලනය වෙමින් යම් අකණ්ඩ සුසංවාදයක නිරත් වේ. මෙකී සුසංවාදයේ ත‍්‍රීව‍්‍රත්වය මත කාන්ට් පවසන ලෙස සෞන්දර්යය ආශ්වාදය කරන හෙයින් මා ,අපේ පැදුරෙන්, ගීතය වෙත කරන සෞන්දර්යය විනිශ්චය අනෙකාටද පොදු කොට දැක්විය හැකිය.

මෙකී පොදු සප‍්‍රමානික්තාවයේ මූලධාර්මික හේතුව ලෙස මෙම කලා කෘතියේ සංවේදන සංජානනය කරන මොහොතේ යම් යම් අරමුණක් තිබේ යයි පෙනීය යාමත්, එය අවබොධය වෙත ඌණනය කර ගත නොහැකිව අවබෝධයත් පරිකල්පනයත් අතර ගන්ධබ්බයකු වීම මත එසේ අරමුණක් නිමැති බව පසක් වීමත් යන අරමුණක් නොමැති අර්මුණුකාරීත්වය ගෙනහැර දැක්විය හැකිය.

කාන්ටියානු දාර්ශනික කියවීම අනූවල කලා කෘතිය හා විනිශ්චය කරන පුද්ගලයා අතර ගොඩනැගෙන සම්බන්ධ්තවයෙහි ස්වභාවය මත පදනම්ව සිදු කරන්න වූ අතාර්කික, ආත්මීය විශ්වීයත්වයකින් යුත් නිශ්කාමී සෞන්දර්යය විනිශ්චයේල පරිපාක අවස්ථාව ලෙස මා මෙම ගීතය රසවින්දනය ඔස්සේ අත් කර ගත් සෞන්දයානුභූතිය ඉක්මවූල පරිමිතත්වයෙන් අපරිමිතත්වය කරා රැුගෙන ගිය තැන්හි වූ උත්කෘශ්ටත්වය පිළිබ්ඳ හැගීමල නම් කළ හැකිය. අපේ පැදුරෙන් ගීතය හරහා මා අභිමුක වූ පන්ති අරගලය හා එහි ඉත්තන් වන අසරණ යුවතියන්ගෙ ඛේදවාචකය මෙකී ගීත රචකයාත්, ගායකයාත් හා සිදුවීමේ සැබෑ සාක්ෂිකරුත් අතර වන ආනුපාතික ග‍්‍රහනය කර ගැනීමේ ඌණතාවය මත මෙය ගොඩනැංවේ. කෙතරම් වූ අත්දැකීම් ප‍්‍රවාහයක් ඔස්සේ අප මෙකී සිදුවීම් දාමය හා භාවයන් පරිපූර්ණ ග‍්‍රහනයකට නතු කර ගැනීමට තැත් කළද, සැම විටම කිසියම් අංශුමාත‍්‍රික දෙයක් හෝ මග හැරීමක් සිදු වන බව ඉන් අරුත් දේ.

සමස්තයක් වශයෙන්, කාන්ට් සෞන්දර්ය පිළිබද දක්වන සිව්වැනි නිර්වනයේ දක්වන පරිදි, ,සුන්දර දෙය යනු අපට පුද්ගලිකව වාසි ලබා නොදෙමින් අපව සතුටු කරනා දෙයයි. සුන්දර දෙය යනු තාර්කික හේතුවකින් තොරව විශ්වීයව සතුටු කරනා දෙයයි. සුන්දරත්වය යනු අවසාන අරමුණක් නොමැති අරමුණුකාරිත්වයකි.,

මෙකි අදහස මෙලෙස තර්කානුකූලව විග‍්‍රහ කරමින්, මෙතෙක් විෂ්ලේශනය කළ අපේ පැදුරෙන් ගීතතයෙහි සෞන්දර්යාත්මක සන්දර්භය අරබයා උක්තව යොමු කළ එකිනෙකට බැඳි ගැටලූ ත‍්‍රිත්වය නිරාකරණය කරමින් කාන්ටියානු දර්ශන න්‍යාය හරහා මෙම ගීතයට සෞන්දර්යාත්මක, විකලප කියවිමක් කළ හැකිය.

 

යොෂිනි තොටවත්ත

%d bloggers like this: